Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සොබාදමේ අපූරු නිමැවුම: කල්තොට වන මැද හුණුගල් තටාකය

හුණුගල්වලින් නිර්මාණය වුණු ඉතා අලංකාර රටා මිනිසා තුළ විස්මිත සිතුවිලි ඇතිකරවනවා. ලංකාවේත් එවැනි අපූරු නිර්මාණ සහිත තැනක් ලෙස වවුල්පනේ හිරිගල් ගුහාව ප්‍රකට යි. 

එයට අමතර ව සොබාදහම හුණුගලින් නිර්මාණය කළ සුන්දර දිය තටාක සහිත තැනක් බලංගොඩ කල්තොටට නුදුරුව වලවේ ගං නිම්නයේ වනගත ව පිහිටා තිබෙනවා. මේ එම හුණුගල් තටාක සොයාගෙන ගිය ගමනක්. 

වවුල්පනේ හුණුගල් හිරිලඹ සහ හිරිටැඹ- srilankatravelpages.com

හුණුගල් නිර්මාණ

අප රටේ ද පසට යටින් සමහර ප්‍රදේශවල පොළොවෙන් සියයට 10 ප්‍රමාණයක පිහිටා තිබෙන්නේ හුණුගල තට්ටුවක්. හුණුගල් නිර්මාණය වී ඇත්තේ බොහෝවිට කැල්සියම් කාබනේට් හෝ ඩොලමයිට්වලින්. ලංකාවේ හුණුගල් ගුහා රාශියක් විවිධ ඉසව්වල දකින්න ලැබෙනවා.

ඒවායින් කිහිපයක් නම් වවුල්පනේ, මාරපන, පන්නිල, සීතාකොටුව, සඳගිරිය, නිල්දිය පොකුණ, ඉදල්ගස්හින්න, රොටුපිහිල්ල, යාපනය පෙරියමන්ඩපම්, මාතලේ, ඕපනායක ඇඳිරිලෙන ආදිය සඳහන් කළ හැකි යි.  හුණූගල් ගුහාවලට අමතර ව ඇතිවන තවත් භූ ලක්ෂණයක් ලෙස හුණුගලින් නිර්මිත ජල තටාක දැක ගත හැකි යි. අද අප කතාකරන  බලංගොඩ කල්තොට හැරුණු විට‍ හුණුගලින් නිර්මිත ජල තටාක  තිබෙන්නේ බුත්තලට ආසන්න මොරටුකන්ද වනාන්තරයේ යි.

චීනයේ හුවැංලොංහි හුණුගල් පොකුණු- franks-travelbox.

ලෝකයේ සංචාරකයන් අතර ප්‍රකට හුණුගල් තටාක රාශියක් ගැන අපට අහන්නට ලැබෙනවා. ලංකාවේ ඇත්තේ කුඩා හුණුගල් තටාක වුවත් චීනය, තුර්කිය, ජෝර්ජියාව, අමෙරිකා එක්සත් ජනපදය. ඉරානය, හංගේරියාව ඇතුළු රටවල විශාල හුණුගල් තටාක සංකීර්ණ දකින්න ලැබෙනවා. ජලයෙන් පිරුණු මේ පොකුණු නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවනවා.  

  හුණුගල් තටාක පිහිටීම

වලවේ ගඟේ   දියඇල්ලක් වන දූවිලි ඇල්ල ආසන්නයේ තමයි මේ අලංකාර පොකුණු දකින්න ලැබෙන්නේ.  මේවා පසුගිය කාලයේ  දේශීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ඉසව්වක් බවට පත්ව තිබුණා. විශාල වශයෙන් සංචාරකයන් ගමන් කිරීමට පටන් ගැනීමෙන් හුණුගල් තටාකවල ඉවුරු පවා විනාශ වන නිසා පසුව  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒවාට අනවසරයෙන් පිවිසීම නතර කළ බව වාර්තා වුණා.  

හුණුගල් පොකුණුවලට නුදුරින් ගලන වලවේ ගඟ – our srilanka fcebook page

 මුල්ගම, රජවක  මහ වනය මැද   හුණුගල් වර්ධනය වී ජලය සමඟ මිශ්‍ රවී   හුණුගල් පොකුණු තැනී තිබෙනවා.   බලංගොඩ සිට කල්තොට පාරේ තංජන්තැන්න පසුකර කිලෝ මීටර එකහමාරක් ගියවිට හමුවන්නේ ගල්ලෑලිතොට යි. එහි සිට ඉද්දගල ආර අතුරු පාරේ තවත් කිලෝ මීටර එකහමාරක් ගමන් කර හමු වන වනය මැදින් තවත් කිලෝ මීටර එකහමාරක් පියමං කළ විට හුණුගල් පොකුණු පිරි බිමට පැමිණිය හැකි යි. 

