කන්දක් නාය යන්නේ මෙහෙමයි

ස්වභාවික ආපදා යනු අපට ආගන්තුක කාරණාවක් නොවෙයි. ස්වභාවිකව පරිසරයේ සිදු වන විවිධ වෙනස්කම් හේතුවෙන් අපට මුහුණ දීමට වන හදිසි ආපදා තත්ත්ව ස්වභාවික ආපදාවක් වශයෙන් හඳුන්වනු ලබනවා. මෙම ස්වභාවික ආපදාවන් අතරින් වැසි කාලයට අපට බොහෝ විට අත්විඳින්නට ලැබෙන තත්ත්වයක් ලෙස කඳු නාය යෑම් හඳුනා ගන්නට පුළුවන්. මෙම නාය යෑමක් යනු හුදෙක් එක්වරම කන්දක් කඩාගෙන වැටීමම පමණක් නොවෙයි. එය කාලයක් පුරාවට සිදු වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස හෝ පාරිසරික වෙනස්කමක ප්‍රතිඵලයක් ලෙස ඇති වන ස්වභාවික අපදා තත්ත්වයක්.

livemint.com(කදුකර ප්‍රදේශයක මාර්ගයක් නායයෑම දැක්වෙන පිතුරයක්)

නාය යෑමක් යනු සුවිශාල ප්‍රදේශයක පොළොව සෙලවීම නිසා සිදුවන ස්වභාවික භූගෝලීය සංසිද්ධියක් ලෙස සරලව හඳුන්වන්නට පුළුවන් වෙනවා. මෙලස පොළොව සෙලවීමට ලක් වීම නිසා පොලව ගිලා බැසීම්, ගල් කඳු පෙරලීම්, ගස් උදුරා වැටීම්, හා කඳු කොටස් ගැල වී යාම සිදු වෙනවා. මේ ආකාරයට නාය යාමේ වැඩිම අවදානමක් ඇත්තේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතවයි.

කන්දක් නිර්මාණය වන ආකාරය සලකා බලන විට එහි මතුපිට පෘෂ්ඨය නිර්මාණය වන්නේ මව් පාෂාණ යනුවෙන් හඳුන්වන පාෂාණ වලිනුයි. මෙලෙස නිර්මාණය වන කන්දකට කාලයත් සමඟ ස්වභාවික වෙනස්වීම් රැසකට මුහුණ දීමට සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වෙනස් වීම්වලට ලක් වන කොටස් අලුත් පාෂාණ තට්ටුවක් ලෙස මව් පාෂාණය මත තැම්පත් වෙනවා. තදින් වැසි ඇති වීමත් සමග අලුතින් තැම්පත් වූ පාෂාණ තට්ටුව ජලය අධික ලෙස උරා ගන්නා අතර එනිසා එහි බර වැඩි වීම සිදු වෙනවා. මෙලෙස උරා ගන්නා ජලය මෙම පාෂාණ තට්ටුව හා මව් පාෂාණ තට්ටුව අතරින් ගලා යාමට පටන් ගැනීම නිසා එම ස්ථර දෙක අතර ඇති ඒකාබද්ධතාවය බිඳ වැටීම සිදු වෙනවා. අවසානයේ ගුරුත්වාකර්ෂණ බලය නිසා අලුතින් තැම්පත් වූ පාෂාණ තට්ටුව පහලට කඩා වැටීම සිදු වෙනවා. නාය යෑමක් ලෙස හඳුන්වන්නේ මෙම ක්‍රියාවලියයි.

sweetwaternow.com(නායයෑමක් සිදුවන අකාරය දැක්වෙන රුපසටහනක්)

නාය යෑමක් ඇති වීම සදහා බලපාන සාධක.

නාය යෑමක් සදහා බලපාන සාධක සලකා බලන විට ප්‍රධාන වශයෙන් එම සාධක කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන්. එනම්, ස්වභාවික සාධක හා මිනිස් ක්‍රියාකාරකම් වශයෙනුයි.

නාය යෑමක් ඇති වීම සදහා ස්වභාවිකව බලපාන සාධක සලකා බලන විට සාධක රැසක් හඳුනා ගන්නට පුළුවන් වෙනවා. එහිදී ප්‍රධාන සාධකයක් වශයෙන් අධික වර්ෂාපතනය හඳුන්වන්නට පුළුවන් වෙනවා. එනම් අධික වර්ෂාපතනය නිසාවෙන් පොලවට උරා ගන්නා ජල ප්‍රමාණය ඉහල යනවා. එවිට එම ජලය පස් අංශු අතර ඇති හිදැස් අතර එකතු වීම නිසා එම පස් අංශු අතර ඝර්ෂණ බලය අඩු වෙනවා. එනිසා එම කොටස ලිස්සා යාමට පටන් ගන්නවා.

