සත්ව ලෝකයේ සාර්ථක ම දඩයක්කරුවා

සත්ව ලෝකයේ දඩයම්කරුවන් ගැන කියපු ගමන් හැමෝට ම මතක් වෙන්නේ බොහෝවිට ගොඩබිම වෙසෙන සිවුපා සතෙක් හෝ උරග විශේෂයක් හෝ විශාල පක්ෂීන් වෙන්න පුළුවන්. ඒත් සත්ව ලෝකයේ වඩාත් ම සාර්ථක දඩයම්කරුවා වෙන්නේ මේ කවුරුවත් නෙමෙයි, කෘමි සතෙක්. බත්කූරා නමින් හඳුන්වන මේ කෘමි සතා නොදන්නා කෙනෙක් නැති තරම්. දඩයමක් සාර්ථක කරගැනීමේ ප්‍රතිශතය 95%කට වැඩි අගයක් බත්කූරා පෙන්වන හින්ද තමයි උන් සාර්ථක ම දඩයක්කරුවන් ලෙස හඳුන්වන්නේ. උකුස්සකුගේ මේ අගය 22%ක් පමණත් සිංහයකුගේ 30% ක් පමණත් වෙනවා. ගොඩබිම ජිවත් වෙන සාර්ථක ම දඩයක්කරුවා වන හයිනාවන්ට පවා තියෙන්නේ ගොදුරක් සාර්ථක කරගැනීමේ 67%ක හැකියාවක්. එහෙනම් බත්කූරාට මේ තරම් හැකියාව ලැබුණේ කොහොමද?

බත්කූරා ගැන මූලික කරුණු

සත්ව වර්ගීකරණයට අනුව ගත්තා ම බත්කූරා අයිති වෙන්නේ අනිමේලියා රාජධානියේ ආත්‍රපෝඩා වංශයේ ඉන්සේක්ටා කියන වර්ගයට. මේ වංශයේ ඕඩනාටා (Odonata) කියන ගෝත්‍රයේ Anisoptera කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන්නේ මේ කට්ටියව තමයි. මෙම ගෝත්‍රයට අයත් බත්කූරු විශේෂ 7000ක් විතර ලෝකය පුරා පැතිරිලා ඉන්නවා. ඕඩනාටා ගෝත්‍රය කියන්නේ ලෝකයේ පරණම කෘමි ගෝත්‍රයක්. මෙයාලට අවුරුදු මිලියන 330ක ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු මිලියන 100කට එපිට ජීවත් වුණු ඩයිනොසර්ලාටත් කලින් බත්කූරන්ගේ මුතුන්මිත්තන් ජීවත් වෙලා තියෙනවා.

මේ බව තහවුරු වෙන්නේ ඒ කාලයේ හිටිය ඕඩනාටාවංශිකයින්ගේ පොසිලවලින්. බත්කූරාගේ මේ පොසිල බොහෝදුරට අද ජිවත් වෙන බත්කූරාගේ පෙනුමට ඉතා සමාන යි. හැබැයි විශාල යි. කොච්චර විශාලද කියනවා නම් ඔවුන්ගේ පියාපත් කෙළවරවල් අතර දුර (Wingspan) අඟල් 28ක් විතර වෙනවා. අද වෙද්දී ජිවත් වෙන විශාලම බත්කූරෙක්ගේ තටු අතර දුර වෙන්නේ උපරිමය අඟල් 7.5 යි.

Odonata fossil
උතුරු අමෙරිකාවෙන් හමුවූ විශාලම ඕඩනාටාවංශිකයෙක්ගේ පොසිලයක් සහ මිනිසෙක්ගේ විශාලත්වය සමඟ සංසන්දනයක් – fossilmuseum.net

පරිණාමයත් එක්ක ප්‍රොටෝඩනාටාවෝ කුඩා වුණේ ඇයි කියන එකට පැහැදිලි හේතුවක් තවම සොයාගෙන නැහැ. ඒත් විද්‍යාඥයෝ උපකල්පනය කරනවා වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය වසර මිලියන 300කට පෙර 31%ක් තරම් ඉහළ අගයක් ගැනීම විශාල කෘමි සතුන්ට ස්වසනය සඳහා පහසුවක් වන්නට ඇති කියලා. අද වෙද්දී වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය 21%ක් වීම නිසා විශාල කෘමීන්ට ශ්වසනය අසීරු බවයි ඔවුන් පෙන්වලා දෙන්නේ.

