සන්නිවේදනය මිනිස් පැවැත්ම සමග ගැඹුරින් බැඳී පවතින අනිවාර්ය අංගයක්. මිනිසාට සන්නිවේදනයෙන් තොරව ජීවත්වීමට බැහැ. අනෙකා සමග සබඳතා ඇතිකරගැනීමට, අදහස් ප්‍රකාශ කිරීමට මෙන්ම, විශ්වසනීයත්වය ගොඩනැගීමට උපකාරී වන්නේ සන්නිවේදනය යි. මිනිස් පරිණාමයත් සමග මිනිසා තම සන්නිවේදන ක්‍රමත් ඒ සමග දියුණු කරගැනීමට උත්සුක වූයේ ආහාර, ජලය තරමටම සන්නිවේදනයත් මූලික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගත නිසා යි. මේ ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් පනවාගත් සංචරණ සීමා මැද වුවත්, එදිනෙදා කටයුතු සාධනීය මට්ටමෙන් කළමණාකරණය කරගැනීමට අපට හැකි වුණේ සන්නිවේදනය තාක්ෂණයක් ලෙස දියුණු වී ඇති නිසා යි.
මිනිසා පමණක් නොව, සත්ත්ව රාජධානියට අයත් අනෙකුත් සාමාජිකයන් අතර වුවත් විවිධාකාරයෙන් සන්නිවේදනය සිදුවන ආකාරය අපට නිරතුරුවම අත්දැකිය හැකියි. හඬ නැගීම,වලිගය වැනිම, දත් විලිස්සීම ආදිය සතුන්ගේ සන්නිවේදන ක්‍රමයන් කීපයක්. නමුත් සන්නිවේදනය කළ හැකි එකම ජීවීන් කොටස සතුන් පමණක් නොවෙයි. ශාක ද තොරතුරු හුවමාරු කරගැනීමේ හා සම්පත් හුවමාරු කරගැනීමේ දී දක්ෂ ලෙස ක්‍රියාකරන ජීවින් කොට්ඨාශයක්. නමුත් ඒවා සිදුවන්නේ අපගේ ඇසට නොපෙනෙන සහ නොදැනෙන ඇති සූක්ෂම මට්ටමකින්. ඔවුන්ගේ සන්නිවේදනයත් එක්තරා පැතිකඩකින් දියුණු කරගත් තාක්ෂණයක්. ශාක සන්නිවේදන ක්‍රම කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන ඒමට යි මේ සූදානම් වෙන්නේ.
ශාකවලට අනතුරු හඟවන්න පුළුවන් ද?
අනතුරකින් බේරීම කියන්නේ සත්ත්ව ලෝකයේ නම් ඕනෑම සතෙකුට පරිනාමයෙන්ම ලැබෙන මූලික දැනීමක්. ශාකවලටත් මේ දැනීම තිබෙනවා. ඒවාට අනතුරු හඟවන්න විතරක් නෙවෙයි, අනතුරෙන් ගැලවෙන්න තවත් කෙනෙකුගෙන් උදව් ඉල්ලන්නත් පුළුවන්. නමුත් ශාකවල මේ සන්නිවේදනය සිදු වෙන්නේ රසායනිකව.
නිකමට හිතන්න, ඔබ ගෙවත්තේ තණකොළ කපනවා කියලා. සමහර තෘණ හෝ වල් පැළෑටි කැපී ගිය විට කිසියම් ගන්ධයක් නිකුත් වෙන හැටි අත්දැකලා තියෙනව ද? ඒ කියන්නේ කිසියම් වාෂ්පශීලී රසායනික සංයෝගයක් මේ ශාකවලින් නිකුත් කෙරෙනවා කියන එක. සමහරවිට, මේ වාෂ්පශීලී රසායනික සංයෝගය, එම ශාකය මුහුණ දුන් අනතුර ගැන සිදුකරපු දැනුම්දීමක් වෙන්නත් පුළුවන්. නිදසුනක් ලෙස, වනගතව වැවෙන දුම්කොළ විශේෂයකට පුළුවන් තමන්ට හානි කරන්න එන දළඹු විශේෂයක් හඳුනා ගන්න. එම දළඹුවගේ ඛේටය ශාකය මත තැවරුණ විට හෝ පටක හානියක් සිදුවූ විට ශාකය විසින් වාෂ්පශීලි රසායනික සංයෝගයක් ගුවනට මුදා හැරෙනවා. මඳ වේලාවකින්, එම රසායනික සංයෝගයට ආකර්ෂණය වූ කෘමීන් ශාකය වෙත පියඹා එන්නේ දළඹුවන්ගේ මරණ වරෙන්තුවත් රැගෙන යි. තමන්ට හානි කරන්න පැමිණි දළඹුවන්ට විරුද්ධව රසායනික ද්‍රව්‍යයක් නිකුත් කර දළඹුවන්ගේ විලෝපිකයන් ගෙන්වා ගැනීමෙන් මෙම දුම්කොළ ශාකය තමාවත් තම සගයන්වත් ආරක්ෂා කරගන්නවා.