ඉද්දගල ආර වනාන්තරයේ දකින්නට ලැබෙන්නේ වියළි මිශ්‍ර කැලයක්. මේ කැලය මැදින් කුඩා දොළක්  ගලා බසින්නේ   හුණුගල් තට්ටුවක් මතින්. එම දොළ පාර කිලෝමීටර් කිහිපයක් දුරට හුණුගල් තට්ටුව මතින් ගලාගෙන යනවා. අවට හේන් වගා කර තිබුණු ලක්ෂණක් එහි දකින්න ලැබෙනවා. පසුව මෙම ජල මාර්ගය පිවිසෙන්නේ විවිධ වක්‍රාකාර හැඩයෙන් යුත් හුණුගල් පොකුණු වෙතට යි. එහි ජලය පසුව එක්වන්නේ වලවේ ගඟට යි.  

අලංකාර දසුන් මවන පොකුණු –  ayale travel facebook page

මෙම රක්ෂිතය වන අලින්ද සිටින පෙදෙසක්. බොහෝවිට උඩවලව හරහා සංක්‍රමණය වන අලින් විවිධ අවස්ථාවල මෙම රක්ෂිතය හරහා ගමන් කරනවා.

 පොකුණු විශාල ප්‍රමාණයක්

හුණූගල හරහා ගලා එන දොළ පාරෙන් නිර්මිත පොකුණු දකින්නට ලැබෙන්නේ හෙල්මළු ආකාරයට යි. කුඹුක් ගසින් පිරුණු වටපිටාවක  ලොකු කුඩා තටාක විශාල සංඛ්‍යාවක් දැකගත හැකි යි. මෙම පොකුණු   වර්ෂ 2001 දී දැක බලා ගත් පරිසරවේදී ශ්‍රීලාල් නිශාන්ත හෙට්ටිආරච්චි ඒ ගැන මෙසේ සඳහන් කර තිබෙනවා: 

‘‘ වර්ග අඩි 50-30 වැනි ලොකු තටාකවල සිට වර්ග අඩි 5, 10 දක්වා කුඩා තටාක මෙන්ම ගැඹුරින් අඩි 1, 2 සිට අඩි 12 දක්වා යුතු තටාක ද පිහිටා තිබේ. මෙම හුණුගල් තටාක අඩසඳාකාර ව පවතින අතර එහි දාරය දෘඩව පවතී. තටාකයේ අඩිය ද පැති බිත්ති ද හුණුවලින් ම නිර්මාණය වී පවතී. තටාකවල ජලය සුනිල්වන් පැහැයෙන් යුක්ත වුද පානය කිරීමට නොහැක්කේ හුණු අධික සාන්ද්‍රණයකින් පැවතීමෙන් හටගන්නා කඨින ස්වභාවය නිසාය (අසිරිමත් උඩවලව-  ශ්‍රීලාල් නිශාන්ත හෙට්ටිආරච්චි, 49 පිට). 

කුඹුක් ගසින් හෙවණ වුණු පොකුණු බිම – danu & kavi  facebook page

පොකුණු තිහකට අධික ව මේ ස්ථානයේ පිහිටා තිබෙනවා. පොකුණු වටා ඇති  බැම්ම සෑදී ඇත්තේත් මෙම හුණුගල් වලින්ම යි.  බැම්ම තනි හුණුගලින් තිබුණ ද එහි ජලය වැටෙන දිශාවට කුඩා කූරු ලෙස හිරිලඹ තැනී තිබෙන බව පේනවා. 

අවුරුදු ලක්ෂ ගණනාවක් තිස්සේ ජලය ගලා බැසීමේ දිසාවට අනුව එ දෙසටයි හුණුගල් කූරු තැනී තිබෙන්නේ.  

