සිංහල දෙමළ නව අවුරුද්දට හරිම ළඟ යි. ඒ ගැන අපි මුලින්ම අපිට මතක් කරන්නේ රූපවාහිනී දැන්වීම් මිස කොහාගෙ හඬ නම් නොවේ. පැරණි සිංහල සංස්කෘතිය තුළ අවුරුදු සැමරීම සකස් වී පැවතුණේ සොබාදහමත් එක්ක ජීවත්වන ආකාරයට යි. බුදුදහමින් ලැබුණු බලපෑමත් එයට එක් හේතුවක්. සෑම සිංහල සංස්කෘතික උත්සවයක්ම ගහකොළ, සුළඟ, ජලය සමග බැඳුණේ ඒ නිසා යි. අදටත් එය තරමක් දුරට දකින්නෙ ලැබෙන්නේ අවුරුදු චාරිත්‍ර අවස්ථාවල දී යි. අවුරුදු නැකත් සඳහා ඔසු ගුණ පිරි ගස්වල පත්‍රවල යුෂ භාවිතයත් පුරාණයේ පටන්ම සිදුවන දෙයක්. හුඟදෙනෙක් නම් එහෙම ගස් තිබෙන බවවත් දැනගන්නේ මේ නැකත් අහන විට පමණ යි. එසේ භාවිත කරන ශාකවල ගුණ ගැණ විමසා බැලීමට දැරූ උත්සාහයක් තමයි මේ.
සොබාදහම සහ අවුරුදු සිරිත්
බක් මහ මංගල්‍යයේ අරුත සශ්‍රීකත්වය යි. ගොවි ජනතාව කුඹුරුවල අස්වැන්න කපාගෙන නිවසට රැගෙනවිත් විවේකීව සිටින්නේ මේ කාලයේ දී යි. පලතුරු ඇතුළු ගස්වැල් පලබර වෙමින් භාග්‍යය සංකේතවත් කරනවා. භාග්‍යයය යන්න “බග” හෙවත් බක් යන වදනට හැරවී තිබනවා. පැරැණි සෙල්ලිපිවල ද බග යන වචනය සඳහන් වෙනවා. පොළොන්නරු යුගයේ දී අවුරුදු උත්සවය හැඳින්වූයේ බග උළෙල යනුවෙන්.
බක් මංගල්‍යයේ නැකැත් පත්‍රයට අනාදිමත් කාලයක පටන්ම ඖෂධීය ශාක සම්බන්ධ කරගෙන තිබෙනවා. එය වඩාත් කැපී පෙනෙන්නේ හිසතෙල් ගෑමේ උත්සවය දාට යි. 2021 අවුරුද්දේ හිසතෙල් ගෑමට නියමිතව ඇත්තේ අප්‍රේල් 17 වැනි සෙනසුරාදා දා පූර්වභාග 7.16ට යි. හිසට නුගපත් ද පයට කරඳ පත්‍ර ද තබා නුගපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගෑම සිදුකළ යුතු බව නැකත් පත්‍රයේ සඳහන් වෙනවා.
නුග ගසේ ඔසු ගුණේ
නුග ගස ලංකාව ඉන්දියාව වැනි ආසියාතික රටවල පැතිරී තිබෙන විශාල ශාකයක්. අප රටේ වියළි කලාපයේ වනාන්තරවල වගේම ගෙවතු අසලත් නුග ගස් බහුල යි. තෙත් කලාපයෙත් තැන්තැන්වල නුග දකින්න ලැබෙනවා. දැන්නම් ඉඩම් සීමාවීම නිසා පෞද්ගලික ඉඩම්වල තිබූ නුග ගස් කපා දමලා. ඉන්දියාවේ නුග පත්‍රවල ඉස්ම ඖෂධයක් ලෙස භාවිත කරනවා.
නුග පත්‍ර යුෂට කොත්තමල්ලි හා හකුරු ද මිශ්‍රකර පානය කිරීම පාචනය, අතීසාරය හා අම්ල පිත්ත රෝගයට ගුණදායක බව ඉන්දියාවේ ප්‍රචලි තයි. දත් හා වීදුරුමස් රෝගවලට ද නුග යුෂ ගුණදායක බව කියැවෙනවා. නුග පොතුවල කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ගුණයක් ද පවතින බව විශ්වාසයක්. නුග මුල්වල යුෂ රුධිරයේ සීනි මට්ටම පහක හෙළීමට උපකාරී වන බව ආයුර්වේදයේ සඳහන්.
කරඳ ගස
මෙවර සිංහල අවුරුද්දේ හිසතෙල් ගෑමේ දී දෙපාවලට පෑගීමට යෝජනාකර තිබෙන්නේ කරඳ ශාක පත්‍ර යි. බෙහෝ අවුරුදුවල මේ ශාකය හිසතෙල් ගෑමේ දී භාවිත කරනවා.