එසේම භූමිකම්පා ඇති වීමද කඳු නාය යාම සඳහා බලපාන සාධකයක් ලෙස හඳුනා ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාව වැනි රටවල්වල භූමිකම්පා හේතුවෙන් ඇති වෙන නාය යාම් ඉතා අඩු මට්ටමක පවතිනවා. භූමිකම්පාවක් නිසාවෙන් ඇති වන කම්පන තරංග පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කිරීම හරහා කඳු බෑවුම් වල පාෂාණ කොටස් ගැල වී ක්ෂණිකව පහලට කඩා වැටීම සිදු වෙනවා. (නොවැම්බර් මස 21 වැනිදා විජය පුවත්පත)

එසේම භුමියේ පිහිටීම ද නාය යෑමක් ඇති වීම සඳහා බලපාන්නට හේතු වන්නට පුළුවන් වෙනවා. භුමි ප්‍රදේශයක් ප්‍රධාන කොටස් 5කින් සමන්විත වෙනවා. එනම් තැනිතලා, මඳ බෑවුම්, මධ්‍යස්ථ බෑවුම්, දළ බෑවුම් හා මැද දළ බෑවුම් වශයෙනි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දත්ත වලට අනුව සාමාන්‍යයෙන් අංශක 15- 45 අතර ආනතියක් සහිත මතුපිටක් ඇති කඳු බෑවුම් වැඩි වශයෙන් නාය යාම් වලට ගොදුරු වෙනවා. අංශක 26 -35 අතර කදු බෑවුම් නාය යෑම් සදහා වැඩිම අවදානමක් ඇති බෑවුම් ලෙස හඳුනාගෙන තිබෙනවා. (නොවැම්බර් මස 21 වැනිදා විජය පුවත්පත)

එසේම කදු බවුමක භූ විද්‍යාත්මක ලක්ෂණ ද ස්වභාවිකව නාය යාම් තත්ත්ව ඇති වීම සදහා බලපාන්නට පුළුවන්.  එනම් කඳු බෑවුමි ඉරි තැලීම්, විභේදනය වීම් ආදී තත්ත්වයි. එසේම කඳුකර ප්‍රදේශ වල ජලවහන රටාවේ දුර්වලතවයන් ද, කඳු බෑවුම් වල තෙත් ගතිය වැඩි වීමද ස්වභාවිකව නාය යෑම් ඇති වීමට බලපාන්න පුළුවන්. (https://www.eartheclipse.com/natural-disaster/causes-effects-and-types-of-landslides.html)

shutterstock.com(කදුකර ප්‍රදේශ ආශ්‍රිතව සිදු කරන වන විනාශය දැක්වෙන පින්තුරයක්)

අහිතකර මිනිස් ක්‍රියාකාරකම් ද නාය යාම් තත්ත්ව ඇති වෙන්නට බලපානවා. එනම් මිනිසුන් විසින් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව සිදු කරන වනාන්තර විනාශ කිරීම් හඳුන්වන්නට පුළුවන් වෙනවා. පස තුල ගස් වැවීම හරහා ඒවායේ මුල් මගින් පස බැඳ තබා ගැනීමට සමත් වෙනවා. එනිසා පසෙහි ස්ථාවරත්වය වැඩි වෙනවා. වන විනාශය නිසා පසේ ස්ථාවරත්වය නැති වී පස් ස්තර දුර්වල වී නාය යෑමට ලක් වෙනවා.

එසේම කඳුකර ආශ්‍රිතව සිදු කරන අවිධිමත් ඉදි කිරීම් ද නාය යාම් සඳහා අහිතකරව බලපානවා. එනම් නිසි සැලසුමකින් තොරව අවිධිමත් ලෙස ඉදි කිරීම් සිදු කිරීම හරහා කඳු  බෑවුම් අස්ථාවර වීම සිදු වෙයි. එනිසා නාය යෑම් ඇති වීමට එය හේතුවක් වෙනවා.

dailymail.co.uk (කදුකර ප්‍රදේශ අශ්‍රිතව සිදු කරන අනවසර ඉදිකිරීම් හේතුවෙන් ඇතිවෙන නායයෑමක් දැක්වෙන පින්තුරයක්)

එසේම කළුගල් කැඩිම ආදිය සදහා ඇති කරන කෘතීම පිපිරවීම් නිසා ඇති වන කම්පන හේතුවෙන් පහල කදු බැවුම් දුර්වල වී පහලට කඩා වැටීමෙන් නාය යෑම් ඇති වෙනවා.

