මහනුවර නගරයේ සිට කිලෝ මීටර 4ක් කොළඹ දෙසට එනවිට මාර්ගය අද්දරට මහවැලි ගං නිම්නයේ පිහිටි අලංකාර කන්දක් අප නෙතට ලක්වෙනවා. කොළඹ පේරාදෙණිය මාර්ගයේ පිහිටි ගන්නෝරුව පාලම අසලින් දිවෙන හල්ලොලුව මාර්ගය ඇදී යන්නේ මේ කඳුවැටිය පාමුලින්.
පුරාණ දිවිදොස්ගල ලෙස හඳුන්වන්නෙත් මේ කන්දයි. සොබාදහමට පෙම් බැඳි පිරිස් අදත් ඉඳහිට ගන්නෝරුව කන්ද තරණය කර එම සොඳුරු පරිසරය විඳගැනීමට එනු දකින්නට පුළුවන්.
පළමු කෝපිවත්ත තිබුණ තැන
පුරාණයේ ඝන වනාන්තර පැතිර තිබුණු මේ කඳුවැටිය ඉංග්‍රීසි කාලයේ වතු වගාවට යොදා ගැනුණා. මේ නිසා මෙහි පැතිර තිබෙන්නේ නොඉඳුල් වනාන්තරයක් නම් නොවෙ යි. වර්ෂ 1825 දී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා පළමු කෝපිවත්ත වගා කළෙත් මෙහි බවයි පැවසෙන්නේ.
ඉන්පසු ඒ අවට පෙදෙස් තේ වගාවට යොදා ගත්තා. වනාන්තරයේ විශාලත්වය අද වන විට හෙක්ටයාර් 267කට සීමා වෙලා. යටිහලගල, මුරුතලාව, ගන්නෝරුව, උඩගම, හල්ලොලුව යන ගම් වනාන්තරයට යාබද ව තිබෙනවා. එය පුරාණ බෙදීම් අනුව අයත් වන්නේ ගඟවට කෝරළේ මැදසිය පත්තුවට යි.
මහනුවර අවට පිහිටි කුඩා වනාන්තර වන උඩවත්තකැලේ, හන්තාන, දුනුමඩලාව වැනි තැන් අතරින් ජෛව විවිධත්නයෙන් ඉහළ ම තැනක් හිමි කර ගන්නේ ගන්නෝරුව යි. මේ වනපෙතේ ලංකාවට ආවේණික සත්ව විශේෂ කිහිපයක් ම සොයා ගෙන තිබෙනවා.මෙය පුරාණයේ මහනුවර පැවති වනාන්තරයක ආදර්ශයක් ලෙස ද ගතහැකි බව පරිසරවේදීන් පවසනවා. කඳුවැටියේ එක අන්තයක තුත්තිරිගල නම් ගලත්, අනෙක් අන්තයේ දිවිදොස්ගලත් පිහිටා තිබෙනවා.
වනය ආසන්නයෙන් මහවැලි ගංගාව ගලා බසින නිසා අපූරු පරිසර පද්ධතියක් එහි නිර්මාණය වී තිබෙනවා.
කොහොඹා කංකාරියේ සඳහන් වන දිවිදොස්ගල මෙහි පිහිටා ඇති පර්වතය බව පැවසෙනවා. කන්දේ උස ම ස්ථානය දිවිදොස්ගල වන අතර එහි උස මුහුදු මට්ටමේ සිට මීටර 755ක්. මෙම ස්ථානයට මහනුවර සානුවේ රමණීය දර්ශනයක් දැකගත හැකි යි. අලගල්ල, බතලේගල, උතුවන්කන්ද සහ දොළොස්බාගේ කඳුවැටි මෙහි සිට අලංකාර අයුරින් දැකගත හැකියි. අහස පැහැදිලි දිනවල දී සමනල කඳුවැටියත් ගන්නොරුව කන්දට දිස් වෙනවා. සබරගමු කඳුවැටි මෙන් ම මහනුවර අවට කඳුකරය ද එතැනට දිස්වෙනවා.
වන සංරක්ෂණ දෙපාර්තම්න්තුවට අයත් මහෝගනී වගාවක් ද මෙහි පිහිටා තිබෙනවා. මෙම රක්ෂිත වනය යටිනුවර වන බීට්ටුවට අයත් වෙනවා.
ගමන් මඟ
දිවිදොස්ගල හෙවත් ගන්නෝරුව කන්දට පැමිණීමට මාර්ග 2ක් තියෙනවා. මහනුවර ඉදලා එනවනම් ගැටඹේ පාලම උඩින් ගන්නෝරුව කෘෂිකර්ම මධ්‍යස්ථාන ගොඩනැඟිලි පසුකරමින් රණබිම රාජකීය විද්‍යාල අසලට පැමිණීමෙන් ද පේරාදෙණිය නගරයේ සිට ගන්නොරුව මාර්ගයේ රණබිම රාජකීය විද්‍යාලයට එන මාර්ගය ඔස්සේ ද එහි පිවිසිය හැකි යි.
