නාමල් උයන රක්ෂිතයේ සහ කලාවැව රක්ෂිතයේ වසර 50 කට අධික කාලයක් සැරිසැරූ “බරණ” නම් ඇත් රජුගේ මරණයත් සමඟ මෙරට අලි – ඇත් මරණ සම්බන්ධයෙන් වන කතාබහ නැවතත්ව කරළියට පැමිණ තිබෙනවා. නාමල් උයන රක්ෂිතය ඉදිරිපිට වන ලැහැබ්ක වැටී මිය ගොස් සිටි බරණ නමැති ඇතාගේ මළ සිරුර ප්‍රදේශ්වාසීන් සොයාගෙන ගල්කිරියාගම වනජීවී නිලධාරීන් ඒ ගැන දැනුම්වත් කොට තිබුණා.
බරණ නමැති මෙම ඇතාගේ සොඬයේ පිලිස්සුණු තුවාල කිහිපයක් දක්නට තිබෙන බවත්, කිසියම් පිරිසක් මෙම ඇතා ගේ ජීවිතය විනාශ කර ඇති බවටත් ප්‍රදේශවාසීන් සැක පළ කර තිබුණා. මේ මෙරට අකාලයේ මිය ගිය අලි ඇතුන්ගෙන් කෙනකු පමණ යි.
අලින්, ඇතුන් කියන්නේ පුරාණයේ පටන් පූජනීයත්වයෙන් සැලකුණු සතෙක්. අප රටේ කලක පටන්ම අලි – මිනිස් අරගලයක් ගැන වාර්තා වෙනවා. මෑතකදී මේ අරගලය ඉහළ ගොස් අලි ඇතුන් වගේම මිනිස් මරණත් ඉහළ ගියා.
පසුගියදා වාර්තා වුණේ ලෝකයේ වාර්ෂික ව වැඩි ම අලි ඇතුන් සංඛ්‍යාවක් ඝාතනය වන රට ශ්‍රී ලංකාව බව යි. මේ ඒ ගැන සොයා බැලීමට ගත් උත්සාහයක්.
අලි මරණවලින් ලෝක වාර්තාවක්
ලොව අලි – මිනිස් ගැටුම මඟින් වැඩි ම අලින් සංඛ්‍යාව සහ දෙවැනි වැඩි ම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වන බවට පසුගිය දා සිදුකළ විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. වර්ෂ 2010 – 2019 අවුරුදු 10ක කාලසීමාව තුළ මෙරට වාර්තාවූ අලි – මිනිස් ගැටුම මූලාශ්‍ර කරගෙන ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ සංරක්ෂණ පර්යේෂණ ආයතනය යන ආයතනවලින් තමයි මේ අධ්‍යයනය කර තිබෙන්නේ. සුපුන් ළහිරු ප්‍රකාශ්, ආචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න සහ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයන් ඒ සඳහා සහභාගි වී තිබෙනවා.
මේ ගැන පසුගියදා ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවලින් ද හෙළිවුණා. එම වාර්තා අනුව අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන් ම අලි ඇතුන් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්වී අවසන්. මෙයට පෙර වැඩි ම අලි ඇත් මරණ සිදු වුණේ අප්‍රිකානු රටවල යි. ඒ දළ ලබා ගැනීම සඳහා ඝාතනය කිරීමෙන්. වසරකට ශ්‍රී ලංකාවේ මිය යන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272ක් ලෙසත්, අලි මිනිස් ගැටුම නිසා වාර්ෂික ව අහිමි වන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85ක් ලෙසත් සඳහන් වෙනවා.
වැඩි ම අලි මරණ 2019 දි යි
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත් ම උග්‍ර වූ අවුරුද්ද විදිහට 2019 සැලකෙනවා. එම වසරේ දී අලින් 407ක් සහ මිනිසුන් 122 දෙනෙක් මරණයට පත් ව තිබෙනවා. මේ අලින් අතරින් වැඩි සංඛ්‍යාවක් මරණයට පත්වුණේ මිනිසුන් අතින් බව හෙළි වී තිබෙනවා. ස්වභාවික හේතු සහ හදිසි අනතුරු නිසා ද අලින් කිහිප දෙනෙක් මිය ගොස් තිබෙනවා.