ඒ වගේම මේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාරයක් ලෙස ශාකවලට වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒ තමයි හානියට පත් ශාකය රසායනිකව නිකුත් කරන සංඥාවට ප්‍රතිචාර දක්වමින්, අනෙකුත් ශාක ඇති කර ගන්නා ආරක්ෂණ විධිවිධාන. උදාහරණයක් ලෙස, උද්භිද විද්‍යාඥයින් සේජ්බ්‍රෂ් නම් පඳුරු ශාකය ආශ්‍රිතව අපූරු නිරීක්ෂණයක් සිදු කොට තිබෙනවා. සේජ්බ්‍රෂ් ශාකයක් දළඹුවන්, පණුවන් වැනි පළිබෝධකයෙකුගෙන් හානියට ලක් වූ විට, එම ශාකය ට්‍රිප්සින් ප්‍රෝටීනේස් නිෂේධක (trypsin proteinase inhibitors -TPIs) නම් වූ ආරක්ෂක රසායන ද්‍රව්‍යයක් නිපදවනවා. මෙම ප්‍රෝටීන මඟින් උක්ත සඳහන් පළිබෝධකයන්ගේ ප්‍රෝටීන ජීරණ හැකියාව පහත හෙලන අතර, එයින් ඔවුන්ගේ වර්ධනය ක්‍රමිකව අඩාල කරනවා. ලස්සනම කරුණ වන්නේ සේජ්බ්‍රෂ් ශාකය නිකුත් කරන වාෂ්පශීලි රසායනිකය මඟින් තමා වටා සිටින අනෙකුත් සේජ්බ්‍රෂ් ශාකවලට ද ආරක්ෂා වෙන ලෙස අනතුරු ඇඟවීම යි. ඒ අනුව එම ශාක ද ළඟ එන අනතුරක් වෙනුවෙන් කල්තියාම සූදානම් වෙනවා.
සන්නිවේදනය තම වාසිය තකා වෙන්නත් පුළුවන්
මෙය නම් ඇලීලෝපති නම් ක්‍රියාවලිය (වර්ධනය, ප්‍රජනනය, සහ ආරක්ෂාව සඳහා ශාක විසින් ජෛවරසායනික නිපදවීමේ ක්‍රියාවලිය) සහ එකිනෙකා අතර පවතින තරගය හා බැඳුනු කාරණයක්. ඇතැම් ශාක විශේෂයන් යම් භූමි ප්‍රදේශයක් තම විශේෂයටම වෙන්කර පවත්වාගැනීමට සහ වෙනත් විශේෂයන් තම භූමියෙන් බැහැර කිරීමට විශේෂ රසායනිකයන් නිපදවනවා. මෙම විෂ සහිත රසායනික සංයෝගයන් මුදා හැරීමෙන්, එම ශාකවලට තම තරගකරුවන්ගේ වර්ධනය වළක්වා ගන්න පුළුවන්. බොහෝ ආක්‍රමණික ශාක විශේෂයන් මෙම ක්‍රමය උපයෝගී කර ගනිමින් දේශීය පරිසරයන් අත්පත් කර ගනිමින් ලෝකය පුරා පැතිරෙනවා. උදාහරණයක් ලෙස දකුණු ඇමරිකාවෙන් සම්භවය වී, ඇන්ටාර්ක්ටිකාව හැර අනෙක් සෑම මහද්වීපයකම පැතිරී ගිය water hyacinth (ජපන් ජබර) නම් ආක්‍රමණික ශාකය හඳුන්වන්න පුළුවන්.
