සිරිලක පරිසරය වනසන ආක්‍රමණික ශාක විශේෂ 5ක් 

ආර්ථිකයට සහ පරිසරයට අහිතකර ‍බලපෑම් එල්ල කරන වෙනත් භූගෝලීය ප්‍රදේශවලින් පැමිණි ජීවී විශේෂ ආක්‍රමණශීලී ආගන්තුක ශාක  විශේෂ ලෙසින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂ තම ස්වභාවික වාසස්ථානයෙන් බැහැර ප්‍රදේශයක ව්‍යාප්ත වී, එහි ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් එල්ල කරනවා. ඒවා විශාල ගස්, පඳුරු, පැළෑටි සහ වැල් ආදී වශයෙන් අප ජීවත්වන පරිසරය  ආශ්‍රිත ව දැකගන්නට පුළුවන්. 

එවැනි ආක්‍රමණශීලී ශාක විශේෂ කෘෂිකාර්මික ඉඩම්, ස්වභාවික වනාන්තර, අතහැර දමන ලද ඉඩම්, මාර්ග දෙපස පමණක් නොව අභ්‍යන්තර ජලාශ, දිය පහරවල්, සහ  ඇතැම් කරදිය ප්‍රදේශ ආශ්‍රිතව ද ශීඝ්‍රයෙන් පැතිර යනවා. ඒ අයුරින් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ආක්‍රමණික ශාක විශේෂ, සමහර දේශීක ශාක විශේෂවල පැවැත්මට තර්ජනයක් එල්ල කර තිබෙනවා.  මේ පරිසරය වනසන එවන් ආක්‍රමණික ශාක විශේෂ 5ක් පිළිබඳ තොරතුරු යි. 

 යෝධ නිදිකුම්බා – capriviflora.com

1) යෝධ නිදිකුම්බා 

මධ්‍යම අමෙරිකානු කලාපය නිජබිම කරගත් මෙම ආක්‍රමණශීලී ශාක විශේෂය 80 දශකයේ දී පමණ අප රටට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් මිලි මීටර 750-2250 වාර්ෂික වර්ෂාපතනයක් සහ  සෙල්සියස් 20-30 අතර වාර්ෂික උෂ්ණත්වයක්  පවතින ඝර්ම කලාපීය රටවල් ආශ්‍රිත ව මෙම ආක්‍රමණික ශාක විශේෂය ශීඝ්‍රයෙන් පැතිර යනවා. අද වන විට මෙක්සිකෝව, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය,  ඉන්දුනීසියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව, සහ සමහර අප්‍රිකානු රටවල් යෝධ නිදිකුම්බා ශාකය මර්දනය කිරීමට නොහැකි ව අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.

මුල් අවධියේ දී අප රටේ අභ්‍යන්තර ජලාශ, කුඹුරු ඉඩම් සහ වගුරු බිම් ආශ්‍රිතව දක්නට ලැබුණු මෙම ශාක විශේෂය අද වන විට ගෙවතුවල  පවා දැකගන්නට පුළුවන්. යෝධ නිදිකුම්බා ශාකය වගා බිම්වල වේගයෙන් ව්‍යාප්ත වීම නිසා ගොවීන් දැඩි ලෙස පීඩාවට පත් ව සිටිනවා. එයට ප්‍රධානත ම හේතුව වන්නේ අනෙකුත් වල්පැළෑටි මර්දනය කිරීමට යොදා ගන්නා සාමාන්‍ය ක්‍රම මඟින් මෙය මර්දනය කිරීමට නොහැකි වීමයි. 

වගා බිම්වල වේගවත් ව්‍යාප්තිය

යෝධ නිදිකුම්බා සෑහෙන උසකට වර්ධනය වන කටු සහිත ශාකයක්‌ බැවින් ගලවා ඉවත් කිරීමට අපහසු යි. එනිසා සමහර දියුණු රටවල් යෝධ නිදිකුම්බා ශාක සහිත විශාල කැළෑ ඉඩම්වලට ගුවන් යානා භාවිත කර වල්නාශක ඉසීම සිදුකරනවා. නමුත් නිදිකුම්බා කුලයේ ශාකයක්‌ වන මෙය වල්නාශක ඉසින විට පත්‍ර හකුළුවා ගන්නා නිසා එම ක්‍රමය එතරම් සාර්ථක එකක් නොවෙයි. එනිසා යෝධ නිදිකුම්බා ශාකය විනාශ කිරීම සඳහා තවමත් නව උපක්‍රම සොයමින් පවතිනවා. යෝධ නිදිකුම්බා ශාකය විනාශ කිරීමට වඩාත් අපහසු දැඩි ආක්‍රමණශීලි ශාකයක් බවට දැන් පත්ව තිබෙනවා. 

