Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිනෙන් දින අභාවයට යන ලංකාවේ එනසාල් වගාව

එනසාල් වගාවේ නෂ්ටාවශේෂයක් බඳු කේ. එම්. පී. වාඩිය ගැන ලිපියක් අප මින් පෙර ඔබ වෙත ගෙනැවිත් තිබෙනවා. ඒ ලිපිය පලකෙරුනු විට පාඨක ඔබෙන් ඉල්ලීමක් සිදුවුණා ලංකාවේ එනසාල් (කරදමුංගු) වගාව පිළිබඳ වැඩි තොරතුරු සහිත ලිපියක් ලියනා ලෙස. මේ ලිපිය Roar ලියන්නේ ඒ නිසා යි.

ලාංකිකයන් ආහාර සුවඳවත් කිරීම සඳහා භාවිතා කරන කුළුබඩු වර්ග අතුරින් එනසාල්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. වටලප්පන්, බිරියානි, කහබත් ආදියත්, මස් මාළුත් පිසීමේ දී එනසාල් නැතිවම බැහැ. මීට දශක කිහිපයකට පෙර එනසාල් වගාව අප රට තුළ සාර්ථකව සිදු කළා. නමුත් පසුගිය දශකය තුළ මෙරට එනසාල් වගාව පරිහානියට ලක් වීම නිසා දේශීව නිෂ්පාදනය කරන එනසාල් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වුණා. එම නිසාම වර්තමානය වන විට දේශීය වෙළඳපොලේ එනසාල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එනසාල් වගාවට හිතකර සාධක 

එනසාල් භෝගය සෑම ලංකාවේ සෑම ප්‍රදේශයකම වගා කිරීමට හැකි භෝගයක් නොවෙයි. එම භෝගය හොඳින් වර්ධනය වීම සඳහා හිතකර දේශගුණික සහ පාංශු අවශ්‍යතා කිහිපයක් තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ සාර්ථකව එනසාල් වගාව කිරීම සඳහා හිතකර  සාධක යි.

1)  එනසාල් වගා කිරීම සඳහා සුදුසු වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 600ට වැඩි උසකින් පිහිටා තිබෙන බිම් ප්‍රදේශ යි.  

2) මිලිමීටර් 1500-2500 අතර වාර්ෂික වර්ෂාපතනයක් අවශ්‍ය යි. එසේම එනසාල් වගාව සඳහා සෙවණ අවශ්‍ය වනවා. එනිසා එනසාල් වගාව බහුලව සිදුකරන්නේ ස්වභාවික වනාන්තර ආවරණ යටතේ යි.

3) මෙම වගාව සඳහා හොඳ කාබනික ද්‍රව්‍ය වැස්මක් සහිත කාබනික ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් වුණු හොඳින් ජලය බැස යන ගැඹුරු ලෝම හා ලෝම මැටි පස් වඩාත් සුදුසුයි. එසේම පාංශු pH අගය 4.5 සිට 6.0 දක්වා අගයක පැවතිය යුතු යි.

4) සෙල්සියස් 10-25 අතර උෂ්ණත්වයක්  තිබෙන ප්‍රදේශ එනසාල් වගාවට වඩාත් සුදුසු යි. 

එනසාල් ප්‍රභේද 

ලංකාවේ ප්‍රධාන වශයෙන් එනසාල් ප්‍රභේද 3ක් වගා කරන. ඒවා වර්ගීකරණය කර තිබෙන්නේ පුෂ්ප මංජරියේ හැඩය අනුව යි. පහත දැක්වෙන්නේ එම එනසාල් ප්‍රභේදවල දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ යි.

මලබාර් 

පුෂ්ප මංජරිය බිම්බෑවූ ස්වභාවයෙන් යුක්ත මලබාර් නම් එනසාල් ප්‍රභේදය වගා කරන්නේ මීටර් 600-900 අතර උසකින් පිහිටි බිම්වල යි. සාමාන්‍යයෙන් මීටර් 2.5-3 දක්වා උසකට වර්ධනය වන මෙම එනසාල් ප්‍රභේදයේ කරල රවුම් හැඩයෙන් යුක්ත යි.