රණබිම විද්‍යාලය අසලින් දිව යන අඩි පාරක් ඔස්සේ ගන්නෝරුව කන්දට ළඟාවීමට පුළුවන්.
දිවිදොස්ගල කතාව
කොහොඹා කංකාරියේ දේව කතාව අනුව මුලින් කුවේණිට තිබූ දිවි දෝෂය පසුව ලංකාවේ රජ වූ පඬුවස්දෙව් රජුට එල්ල වෙනවා. දිවි දෙන දිගු දිවක් මවාගෙන පඬුවස්දෙව් රජු නිදන විට දිව දිගු කරනවා. රජු නින්දෙන් බය වී නැඟිටිනවා. පඬුවස්දෙව් රජු දිවි දෝෂයෙන් විඳින ශාපය දකින ශක්‍ර දෙවිඳු දෝෂය දුරුකිරීමට ඊශ්වර දෙවි මඟින් රාහුට පවරනවා. රාහු විශාල ඌරකුගේ වෙස්ගෙන දඹදිව මල රජුගේ උයන වනසනවා. මල රජු තම උයන වනසන ඌරා ගැන ආරංචි වී ඌ ලුහුබඳින්නට පටන් ගන්නවා. මල රජුට බාල සහෝදරයන් තිදෙනෙක් සිටි අතර මල රජු සමඟ මෙම සහෝදරයන් තිදෙනා ද ඌරා ලුහුබඳිනවා.
ඌරා මුහුදට පැන පීනා ලංකා රාජ්‍යයට ඇතුළු වන අතර එවිට සක් දෙවි මල රජු ඉදිරියේ පෙනී සිට පඬුවස්දෙව් රජු දිවි දෝෂයෙන් මුදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මල රජු ඒ පිළිගෙන බමුණු වෙස් ගෙන ඌරා ලුහුබැඳ එන අතර රට මැද හන්තාන කන්ද නුදුරු ගන්නෝරු කන්දට ආ ඌරා අතුරුදහන් වෙනවා. මල රජු ගන්නෝරු කන්දේ දී විශාල යාගයක් කොට රජුට වැලඳී තිබු දිවි දෝෂය දුරලනවා. ගන්නොරු කන්ද, අදත් දිවිදොස් කන්ද ලෙසින් හඳුන්වන්නේ ඒ නිස යි. පැන ගිය ඌරා අතුරුදහන් වූ කන්ද හන්තාන හෙවත් ඌරාගල කන්ද ලෙසින් ප්‍රකට වෙනවා. කෙහොඹා කංකාරියේ මේ සිද්ධි කවි ආකාරයෙන් ගායනා කිරීම දකින්නට පුළුවන්.
ගන්නෝරු සටන
දිවිදොස්ගල හා මේ අවට තිබෙන ප්‍රදේශය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ ඉතිහාසයේ සදහන් වන ගන්නෝරුව සටන සිදුවූයේ මෙම භූමියේ වීම නිසා යි. 1638 දී සිදු වූ එම දරුණු සටනින් පෘතුගීසින් පරදා උඩරට හමුදාව ජය අත්කර ගත්තා. එකල දිවිදොස්ගල කඳු මුදුනේ සිට පෘතුගීසි හමුදාවට දුනුවායන් පහර දුන් බව පැවසෙනවා.
1638 වසරේ පෘතුගීසි හමුදාවේ කපිතාන් ජෙනරාල් දියෝගු ද මේලෝ දහසක පමණ පෘතුගීසි භට පිරිසක් සහ තවත් දහස් ගණනක කුලී හේවායන් ද පිරිවරාගෙන කන්ද උඩරටට පැමිණ මහනුවර ඇතුළු අවට ගම්මාන ගිනි තබා විනාශ කරමින් දේපොල කොල්ල කෑවා. ඉන්පසු ජයග්‍රාහී ලීලාවෙන් කොළඹ බලා නැවත යමින් සිටිය දී එම වසරේ මාර්තු මාසේ 28 වැනිදා නවාතැන් ගෙන ඇත්තේ ගන්නෝරුව රණබිම ප්‍රදේශයේ යි.
