පරිසරය හා සබැඳි අන්තර්ජාතික සංකල්පමය රාමුව (I)

අන්තර්ජාතික ළමා දිනය, කාන්තා දිනය මෙන්ම වැලන්ටයින් දිනය කවදාදැයි ඇසුවහොත් ඊට පිළිතුරු දීමට නොහැකි පුද්ගලයකු අප අතර නැති තරම් ය. නමුත් අන්තර්ජාතික පරිසර දිනය කවදාදැයි ඇසුවහොත්, ඊට නිසි පිළිතුර දන්නා අය ප්‍රමාණය අතලොස්සකි. දරාගත නොහැකි අන්දමේ අධික උෂ්ණත්වයකින් හා නියං සමයකින් පිරුණු දින ගණනාවක් ගෙවීමෙන් පසුව ශ්‍රී ලංකාව එළඹුණේ ගංවතුර හා නාය යෑම්වලින් පිරි අවදානම් කාලයකට ය. පාරිසරික තත්වයකට ළඟා විය හැකි උපරිම අන්තයන් කෙරෙහි අප රටේ කාලගුණික තත්වයන් ළඟා වෙමින් පවතී.

නොසිතූ විරූ අන්දමේ දේශගුණික විපර්යාසයන්ට අප රට පමණක් නොව, මුළු මහත් ලෝකයම මුහුණ දෙමින් සිටී. මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් අැති කළ කම්පනය අප සිත් තුලින් ගිලිහෙන්නටත් මත්තෙන් මහා ජල කඳක වියරුව අපට අත්විඳින්නට සිදු විය. ලක්ෂ ගණනක සහෝදර ජනතාව තවමත් ඇඳිවත පමණක් ඇතිව අවතැන් කඳවුරු තුළ අසරණ වූහ. සිය ගණනක් මිය ගිය අතර තවත් අය අදටත් මළ සිරුරක් සොයා ගත නොහැකිව අතුරුදහන්ව ඇත.

පෙර කිසි දිනෙක නොවූ විරූ අයුරින් අප මේ වන විට පරිසර සරණාගතයන් බවට පත් ව සිටින්නෙමු. කවුරු කාට ඇඟිල්ල දිගු කළත් වරද අපගේම නොවේ ද?

මෙවන් දේ අත්විඳි අප පරිසරය කෙරෙහි සංවේදී නොවන්නේ නම් අප නැවත වරක් අපගේම නෛසර්ගික ප්‍රතිපත්තීන් ගැන සිතා බැලීමට කාලය වෙන් කළ යුතුව ඇත.එම නිසාම, පරිසරය සුරැකීමෙහි ලා අන්තර්ජාතික ප්‍රජාව විසින් ප්‍රමුඛතාවයෙහි ලා සළකනු ලබන අති විශේෂ මූලධර්මයන් කිහිපයක් වෙත Roar.lk පාඨක ඔබගේ අවධානය යොමු කරවන්නට අප සිතුවෙමු.

රතු ඉන්දියානු ගෝත්‍ර නායක සියැටල් (http://urbanfaith.org)

ඉතිහාසය

පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව මුලින්ම මත පළ කළෝ අන් කවරකුත් නොව, අපගේ ආගමික ශාස්තෲන් වහන්සේලා ය. මෙහිදී බුද්ධාගම, ජෛනවාදය සහ හින්දු ආගමික ඉගැන්වීම් මෙන්ම යුදෙව්-ක්‍රිස්තියානි ආගමික ඉගැන්වීම් ද කැපී පෙනෙන බව කිව යුතු ය. 1854 වසරේදී ඇමරිකානු රතු ඉන්දීය නායක සියැටල් විසින් පරිසරය, සංස්කෘතිය සහ මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම පිළිබඳව සිදු කරන ලද අනභිභවනීය සහ සංවේදී ප්‍රකාශය ද, කොන්ෆියුෂියස් වැනි දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් ද අපට කිසිසේත්ම අමතක කළ නොහැක. නමුත් ආධ්‍යාත්මික ප්‍රවේශයන් හරහා පමණක් මිනිස් හැසිරීම් සපුරා පාලනය කළ නොහැකි නිසාවෙන්ම, නෛතික රාමුවක අවශ්‍යතාවය පරිසරය උදෙසාද අවශ්‍ය වන්නට විය.

අපට තිරසාර සංවර්ධනය යන සිහිනයට යා හැකද? (wwf.panda.org)

1960 දශකය දක්වාම ලෝක ප්‍රජාව පරිසර ආරක්ෂණය පිළිබඳව වැඩි සැළකිල්ලක් දක්වන්නට පෙළඹී තිබුණේ නැත. පරිසරය ආරක්ෂා කිරීම සඳහා නීතියේ පිහිට පැතිය යුතු බවක් හෝ පරිසරය යනු දිවිහිමියෙන් ආරක්ෂා කළ යුත්තක් යැයි ඔවුන්ගේ අවධානයට පාත්‍ර නොවීම මීට හේතුව විය.

කෙසේ නමුත් දෙවන ලෝක යුද සමයෙන් පසුව එළඹි යුගය තුළ මානව හිමිකම්, විවිධ ජන කොට්ඨාශයන්ගේ අයිතිවාසිකම් සහ පරිසර ආරක්ෂණය වැනි වඩාත් මානුෂීය මුහුණුවරකින් යුක්ත විෂය පථයන් කෙරෙහි ලෝක ප්‍රජාව වඩ වඩාත් සිය අවධානය යොමු කරන්නට වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස වාතය, පස, ජලය සහ ජෛව පද්ධති (එනම්, වනාන්තර සහ තෙත් බිම්) යනාදිය ආරක්ෂා කිරීම සඳහා නෛතික රාමුවක් ගොඩනැගීම සඳහා මුල් පියවර ගන්නා ලදි. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් මෙන්ම යුරෝපා කලාපය ද මෙහි ලා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහ.