එසේම ස්වභාවික ජල මාර්ග අවහිර කිරීම නිසා ද, කඳු ආශ්‍රිතව සිදු කරන අවිධිමත් වගා ක්‍රමද, පැරණි නාය ගිය භුමිය ආශ්‍රිතව නැවතත් ඉදි කිරීම් සිදු කිරීම නාය යෑම් තත්වයක් ඇති වීම සඳහා බලපාන්නට පුළුවන්. (https://www.eartheclipse.com/natural-disaster/causes-effects-and-types-of-landslides.html)

නාය යෑම් තත්ත්වයක් හඳුනා ගන්නේ මෙහෙමයි.

කදුකර ප්‍රදේශ ආශ්‍රිතව ජිවත්වන පුද්ගලයන් නිතර තම වටපිටාව පිලිබදව අවධානයෙන් සිටීම අවශ්‍ය වෙනවා. මන්ද ඒ හරහා නායයෑම් තත්වයක් කල්තියාම හදුනා ගන්නට පුළුවන් නිසා සිදු වන හානිය අවම කර ගැනීමටද පුළුවන් වෙනවා. එනම් කදු බැවුම් ප්‍රදේශ ආශ්‍රිතව පැලුම් ඇති වීම හා ඒවා ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නේනම් ඒ නායයෑම් තත්ත්වයක මුලික ලක්ෂණයක් වන්නට පුළුවන්. එසේම කදු ආශ්‍රිතව ඇති ජල උල්පත් සිදියම හා උල්පත් නොතිබූ ස්ථාන වල අලුතින් ජල උල්පත් ඇති වීමද එවැනි ලක්ෂණයක් වන්නට පුළුවන්.  කදු බැවුම් වල ඇති ගස්, විදුලි කණු ආදීය බැවුම් ප්‍රදේශය දෙසට ඇල වීමද බැවුම් ප්‍රදේශ වල සරුවට වැවී තිබු පොල් , පුවක් වැනි ශාක හදිසියේ මැරි යාමද, ගොඩනැගිලි පිපිරියාමද, ස්වභාවික ජල උල්පත් වල ජලය මඩ සහිත වීමද, බැවුම් ගිලා බැසීමට ලක් වීමද, සතුන්ගේ සහ පක්ෂීන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටාවන්ද නායයාම් තත්ත්වයක් ඇති වීමේ පුර්ව ලක්ෂණ ලෙස හදුනා ගන්නට පුළුවන් වෙනවා.

නාය යෑම් තත්ත්වයක් වළක්වා ගන්නේ මෙහෙමයි.

මේ ආකාරයට හඳුනා ගත හැකි නාය යෑම් තත්ත්වයන් සදහා වර්තමානයේ දී බොහෝ විට බලපාන්නේ මිනිසුන්ගේ අහිතකර ක්‍රියාකාරකම් වනවා. එනිසා මෙම තත්ත්වය වලක්වා ගැනීමේ හැකියාව පවතින්නේද මිනිසුන් වන අප තුලමයි. එනම් ජලය පහසුවෙන් බැස යාමට හැකි වන ආකාරයට කාණු පද්ධති සකස් කිරීම, කඳුකර ආශ්‍රිතව සිදු කරන වගාවන් සහ ඉදි කිරීම් නියමිත ආකාරයට සිදු කිරීම, පැරණි නාය යාම් සිදු වූ ප්‍රදේශ වලින් ජනතාව ඈත් කර තැබීම, වනාන්තර විනාශ කිරීම නවත්වා අලුතින් පැල රෝපණය කිරීම ආදිය හඳුනා ගන්නට පුළුවන් වෙනවා.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ පරිසරයට ආදරය කරන පරිසරය සුරකින මිනිසෙකු බවට පත් වීමයි. එවිට පරිසරය ද අපව ආරක්ෂා කිරීම සදහා ඉදිරිපත් වේවි. එමෙන්ම කඳුකර පරිසරය ආශ්‍රිතව සිදු වන වෙනස්කම් පිලිබඳව හොඳ අවධානයකින් සිටීම හරහා ස්වභාවික වෙනස් වීම් කල්තියා හඳුනා ගැනීමට හැකි වෙනවා. එමගින් සිදු විය හැකි අනතුරු අවම කරගන්නට පුළුවන් වෙනවා.

කවරයේ පින්තුරය: weatherwizkids.com 

මුලාශ්‍ර:

Related Articles

Exit mobile version