වසුක්ක 

පුෂ්ප මංජරිය නැමුණු ස්වභාවයෙන් යුක්ත වසුක්ක නම් එනසාල් ප්‍රභේදය වගා කරන්නේ මීටර් 800-1300 අතර උසකින් පිහිටි බිම්වල යි. සාමාන්‍යයෙන් මීටර් 3.5-4.5 දක්වා උසකට වර්ධනය වන මෙම එනසාල් ප්‍රභේදයේ කරල දිගටි හැඩයෙන් යුක්ත යි.

මයිසූර් 

පුෂ්ප මංජරිය සිරස් ස්වභාවයෙන් යුක්ත මයිසූර් නම් එනසාල් ප්‍රභේදය වගා කරන්නේ මීටර් 900-1350 අතර උසකින් පිහිටි බිම්වල යි. සාමාන්‍යයෙන් මීටර් 3.5-4.5 දක්වා උසකට වර්ධනය වන මෙම එනසාල් ප්‍රභේදයේ කරල දිගටි හැඩයෙන් යුක්ත යි.

එනසාල් ශාකයක් (lankapress)

එනසාල් වගා කරන ප්‍රදේශ

මුහුදු මට්ටමේ සිට මීටර් 600කට වඩා උසකින් පිහිටි මධ්‍යම කඳුකර ප්‍රදේශවල එනසාල් වගාව දැකිය හැකියි. එසේම උඩරට තෙත් සහ අතරමැදි ප්‍රදේශවල කෘෂි පාරිසරික කලාපයන්හි ද මෙම වගාව දක්නට ලැබෙනවා. ඒ අනුව මහනුවර, මාතලේ, කෑගල්ල, නුවරඑලිය, සහ රත්නපුර ප්‍රධාන වශයෙන් එනසාල් වගාව සිදුකරන දිස්ත්‍රික්ක ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

එනසාල් වගාව මඟින් සිදුවන පාරිසරික හානිය 

එනසාල් වගාව මඟින් වනාන්තරයේ යටි රෝපණය විනාශ වනවා. එහි දී වනයේ ඊළඟ පරම්පරාව ලෙසින්  හැදෙන කුඩා  පැළවලට වර්ධනය වීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. එම නිසාම එනසාල් වගා කරපු වනයක මහා වනාන්තරය යට තියෙන්නේ එනසාල් විතරම යි. එම ක්‍රියාවලිය දිගු කාලයක් සිදුවන විට වනාන්තරයේ තිබෙන යටි රෝපණය සම්පූර්ණයෙන්ම විනාශ වනවා. එසේම වනාන්තරයක තිබෙන ජෛව පද්ධතිවල සමතුලිතතාවය ද බිඳ වැටෙනවා.

එනසාල් ශාකයක් වැවී තිබෙන බිමක පස (vidusara)

දේශීය එනසාල් නිෂ්පාදනය පහත වැටුණේ ඇයි?

1940 වසර පමණ වන විට එනසාල් වගාව අප රට තුළ ජනප්‍රිය වන්නට පටන් ගත්තා. එම නිසාම කඳුකර ප්‍රදේශ රැසක ජනතාව එනසාල් වගාවට යොමු වුණා. හුන්නස්ගිරිය, කළුපහන, නකල්ස්, මීමුරේ, ලග්ගල වැනි ප්‍රදේශවල සරුවටම සිදු වුණු එනසාල් වගාව 70 දශකය ආරම්භ වන විට ඉතාමත් දියුණු තත්ත්වයකට පත්ව තිබුණා. එම නිසා 1970-77 සිරිමාවෝ බණ්ඩාරනායක රජය පැවති කාල සමයේ එනසාල් ප්‍රමුඛ පෙළේ අපනයන භෝගයක් වී තිබුණා.

