Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

 දැඩි ලෙස වඳ වීමේ අවදානමට ලක්ව ඇති ජීවී විශේෂ කිහිපයක්

වර්තමාන ලෝකයේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා, සමහර සත්ත්ව වර්ග ඉතා දැඩි ලෙස වඳව යාමේ තර්ජනයට ලක් වී තිබෙනවා. මේ නිසා ඔවුන්ගේ ගහනය වේගයෙන් අඩු වී තිබෙන අතර, නිසි ක්‍රියාමාර්ග නොගතහොත් මෑත අනාගතයේ දී ම මේ සතුන් නෂ්ට වී යාමට නියමිත යි.

පරිසරය සුරැකීමේ අන්තර්ජාතික එකමුතුව හෙවත් අයි.යූ.සී.එන් සංවිධානයට අනුව, මෙලෙස තර්ජනයට ලක් වී ඇති ජීවී විශේෂ සංඛ්‍යාව 40,000 ක් පමණ වෙනවා. මේ ලිපියෙන් දැක්වෙන්නේ, එලෙස දරුණු ම ලෙස වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ කිහිපයක් ගැන යි.

ජාවා රයිනෝසිරස්- animalcorner.org

ජාවා රයිනෝසිරස්

ඉන්දුනීසියාව නිජබිම කර ගත් ජාවා රයිනෝසිරස් සතුත්, අතීතයේ එක් සමයක නැඟෙනහිර ආසියාව පුරා විසිරී සිට තිබෙනවා. දැඩි ලෙස දඩයම් කිරීම නිසා සහ වාසස්ථාන අහිමි කිරීම නිසා, ඔවුන්ගේ ගහනය ඉතාමත් වේගයෙන් අඩු වී ගොස් තිබෙනවා. වර්තමානය වෙද්දී අතිශය දුර්ලභ ඔවුන්, මේ වන විට මිහිපිට ජීවත් වන්නේ 75 දෙනෙක් පමණයි. ඔවුන් සියලු දෙනා ඉන්දුනීසියාවේ ජාවා දූපතට සීමා වී තිබෙනවා.

වර්තමානය වන විට ජාවා රයිනෝ සතුන් ස්වභාවික පරිසරවල හමුවන්නේ, ඉන්දුනීසියාවේ උජුන්ග් කුලොන් ජාතික උද්‍යානයෙන් පමණ යි. ඒත් මේ ප්‍රදේශය පවා, ආර්ථික භෝගයක් වන කටුපොල් විශේෂයක් ආක්‍රමණය කරන්නට පටන්ගෙන තිබෙනවා. මේ නිසා දිනෙන් දින ඔවුන්ගේ වාසස්ථාන සහ ආහාර ප්‍රභව ඔවුනට අහිමි වෙනවා.

මිනිස් ක්‍රියාකාරකම්වලට අමතර ව ස්වභාවික ආපදා, රෝගාබාධ සහ සමහරක් ජානමය දුර්වලතා ද ඔවුන්ගේ මේ වඳ වී යාමට හේතු වී තිබෙනවා.

අමුර් දිවියෝ – wwf.org.uk

අමුර් දිවියෝ

මේ දිවි විශේෂය ලෝකයේ දැනට වෙසෙන දුර්ලභ ම බිළාල විශේෂය යි. මේ වන විට ඔවුන් ලොව ඉතිරි වී සිටින්නේ සිය දෙනෙක් පමණයි. වර්තමානය වෙන විට ඔවුන්ගේ ගහනය යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබුණත්, 1996 වසරේ පටන් තවමත් ඔවුන් කාණ්ඩගත වී තිබෙන්නේ දරුණු ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක් වුණු ජීවී විශේෂ ගොන්නට යි. මොවුන් අද වන විට හමුවන්නේ රුසියාවේ නැඟෙනහිර කොටසේ සීම සහිත ප්‍රදේශයක සහ ඊසානදිග චීනයේ පමණයි.

