ගංඟාවකට, ඔයකට ගොස් යහළුවන් සමග දිය නාමින් විනෝද වන්නට බොහෝ දෙනෙකු ප්‍රියතාවයක් දක්වනවා. එවන් තැනකට ගිය විට ඉවුරු දෙපස සුලභව උණ ගස් වගාකර තිබෙන ආකාරය දක්නට පුළුවන්. ඉතාමත් අලංකාර ශාකයක් වන උණ ශාකය පරිසරයට සුන්දරත්වයක් එක් කරන ගමන්ම පරිසරය රැකගැනීමටත් දායකත්වයක් ලබාදෙනවා. වර්තමානය වන විට ලෝකයේ රටවල් බොහෝමයක් උණ ශාකය මහා පරිමාණයෙන් වගා කළත් ශ්‍රී ලංකාව තුළ තවමත් එය සිදුවන්නේ නැහැ.
ලෝකයේ බහුලවම උණ ශාකය දක්නට ලැබෙන ප්‍රදේශ
නිවර්තන සහ උප නිවර්තන කලාපීය රටවල හොඳින්ම වැවෙන උණ ශාකය ගිණිකොණ දිග ආසියාව, දකුණු ආසියාව, දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සහ අප්‍රිකාව යන ප්‍රදේශවල බහුලවම දක්නට ලැබෙනවා. චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, බ්‍රසීලය, චිලී, නයිජීරියාව ඉක්වදෝරය, මෙක්සිකෝව, සහ ඉතියෝපියාව වැනි රටවල්වල උණ ශාකය වැඩි වශයෙන් දක්නට පුළුවන්.
ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන උණ ශාක වර්ග
ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණයෙන් උණ වගාව සිදු නොවුණත් ගංගා ආශ්‍රිතව, වනාන්තර ආශ්‍රිතව උණ ශාකය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඇතැමුන් තම ගෙවත්තෙත් උණ පඳුරක් වවාගෙන තිබෙනු අපි ඉඳහිට දකිනවා. ලංකාව තුළ යෝධ උණ, කොළ උණ, කහ උණ, කටු උණ, චීන බට උණ, බට උණ, තායි උණ වැනි උණ ප්‍රභේදයන් කීපයක්ම දක්නට ලැබෙනවා. ඉන් බට උණ සහ කටු උණ යන ප්‍රභේදයන් හැර සෙසු උණ ප්‍රභේද සියල්ලම පසු කලෙක දී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ ඒවා යි. නමුත් ගංඟාවන් සහ ඔයවල් අසල බහුලවම දක්නට ලැබෙන්නේ කහ සහ කොළ පැහැති උණ ප්‍රභේද යි.
ගංඟාවන් දෙපස උණ ශාකය වගාකරන්නේ ඇයි?
ගංඟාවන් සහ ඔයවල් දෙපස ඉවුරු ඛාදනය වීම බලවත් පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ගංඟා සහ ඔය ඉවුරුවල උණ ශාකය වගාකර තිබෙන්නේ ඉවුරු ඛාදනයට පිළිතුරක් ලෙස යි. විශාල භූගත කඳන් සහ මූල පද්ධතියක් ඇති උණ ශාකය දැනටම ඛාදනය වී ඇති ඉවුරු සංරක්ෂණය කිරීමට ද යොදාගනු ලබනවා.
ලංකාවේ ගංගා සහ ඔයවල් ආශ්‍රිතව තැනින් තැන උණ ශාකය පැල වී තිබුණත්, එය නිසි වැඩපිළිවෙළක් ඔස්සේ වගාකිරීමෙන් ගං සහ ඔය ඉවුරු ඛාදනය තවදුරටත් පාලනය කර හැකි වනවා.
උණ ශාකයේ වෙනත් පාරිසරික ප්‍රයෝජන
ඇතැම් ශාකයන්ට සාපේක්ෂව උණ ශාකය කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් උරාගෙන ඒවා ඔක්සිජන් බවට පරිවර්තනය කර පරිසරයට මුදාහරිනු ලබනවා. අනෙකුත් ශාකයන් සේම උණ ශාකය ද පසට කාබනික ද්‍රව්‍ය සැපයීම සිදුකරනවා. උණ ශාකවල විශාල සෙවණ මඟින් පසෙහි ජලය වාෂ්පීකරණය අඩු කෙරෙනවා.
