Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපට විපත් ගෙනෙන හානිකර ඇල්ගී පිබිදීම්

ඇල්ගී යනු සාගරයේ  පවතින වැදගත් ජීව ස්වරූපයකි. අන්වීක්ෂීය, ඒක සෛලීය ජීවීන්ගේ සිට විශාල මුහුදු පැළෑටි දක්වා ඇල්ගී යනු ආහාර ජාලවල පදනම වන සරල ශාක වේ. ඇල්ගී පිබිදීමක් යනු මිරිදිය හා කරදිය ජලජ පරිසර පද්ධතිවල සිදුවන ඇල්ගී ගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යාම ය. ශ්‍රී ලංකා මුහුදේ මෑතදී සිදු වූ X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් ද නයිට්‍රජන් විශාල ප්‍රමාණයෙන් ජලයට එකතු වීමෙන් විශාල ඇල්ගී පිබිදීම් සිදුවිය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා තිබිණි. මේ අයුරින් ඇල්ගී විශාල ලෙස වැඩි වීම ශ්‍රීලංකාව වටා ඇති මුහුදේ කොරල් පර හා ඒ අනුබද්ධිත පාරිසරික තත්වයන්ට ද ඇති කරන්නේ අධික හානිකර බලපෑමකි.

හානිකර ඇල්ගී පිබිදීමක් යනු කුමක්ද?

නයිට්‍රජන් විශාල ප්‍රමාණයෙන් ජලයට එකතු වීමෙන් විශාල ඇල්ගී පිබිදීම් සිදුවිය හැකි ය. සමහර අවස්ථාවන් හිදී ඔවුන්ගේ භූමිකාව වඩාත් හිංසාකාරී හා ශීඝ්‍රගාමී වේ.  ප්‍රශස්ථ තත්වයන් යටතේ පාලනයෙන් තොරව වර්ධනය වීමට ඇල්ගී සතුව පවතින විශේෂ හැකියාව මීට හොදම උදාහරණයකි. මින් සමහරක් ඇල්ගී විශේෂ, මත්ස්‍යයන්, ක්ෂීරපායින් සහ පක්ෂීන්ට මාරාන්තික විය හැකි ජෛව විස නිපදවනවා සේම ඒවා මිනිසුන්ට විස වීම හෝ සමහර අවස්ථාවන්හිදී මරණය පවා ඇතිතිරීමට හේතු විය හැකි බව ද වාර්තා වී ඇත. සාගරයේ පවතින බොහෝමයක් ඇල්ගී විස රහිත වන නමුත් ඒවා දිරාපත් වීමේදී ජලයේ ඇති ඔක්සිජන් සියල්ල අවශෝෂණයට ගන්නා අතර මේ මගින් මසුන්, අපෘෂ්ඨවංශීන්, කොරල් සහ ජලයේ  ගිලී පවතින ජලජ  ශාකවල ස්වසනයට බාධා ඇතිකරවයි. කොළ, රතු, දුඹුරු සහ කහ යන වර්ණයන්ගෙන් යුක්ත තවත් සමහරක් ඇල්ගී ජලයේ පැහැයට බාධා පමුණුවමින් වෙරළ තීරයේ විශාල ලෙස පැතිර යන අතර පානීය ජලය අපවිත්‍ර වීමට ද මුල් වේ. සාමූහිකව ගත් කල මෙම සිදුවීම් සියල්ල හානිකර ඇල්ගී පිබිදීමක් ලෙස හැඳින්විය හැක. හානිකර ඇල්ගී පිබිදීමක් පියවි ඇසට පෙනෙන අතර ඇල්ගී වර්ගය අනුව එය කොළ, නිල්-කොළ, රතු හෝ දුඹුරු විය හැකිය.