මෙලෙස ඉතිරි වී සිටින අමුර් දිවියන් මිනිස් ක්‍රියාකාරකම් නිසා විවිධාකාරයෙන් තර්ජනයට ලක් වී තිබෙනවා. දඩයමට ලක් වීම මෙන් ම, සංවර්ධනය නිසා වාසස්ථාන අහිමි වීමෙන් ඔවුන්ගේ ගහනය මෙලෙස අඩු වී තිබෙනවා. අද වන විට ඔවුන්ගේ නිජභූමි සංරක්ෂණය කරන්නට ක්‍රියා කර ඇති නිසා, අවසානයේ ඔවුන්ගේ ගහනය යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. ඒත් ඔවුන් ‘දැඩි ලෙස අන්තරායට ලක් වූ’ කාණ්ඩයෙන් ඉවත් වන්නට නම් බොහෝ කල් ගත වෙනු ඇති බව විද්වත් මතය යි.

සුන්ඩා දූපතේ කොටි – worldwildlife.org

සුන්ඩා දූපතේ කොටි

සුන්ඩා දූපතේ කොටියන් හෙවත් සුමාත්‍රා කොටියන් ලෝකයේ කුඩා ම කොටි උප විශේෂය යි. මොවුන් උපරිම වශයෙන් කිලෝග්‍රෑම් 140 ක් තරම් බරට වැඩෙනවා. උදාහරණයක් හැටියට අමුර් පෙදෙසේ ජීවත් වන කොටියන් ලෝකයේ විශාලත ම කොටි විශේෂය ලෙස සැලකෙන අතර, ඔවුන්ගේ පිරිමි සතුන් සුන්ඩා කොටියන් මෙන් දෙගුණයක් බර වෙනවා. වර්තමානය වන විට ස්වභාවික පරිසරවල මොවුන් සිටින්නේ 600 ක් තරම් සීමිත ප්‍රමාණයක් පමණයි. ඔවුන් සියලු දෙනා ම ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපතේ වෙසෙනවා.

1980 දශකයේ පටන් ගිනිකොන දිග ආසියාවේ ජනගනහනය දෙගුණ වී තිබෙනවා. වර්තමානයේ එහි ජනගහනය මිලියන 700 ක් පමණ වෙනවා.  මොවුන්ගේ පැවැත්ම නිසා සුන්ඩා කොටීන්ගේ වාසස්ථාන විනාශ වී ඇති අතර, ඔවුන්ගේ ගහනය දැඩි ලෙස සීමා වුණා.

මොවුන් සිටින ප්‍රදේශයේ ජනගහනය වර්ධනය වී තිබීම නිසා  සුමාත්‍රා කොටියන්ට මිනිසුන් හමුවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. මේ නිසා මිනිස්-කොටි ගැටුම් ඇති වීමේ සම්භාවිතාව ද වැඩි වී තිබෙනවා. කොටි දඩයම, ඔවුන්ගේ ශරීර කොටස් සහ ඒවායින් කරන නිෂ්පාදන අනවසර ලෙස පිටරට පැටවීම වැනි කටයුතු යහමින් සිදුවීම, ඔවුන්ගේ පැවැත්මට අතිශය බාධා ඇති කර තිබෙනවා.

කඳුකර ගෝරිල්ලෝ – earth.com

කඳුකර ගෝරිල්ලෝ

කඳුකර ගෝරිල්ලන්, පෙරදිග ගෝරිල්ලන්ගේ උපවිශේෂයක් වෙනවා. ඔවුන් ජීවත් වන්නේ ප්‍රධාන ජනාවාස දෙකක් ලෙස කොංගෝවේ, රුවන්ඩාවේ සහ උගන්ඩාවේ උස් කඳුකර වනාන්තරවල මෙන්ම උගන්ඩාවේ බ්වින්ඩි ජාතික උද්‍යානයේ යි.

‘විරුන්ගා’ පෙදෙස ලෙස හැදින්වෙන, අප්‍රිකාවේ මේ ප්‍රදේශයට තිබෙන්නේ ඉතා අඳුරු ඉතිහාසයක්. 

