කාන්තාරවල දක්නට ලැබෙන අපූරු ශාක විශේෂ 5ක්

කාන්තාර බිම් ප්‍රදේශයකට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 250ට වඩා අඩු අගයක් ගන්නවා. එලෙස සුළු වර්ෂාපතනයෙන් එකතු වන ජලය ද දැඩි හිරු රශ්මිය හේතුවෙන් වාෂ්පීකරණය වෙනවා. එනිසා කාන්තාර ප්‍රදේශවල ශාක විවිධත්වය අඩු මට්ටමක පවතිනවා. ඒ ඊට අවශ්‍ය පාරිසරික සාධක හරි හැටි නොපවතින නිසා යි. සමහර ශාක විශේෂ කාන්තාර දේශගුණයට අනුවර්තනය වී නොනැසී පවතිනවා. එවැනි ශාක සෑම කාන්තාර ප්‍රදේශයක ම වාගේ දක්නට ලැබෙනවා.

ඒ අතුරින් ශාක විශේෂ 5ක් පිළිබඳ තොරතුරුයි මේ. 

1). බැරල් පතොක් 

බැරල් පතොක් ශාකය නිරිතදිග අමෙරිකානු කාන්තාර ප්‍රදේශවල බහුල ව දක්නට ලැබෙනවා. කැලිෆෝනියාවේ මොජාවේ කාන්තාරය මෙම ශාකයේ නිජබිම වශයෙන් සැලකෙනවා. මෙම ශාක විශේෂයට බැරල් පතොක් යන නාමය පටබැඳී ඇත්තේ එහි කඳ සිලින්ඩරාකාර හැඩයක් ගන්නා නිසා යි. සාමාන්‍යයෙන් මීටර් 1-10ක් තරම් උසකට වර්ධනය වන බැරල් පතොක් ශාකය අමෙරිකානු කාන්තාරවල දක්නට ලැබෙන විශාලත ම පතොක් විශේෂයක්. මෙම පතොක් වර්ගය නොගැඹුරු මූල පද්ධතියකින් සමන්විත වීම විශේෂත්වයක්. 

බැරල් පතොක් – gettyimages.com

 

මෙම බැරල් පතොක් ශාකවල කඳ මුල් අවධියේ දී කොළ පැහැයක් ගත්ත ද ආයු කාලය වැඩි වන විට එහි වර්ණය කහ, දුඹුරු සහ රතු ලෙසින් වෙනස් වෙනවා. බැරල් පතොක් ශාකවල මුදුනේ හටගන්නා කහ සහ තැඹිලි පැහැයෙන් යුත් මල් සුන්දර පෙනුමකින් යුක්ත යි. ඒවා වැඩිපුර පිපෙන්නේ අප්‍රේල්  මාසයේ දීයි.

ඒ අයුරින් හටගන්නා මල් වියළී යාමෙන් පසුව කොළ පැහැයෙන් යුත් කුඩා පලයක් හට ගන්නවා. එය අන්නාසි ගෙඩියේ පෙනුමට තරමක් සමාන යි. කාන්තාර ප්‍රදේශයවල ජීවත් වන ස්වදේශික ජනතාව බැරල් පතොක් ගෙඩි ආහාරයට ගන්නවා. ඒ වාගේම බැරල් පතොක් ගෙඩිය තුළ තිබෙන කළු පාට බීජ ද ආහාරයට ගන්නවා.

බැරල් පතොක් ගෙඩි  – gettyimages.com

 

කටුක පරිසරයේ ජීවත්වීමට අනුවර්තනය වී ඇති මෙම පතොක් ශාක විශේෂය වසර 100ක් පමණ නොනැසී පවතිනවා. බැරල් පතොක් ශාකයට ජලය රඳවාගැනීමේ හැකියාව පවතිනවා. නමුත් එම ජලයේ ඔක්සලික් අම්ලය අඩංගු වෙනවා. එනිසා ආමාශය හිස් ව තිබෙන අවස්ථාවක එම ජලය ශරීරගත වුණොත් පාචන තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බව මෙහි දී කිව යුතු යි.