මෙම හානිකර ඇල්ගී පිබිදීම, වඩා අවධානයට ලක්ව ඇත්තේ ඒවා මිනිසුන්ගේ හා සමුද්‍ර පරිසර පද්ධතිවල සෞඛ්‍යයට පමණක් නොව  ආර්ථිකයේ “සෞඛ්‍යයට” ද බලපාන බැවිනි. විශේෂයෙන්ම ධීවර හා සංචාරක කර්මාන්ත තුළින් උපයන ආදායම මත යැපෙන වෙරළබඩ ප්‍රජාව මේ නිසා ඍජු බලපෑමට ලක්වේ. දේශගුණික විපර්යාස සහ වැඩිවන පෝෂක අපද්‍රව්‍ය නිසා හානිකර ඇල්ගී පිබිදීමක් බොහෝ විට සිදුවිය හැකි අතර කලින් බලපෑමට ලක් නොවූ ස්ථානවල, ඒවා සෑදෙන්නේ කෙසේද, ඇයිද සහ කොතැනද යන්න පිළිබඳ හැකි තරම් ඉගැනීම වඩා වැදගත් වන අතර එමඟින් ඒවායේ හානිකර බව අවම කර ගත හැකිය.

නාසා ඇක්වා-මොඩිස් චන්ද්‍රිකාවෙන් ලබාගත් සංයුක්ත රූපය- ඕමාන් වෙරළට ඔබ්බෙන් අරාබි මුහුදේ  සිදුවූ ඇල්ගී පිබිදීමක්  Feb. 14, 2015

නාසා ඇක්වා-මොඩිස් චන්ද්‍රිකාවෙන් ලබාගත් සංයුක්ත රූපය- ඕමාන් වෙරළට ඔබ්බෙන් අරාබි මුහුදේ  සිදුවූ ඇල්ගී පිබිදීමක්  – Norman Kuring/AP)

හානිකර ඇල්ගී පිබිදීමක් ඇතිවන හේතු 

හානිකර ඇල්ගී පිබිදීමකට හේතුවන බොහෝ සාධක ගැන අප දන්නා නමුත්, මේ සඳහා එම සාධක කෙසේ බලපාන්නේද යන්න තවමත් හොඳින් වටහාගෙන නොමැත. හානිකර ඇල්ගී පිබිදීමක් යනු ස්වාභාවිකවම සිදුවන්නකි. පරිසර පද්ධතියට බාධා කරන මානව ක්‍රියාකාරකම් හා ඒවායේ නිරන්තර සිදුවීම් ද හානිකර ඇල්ගී පිබිදීමක තීව්‍රතාව ඉහළ නැංවීමට දායක වන බව පෙනේ. ජලයේ පවතින පෝෂක සාන්ද්‍රණය හා දූෂක ප්‍රමාණය ඉහළ යාම, ආහාර දාමවල සිදුවන වෙනස් වීම්, හඳුන්වා දුන් ජීවී විශේෂ, ජල ප්‍රවාහවල සිදුවන වෙනස් වීම් සහ දේශගුණික විපර්යාස යන සියල්ලම හානිකර ඇල්ගී පිබිදීමක් ඇරඹීමට දායක විය හැක.

අධ්‍යයනවලින් පෙනී යන්නේ සුළං හා ජල ධාරා හිතකර අන්දමින් පවතින  විට බොහෝ ඇල්ගී විශේෂ වර්ධනය හා ව්‍යාප්තිය ඉහළ යන බවයි. ජලයේ ඉහළ පෝෂක ප්‍රමාණයක් අන්තර්ගත වීම ද හානිකර ඇල්ගී පිබිදීමකට මග පාදයි. මෙය සිදුවන්නේ කාර්මික හා කෘෂිකාර්මික ප්‍රභවයන්ගෙන් නිකුත් කරන විවිධ පෝෂක (ප්‍රධාන වශයෙන්ම පොස්පරස් සහ නයිට්‍රජන්) මිරිදිය හා කරදිය පද්ධතිවලට එක්වීමෙනි. මන්දගාමී ජල සංසරණය, අසාමාන්‍ය ලෙස  ජලයේ උෂ්ණත්වය ඉහළ යාම, සුළි කුණාටු, ගංවතුර සහ නියඟ වැනි ආන්තික ස්වාභාවික කාලගුණික සංසිද්ධිවලින් පසුව ද සමහර හානිකර ඇල්ගී පිබිදීම් දක්නට ලැබේ.