කෙසේ වෙතත්, සමහර ශාක මෙය හමුවේ සටන්කොට තම පැවැත්ම ආරක්ෂා කරගන්න සමත්කම් දක්වන අවස්ථාත් තියෙනවා. ලුපින් නම් ශාකයේ මුල්වලින් නිපදවන ඔක්සලික් අම්ල ස්‍රාවය මඟින් නැප්වීඩ් නම් ආක්‍රමණික ශාකය නිපදවන විෂ රසායනික ද්‍රව්‍යවලට එරෙහිව ආරක්ෂිත බාධකයක් සාදන අවස්ථාව උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. ලුපින් ශාකයේ මෙම සටන්කාමීත්වය නිසා එම ශාකය ආශ්‍රිතව දිවි ගෙවන අනෙකුත් ශාකත් මෙම ආක්‍රමණික විශේෂවලින් ආරක්ෂා වෙනවා.
ශාක අතරත් සිය ඥාතීන් හඳුනාගත හැකි යාන්ත්‍රණයක් තිබෙනවා ද?
ශාකත් තමා අවට ඇති වෙනත් ශාක පිළිබඳව අවබෝධයෙන් පසු වෙනවා. එම අවබෝධය ඔවුන්ට වැදගත් වෙන්නේ, සම්පත් සඳහා තරග කිරීම, ප්‍රමාණවත් හිරු එළියක් නොමැති විට ඒ බව දැනුම්වත් වීම, සහ අන්තරායන් පිළිබඳව තොරතුරු ලබාගැනීම වැනි කාරණා උදෙසා යි. පර්යේෂණයන් මඟින් පෙන්වා දෙන්නේ සතුන් මෙන් ශාක ද ඔවුන්ගේ ඥාතීන් හඳුනාගෙන, තම දිවි පැවැත්ම උදෙසා එකම විශේෂයන් සමග අන්තර්ක්‍රියා කරන බව යි. සතුන් අතර මෙන් නොව ශාක ලෝකයේ ඥාති සබඳතා ඇතිකරගැනීම ගැන තවමත් අපට ඇත්තේ අඩු අවබෝධයක් වුව ද, එය සිදුවෙන ආකාරය ගැන විවිධ අධ්‍යනයන් තුළින් තොරතුරු රැස් කරගෙන තිබෙනවා.
එක්තරා අධ්‍යයනයකින් හෙළි වූ අන්දමට සෝයා බෝංචි, සී රොකට් වැනි ශාක ස්වභාවික පරිසරයේ දී ආගන්තුක විශේෂ සමග එකට වැඩීමට එතරම් කැමැත්තක් නොදක්වන අතර, තම විශේෂයටම අයත් සාමජිකයන් සමග සමීපව වැඩීමට වැඩි කැමැත්තක් දක්වනවා. තවදුරටත් කළ අධ්‍යයනයන්ට අනුව සී රොකට් ශාක කිහිපයක් එකම බඳුනක වැවූ විට ඔවුන්ගේ මුල් වර්ධනය සීමාසහිතව සිදු වූ බවත්, එම ශාකය සමග වෙනත් ආගන්තුක විශේෂයක් එකම බඳුනක වැඩෙන්නට ඉඩදුන් විට අනෙක් විශේෂ සමග හොඳින් තරග කිරීම සඳහා මුල් වර්ධනය හොඳින් සිදු කරගන්නා බවත් නිරීක්ෂණය කොට තිබෙනවා. මෙසේ එකිනෙකා හඳුනාගැනීමත් රසායනිකව සිදුවන සන්නිවේදන ක්‍රියාවලියක් බවට විද්‍යාඥයින් සැක පහළ කරනවා.
කෙසේ නමුත් ශාක අතර සිය ඥාතීන් හඳුනා ගැනීමට තිබෙන හැකියාව තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන කාරණයක් වන අතර, ශාකවලට එතරම් දියුණු සන්නිවේදන හැකියාවන් නොමැති බව ඇතැම් අය තර්ක කරනවා. නමුත් බොහෝ විෂය ප්‍රාමාණික විද්‍යාඥයින් මේ කුතුහලය දනවන කරුණ තවදුරටත් අධ්‍යයනය කරමින් පවතිනවා.
