
“වඩු කුරුල්ලා” කියන නම ඇහෙන විට ඔබට මුලින්ම මතක් වෙන්නේ සුන්දර කැදැල්ලක් බව නම් නිසැකයි. අපි කවුරුත් දන්නවා වගේ වඩු කුරුල්ලා ප්‍රසිද්ධ ඉතාමත් ලස්සන කූඩු හදන්න යි. නමුත් වඩු කුරුල්ලා මෙච්චර ලස්සන්ට කූඩු තනන්නේ ඇයි කියලා ඔබ සිතා බලන්නට නම් නැතුව ඇති. ඒ ඇයි කියලා අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.
වඩු කුරුලු විශේෂ
ලංකාවේ වඩු කුරුළු විශේෂ දෙකක් ජීවත් වෙනවා.
- පන් වඩු කුරුල්ලා (Streaked Weaver)
- රුක් වඩු කුරුල්ලා (Baya Weaver)
රුක් වඩු කුරුල්ලා (Baya Weaver)

dreamstime.com
අපි කවුරුත් දැක තිබෙන ලෙස පහළට එල්ලෙන ලෙස යම් දිගකින් යුතු කූඩු තනන්නේ පන් වඩු කුරුල්ලා යි. වතුර තියෙන ප්‍රදේශ වල නැත්නම් වතුර කිට්ටුව කූඩු හදන මොවුන් කොලනි වශයෙන් පදිංචි වෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. මොවුන් එකම ගහක පදිංචි වී සිටීමක් දැකගත හැකි වීමයි. මොවුන් එකම ගසක විශාල කූඩු සංඛ්‍යාවක් සාදනු ලබයි. වසර පුරාම තම වර්ගයා බෝ කරන මොවුන්ගේ බිත්තර සුදු පැහැති යි.
රුක් වඩු කුරුල්ලාගේ කිරුළ සහ ළය දිලිසෙන කහ පාටක් ගනියි. උඩු කය දුඹුරු පැහැයක් ගන්නා අතර මුහුණ සහ උගුර පෙදෙස තද දුඹුරු පැහැයක් ගනියි. යටි කය සුදු පැහැති ය. කිරිල්ලිය සහ පරිණත නොවූ කුරුල්ලන්ගේ උඩු කය නොදිලෙන ලා කහ පැහැයට හුරු වූ දුඹුරු පැහැයක් ගනියි. යටි කය ලා දුඹුරු පැහැ වන අතර පැහැදිලි ඇහි බැමක් මොවුන් සතු වේ.
පන් වඩු කුරුල්ලා (Streaked Weaver)
පන් වඩු කුරුල්ලා රැළක් වශයෙන් ජිවත් වෙනු දැකගත හැකියි. පන් මන්ඩි වල ගැවසෙන මොවුන් ඒ නිසාම පන් වඩු කුරුල්ලා ලෙස නම් ලබනවා. මොවුන්ගේ කූඩුව රුක් වඩු කුරුල්ලාගේ කූඩුව මෙන් දිගට එල්ලෙන ලෙස සකස් කරන්නේ නැහැ. ඔවුන්ගේ කැදැල්ල නිර්මාණය වන්නේ පන් මන්ඩියක පන් ගස් දෙකක් හෝ තුනක් එකට බැඳ, දික් වූ තණ කෙඳි වලින් ඉතා සියුම්ව මැසීමෙන් ය. පන් වඩු කුරුල්ලා තම වර්ගයා බෝ කරන්නේ වසරේ පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේ දී යි.
පන් වඩු කුරුල්ලාගේ කිරුළ කහ පැහැයක් ගන්නා අතර සෙසු උඩු කය දුඹුරු පැහැයක් ගනී. මුහුණ සහ උගුර පෙදෙස කළුවන් දුඹුරු පැහැයක් ගන්නා අතර සුදු පැහැති යටි කයේ සහ ළය පෙදෙසේ තද දුඹුරු පැහැති ඉරි දක්නට ලැබේ. පන් වඩු කිරිල්ලියගේ සහ පරිණත නොවූ කුරුල්ලන්ගේ කිරුළ දුඹුරු පැහැයක් ගන්නා අතර, එහි රුක් වඩු කිරිල්ලියන්ගේ මෙන් කහ පැහැයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඉතා පැහැදිලි වූ සුදු ඇහි බැමි මොවුන්ට තිබේ.
කුරුළු ලොවේ වඩුවා