ඊට අමතරව ගංවතුර සහ නායයාම් වැනි ස්වභාවික විපත් පාලනය කිරීමට ද උණ ශාකයෙන් සහායක් ලැබෙනවා. රටවල් කීපයක්ම ඒ සඳහා උණ වගාව හඳුන්වා දී තිබෙනවා. ඒ පිළිබඳව හොඳ අත්දැකීමක් 2018 වසරේ දී කෙන්යාවෙන් අසන්නට ලැබුණා. 2018 වසරේ මාර්තු සහ මැයි මාස අතරතුර ඇති වුණු ගංවතුර සහ නාය යෑම් නිසා කෙන්යානු වැසියක් ලක්ෂ 3ක් පමණ අවතැන් වී 100කට අධික පිරිසක් මරණයට පත් වුණා. එම ගැටලුවට විසඳුමක් ලෙසින් ටානා නම් නිම්නය දෙපස උණ වගාකිරීම ආරම්භ කළා. එම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු බවට පත්වුණේ ගංගාවලට රොන්මඩ ගලා යාම අඩු කිරීම, සෝදා පාලුවට ලක්වුණු ගංඟා ඉවුරු ප්‍රතිසංස්කරණය කිරීම, සහ නායයාම්වලට නිරාවරණය වුණු ප්‍රදේශවල භූමිය ස්ථාවර කිරීම යි. ඊට අමතරව උණ ශාකයේ සංකීර්ණ මූල මණ්ඩලය ජල පෙරණයක් ලෙස ක්‍රියාකර බැර ලෝහ වැනි විෂ අහාර දාමයට පිවිසීමට පෙර පෙරා ඉවත් කරනු ලබන බව පැවසෙනවා.
උණ ශාකයේ එක් එක් කොටසින් ලබාගන්නා ප්‍රයෝජන
ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම උණ ගස ප්‍රයෝජනයට ගන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සඳහා යි. නමුත් උණ ශාකයට අයත් එක් එක් කොටසින් විවිධ ආකාරයේ ප්‍රයෝජන ලබාගැනීමට පුළුවන්.
උණ බටය (ව්‍යාජ කඳ)
ගොඩනැගිලි ඉදිකිරීමේ දී පලංචි සෑදීම සඳහා යොදාගනු ලබනවා. උණ බම්බුව ඉතා ශක්තිමත් නම්‍යශීලී කාෂ්ටකයකින් යුක්ත වන අතර වටිනා දැව ගස්වලට සමාන ඝනත්වයක් ද, විශාල ශක්තියක් ද තිබෙනවා. එම නිසා උණ ලීය පදම්කර ෆ්ලයිවුඩ්, පරාල, සහ ලෑලි වැනි දේවල් නිපදවනු ලබනවා. එම දැව ආදේශක නවීන ගොඩනැගිලි සෑදීමට යොදාගන්නා ප්‍රමිතියෙන් යුක්ත වන නිසා යුරෝපීය රටවල්වලින් සහ එක්සත් ජනපදයෙන් අධික ඉල්ලුමක් තිබෙනවා. එසේම උණ බටය යොදාගනිමින් විසිතුරු භාණ්ඩ, ගෘහ භාණ්ඩ වැනි දේවල් ද නිපදවනු ලබනවා. ඊට අමතරව ලාංකිකයන් උණ බට යොදාගනිමින් පැලළි ආවරණ, විසිතුරු වැටවල්, සහ ආගමික සැරසිලි තැනීම සිදුකරනවා.
උණ පත්‍ර
උණ පත්‍ර සත්ත්ව ආහාරයක් ලෙස භාවිතා කරනු ලබනවා. උණ පත්‍ර, අතු, රිකිලි වැනි කොටස් චීනයේ වෙසෙන පැන්ඩා සතුන්ගේ පමණක් නොව අලින්ගේ ද ප්‍රියතම ආහාරයක්. එසේම උණ පත්‍ර විවිධ රටවල් දේශීය ඖෂධයක් ලෙස යොදාගනු ලබනවා. ඊට අමතරව කඩදාසි නිෂ්පාදනයේ අමුද්‍රව්‍යයක් ලෙසින් උණ පත්‍ර එක් කර ගන්නවා.
ළපටි අංකුර
භූගත කඳෙන් මතුවන ළපටි අංකුරය විදේශීය රටවල්වල එළවළුවක් ලෙසින් ආහාරයට ගනු ලබනවා. එම රටවල්වල වෙළඳපොලෙහි ඉහළ වටිනාකමක් ඇති ආහාරයක් බවට ද එය පත්ව තිබෙනවා. එසේම ළපටි උණ අංකුර භාවිතා කරමින් සාදනු ලබන වෙනත් අහාර වර්ග අග්නිදිග ආසියානු රටවල්වල දී බහුලවම දැකගන්නට ලැබෙනවා.
වෙනත් ප්‍රයෝජන
උණ කෙඳි භාවිතා කරමින් රෙදිපිළි නිර්මාණය කිරීම චීනය වැනි රටවල්වල සිදුවනවා. ඊට අමතරව උණ බට පදම්කර ටයිල් වර්ග සහ සෙවිලි තහඩු නිෂ්පාදනය සිදුකරනවා. උණ ශාකය පඳුරු වශයෙන් වැවෙන නිසා විසිතුරු ශාකයක් ලෙසින් ද භාවිතා කරනු ලැබෙනවා.