කරඳ ගස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මඟුල් කරඳ කියලා යි. තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේත් කරඳ ගස සුලබව තිබුණා. අද එය බොහෝ ගෙවතුවලින් ඉවත්වී ඇත්තේ ඉඩම් කොටස්වී ඉඩකඩ ඇහිරීම නිසා යි. කරඳ ගසේ මුල්, මුල්වල පොතු, කඳේ පොතු, කොළ, දලු, ඇට ආදිය දන්ත රෝග, උදර රෝග, ප්‍රමේහ, ගුල්ම, ඉරුවාරදය, ආමවාතය, පණු රෝග, රුධිර රෝග, වණ, වාතරක්ත, කුෂ්ඨ ආදිය සුව කිරීමට යොදා ගන්නවා. ඉදිමුම් සහ වේදනා නසන ගුණය ද, අක්මාව උත්තේජනය කරන රුධිරය පිරිසිදු කරන ගුණය ද කරඳවල අඩංගු බව ආයුර්වේදයේ සඳහන්.
කලකට පෙර ගම්වල දත් මැදීමට දැහැටි කූරු ලෙස යොදාගත්තේ කරඳ කෝටු යි. කුෂ්ඨ සඳහා කරඳ ඇට හා ඔළිඳ ඇට අඹරා ආලේප කිරීම අත්බෙහෙත් ලෙස අතීතයේ භාවිතා කළා. ලේ පිටවන අර්ශස් රෝගයට ප්‍රතිකාර වශයෙන් කරඳ දලු යුෂ යොදාන්නවා. කරඳ කොළ තම්බාගත් ජලයෙන් ස්නානය කිරීම සන්ධි වේදනා වැළැක්වීමට උපකාරී වෙනවා. කරඳ ඇට තෙල් කෘමිනාශක සහ විෂබීජ නාශක ගුණ සහිතයි.
හිස ගල්වන නානු
අවුරුදු සිරිත් නිමවන්නේ හිසතෙල් ගෑමේ සිරිතෙන්. හිසතෙල් ගාන්නේ මුලින්ම නානු ආලේප කිරීමෙන්. නානුවලට යොදාගන්නා ශාකමය ඔසු ගැන අද බහුතරයක් තුළ අවබෝධයක් නැහැ. මේ නානු සෑදීමට කලාඳුරු අල, කුංකුමප්පු, සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්ති, ගෝරෝචන, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග දමා පත අට එකට සිඳවා ගන්නවා. ඊට පසු කොහොඹ කොළ යුෂ, දෙහි ඇඹුල් එයට එක්කර රෙදි කඩකින් පෙරා භාවිතයට ගන්නවා. හිසතෙල් ගෑමෙන් පසු ස්නානය කරනවා.
දිවුල් ගසේ ගුණ
මේ අවුරුද්දේ පැරැණි අවුරුද්ද සඳහා ස්නානයට නියමිත දිනය යෙදී ඇත්තේ අප්‍රේල් 12 වැනි සඳුදාට යි. දිවුල් ගස පලතුරක් ලබාදෙන ශාකයක් පමණක් නොවේ, ඉහළ ඔසු ගුණ පිරි ගසක්. අප රටේ වියළි කලාපයේ කැලෑබදව හා තෙත් කළාපයේ අතරින් පතර දිවුල් ගස් වැවෙනවා. ඉන්දියාවේ වියළි ප්‍රදේශවල වගේම තායිලන්තය, බංගලි දේශය ආදී ආසියානු රටවලත් දිවුල් පැතිරී තිබෙනවා. වගා කිරීමෙන් තොරව වියළි කලාපයේ වනාන්තරවල සරුවට දිවුල් ගස වැවෙනවා.
සිංහල පාරම්පරික බෙහෙත් වට්ටෝරුවේ ප්‍රධාන ඖෂධයක් වශයෙන් දිවුල් පොතු, කොළ, ලාටු ප්‍රයෝජනයට ගන්නවා. සර්ප විෂට ප්‍රතිකාර කිරමේ දී දිවුල් ගසේ සෑම කොටසක්ම යොදාගන්නවා. දිවුල් ගෙඩි ආහාරයට ගැනීමෙන් ලේ පිරිසිදු කිරීම, විටමින් සී ඌනතාවය නිසා වැළඳෙන රෝගවලින් නිදහස්වීම වගේම දියවැඩියාව පාලනයත් සිදුවෙනවා.
කොහොඹ යුෂ
සමහර අවුරුදුවල පැරැණි අවුරුද්ද සඳහා ස්නානයට කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද භාවිත කරනවා. මේ නිසා අවුරුද්දට එක් දිනක් හෝ කොහොඹ යුෂ ගෑමට නැකැත්වලට ළැදි සමහරුන්ට සිදුවෙනවා. කොහොඹවල ඖෂධීය ගුණය වටහා ගත්තේ නම් අවුරුද්ද පුරාම එම යුෂ ආලේප කිරීමට සමහරු පෙළඹෙන බව නිසැක යි.
