Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංඥා බසින් අදහස් හුවමාරු කර ගත් “කොකෝ”

ලිඛිත මූලාශ්‍රයන්හි දැක්වෙන ආකාරයට සංඥා භාෂාවේ ආරම්භ සිදු වී ඇත්තේ 5 වෙනි සියවස තරම් ඈත කාලයේ දී යි. නමුත් වර්තමානයේ දී භාවිතා වන අන්තර්ජාතික සංඥා භාෂාව ක්‍රමයෙන් වර්ධනය වීම ඇරඹී ඇත්තේ 19 වෙනි සියවසේ දී වන අතර එය වඩාත් විධිමත් කිරීම සඳහා 1951 දී බිහිරි පුද්ගලයින් සඳහා වන ලෝක සංවිධානය (World Federation of the Deaf) පිහිටුවා තිබෙනවා. එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ලෝව පුරා වාසය කරන බිහිරි පුද්ගලයින්ට නිදහසේ අදහස් හුවමාරු කර ගත හැකි මාධ්‍යයක් හඳුන්වාදීම යි.

නමුත් සංඥා 1,000කට අධික ප්‍රමාණයක් භාවිතා කරමින් අදහස් හුවමාරු කර ගැනීමේ නිරත වූ කොකෝ, බිහිරි අයෙක් නොවන අතර ඉංග්‍රීසි භාෂාවේ වචන 2,000ක් පමණ හොඳින් තේරුම් ගැනීමේ හැකියාව පැවති ඇය මනුෂ්‍යයෙක් ද නොවෙ යි. සත්ත්ව සහකම්පනය සහ සන්නිවේදනය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් විද්‍යා ලෝකයට හෙළිදරව් කළ ඇය, Gorilla gorilla gorilla යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන බටහිර පහත්බිම් ගෝරිල්ලා (Western Lowland Gorilla) සත්ත්වයෙක්.

© National Geographic

නිදහස් දිනයේ දී උපන් කොකෝ

ජැක්ලින් සහ බිවානා නම් දෙමව්පියන්ට දාව සැන් ෆ්‍රැන්සිස්කෝ සත්ත්වෝද්‍යානයේ දී කොකෝ උපත ලබන්නේ 1971 වර්ෂයේ ජූලි 4 වැනි දින යි. පසු කාලීනව කොකෝ යන සුරතල් නාමයෙන් ලොව පුරා ජනප්‍රිය වන ඇයට උපතේ දී ලබා දී ඇති නාමය වන්නේ හනාබි-කෝ යන්න යි. ගිනිකෙළි සංදර්ශන රැසක් පැවැත්වෙන ඇමෙරිකානු නිදහස් දිනයේ දී උපන් බැවින් ජපන් බසින් ‘ගිනිකෙළි දරුවා’ යන අරුතෙන් ඇයට හනාබි-කෝ යන නාමය ලබා දී තිබෙනවා. සත්ත්වෝද්‍යානයක දී උපත ලද 50 වැනි ගෝරිල්ලා වන කොකෝ, ඇගේ දිවියේ පළමු වර්ෂය ගත කර ඇත්තේ ඇගේ මව සමග යි.

(© The Gorilla Foundation) වෛද්‍ය ෆ්‍රැන්සීන් ‘පෙනී’ පැටර්සන් සහ කොකෝ

නමුත් ඇයට වයස අවුරුද්දක් ව පැවතිය දී රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ව සත්ත්ව මනෝවිද්‍යාඥවරියක් වන වෛද්‍ය ෆ්‍රැන්සීන් ‘පෙනී’ පැටර්සන් වෙත යොමු කර තිබෙනවා. සංඥා බසින් අදහස් හුවමාරු කරගැනීම සඳහා කොකෝට මඟ පෙන්වා ඇත්තේ ඇය යි. පසුව සිදුකරන ලද පර්යේෂණ මගින් කොකෝ ඇතුළු ගෝරිල්ලන්ට කුඩා දරුවන් හා සමාන භාෂා හැකියාවන් පවතින බව හෙළිදරව් වුණා. සංඥා භාෂාව යොදා ගනිමින් ඇයට ව්‍යාකරණානුකූල නිවැරදි නොවූ එහෙත් නිසි පරිදි අවශ්‍ය අදහස සන්නිවේදනය කළ හැකි කෙටි වාක්‍ය ගොඩ නැංවීමට හැකි වූ අතර වයස අවුරුදු 19 වන විට ඇය කණ්ණාඩියකින් දිස් වන ඇයගේ රුව හඳුනා ගැනීමට සමත් වී තිබෙනවා.