හිරිලඹ ආකාරයට කූරු සේ තැනුණු පොකුණු බිත්ති- danu & kavi  facebook page

පළිඟුවන් ජලය 

මෙම පොකුණුවල පතුලත් කොන්ක්‍රීට් බදාමයක් දැමුවාක් මෙන් නැතහොත් පිහිනුම් තටාකයක පතුල මෙන් විනිවිද භාවයෙන් යුක්ත යි. පතුල ඉතා පැහැදිලි ව පෙනෙන පළිඟුවන් ජලය පිරි පොකුණු මවන්නේ සිත පිනා යන දර්ශනයක්.

මේ නිසා ම පසුගිය කාලයේ මෙහි පැමිණි සංචාරකයයන් පොකුණුවල පිහිනීම නිසාත් අවුරුදු ලක්ෂ ගණනන් තිස්සේ නිර්මාණය වුණු පොකුණු හානියට පත්වීමට පටන්ගෙන තිබෙනවා. 

පැහැදිලි ජලයෙන් පිරී – chanu vlogs facebook page

වලවේ ගඟ පිහිටා තිබෙන්නේ මේ ස්ථානයේ සිට කිලෝ මීටර බාගයක් ආසන්නයෙනු යි. ලංකාවට අවේණික තල්කොස්සා මාළුවා මේ පොකුණුවල දිවි ගෙවනවා. මහදණ්ඩියා ද දැකගත හැකි යි.

අවට වනයේ අලියා හැරුණුවිට මුවා, ඕලු මුවා, වල් ඌරා, ඉත්තෑවා, හාවා ඇතුළු සතුන් දිවිගෙවනවා.

අවට පිහිටි වනය බුරුත‍, මුඟුණ, මිල්ල, හල්මිල්ල, කෝන්, වීර, පළු ආදී ගස්වලින් යුක්ත යි. හේන් වගාවේ විනාශය නිසා සමහර තැන්වල වනය වෙනුවට මානා, ඉලුක් යායන් වැවී තිබෙනවා.

පොකුණු තනමින් ගලා බසිනා දොළ – ayale travel facebook page

 හුණුගල් දියඇලි

පොකුණුවලට නුදුරින්  වනය මැදින් හුණුගල අතරින් කඩාහැලෙන කුඩා දියඇලි දෙකක් ද පිහිටා තිබෙනවා. ප්‍රධාන හුණුගල් ඇල්ලේ උස මීටර් 40ක්. එය අවට පර්වතවල කොළ පාටින්  පාසි බැඳී තවත් සුන්දරත්වය වැඩිවී තිබෙනවා.     හුණුගල් තට්ටු හා හිරිලඹ මතින් තමයි ඇල්ල කඩාවැටෙන්නේ.

අවට පැතිර තිබෙන්නේ විශාල හුණූගල් පර්වත යි.   මෙම ඇල්ලෙන් වැටෙන ජලය ටික දුරක්  ගලාගෙන ගොස් නැවත හුණුගල් තට්ටුවක් මතින් වැටීමෙන් තවත් කුඩා දියඇල්ලක් තනනවා. කළුගල් මතින් කඩා හැලෙන දිය ඇලි දැක ඇති අපට හුණුගල් මතින් වැටෙන දිය ඇලි අපූර්වත්වයක් ගෙනෙනවා. වවුල්පනේ ගුහාව තුළ ද හුණුගල් හරහා වැටෙන දියඇල්ලක් දැකගත හැකි යි.

අලංකාර දසුන් මවමින්- Sachith Weerasingha- ayale travel facebook page

මෙය අප රටේ කලාතුරකින් දකින්නට ලැබෙන සොබාදහමේ සුන්දර නිර්මාණයක්. එවැනි දුලබ තැන් රැකබලා ගැනීම අපගේ යුතුකමක් වෙනවා. පසුගිය කාලයේ සමහර සංචාරකයන් අතින් සිදුවුණු විනාශකාරී සිද්ධි නිසා හුණුගල් පොකුණුවලට සිදුවුණු හානි නිසා එය වැඩි පිරිසකට නැරඹීමේ අවස්ථාව අහිමි වීම කනගාටුවට කරුණක්.  

කවරයේ ඡායාරූපය: හුණුගල් පොකුණුවල සුන්දරත්වය-   chanu vlogs facebook page
 මූලාශ්‍ර:
අසිරිමත් උඩවලව-  ශ්‍රීලාල් නිශාන්ත හෙට්ටිආරච්චි
Lankadeepa.lk - ශමින්ද රන්ශාන් ප්‍රනාන්දුගේ ලිපි

Related Articles