බොහෝ වෙරළබඩ රාජ්‍ය මෙවන් ආකාරයේ හානිකර ඇල්ගී පිබිදීම් අත්විඳින නමුත් වෙරළ තීරයේ ව්‍යුහය, ජලය ගලායාම, සාගර විද්‍යාව සහ ජලයේ ජීවත්වන අනෙකුත් ජීවීන් වැනි සාධක මගින් හානිකර ඇල්ගී පිබිදීමේ බලපෑම මත විෂය පථය හා බරපතලකම තීරණය කෙරේ.

ජෛව ප්‍රතිදීප්තක ඇල්ගී පිබිදීමක් මගින් ජර්විස් බොක්කෙහි (ඕස්ට්‍රේලියාව) වෙරළ තීරය රාත්‍රියේදී දීප්තිමත් විදුලි නිල් පැහැයක් ගෙන ඇති අයුර

ජෛව ප්‍රතිදීප්තක ඇල්ගී පිබිදීමක් නිසා ඕස්ට්‍රේලියා ජර්විස් බොක්ක වෙරළ තීරය රාත්‍රියේදී දීප්තිමත් විදුලි නිල් පැහැයක් ගෙන ඇති අයුරු- jordanrobins.com.au

හානිකර ඇල්ගී පිබිදීමකට මිනිසුන් නිරාවරණය වීම

හානිකර ඇල්ගී පිබිදීම සිදුවූ කාලයේදී, ඒ ආශ්‍රිතව අල්ලා ගන්නා මසුන් අනුභව කිරීමෙන්, ආශ්‍රිත ජලයේ පිහිනීමෙන් හෝ අදාළ ජලය පානය කිරීමෙන් මිනිසුන් විෂවලට නිරාවරණය විය හැකි ය. උදාහරණයක් ලෙස මෑත වසරවලදී, ඊරි විල වැනි පානීය ජලය සපයන විල්වල මෙවැනි හානිකර ඇල්ගී පිබිදීම් ඇතිවූ අවස්ථා බොහෝ ය. වැදගත්ම කාරණය වන්නේ, අපිරිසුදු මුහුදු ආහාර පිසීම මගින් හෝ අපිරිසුදු ජලය උණුකර ගැනීමෙන් එහි විස විනාශ නොවන බවය.

හානිකර ඇල්ගී පිබිදීමකින් සිදුවන සෞඛ්‍යමය බලපෑම්

හානිකර ඇල්ගී පිබිදීමකට තුඩු දෙන, ඇල්ගී වර්ගය මත පදනම්ව මිනිසාට සිදුවන සෞඛ්‍යමය බලපෑම් නිර්ණය කෙරේ. නිදසුනක් වශයෙන්, ඇලෙක්සැන්ඩ්‍රියම් (Alexandrium spp.) නම් ඩයනෝෆැජලේට විශේෂය නිපදවන Paralytic Shellfish Poison නම් විස අඩංගු දූෂිත මුහුදු ආහාර අනුභව කිරීම නිසා මිනිසාට අංශභාගය හා මරණය පවා ළඟාවිය හැක. සියුඩෝ-නිට්ස්ෂියා (Pseudo-nitzschia spp.) නම් ඩයටම විශේෂය නිපදවන විස සහිත ඩොමොයික් අම්ලය නිසා වමනය, පාචනය, ව්‍යාකූලත්වය, ස්ථිර හා කෙටිකාලීන මතක ශක්තිය නැතිවීම හෝ මරණය ඇතිවිය හැක.

ඉහත ගුවන්ගත ඡායාරූපයේ දැක්වෙන්නේ 2016 ජුනි 29 වන දින ෆ්ලා හි ස්ටුවර්ට් ප්‍රදේශයේ ශාන්ත ලුසී ගඟ අසබඩ ප්‍රදේශය නිල්-කොළ ඇල්ගී මගින් ආවරණය වී ඇති බවය

ගුවන් ඡායාරූපයේ දැක්වෙන්නේ 2016 ජුනි 29 වන දින ෆ්ලා හි ස්ටුවර්ට් ප්‍රදේශයේ ශාන්ත ලුසී ගඟ අසබඩ ප්‍රදේශය නිල්-කොළ ඇල්ගී මගින් ආවරණය වී ඇති බවය – Greg Lovett/The Palm Beach Post -AP