පූස් පැටවුන්ට දැඩි ආදරයක් දැක් වූ ගෝරිල්ලා

කෙටි කාල සීමාවක් තුළ දී මැනවින් සංඥා භාෂාව ඉගෙන ගත් කොකෝ, 1983 වර්ෂයේ නත්තල් සමයේ දී ත්‍යාගයක් ලෙස පූස් පැටවෙකු ඉල්ලා සිටි අතර පර්යේෂකයන් ලබා දුන් පුළුන් පුරවන ලද සෙල්ලම් සත්ත්වයා ප්‍රතික්ෂේප කළ ඇය දිගින් දිගට සංඥා බසින් දක්වා ඇත්තේ ඇය අසතුටින් පසු වන බව යි. පසුව ඇගේ උපන් දිනය සඳහා පර්යේෂකයන් ඇයව පූස් පැටවුන් කණ්ඩායමක් අතරින් එක් පැටවෙකු තෝරා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දී තිබෙනවා. පුළුන් බෝලයක් මෙන් පෙනෙන අළු-සුදු පැහැ පූස් පැටවෙකු තෝරා ගත් කොකෝ, පූස් පැටවාව ‘ඕල් බෝල්’ ලෙස නම් කර ඇති අතර ඇය තමන්ගේ පැටවෙකු රැක බලා ගන්නා ආකාරයට පූස් පැටවාව රැක බලා ගත් බව යි වාර්තා වන්නේ.

© The Gorilla Foundation

වසරකට පසුව රිය අනතුරක් හේතුවෙන් ඕල් බෝල් මිය ගිය අතර එම සිදුවීම ඉතාමත් නරක සිදුවීමක් බව සංඥා බසින් ප්‍රකාශ කර සිටි කොකෝ, මාස කිහිපයක් ගත වන තෙක් අඬමින් කාලය ගත කර තිබෙනවා. ඉන් අනතුරුව ඇය යළිත් වරක් පූස් පැටවුන් දෙදෙනෙකු තමන්ගේ සුරතලුන් ලෙස තෝරාගෙන ඇති අතර ඔවුන්ව නම් කර ඇත්තේ ‘ලිප්ස්ටික්’ සහ ‘ස්මෝකි’ ලෙස යි. කොකෝ සමග කාලය ගත කිරීමේ දී පූස් පැටවුන් දක්වන ලද හැසිරීම, ඔවුන් මනුෂ්‍යයින් සමග කාලය ගත කිරීමේ දී දක්වන හැසිරීමට සමාන බව යි ඔවුන්ව නිරීක්ෂණය කරන ලද සත්ත්ව විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ.

2015 දී කොකෝගේ උපන්දිනය වෙනුවෙන් ඇයට යළිත් පූස් පැටවුන් දෙදෙනෙකු ලබා දී ඇති අතර ඔවුන්ගේ වර්ණය පදනම් කර ගනිමින් ඇය ඉතාමත් නිවැරදිව පූස් පැටවුන් ව ‘මිස් ග්‍රේ’ සහ ‘මිස් බ්ලැක්’ ලෙස නම් කර තිබෙනවා.

සුවපහසු කුහරයට යන්න ශුභ ගමන් !

සාමාන්‍ය ගෝරිල්ලා සත්ත්වයෙකුට වඩා ඉහළ බුද්ධියක් හිමි කොකෝගේ බුද්ධි මට්ටම 75 – 95 අතරේ (මනුෂ්‍යයෙකුගේ බුද්ධි මට්ටම සාමාන්‍යයෙන් 85 – 115 අතර අගයක් ගන්නවා) පැවති බව යි වාර්තා වන්නේ. එසේම වාර්තා වැඩසටහන් රාශියකට රංගනයෙන් දායක වූ ඇය සම්බන්ධයෙන් පොත් කිහිපයක් ද රචනා වී තිබෙනවා. ඇයගේ භාෂා හැකියාව සහ පූස් පැටවුන් කෙරෙහි දැක් වූ ආදරය හේතුවෙන් ලොව පුරා ජනප්‍රිය වූ කොකෝ, වයස අවුරුදු 46ක් ව තිබිය දී 2018 ජූනි 19 වැනි දින නින්දේ දී මිය ගියා. මිය යන විට ඇය වාසය කළේ කැලිෆෝනියාවේ වුඩ්සයිඩ්හි පිහිටි The Gorilla Foundation නම් ලාභ නොලබන ආයතනය සතු අභය භූමියක යි.

© Ronald H. Cohn

1985 දී කොකෝ සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවක දී එය මෙහෙය වූ සින්තියා ගෝනි, මරණයෙන් පසු ගෝරිල්ලන් වාසය කරන්නේ කුමන ස්ථානයක දැයි කොකෝගෙන් විමසා ඇති අතර එයට පිළිතුරු ලෙස ඇය ප්‍රකාශ කර ඇත්තේ මේ ලෝකයෙන් සමු ගැනීමෙන් පසු ගෝරිල්ලන් සියලු ම දෙනා සුවපහසු කුහරයකට යන බව යි.

කවරයේ පින්තූරය : © BBC

Related Articles