images-hd.download
ඉතාමත් ආකර්ෂණීය වූ කූඩුවක් නිර්මාණය කරන නිසයි, වඩු කුරුල්ලා “කුරුළු ලොවේ වඩුවා” යන නාමයෙන් හඳුනාගන්නේ. රුක් වඩු කුරුල්ලා ඉතාමත් සුන්දරව පහළට එල්ලෙන දිග කූඩුවක් සාදන අතර මේ කැදැල්ලට ඇතුළු වන විවරය තිබෙන්නේ පහළින්. ඇතැම් අවස්ථා වලදී මහල් දෙකකින් යුතුව කූඩු සාදන අවස්ථා ද නැතුවාම නොවේ. එනම් එකම කැදැල්ල බෝලයක් ආකාරයට පිම්බුණු කොටසකින් ද යුක්ත වීම යි. මෙවැනි කූඩු වලට ඇතුළෙන් ඉහළටම යන්න බැරි වෙන්න උඩ කොටස සම්පූර්ණයෙන්ම අවහිර කරලයි තියෙන්නේ.
කූඩුවේ බෝලයක් ලෙසට පිම්බුණු කොටසේ මැටි ගුලියක් දක්නට හැකි වන අතර එය සවි කිරීමටත් විද්‍යාත්මක හේතුවක් පවතිනවා. මැටි ගුලිය රැඳවීම තුළින් කූඩුව දෙපැත්තට පැද්දීම වළක්වා ගැනීමයි ඔවුන් අපේක්ෂා කරන්නේ.
පන් වඩු කුරුල්ලාගේ කූඩුව කලින් සඳහන් කළ ආකාරයට රුක් වඩු කුරුල්ලාගේ කූඩුව මෙන් දිගට පහළට එල්ලෙන සේ සකස් කරන්නේ නැහැ. මේ කූඩුව පන් ගස් අතර සියුම්ව මැසීමෙන් නිර්මාණය කරන අතර, කොළ පාට තණකොළ වලින් නිර්මාණය කිරීම නිසා මුලදී මේ කූඩුව කොළ පැහැයක් ගන්නවා. පසුව දුඹුරු පැහැයට හැරෙන කූඩුවට ඇතුල් වන්නේ ද යටි පැත්තෙනුයි.
අනංගයා යැයි හැඳින්වෙන්නේ ඇයි?

youtube.com
වඩු කුරුල්ලා “කුරුළු ලොවේ අනංගයා” ලෙසින් හඳුනා ගන්නේ ඇයි ද කියා ඔබ තවමත් සිතනවා ඇති. එයට හේතුව නම් මෙය යි.
සාමාන්‍යයෙන් වඩු කුරුළු කූඩු නිර්මාණය කරන්නේ කුරුල්ලා තනිවම යි. එසේ නිර්මාණය කරන කූඩුවේ වැඩ අඩක් නිම කරන කුරුල්ලා කරන්නේ එහි එල්ලී රංගනයේ යෙදීම යි. ඒ, කිරිල්ලියක ආකර්ෂණය කර ගැනීමට යි. කිරිල්ලියක ආකර්ෂණය කර ගැනීමෙන් පසුවයි මොවුන් කූඩුවේ අනෙකුත් වැඩ ඉවර කරන්නේ. කූඩුවේ දිගට එල්ලෙන කොටස හැදීම ආරම්භ කරන්නේ කිරිල්ලියක් හා සම්බන්ධ වුණායින් පසුව බවයි සොයාගෙන ඇත්තේ.
මෙසේ කිරිල්ලියක් හා එක් වී අලුත් ජීවිතයක් පටන් ගත්තත් වඩු කුරුල්ලා තමන්ගේ අනංග ගති අත් හරින්නේ නම් නැහැ. තමන්ගේ කූඩුව කිරිල්ලියට භාර දෙන ඔහු අලුත් කූඩුවක් නිර්මාණය කිරීම ආරම්භ කරනවා. ඒ, තවත් කිරිල්ලියක් හා හාද වීමේ අරමුණෙන්. මේ නිසයි වඩු කුරුල්ලා “කුරුළු ලොවේ අනංගයා” ලෙසින් ප්‍රසිද්ධියක් උසුලන්නේ.
කවරයේ කතාව- youtube.com
මූලාශ්‍ර:
https://www.alamy.com
https://www.dreamstime.com
https://www.youtube.com