හානිකර ඇල්ගී පිබිදීමකින් සිදුවන වෙනත් බලපෑම්

සෞඛ්‍ය ගැටලුවලට අමතරව, ජලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය ක්ෂය වීම හා එමඟින් මසුන් සහ අනෙකුත් ජීවීන්ට එල්ලවන තර්ජනය සුළුපටු නැත. සූර්යාලෝකය ජලයේ ගැඹුරට විනිවිද නොයාම සාගර පත්ලේ ජීව ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට ද හේතුවේ. අදාළ ප්‍රදේශවල ධීවර, සංචාරක හා විනෝදාත්මක කටයුතුවලට ද මෙවන් ඇල්ගී පිබිදීමකින් ඇති කරන ආර්ථික බලපෑම සැලකිය යුතු මට්ටමක පවතී.

දකුණු අප්‍රිකාවේ සෙරේටියම් ඇල්ගී පිබිදීමකින් ඇති වූ විෂ නිසා පොකිරිස්සන් ටොන් 2000 ක් පමණ මිය ගියේය

දකුණු අප්‍රිකාවේ සෙරේටියම් ඇල්ගී පිබිදීමකින් ඇති වූ විස නිසා පොකිරිස්සන් ටොන් 2000 ක් මරුට බිලි විය – G. Pitche 

හානිකර ඇල්ගී පිබිදීමක පූර්ව අනතුරු ඇඟවීම

සුළි කුණාටුවක් පුරෝකථනය කරන ආකාරයටම හානිකර ඇල්ගී පිබිදීමක් සිදුවන බව විද්‍යාඥයෝ පුරෝකථනය කරති. කාලගුණ අනාවැකියක් මෙන්, හානිකර ඇල්ගී පිබිදීමක් පුරෝකථනය මඟින් ප්‍රාදේශීය හා රාජ්‍ය නිලධාරීන්ට පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දෙන අතර එමඟින් බලපෑමට ලක්විය හැකි  ප්‍රදේශ හා ජීවීන් වඩාත් නිවැරදිව හා කෙටි කාලීනව පරීක්ෂා කිරීමට ඉඩ සලසයි. අවශ්‍ය නම් සෘජු සෞඛ්‍ය අවදානමක් ඇති වෙරළබඩ ප්‍රදේශවල පශ්චාත් උපදේශන සේවා ද ක්‍රියාත්මක කළ හැකි ය. හානිකර ඇල්ගී පිබිදීම පිළිබඳ තොරතුරු සැපයීම සඳහා විද්‍යාඥයෝ චන්ද්‍රිකා නිරූපණ, ක්ෂේත්‍ර නිරීක්ෂණ, ආකෘති, මහජන සෞඛ්‍ය වාර්තා සහ අනෙකුත් දත්ත යොදා ගනිති.

හානිකර ඇල්ගී පිබිදීමක් නිරීක්ෂණය සහ අධීක්ෂණය

හානිකර ඇල්ගී පිබිදීමක්  නිරීක්ෂණය සහ ඒවායේ විස මට්ටම මිනුම් කිරීම සංකීර්ණ කාර්යයකි. සාම්ප්‍රදායික ක්‍රම යොදා ගැනීම කාලය අපතේ හැරීමක් වන අතර විස හඳුනා ගැනීමට හා අධීක්ෂණය කිරීමට වඩා ලාභදායී, වේගවත් විශේෂිත විද්‍යාගාර පහසුකම් පවතී. මෙම තොරතුරු මත පදනම්ව, මහජනතාවට සෞඛ්‍ය උපදේශන ලබා දීමට රාජ්‍ය හා ප්‍රාදේශීය ආයතනවලට හැකිවනු ඇත.

කවරයේ ඡායාරූපය: රතු වඩදිය (red tide) - yoursun.com 

මූලාශ්‍ර;

National Institute of Environmental Health Sciences- Algal Blooms 
National Oceanic and Atmospheric Administration U.S. Department of Commerce Enter Search Terms  

Related Articles