එනසාල් පඳුරක් (lankapress)

මහවැලි ව්‍යාපාරය යටතේ වික්ටෝරියා ජලාශය ඉදි කර පසුව එම ප්‍රදේශයේ එනසාල් වගාව තහනම් කිරීම දේශීය එනසාල් වගාවේ දියුණුවට එල්ල වුණු මරු පහරක් වුණා. එලෙස එම ප්‍රදේශයේ එනසාල් වගාව තහනම් කළේ වර්ෂා කාලයේ දී එනසාල් වගා බිම්වල තිබුණු පස් සෝදාගෙන විත් රොන්මඩ ජලාශයට එකතු වීම යි. නමුත් දුම්බර මිටියාවතේ එනසාල් වගාව අඛණ්ඩව සිදු වුණු නිසා දේශීය එනසාල් නිෂ්පාදනයෙහි විශාල අඩුවීමක් දක්නට ලැබුණේ නැහැ. එනසාල් වගාවෙන් සැලකිය යුතු තරම් ආදායමක් ලැබුණු නිසා ඇතැම් පුද්ගලයන් අනවසරයෙන් කැලෑ එළිකර මෙම වගාව සිදුකර ගිය බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. නමුත් 2000 වසරේ දී නකල්ස් වනාන්තරය අධි රක්ෂිතයක් ලෙස නම් කිරීමත් සමගම එනසාල් වගාකරුවන්ට සිය වගාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වුණත් දේශපාලන සබඳතා මත ඇතැම් වගාකරුවන් දිගටම එනසාල් වගාව කරගෙන ගියා. 2010 වසරේ දී නකල්ස් අඩවිය ලෝක උරුමයක් ලෙස නම් කිරීමත් සමගම එනසාල් වගාකරුවන්ට සිය වගා බිම් අත්හැර දැමීමට සිදු වුණා. උසාවි නියෝග මත එම ප්‍රදේශවල එනසාල් වගා කිරීම තහනම් කෙරුණේ 2014 වසරේ දී යි. එම නිසාම 2015 වසරෙන් පසුව දේශීය එනසාල් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටුණා.

එනසාල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම 

දේශීය එනසාල් නිෂ්පාදනය සීඝ්‍රයෙන් පහළ යාම නිසා වර්තමානය වන විට ලංකාව තුළ එනසාල් හිඟයක් පවතිනවා. එම නිසාම අද වන විට එනසාල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 10000කටත් වඩා වැඩි මුදලකට යි. ලංකාව තුළ වැවෙන එනසාල් වැනි කුළුබඩුවක් පිටරටින් ආනයනය කිරීමේ දී විශාල බදු මුදලක් ගෙවීමට සිදුවනවා. නමුත් සමහර ව්‍යාපාරිකයන් නීති විරෝධී ක්‍රමවලට එනසාල් ආනයනය කරන බවට ද මතයක් පවතිනවා. 

දේශිය එනසාල් වගාව දියුණු කළ යුතු යි 

දේශිය එනසාල් වගාව දියුණු කිරීමට නම් එනසාල් වගාකරන බිම් ප්‍රමාණය වැඩිකර යුතුයි. පසුගිය කාල සමයේ දී පයිනස් වනාන්තර තුළ යටිරෝපණයක් ලෙසින් එනසාල් වගාව කළ හැකිදැ යි අත්හදා බැලුවා. එසේම වර්තමානය වන විට තේ සමග අතුරු භෝගයක් ලෙසින් එනසාල් වගාකරනු ලබනවා. වන සම්පත වනසන්නේ නැතිව, ඉහත සඳහන් ආකාරයට පයිනස් වගාවන්හි හෝ තේ වගාවන්හි එනසාල් වවන්නට හැකි නම්, එය ලාංකික අපට සුබ ආරංචියක් වනු ඇති. 

කවරයේ ඡායාරූපය- gettyimages

මූලාශ්‍රයයන්- official web ministry of plantation industries and export agriculture

Related Articles