අපට නොපෙනෙන සන්නිවේදන ජාලය, “දිලීරක මූල”
මේ සියළු ශාක සන්නිවේදන ක්‍රම අතුරින් විශ්මයජනකම සන්නිවේදන ක්‍රමය වන්නේ මෙම දිලීරක මූල මඟින් සිදුවන සන්නිවේදනය යි. සැබැවින්ම මෙය සජීවිව පවත්නා අන්තර්ජාලයක් තරමටම විහිදුණු, සංකීර්ණ සන්නිවේදන ජාලයක් වැනි දෙයක්. මේ පිළිබඳව වැඩිදුර විස්තර කිරීම්වලට යාමට මත්තෙන් දීලිරක මූලයක් යනු කුමක්දැ යි වටහාගන්න එක වැදගත්.
දිලීරක මූලයක් කියන්නේ යම් දිලීර විශේෂයක් සහ ශාකයක මුල් පද්ධතිය සමග ඇතිවෙන සහජීවන සම්බන්ධතාවයකට. මෙහිදී අදාළ සහජීවන සබඳතාවයට සහභාගී වෙන දිලීර විශේෂය, ශාකයේ මුල් තුළ හෝ මුල්වල මතුපිට වැඩෙමින් මේ දිලීරක මූල පද්ධතිය සෑදීමට දායක වෙනවා. මේ සහජීවන සබඳතාවය මඟින් දෙපාර්ශවයටම වාසි සැලසෙනවා. එහිදී දිලීරය විසින් ශාකයට ජලය හා විවිධ පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට පහසුකම් සපයන අතර, ශාක විසින් ප්‍රභාසංස්ලේෂණය මඟින් නිපදවෙන ආහාර හා පෝෂ්‍ය පදාර්ථ දිලීරයට සැපයෙනවා. මෙම හුවමාරුවෙන් නිර්මාණය වන පෝෂක චක්‍ර නිසා පාරිසරිකව මෙන්ම, ශාකවල පරිණාමියව සහ ව්‍යුහාත්මකව වැදගත් සාධකයක් බවට මේ දිලීරක මූල පත්වෙනවා.
බොහෝවිට දිලීරයක අපේ ඇසට පෙනෙන කොටස වන්නේ එම දිලීරයේ ප්‍රජනන කොටස යි. මේ ප්‍රජනන කොටස තමයි අපි “හතු” ලෙස හඳුන්වන්නේ. නමුත් සෑම දිලීරයක්ම හතු සාදන්නේ නැති බව අප මතක තබා ගත යුතු කරුණක්. මේ හත්තක් ආශ්‍රිතව තිබෙන පස තරමක් පෙරළා බැලුවහොත් අපට සිහින් කෙඳි වැනි ජාලයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ සිහින් කෙඳි වැනි ජාලය හඳුන්වන්නේ “මයිසීලියම” කියලා. ගසක මුල් පද්ධතියකට වඩා දිලීරයක මයිසීලියම ඇතැම් විට බොහෝ හොඳින් පස තුළ වැඩී පැතිරී තිබෙන්න පුළුවන්. ඉතින් මේ සුවිශාල දිලීර ජාලය ශාක මුල් සමගත් සම්බන්ධ වී, වනාන්තරයක වගේ නම් යාබද ශාකවල මුල් පද්ධතිය දක්වාත් පැතිරී, අවසානයේ සුවිශාල ජාලයක් සාදන්න සමත් වෙනවා.