 පාතීනියම් ශාකය – wildturmeric.net

2) පාතීනියම්

1987 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු සාම සාධක හමුදාව හරහා මෙම ආක්‍රමණශීලී ශාක විශේෂය මෙරටට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කරනවා. මුලින් ම වවුනියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු පාතීනියම් වල් පැළෑටිය අද වන විට උතුරුකරය පුරා ම ව්‍යාප්ත ව තිබෙනවා. වවුනියාව ප්‍රදේශය ආශ්‍රිත ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සවිකර ඇති විශේෂ පුවරුවල “ඔබ දැන් සිටින්නේ පාතීනියම් වල් පැළෑටිය බහුලව ඇති ප්‍රදේශයක යි. මෙම  ප්‍රදේශයෙන් පස් වැලි සහ පැළෑටි  ගෙනයාමෙන් වළකින්න”. යන වචන පෙළ සටහන් කර තිබෙනවා. පාතීනියම් දැඩි ආක්‍රමණශීලී පැළෑටියක් නිසා එය වෙනත් ප්‍රදේශ කරා ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එවැනි දැනුම්වත් කිරීමක් සිදු කරනවා.

සාමාන්‍යයෙන් සරුවට වැඩුණු පාතීනියම් ගසක් අඩි හයක් පමණ උසකට වර්ධනය වන බව නිරීක්ෂණය කරන්නට පුළුවන්. වියළි පරිසරය තුළ ඉතා හොඳින් වැඩෙන මෙම ශාක විශේෂයේ සුදු පැහැති අලංකාර මලක් හටගන්නවා. එසේ ම පාතීනියම් ශාක පත්‍ර බැලූ බැල්මට ම කැරට් ශාකයේ පත්‍ර මෙන් දිස්වන බව බොහෝ දෙනකු පවසන දෙයක්. පාතීනියම් ගසේ බීජ හට ගැනීම මල් මඟින් සිදුවන අතර එක් ගසකින්  බීජ 30,000 ක් පමණ මුදා හරින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

සමේ රෝග සහ ස්වසන රෝග

පාතීනියම් ශාක කොටස් මිනිස් සිරුරේ ස්පර්ශ වීමෙන් සමේ රෝග සහ ස්වසන රෝග හට ගැනීමේ ඉඩකඩ පවතින බව සොයාගෙන තිබෙනවා. එසේම ගවයන් සහ එළුවන් මෙම ශාකයේ කොටස් ආහාරයට ගැනීමෙන් උන්ගේ කිරි නිෂ්පාදනය අඩුවීම සහ උන්  විවිධ රෝගවලට ගොදුරුවීම වැනි අහිතකර ප්‍රතිඵල ලැබී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා සිටිනවා. ඒ අයුරින් මෙම පැළෑටිය නිසා ලෙඩ රෝග වැලඳෙන්නේ  එහි අඩංගු “පාතෙනින්” නම් විෂ රසායනික සංයෝගය නිසා යි. එනිසා 1999 අංක 35 දරණ ශාක ආරක්ෂක පනත යටතේ පාතීනියම් වැවීමට ඉඩ හැරීම සහ ළඟ තබා ගැනීම වරදක් වන අතර, එම වරද සිදුකරන ඕනෑම පුද්ගලයකුට දඬුවම් කිරීම සඳහා නීතිරීති සකස් ව තිබෙනවා. 

 ජපන් ජබර ශාකය ව්‍යාප්තව ඇති ආකාරය – Mirror of Nature

3) ජපන් ජබර 

දකුණු අමෙරිකානු කලාපය නිජබිම කරගත් ජපන් ජබර ශාකය 1905 වසරේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. එදා හොංකොං රටෙන් මෙරටට රැගෙන විත්, විසිතුරු පැළෑටියක් ලෙසින් මෙහි බෝ කරන ලද ජපන් ජබර ශාකය පසු කලෙක ජලාශ ආශ්‍රිත ව වසංගතයක් සේ ව්‍යාප්ත වුණා. එනිසා පසුගිය දශක කිහිපය පුරාවට ජපන් ජබර ශාකය ජලාශ ආශ්‍රිත ව ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා විශාල වෙහෙසක් දරන්නට සිදුවුණා. 

වසර පුරාම  වැවෙන මෙම ජලජ පැළෑටි විශේෂය ඝන, විශාල, නිදහසේ පාවෙන ඒකජාතීය දූපත් හෝ පලස් ලෙස සකස්වන නිසා අනෙකුත් ජලජ විශේෂයන්ට ආලෝකය, පෝෂක සහ ඔක්සිජන් සඳහා තරග කිරීමට සිදුවනවා. එසේ ම ජපන් ජබර ශාකය නිසා නිසා ජලයේ උෂ්ණත්වය, PH අගය සහ ඔක්සිජන් ප්‍රමාණය අඩු වනවා. එලෙස ඔක්සිජන් අඩුවීම හේතුවෙන්  මත්ස්‍යයන් මියයෑම සහ අපද්‍රව්‍ය විනාශ කිරීමට ජලයේ ඇති හැකියාව අඩුවීම වැනි අහිතකර ප්‍රතිපල ලැබෙනවා. එනිසා ජපන් ජබර වැවුණු ජලාශවල තිබෙන ජලය  දූෂණය වන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්.