දීර්ඝ කාලයක් පුරාවට මේ ප්‍රදේශයේ ඉතා දැඩි ලෙස ආහාර හිඟය සහ දුප්පත්කම තිබී තිබෙනවා. මේ නිසා, මේ පෙදෙස්වල මිනිසුන්, ආහාර, වාසස්ථාන සහ ඉඩ හසර සොයා, මේ ගෝරිල්ලන් ජීවත් වන වනාන්තර සීමා පරිභෝජනය කරන්නට කටයුතු කර තිබෙනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ වාසස්ථාන විනාශ වී, ඔවුන්ගේ පැවැත්මට දැඩි තර්ජන එල්ල වී තිබෙනවා. වර්තමානය වන විට, ඔවුන්ගේ වාසස්ථාන සහිත වනාන්තර සීමාවේ මිනිසුන් 500,000 ක් පමණ ජීවත් වෙනවා.

කෙසේ නමුත් ලෝක වනජීවී අරමුදල ඇරඹූ කඳුකර ගෝරිල්ලන්ගේ සංරක්ෂණ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස, ඔවුන්ගේ ගහනයේ පැහැබර වර්ධනයක් ඇති වී තිබෙනවා. අදත් දැඩි ලෙස තර්ජනයට ලක් වූ ජීවී විශේෂයක් ලෙස නම් කර තිබෙන ඔවුන්, ලොව ජීවත් වන්නේ 1,000 කට මදක් වැඩි ප්‍රමාණයක් පමණ යි. මේ සංරක්ෂණ ව්‍යාපෘතිය සිදු වන්නේ අපමණ බාධක මධ්‍යයේ බැවින්, තවමත් ඔවුන්ගේ පැවැත්මට ඇති තර්ජනවල අඩුවක් වී නැහැ.

ටපානුලි ඔරං ඔටන් – redapes.org

ටපානුලි ඔරං ඔටන්

ටපානුලි ඔරං ඔටං දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක් වූ සතුන්ගේ ලැයිස්තුවට ඇතුළු කළේ 2017 වසරේදී යි. වර්තමානය වන විට ඔවුන් ලෝකයේ එක පෙදෙසකට පමණක් සීමා  වී තිබෙනවා. ඔවුන් ස්වභාවික පරිසරවල දැකිය හැක්කේ සුමාත්‍රාවේ බටංග් ටොරු ස්වභාවික රක්ෂිත පෙදෙසේ පමණ යි.

අද වන විට දැඩි තර්ජන මධ්‍යයේ මොවුන්ගෙන් ජීවත් වන්නේ 800 ක පමණ පිරිසක් පමණ යි. මේ අනුව වර්තමානය වන විට මොවුන් ලොව වැඩියෙන් ම තර්ජනයට ලක් වූ වානර විශේෂය බවට පත් ව තිබෙනවා. මොවුන්ගේ පැවැත්මට වැඩි ම තර්ජනය ඇති වී තිබෙන්නේ විශේෂයෙන් ම වාස්ස්ථාන විනාශය නිසා යි.

මොවුන් ජීවත් වන පෙදෙසේ ජනගහනය වැඩිවීමත් සමඟ, කෘෂිකාර්මික කටයුතු, කැණීම් කටයුතු සහ ජල විදුලිබලය නිපදවීම වැනි මානව ක්‍රියාකාරකම් මුල්බැසගැනීම නිසා මෙලෙස ඔවුන්ගේ වාසස්ථාන තර්ජනයට ලක් ව තිබෙනවා. 1985 වසරේ පටන් 2007 වසර අතර කාලයේ දී උතුරු සුමාත්‍රාවේ, මොවුන් ජීවත් වන පෙදෙසේ වනගහනයෙන් 40% ක් පමණ එළි වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය - critter.science 
මූලාශ්‍ර:
Unep.org
Projectworldimpact.com
globalcitizen.org

Related Articles