2). සිල්වර් ටෝච් පතොක් 

කාන්තාර ප්‍රදේශ ආශ්‍රිත ව දක්නට ලැබෙන පතොක් විශේෂ අතුරින් සිල්වර් ටෝච් නම් පතොක් විශේෂයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඒ එහි සුන්දර පෙනුම නිසා යි. ආජන්ටිනාව සහ බොලිවියාව යන රටවල්වලට ආවේණික මෙම පතොක් විශේෂය අළු-කොළ පැහැයෙන් යුක්ත යි. ඒ වාගේම පෙනුමෙන් විදුලි පන්දමක් මෙන් දිස්වන ශාකයේ කඳේ රිදී සහ සුදු මිශ්‍ර පැහැයකින් යුත් කටු දක්නට ලැබෙනවා.

එනිසා මෙම පතොක් විශේෂය සිල්වර් ටෝච් යන නමින් හඳුන්වනවා. සිල්වර් ටෝච් වර්ගයේ පතොක් ගස් එතරම් උසකට වර්ධනය වන්නේ නැහැ. සාමාන්‍යයෙන් එම පතොක් ශාකයක උස අඩි 3-10 පමණ වෙනවා. 

සිල්වර් ටෝච් පතොක් – pinterest.com

 

මෙම පතොක් විශේෂයට අයත් ශාකයක් සිටුවා වසර 10ක් පමණ ගතවන තුරු මල් හටගන්නේ නැහැ. එම කාල සීමාව ඉක්මවා ගිය පසු ශාක කඳේ තද රතු පැහැති අලංකාර මලක් හට ගන්නවා. පතොක් අධික උෂ්ණත්වයකින් යුත් දේශගුණයකට හොඳින් අනුවර්තනය වී තිබෙන ශාකයක්. සිල්වර් ටෝච් පතොක් විශේෂය ඉහළ උෂ්ණත්වයන්ට ඔරොත්තු නොදීම විශේෂ ලක්ෂණයක්.

සෞම්‍ය දේශගුණයක් සහිත කාන්තාර ප්‍රදේශවල හොඳින් වර්ධනය වන සිල්වර් ටෝච් පතොක් විශේෂය සෙල්සියස් -10ක් තරම් පහළ උෂ්ණත්වයන්ට ඔරොත්තු දීම සිත්ගන්නාසුලු කරුණක්. සිල්වර් ටෝච් පතොක්වල දක්නට ලැබෙන එම සුවිශේෂී ලක්ෂණ නිසා ගෘහස්ථ ශාකයක් ලෙසත් එය සුලබ ව වගා කරනවා. 

මලින් පිරුණු සිල්වර් ටෝච් පතොක් ශාකයක් – worldofsucculents.com

 

3). කාන්තාර අයන්වුඩ්

උතුරු අමෙරිකාවේ සොනෝරාන් කාන්තාරය මෙම ශාකයේ නිජබිම යි. නිල්-කොළ පැහැයෙන් යුත් පත්‍ර සහ සුදු-රෝස පැහැයෙන් යුත් මල් හටගන්නා මෙම අයන්වුඩ් ශාකය අඩි 25ක් තරම් උසකට වර්ධනය වෙනවා. වියළි කටුක පරිසරයක පවා නොනැසී සිටිය හැකි අයුරින් සකස් වී ඇති කාන්තාර අයන්වුඩ් ශාකයට වසර 1500ක පමණ ආයු කාලයක් තිබෙනවා.

කාන්තාර අයන්වුඩ් දැව ඝනත්වයෙන් ඉතාමත් වැඩි නිසා ජලයේ පවා ගිලී යන ආකාරය දැකගන්නට පුළුවන්. මෙම ශාක විශේෂය කාන්තාර අයන්වුඩ් යන නමින් හැඳින්වීමට හේතුව එය යි.