1948 දී ලංකාවට නිදහස ලැබීමෙන් පසු වසරක දී වැඩිම අලි ඇතුන් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ 2019දි යි. ඊට පෙර ඉංග්‍රීසි ජාතිකයන් විනෝදයට අලින් දඩයමේ ගිය අවස්ථාවලත් විශාල වශයෙන් අලි ඇතුන් මරා දැම්මා. ඉන් පසුව 2020 අවුරුද්දේ දී ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක් ද, අලින් නිසා සිදුවූ මිනිස් මරණ 113ක් ද වාර්තා වී තිබෙනවා.
ආසියානු අලියා
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 ක ආසියානු අලියා වාසය කරනවා. ආසියානු අලින්ගේ සංඛ්‍යාව 50000- 60000ක් අතර වෙනවා. ආසියානු අලින්ගෙන් 60%කට වැඩි ප්‍රතිශතයක් දිවි ගෙවන්නේ අසල්වැසි ඉන්දියාවේ වනාන්තරවල යි.
ඉන්දියාවේ අලි මිනිස් ගැටුමේ දී මිය යන අලින්ගේ සංඛ්‍යාවට වඩා මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි යි. ඉන්දියාවේ අවුරුද්දකට අලින් 100ක් අලි මිනිස් ගැටුමින් මිය යනවා. අලින්ගේ පහරදීම නිසා මරණයට පත්වන මිනිසුන් සංඛ්‍යාව 500ක් තරම් ඉහළ යි.
ශ්‍රී ලංකාවේ අලි ගහණය
අවසාන වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදු වූයේ 2011 වසරේ දී යි. එහි දී ලැබුණු දත්තවලට අනුව ලංකාවේ අලි ගහනය 5879ක් වුණා. ඉන් 55 දෙනෙක් වැඩුණු දළ ඇතුන් ලෙස වාර්තා වී තිබෙනවා. වන අලින්ගෙන් සියයට 67.2ක් වනජීවී රක්ෂිතවල ද, සියයට 29. 78ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතවල ද, සියයට 3.2ක් කුඩා වන ලැහැබ්වල ද ජීවත්වන බව හෙළි වී තිබෙනවා.
ඒ අතරින් වැඩි ම අලින් සංඛ්‍යාවක් ජීවත්වන්නේ මහවැලි වනජීවී කලාපයේ යි. 2010 සිට 2020 කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ වාර්තාවූ අලි මරණ සංඛ්‍යාව 2958ක්. ස්වභාවික අලි මරණ 223ක් ද මේ කාලයේ සිදු ව තිබෙනවා. වැඩියෙන් ම අලින් මරා දමා ඇත්තේ වෙඩි තැබීමෙන්. මරණයට පත් අලින්ගෙන් වැඩි සංඛ්‍යාවක් පිරිමි අලින් බවයි හෙළි ව තිබෙන්නේ.
අවුරුදු 10ක දී ජීවිත 807ක්
අධ්‍යයන කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 807ක් අලි – මිනිස් ගැටුම හේතුවෙන් රටට අහිමි වෙලා. මෙසේ මිය යන අයගෙන් වැඩි දෙනෙක් පිරිමි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 62% ක අලින් ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ පළාත් 08කට අයත් දිස්ත්‍රික්ක 19ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131ක පමණ අලි – මිනිස් ගැටුම් වාර්තා වී තිබෙනවා.
ඉහත සඳහන් අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම වසරින් වසර දරුණු අතට හැරෙමින් පවතිනවා. එය අලුත් ප්‍රදේශවලට පැතිරෙමින් පවතින බවත් හෙළිවී තිබෙනවා. දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 112ක එම කාලය තුළ මිනිස් මරණ වාර්තා වී තිබෙනවා. 1992- 2001 කාලසීමාවත් සමඟ සසඳන විට අලි – මිනිස් ගැටුම හේතුවෙන් සිදුවූ මිනිස් මරණ සංඛ්‍යාව සියයට 50කින් වැඩිවී තිබෙනවා.
ක්‍රමයෙන් නාගරීකරණය වර්ධනය වී, විදුලිය ලැබී මංමාවත් සංවර්ධනය වන පසුබිමක අලි නිසා අනතුරට පත්වන ජන සංඛ්‍යාව වැඩිවීම ගැන ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු යි. එසේ ජීවිත අහිමි වන අයගෙන් බහුතරයක් අවරුදු 51-60 අතර පසුවූවන් වෙනවා. ඉන් පෙනෙන්නේ තරුණ පිරිස් අලින්ගෙන් වන අනතුරුවලින් වැලකී සිටීමට සමත් බව යි.