ජලය  දූෂණය වන ආකාරය

එසේ ම ජපන් ජබර ශාකය ජලාශ ආශ්‍රිත ව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ජල  ප්‍රවාහන මාර්ග සහ ජල බැස්ම අවහිර වීම සිදුවනවා. එවිට, ඉක්මනින් ජලගැලීම් ඇතිවීම, එදිනෙදා භාවිතයට සහ විනෝදාත්මක කාර්යයන් සඳහා අවශය වන ජලයේ තත්ත්වයට හානිවීම සහ ජල විදුලි උත්පාදනය සඳහා බාධා ඇතිවීම වැනි අහිතකර ප්‍රතිඵල ලැබෙනවා. ජපන් ජබර ශාකය මඟින් ඇතිකරන ඝන ආවරණය නිසා හිරු එළිය දේශීය ජලජ  ශාකවලට නොලැබී යාම නිසා ජලජ ජීවීන් ආහාරයට ගන්නා ජලජ පැළෑටිවලට හානි සිදුවන බවත් මෙහි දී කිව යුතුමයි.

 ඉපිල් ඉපිල් ශාකය – Shutterstock

4) ඉපිල් ඉපිල් 

මධ්‍යම අමෙරිකාව නිජබිම කර ගත් ඉපිල් ඉපිල් ශාකය ශීඝ්‍රයෙන් වර්ධනය වන ශාකයක්. එනිසා මීට දශක කිහිපයකට පෙර දර ලබා ගැනීමට, සෙවණ ලබා ගැනීමට, මෙන් ම වන වගාව සඳහා මෙම ශාකය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. එසේ ම  කොම්පෝස්ට් සඳහා ජෛව ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ද ඉපිල් ඉපිල් ශාකය යොදා ගත්තා. එදා විවිධ ආණ්ඩු මගින් ඉපිල් ඉපිල් ශාකය රටපුරා  ප්‍රචලිත කිරීමට ව්‍යාපෘති පවා සිදු කළා.

පසු කලෙක මෙම ශාකය රටේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිත ව වේගයෙන් ව්‍යාප්ත වුණා. ඒ ඉපිල් ඉපිල් ශාකයේ කුඩා ඇට අවට පරිසරය පුරා විසිරෙමින් විශාල ප්‍රදේශයක වේගයෙන් පැතිරීමට තිබුණු හැකියාව නිසා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට ඉපිල් ඉපිල් ශාකය ද  ආක්‍රමණශීලී ශාක විශේෂයක් ලෙසින් සලකනවා. එනිසා  සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් වැඩිම වේගයකින් පැතිරෙන ආක්‍රමණශීලී ශාක 100 අතරට ඉපිල් ඉපිල් ශාකය ද ඇතුළත් කර තිබෙනවා.

 යුලෙක්ස් ශාකය – Plantsam.com

5) යුලෙක්ස් 

බටහිර හා දකුණු යුරෝපය නිජබිම කරගත් යූලෙක්ස් ශාකය ලෝකය පුරා පැතිර ගියේ යටත් විජිතවාදය නිසා යි. එදා යුරෝපීය ජාතීන්ගේ යටත් විජිත බවට පත්වුණු ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව වැනි රටවල්වලට යුලෙක්ස් ශාකය හඳුන්වා දුන්නා. අප රට තුළ මෙම ශාකය වඩාත් හොදින් වර්ධනය වීම සඳහා හිතකර දේශගුණික ලක්ෂණ පැවතුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ යි. 

බ්‍රිතාන්‍යයන් ලංකාව පාලනය කළ යුගයේ දී තෝමස් ෆා නම් ඉංග්‍රීසි ජාතිකයා යුලෙක්ස් ශාකය මෙරටට රැගෙන ආවේ ඔහුගේ නුවරඑළිය බංගලාවේ උද්‍යානයේ සිටුවීම සඳහා යි.

පසු කලෙක හෝර්ටන්තැන්න ප්‍රදේශයේ වැවෙන්නට පටන්ගත් යුලෙක්ස් ශාකය අද වන විට ආක්‍රමණික ශාකයක් ලෙසින් හඳුනා ගෙන තිබෙනවා. කහ පාට මලක් පිපෙන මේ ආක්‍රමණික ශාකය වේගයෙන් පැතිර යමින් හෝර්ටන්තැන්න ආශ්‍රිත ව තිබෙන සංවේදී පරිසර පද්ධතියේ පැවැත්මට විශාල තර්ජනයක් එල්ල කර තිබෙන බව පරිසරවේදීන් පවසනවා.

කවරයේ ඡායාරූපය- ජපන් ජබර පිරුණු ජලාශයක් - Feedipedia

මූලාශ්‍ර- 

gaweshana.blogspot.com
auditorgeneral.gov.lk
efl.lk
lankadeepa.lk

Related Articles

Exit mobile version