 හොඳින් වර්ධනය වුණු අයන්වුඩ් ශාකයක් – gettyimages.com

 

සැලකිය යුතු තරම් උසකට වර්ධනය වන කාන්තාර අයන්වුඩ් ශාකය බොහෝ සත්ත්ව විශේෂ සඳහා නවාතැන් සපයනවා. මෙම ගසේ හටගන්නා මල් සහ කරල් ආහාරයට ගැනීමට සතුන් පුරුදුව සිටිනවා. ඈත අතීතයේ සිට උතුරු අමෙරිකාවේ කාන්තාර ආශ්‍රිත ව දක්නට ලැබුණු මෙම අයන්වුඩ් ශාකයෙන් ගෝත්‍රික ජනයා බොහෝ ප්‍රයෝජන ලබාගත්තා.

එහි දී දැව මූර්ති නිර්මාණය කිරීමට, නිවාස ඉදිකිරීමට, ගෘහ භාණ්ඩ සෑදීමට මෙම දැව විශේෂය භාවිත කළා. ඖෂධයක් ලෙස මෙන් ම සමහර ගෝත්‍රික චාරිත්‍ර සඳහාත් මෙම ශාක කොටස් යොදා ගත්තා. අයන්වුඩ් ශාක විශේෂයට වැඩි ආයු කාලයක් තිබෙන නිසා අවුරුදු 1000කට වඩා පැරණි කාන්තාර අයන්වුඩ් ශාක ඇතැම් ප්‍රදේශවලින් හමු වෙනවා. 

කාන්තාර අයන්වුඩ් දැව – cookwoods.com

 

4). බේස්බෝල් ශාකය 

මෙම ශාකය පෙනුමින් බේස්බෝලයක හැඩයක් ගන්නා නිසා එයට බේස්බෝල් ශාකය යන නම පටබැඳී තිබෙනවා. අප්‍රිකානු කාන්තාරවල වැඩි වශයෙන් දක්නට ලැබෙන මෙම ශාකය කෙටි ආයු කාලයක් ඇති ප්‍රාථමික කොළ නිපදවනවා. බේස්බෝල් ශාකයේ කඳ කොටසක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙම ශාකය මුදුන් මුල හරහා පෝෂක සහ ජලය පොළවෙන් ලබාගන්නවා.

සෙන්ටිමීටර් 15ක පමණ විෂ්කම්භයකින් යුත් බේස්බෝල් ශාකයේ මුදුන් මුල කොළ පැහැයෙන් යුක්ත යි. එයට දිගු කාලයක් ජලය ගබඩා කර තබාගැනීමේ හැකියාව පවතිනවා. එලෙස ගබඩා කර තබාගන්නා ජලය නියං කාලවල දී ශාකයේ ජීවය පවත්වාගෙන යාමට උපකාරී වෙනවා.

බේස්බෝල් ශාක – Twitter.com

 

බේස්බෝල් ශාකයේ ඉහළ කොටසේ හටගන්නා කුඩා මල් උග්‍ර විසකින් යුක්ත යි. එනිසා එම මල් ස්පර්ශ කළ විට සමේ රෝගවලට ගොදුරු වෙනවා. බේස්බෝල් ශාකයට හුරුබුහුටි පෙනුමක් තිබෙන නිසා බොහෝ උදවිය ඒවා එකතු කිරීමට පුරුදුව සිටිනවා.

එනිසා වසරකට සැලකිය යුතු තරම් බේස්බෝල් ශාක ප්‍රමාණයක් කාන්තාර ප්‍රදේශවලින් අතුරුදහන් වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බේස්බෝල් ශාකය වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබෙනවා. එනිසා බේස්බෝල් ශාකය සංරක්ෂණය කිරීමේ කටයුතු අද වන විට සිදුවෙමින් පවතිනවා.