අප රටේ එතරම් නැතත් කොහොඹ ශාකයෙන් තැනූ ඖෂධ ඉන්දියාවේ විශාල ලෙස ප්‍රචලිත යි. එය වයිරස් හා බැක්ටීරියා නසන, උපත් පාලන සහ වේදනා නාශකයක් ලෙස භාවිත කෙරෙනවා. ආයුර්වේදයේ සහ යුනානි වෙදකමේ දී භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන්නේ මේ ගසේ කොටස්. කොහොඹ සමේ රෝග සඳහා ඉතා ගුණදායක යි. කොහොඹ තෙල්වලින් හිසකේ නිරෝගී කරවයි. අක්මාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන අතරම, රුධිරයේ සීනි පාලනය කිරීමටත් එය යෝග්‍ය යි.
අවුරුද්ද මතක් කරන එරබදු
අවුරුද්ද අපට මතක් කරවන ශාක වර්ග ද ඉතා වටිනා ඔසු වර්ග යි. සිංහල අවුරුද්ද ගමට දන්වන එක් ශාකයක් වන්නේ එරබදු යි. වැටවල්වල, බඩවැටිවල දක්නට ලැබෙන එරබදු ගසේ රත්පැහැ මල් පිපීම අවුරුද්ද ළඟාවන බවට ඉඟියක් සපයනවා. එරබදු කොළ මැල්ලුම ගමේ රසවත් ආහාරයක්. එය පණු අමාරුවලට ප්‍රත්‍යක්ෂ ගුණයක් ලබාදෙන පත්‍ර වර්ගයක්. කැඩුම් බිඳුම්, තැලුම්, ගෙඩි, වණ සුව කිරීමටද එරබදු ගසේ පංචාංගයම (පංචාංගය- මුල්, කොළ, පොතු, ගෙඩි, මල්) තේ, කෝපි වගා ඉඩම්වල අධික හිරු රශ්මියෙන් එම වගා ආරක්ෂා කිරීමට සෙවණ ශාකයක් ලෙස ද එරබදු ගස ඉතා ප්‍රයෝජනවත් සේවාවක් සපයනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක ම එරබදු ශාකය වැවෙනවා. ඉන්දියාවේ අතර හිමාල කඳු වැටියේත්, (ඊසාන දිග ආසියාවේ) ජාවා දූපත් වෙනිසියුලාව, මැඩගස්කරය, අපි‍්‍රකාව, බුරුමය, මලක්කාව ආදි රටවල ද එරබදු ශාකය සරුවට වැවෙනවා. කලකට පෙර අපේ රටේ සුලබව තිබූ එරබදු ගස අද බොහෝ පෙදෙස්වලින් සමුගෙන තිබීම නම් කනගාටුදායක යි.
කජු වාරේ
කජු ගස්වල ඵලදාව දරමින් කජු පුහුලන් එල්ලෙමින් පැවතීම බක් මාසය ගැන අපට පවසන තවත් පාරිසරික සංසිද්ධියක්. එදා ගම්වල ගෙවතුවල අනිවාර්යයෙන් කජු ගසක් දෙකක් තිබුණා. අවුරුද්දට හත්මාළුවට අවශ්‍ය කජු මද ලබාගන්නේ මේ කජුගස්වල ඉදී වැටෙන කජුවලින්. ඒත් අද කජු මද සුපිරි වෙළෙඳසල්වලින් මිල දී ගැනීමට තමයි ගම්වල අයටත් සිදුව තිබෙන්නේ.
කජු මදය කැලරි, මේද, ප්‍රෝටීන් හා කාබෝහයිඩ්රේට් අඩංගු ආහාරයක්. ඛනිජ ලවණ සහ විටමින් වර්ගවලින් ද එය පොහොසත්. කජු මදවලින් ලබාගන්නා කජු තෙල් ආහාර පිසීමට සහ සලාදවලට යොදා ගන්නවා. කජු පුහුලම් රසවත් මෙන්ම ගුණදායක පළතුරක්. ඒවා විනාකිරි තැනීමට සහ සහ මද්‍යසාර පෙරීමටත් යොදාගන්නවා. ඉන්දියාව සහ බ්‍රසීලයේ කජු පුහුලම්වලින් ජෑම් හා චට්නි නිපදවනවා.
සිංහල අවුරුද්ද හා පුරාණයේ බැඳී පැවැති මේ ශාකමය හා සොබාදහමේ සබඳතාව අද ක්‍රමයෙන් ලිහීයමින් පවතින බව යි පේන්නේ. හුඟදෙනෙක් අවුරුදු සිරිත් අනුගමනය කරන්නේ රූපවාහිනී වැඩසටහන්වලින්. එලෙස ඉදිරියටත් සිදුවුවහොත් කුඩා දරුවන්ට පින්තූරවලින් පමණක් කජු පුහුලම්, එරබදු මල් පෙන්වීමට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇති නේ ද?