වනාන්තරයක වෙසෙන පැරණි වෘක්‍ෂයන් මෙම දිලීරක සබඳතාවය වඩාත් හොඳින් ඇතිකර ගෙන තිබෙන බව නිරීක්ෂණය කොට තිබෙනවා. එම පැරණි ශාකවල මූලයන් සාපේක්ෂව පසේ ගැඹුරට විහිදී ඇති නිසා ජල ප්‍රභවයන් වෙත ළඟාවීම පහසු යි. හොඳින් ඇති කරගත් දිලීරක මූල සහසම්බන්ධතාවය නිසා පෝෂ්‍ය පදාර්ථවලින් ද අඩුවක් නැහැ. මෙම වැඩිහිටි ශාකයන් මෙම මූල පද්ධතිය හා සම්බන්ධ දිලීර හරහා වඩාත් ළාබාල තරුණ ශාකයන් කරා ජලය යවන බව නිරීක්ෂණය කොට තිබෙනවා. එමෙන්ම මෙම වැඩිහිටි ශාකයන් තමා අවට වෙසෙන එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන ශාකයන් ඒවා එවන ආපදා සංඥා මඟින් හඳුනාගෙන, ඒවාට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් නිකුත් කිරීමට ද මෙම දිලීරක මූල පද්ධතිය භාවිතා කරනවා.
දිලීරක මූල ජාලයන් ඉතා සංකීර්ණ වන අතර බොහෝ විට මෙම ජාලයට බහුශාක පමණක් නොව බහු විශේෂයන් ද ඇතුළත් වන පරිදි ගොඩනැඟී තිබෙනවා. ඊට සම්බන්ධ වන දිලීර වර්ගය අනුව විවිධ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව මේ වනවිට පර්යේෂණයන් සිදුවෙමින් පවතිනවා. පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ මෙම ජාලයන් තුළින් ශාක අතර පෝෂ්‍ය පදාර්ථවලට වඩා දේවල් හුවමාරු කරගත හැකි බව යි.
වරෙක මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයයේ ක්ෂුද්‍රජීවී පරිසරවේදියෙකු වන මහාචාර්ය ඩේවිඩ් ජොන්සන්ට අවශ්‍ය වූයේ පූර්ව අනතුරු ඇඟවීම් යැවීම සඳහා මෙම දිලීරක මූල ජාල භාවිතා කළ හැකි ද යන්න සොයා බැලීම යි. ඒ අනුව ඔහු යම් පැළෑටි විශේෂයකට කුඩිත්තන් හඳුන්වාදුන් අතර, ඉන්පසු අසල්වැසි ශාකයන් ප්‍රතික්‍රියා කළ ආකාරය ගැන ඔහු කරුණු ගෙනහැර දැක්වූයේ මෙලෙස යි.
“මේ කූඩිත්තන් තම අසල්වැසියාට පහර දෙන විට අවට ශාක ප්‍රජාව ඊට දක්වන ප්‍රතිචාරය සමාන වන බව අප සොයා ගත්තා. නමුත් ඒ ප්‍රතිචාරය දක්නට ලැබෙන්නේ එම ශාකවල මූල පද්ධතීන් මෙම පොදු ක්ෂුද්‍ර ජීවී දිලීර ජාලයන් හා සම්බන්ධ වූ විට පමණ යි.”
ඒ අනුව දිනෙන් දින මේ අපූරු සහජීවී සම්බන්ධය පිටුපස තිබෙන කෘත්‍යාත්මක කරුණු විස්තාරණය වෙමින් තිබෙනවා. මෙලෙස ශාක එකිනෙකා සමග ඇතිකර ගෙන තිබෙන සන්නිවේදන ක්‍රම නිසා ඔවුන් වාසය කරන පරිසර පද්ධතිය, සියලු වැසියන් එකිනෙකා හා සම්බන්ධ වූ තනි සුපිරි ජීවියෙක් ලෙස සැලකීම ද වරදක් නැහැ.
ඇතැම් විට ඔබත් සිංහරාජය, කන්නෙළිය වගේ වනපෙත්වල සැරිසරා ඇති. එවැනි වනාන්තරයක්, ජෛව පද්ධතිය තුළ තිබෙන අපූරු සන්නිවේදන ජාලයක් ලෙසත් අපට සැළකිය හැකියි. අපි තබන පියවරක් පාසා එම පොළව තුළත්, අවකාශය තුළත්, ශාක එකිනෙකා අතර අනේක විධ තොරතුරු සන්නිවේදනය කර ගනිමින් සිටිනවා වෙන්න පුළුවන්. අපි ඒ තොරතුරු හුවමාරුවෙන් තවමත් අනාවරණය කරගෙන තිබෙන කොටස ඉතාම ස්වල්පයක් වීමේ හැකියාව ඉතාම වැඩියි.