බේස්බෝල් ශාකයේ මල් – worldofsucculents.com

 

5). හයිඩ්නෝරා ඇෆ්රිකානා 

හයිඩ්නෝරා ඇෆ්රිකානා අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශවලට ආවේණික ශාකයක්. ඉයුෆෝබියා ශාක විශේෂවල පරපෝෂිතයෙකු වන මෙම ශාකය ජැකල්ස්කෝස් යනුවෙන් ද හඳුන්වනවා. දිලීරයකට සමාන එහි භෞතික පෙනුම නිසා එය එක් වර ම ශාකයක් ලෙස හඳුනාගැනීමට පවා අපහසු යි. කොළ රහිත ශාකයක් වන එයට තද දුඹුරු පැහැති කඳක් තිබෙනවා.

ශාකයේ ආයු කාලය වැඩිවෙද්දී කඳේ පැහැය අළු සිට තද කළු පැහැය දක්වා වෙනස් වෙනවා. පරිසරයේ තිබෙන මෙවැනි වර්ගයේ ශාක පහසුවෙන් හඳුනා ගත හැක්කේ මල් පිපෙන කාලයට යි. මෙම ශාකයට අයත් මල්වල අංකුර භූගත ව වර්ධනය වී අවසානයේ සෙන්ටිමීටර් 10-15 අතර උසකට පැමිණෙනවා. මලේ වර්ණය  තැඹිලිවලට හුරු පැහැයක් ගන්නවා.

හයිඩ්නෝරා ඇෆ්රිකානා ශාකයක් – Flickr.com

 

වසර දහස් ගණනකට පෙර සිට අප්‍රිකානු ගෝත්‍රිකයන් මෙම ශාකයෙන් ප්‍රයෝජන ලබා ගත්තා. බටහිර ජාතීන් 1774 වසර වන තුරු හයිඩ්නෝරා ඇෆ්රිකානා ශාකය පිළිබඳ ව කිසිවක් දැන සිටියේ නැහැ. මෙම ශාකය බටහිරට  මුල් ම වරට හඳුන්වා දුන්නේ කාල් තුන්බර්ග් නමැති ස්වීඩන් ජාතික උද්භිද විද්‍යාඥයා යි.

දකුණු අප්‍රිකාවේ හන්ටම් දිස්ත්‍රික්කයේ කැල්වීනියා ප්‍රදේශයේ දී ඔහුට මෙම ශාක විශේෂය මුල් ම වරට හමු වුණා. එහි දී ඔහුගේ මුල් ම අනුමානය වුණේ මෙය දිලීර ශාක විශේෂයක් බව යි. පසුව ඔහු ශාකයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගෙන ඒ පිළිබඳ වැඩි දුරටත් පර්යේෂණ සිදු කළා. ඉන් අනතුරුව නව ශාකය පිළිබඳ බටහිර ජාතීන් දැනුම්වත් කළා.

කාල් තුන්බර්ග් – thedailygardener.org

 

මෙම ශාකයේ මල් කටුක ගන්ධයකින් යුක්ත යි. එම ගන්ධයට ආකර්ශනය වන කෘමි සතුන් මල වෙත ඇදී එනවා. එවිට උන් මල ඇතුළත සිර කර ගැනීමට හැකි අයුරින් මල සකස් වී තිබෙනවා. ඒ අයුරින් මල තුළ සිරවන කෘමීන් මඟින් මෙම ශාකයේ පරාගනය සිදුවෙනවා. මල් පිපීමෙන් පසුව මෙම ශාකයේ ගෙඩි හට ගන්නවා. හිවලුන්, බැබුන් වැනි සත්ත්ව විශේෂ එම ගෙඩි ආහාරයට ගන්නවා. අප්‍රිකාවේ ගෝත්‍රික ජනයා ද එම ගෙඩි විශේෂය ආහාරයක්  සහ ඖෂධයක්  ලෙස භාවිත කරනවා. හයිඩ්නෝරා ඇෆ්රිකානා ශාකය සතුන්ට මෙන්ම මිනිසුන්ට ද ප්‍රයෝජනවත් ශාකයක් බවට පත්ව තිබෙනවා.

කවරයේ ඡායාරූපය- බැරල් පතොක් - gettyimages.com

මූලාශ්‍ර:

themysteriousworld.com

gardeningbank.com

pza.sanbi.org

leafyplace.com

Related Articles

Exit mobile version