මොවුන් එතැන නැවතී සිටිය දී මහවැලි ගඟ පිටාර ගැලීම නිසා වෙඩි බෙහෙත් වැනි පුපුරණ ද්‍රව්‍ය ද වතුරට හසු වී තෙත බරිත වී තිබෙනවා. පසුව ඒවා ද නවාතැන්ගෙන සිටි ස්ථානයේ අතුරා වියළා තිබෙනවා. මේ බව ආරංචි වූ සිංහල හේවායන් පෘතුගීසි කඳවුර කොටුකර ඔවුනට පහර දීමට පටන් ගත්තා. එසේ සටන ඇවිළෙමින් තිබුණු අවස්ථාවේ ගන්නෝරුව කන්ද මුඳුනේ පිහිටි දිවිදොස්ගලට නැග ගත් යටිහලගල ගමේ සිටි සෙන්පතියකු වූ රාජකරුණා වෙල්ලි බ්‍රාහ්මණ විදානේතුමා ඇතුළු පිරිස පිරිස එතැන සිට දුනු හී මානා පාතුගීසි හමුදාවට පහර දීම ආරම්භ කර තිබෙනවා.
මේ අවස්ථාවේ ක්‍රියාත්මක වූ වෙල්ලි බ්‍රාහ්මණ ගැටපේලි නම් සෙන්පතියා ඊ පහරක් විද පෘතුගීසි හමුදාවට නායකත්ව දුන් දියාගෝ ද මේලෝ මරා දමනවා. ගන්නොරු සටනේ දී පෘතුගීසි හමුදාවේ විශාල පිරිසක් මරා දමා ඔවුනට උන්හිටි තැන් අහිමි කළ රාජකරුණා වෙල්ලි බ්‍රාහ්මණ විදානේ ඇතුළු පිරිසට පසුව දෙවැනි රාජසිංහ රජු ත්‍යාග ප්‍රදානය කළ බවත් ජනප්‍රවාදවල පැවසෙනවා.
ජෛව විවිධත්වය
පහතරට තෙත් කලාපීය වනාන්තර මෙහි දැකගත හැකි යි. කන්දේ මුදුනට ආසන්න කොටස්වල වනයට සිදු ව ඇති හානිය අඩු යි. මේ වනාන්තරයෙන් ශාක විශේෂ 117 හඳුනා ගෙන තිබෙන අතර ඉන් විශේෂ 14ක් අප රටට ආවේණික යි.
පහළ බෑවුම්වල බැදිදෙල්, මලබොඩ, දවුල්කුරුඳු, හවරිනුග, ගිනිසපු, මාපත් මහෝගනී, ඇටඹ ආදී ශාක පැතිර තිබෙනවා. තැනින් තැන පිහිටි ගල් පර්වත සහ තණ තලා වනාන්තරයට විවිධත්වයක් එක් කිරීමට සමත්. මහවැලි නදියේ ජල පෝෂක ප්‍රදේශයෙක් ලෙසත් මේ කන්ද වැදගත් වෙනවා.
පක්ෂි විශේෂ 92ක් වනයෙන් වාර්තා වන අතර ක්ෂීරපායී විශේෂ සංඛ්‍යාව 16ක්. ක්ෂීරපායින් අතරින් විශේෂ හතරක් වඳවී යාමේ තර්ජනයට ලක්වූ සතුන්. මෙම වනපෙත කටුසු විශේෂ 19කට අභයබිමක් වී තිබෙනවා. ඉන් විශේෂ 9ක් ආවේණිකයි. රණවනගේ මාපිලා යනු මෙම කන්දට පමණක් ආවේණික සර්පයෙක්.
2007 දී පර්යේෂක මෙන්ඩිස් වික්‍රමසිංහ මේ වනයෙන් නව හූනන් විශේෂයක් ද හඳුන්වා දීමට සමත් වුණා. එම හූනා Cnemaspis ranwellai හෙවත් රංවැල්ලගේ කටුස්සා ලෙස නම් කර තිබෙනවා. ලංකාවට ආවේණික ගැටහොඹු කටුස්සන් සහ පුල්ලි ගස් මැඩියන් ද මෙහි දිවි ගෙවනවා. මෙහි දිවි ගෙවන තවත් දුලබ සත්ව විශේෂයක් වන්නේ Kandian day gecko නම් හූනන් විශේෂය යි.
සොඳුරු පරිසරය
මේ කඳු මුදුනට පේරාදෙණිය හා මහනුවර ප්‍රදේශවල ඇති සුන්දරත්වය මනරම් ව දිස්වෙනවා. මහවැලි ගඟත් කඳුකරය අතරින් ගලන අන්දම දැකගන්නට එහිදී පුළුවන්. මෙය තවමත් විශාල පිරිසක් එන සංචාරක ගමනාන්තයක් නොවෙයි. නමුත් කන්දේ මෙන් ම කඳුපාමුලත් ප්ලාස්ටික්, පොලිතීන් ආදියෙන් දූෂණය වෙලා. මේ අවට අධික ජනගහනයක් වාසය කිරීමත් එයට තවත් එක් හේතුවක්.