එතැන් පටන් ඉතා වේගයෙන් පාරිසරික නීති සහ ප්‍රතිපත්ති සම්පාදන කටයුතු සිදුවන්නට පටන් ගති. 1970 දශකය වන විට පරිසර නීතිය වෙනුවෙන් සම්පාදිත ද්වි පාර්ශවික ගිවිසුම් සහ ප්‍රඥප්ති ගණන එතරම් විශාල ප්‍රමාණයක් නොවුණද, ඉන් පසු ඇතිකර ගන්නා ලද අන්තර්ජාතික ගිවිසුම් සහ නෛතික රාමු තුළින් පාරිසරික ආරක්ෂණය පිළිබඳ වඩාත් අවධානය යොමු කරන ලදි.

මේ සඳහා අතීත උදාහරණයක් ලෙස, 1916 වසරේදී කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දෙරට අතර පියාසර කරන සංක්‍රමණික පක්ෂීන් සුරැකීම සඳහා ඇති කරගන්නා ලද ද්වී පාර්ශවික ගිවිසුම පෙන්වා දිය හැක. එවැනි ගිවිසුම් කිහිපයක් ඇති කොටගෙන තිබීම හැරෙන්නට, මහා පරිමාණ වශයෙන් පරිසරය සුරැකිය යුතු බවටවත්, පවතින ස්වභාවික සම්පත් අනාගත පරපුර සඳහා ද ඉතිරි කොට තැබිය යුතු බවටවත් හෝ මනුෂ්‍ය අවශ්‍යතා සහ උවමනාවන්ට සාපේක්ෂව පවත්නා පාරිසරික රාමුව තුලනය කළ යුතු බවටවත් ලෝක ප්‍රජාවගේ අවධානය වඩාත් ගැඹුරින් යොමු වී තිබුනේ නැත.

ඇමෙරිකාව හා කැනඩාව අතර වූ සංක්‍රමණික කුරුල්ලන් පිලිබඳ ගිවිසුමෙන් රක්ෂිතයක් බවට පත් කළ කැනඩාවේ ක්වබෙක් ප්‍රාන්තයේ Saint Hilaire
කන්ද (Wikipedia /Guillaume Hébert-Jodoin)

කාලයාගේ ඇවෑමෙන් සියළුම රාජ්‍ය පාර්ශවයන් විසින් පසක් කරගන්නා ලද කරුණක් වූයේ පාරිසරික ආරක්ෂණය සමග මානව හිමිකම්, ආර්ථික සංවර්ධනය, ආයෝජන නීතිය, වෙළඳ නීතිය සහ ජාතික ආරක්ෂාව යන විෂය පථයන් සමග බැඳී තිබෙනා බවයි. (වර්තමාන අන්තර්ජාතික නීතියෙහි එන මූලික රීතියක් නම් යම්කිසි රාජ්‍යයක දේශසීමාවකට අයත් ව පිහිටා තිබෙන සියළුම ස්වාභාවික සම්පත් එම රාජ්‍යයට අයත් වන ඒවා බවයි. ඒ අනුව එම රාජ්‍යයේ ස්වාධිපත්‍යයට හානි වන අයුරින් එම සම්පත් පරිහරණය කිරීම සඳහා අන් රාජ්‍යයන් හට අවස්ථාව සලසා දී නොමැත. පාරිසරික නීතිය ජාතික ආරක්ෂාවටද බලපානුයේ එසේ ය)

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මුල් වරට සංවිධාන කරන ලදුව 1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හි පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව පරිසරය පිළිබඳ සමුළුව (United Nations Conference on the Human Environment) හරහා පාරිසරික ආරක්ෂණ මූලධර්ම විසි එකක් බලාත්මක කරන ලදි. මීට අමතරව එහිදී මාතෘකාවට බඳුන් වූ තවත් එක් වැදගත් කරුණක් නම් පරිසර ආරක්ෂණය හරහා දිළිඳු භාවය අහෝසි කරනුයේ කෙසේද යන්න පිළිබඳවයි.

පරිසර ආරක්ෂණය කෙරෙහි වඩාත්ම ගැඹුරින් අවධානය යොමු කිරීමේහි ලා මූලිකත්වය ගෙන කටයුතු කරන්නට මෙහිදී ලෝක ප්‍රජාව හට අවස්ථාව උදා වූ බව නීතී විශාරදයින්ගේ මතයයි. මානව හිමිකම් ආරක්ෂා කිරීම, යටත් විජිතවාදය තුරන් කිරීම, පුනර්ජනනීය බලශක්තීන් සුරක්ෂිත කිරීම, වන සම්පත හා වන ජීවීන් ආරක්ෂා කිරීම සහ දියුණු වෙමින් පවතින රටවල පාරිසරික ආරක්ෂණ පද්ධතීන් ශක්තිමත් කිරීම යනාදී ප්‍රතිපත්තීන් වෙත මෙහිදී වඩ වඩාත් අවධානය යොමු වීමද විශේෂත්වයකි.

මෙම පාරිසරික ආරක්ෂණ මූලධර්මයන් පිළිබඳව මීළඟ ලිපි තුළින් ගැඹුරින් සාකච්ඡා කරන්නට අප බලාපොරොත්තු වන්නෙමු.

මූලාශ්‍ර :

  1. http://www.tu.org
  2. http://scholarship.law.georgetown.edu
  3. www.eolss.net/

කවරයේ ඡායාරූපය : Inhabitat.com

Related Articles

Exit mobile version