ඉස්සරට වඩා දැන් අවදානම්
වර්ෂ 1992- 2001 කාලය හා සසඳන විට අලි – මිනිස් ගැටුම හේතුවෙන් සිදු වූ අලින්ගේ මරණ සංඛ්‍යාව සියයට 92කින් ඉහළ ගොස් තිබෙනවා. වසරේ සෑම කාල සීමාවක දී ම නොවෙනස්ව අලි – මිනිස් ගැටුම් වාර්තාවන බව ඉහත පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙන තවත් කරුණක්. වාරි ජලය මඟින් වගා කිරීම හේතුවෙන් වසරේ සෑම කාලසීමාවක ම කෘෂිකාර්මික කටයුතු කිරීමත්, සැම කාලයක ම කුමන හෝ බෝග වගාවන් කිරීමත් එයට හේතුවක්. නිවෙස්වල වී ගබඩා කර තිබෙන අවස්ථාවලදී අලින් පැමිණ බිත්ති කඩා වී ආහාරයට ගන්නා බව බහුල ව අසන්න ලැබෙනවා. ජනතාව අලින්ගේ අවදානම ගැන නොතකා ගමන් බිමන් යාම නිසාත් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළා ගන්නවා.
මෙතෙක් රටේ වැඩි ම අලි මිනිස් ගැටුම් වාර්තා වුණේ වයඹ වනජීවී කලාපයෙන්. නමුත් වයඹ කලාපයේ අලි – මිනිස් ගැටුම් අඩුවෙමින් පවතින බව පර්යේෂණයෙන් නිරීක්ෂණය වී තිබෙනවා. කලකට පෙර අඩු වශයෙන් ගැටුම් වාර්තා වූ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අලි මිනිස් ගැටුම් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා.
අලින් මරා දමන ක්‍රම
වන අලි ගම්වලට පැමිණීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අවශ්‍ය ආහාර සහ ජලය වන බිම් ප්‍රමාණවත් නොමැති වීම නිස යි. බොහෝ විට ශ්‍රී ලංකාවේ අලින් මරාදමන්නේ දළ ලබාගැනීමට නොවෙ යි. වගාබිම් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමටයි.
මේ නිසා වියළි කලාපයේ ගොවිබිම් ආශ්‍රිත ව අලි මරණ බහුල ව වාර්තා වෙනවා. වෙඩි තැබීම සහ හක්ක පටස් තැබීම අලි මරණයට පත්කිරීමට ගොවීන් බහුල ව යොදා ගන්නා උපක්‍රම යි. විදුලි සැර වැදීම, අනතුරු සහ වසදීම මගින් ද අලින්ගේ ජීවිත විනාශ වෙනවා.
අලි වැට ක්‍රමය අසාර්ථකයි
අලි වැට සැදීම සඳහා 2021 වසරේ දී රුපියල් මිලියන 3000ක මුදලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැයකිරීමට නියමිත ව තිබුණා. පසුගිය අවුරුද්දේ අලුතින් කිලෝමීටර 1500ක් දුරට අලිවැට ඉදිකිරිමටත් සැලසුම් කර තිබුණු බව වාර්තා වෙනවා. ඒ යටතේ අලුතින් හම්බන්තොට ඇතුළු අලි ගැටුම් බහුල ප්‍රදේශවල අලිවැට ඉදිකිරීම ආරම්භ කළා.
වර්ෂ 60 ක පමණ කාලයක පටන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අලි ගැටුම වැ,eක්වීමට යොදා ගත්තේ මිනිස් වාසස්ථාන ආශ්‍රිත වනාන්තර වටා විදුලි වැට ඉදි කිරීම යි. එසේ වනාන්තරවල සිටින අලිka රක්ෂිතවලට කොටු කිරීම යි. පිරිමි අලියකුට සංචරණයට සාමාන්‍ය යෙන් වර්ග කිලෝමීටර් 250 ක භුමි ප්‍රමාණයක් අව්‍යශ වෙනවා. නමුත් අලි වැට මගින් අවහිර කිරීමෙන් කුඩා කැළෑ කුට්ටියකට අලියා සීමා කෙරෙනවා.
ඒ වගේ කුඩා භුමියක වැටක් ගැසීමෙන් සිදුවන්නේ ඒ සතුන්ට සංචරණයට තිබෙන ඉඩ ප්‍රමාණවත් නොවීම යි. විශාල මුදලක් වැයකරන විදුලි වැට අලි මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් වී නැහැ. පර්යේෂකයන් පවසන්නේ විදුලි වැට ඉදිකළ යුත්තේ වනාන්තර වටා නොව ආරක්ෂා කළ යුතු ගම්මාන හෝ වගාබිම් වටා බව යි.