කෘමි සතුන් ස්වසනය කරන්නේ ඔවුන්ගේ උච්චර්මයේ තියෙන spiracle නම් සිදුරුවලින්. මේවා හරහා වැඩි සාන්ද්‍රණයේ සිට අඩු සාන්ද්‍රණයට ඉබේම ඔක්සිජන් ගමන් කරනවා ආයාසයක් යොදලා හුස්ම ගැනීමට අමතරව. ආයාසයක් යොදවලා හුස්ම ගැනීම Active විදිහටත් ඉබේ සිදුවීම Passive විදිහටත් හඳුන්වනවා. Passive ක්‍රමය සිදුවෙන්න නම් වායුගෝලයේ වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයක් තියෙන්න අවශ්‍ යයි.

oxygen saturation change over time
පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය වෙනස් වූ අයුරු – wattsupwiththat.com

බත්කූරෙක්ගේ ජීවන චක්‍රය සාමාන්‍ය කෘමි සතෙක්ගේ ජීවන චක්‍රයට වඩා වෙනස් වෙනවා. ඒ ප්‍රධාන අවධි 4ක් වෙනුවට 3ක් පමණක් පැවතීම. බිත්තර අවස්ථාව, කීට (larva) අවස්ථාව සහ වැඩුණු බත්කූරකු බවට පත්වීම එම අවස්ථා ත්‍රිත්වය වෙනවා. සාමාන්‍ය කෘමි සතුන් වගේ පිලව් (pupa) අවස්ථාවක් මේ අයට නැහැ. බත්කූරා බිත්තර දමන්නේ ජලය තුළ යි. ගැහැනු සහ පිරිමි සතෙක් එක්වුණාට පස්සේ එක්වීමෙන් මිනිත්තු කීපයක් තුළ ගැහැනු සතා ජලය තුළ බිත්තර දමනවා. බොහෝ අවස්ථාවල සංසර්ගයේ යෙදී ඉද්දී ම බිත්තර දැමීමට සුදුසු තැනකට ගැහැනු සතා ගෙන යාම කරන්නේ පිරිමි සතා ම යි.

dragonfly laying eggs and larvae
වම්පස: ගැහැනු සතා ජලජ පැලෑටි සහිත පරිසරයක බිත්තර දැමීම, දකුණුපස: වැඩුණු බත්කූරු කීටයෙක් – threeriversparks.org

 

සති දෙක තුනකින් බිත්තර පුපුරලා කීටයන් එළියට එනවා. මේ කීටයන් ජිවත් වෙන්නේ ජලය තුළ ම යි. උදරය සොලවා මාළුවන් මෙන් පිහිනා යන්නත් ඔවුන්ට පුළුවන්. කීට අවස්ථාවේදී හුස්ම ගැනීමට කරමල් පවා තිබෙනවා. තමන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා ඕනෑම ජීවින් මේ අය ආහාරයට ගන්නවා. සමහර විට වෙනත් බත්කූරන් විශේෂයක කීටයන් හෝ තමන්ගේ ම විශේෂයේ නොවැඩුණු කීටයන් වෙන්නත් පුළුවන්. බත්කූරු කීටයන් කීට අවධියේ ම හොඳ දඩයක්කරුවන් වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 1 – 3ක් අතර කාලයක් කීට අවස්ථාවේ ගතකරන කීටයන් ජලයෙන් උඩට ඇවිත් තමාගේ පිටත සම හළලා තටු සහිත බත්කූරකු බවට පත්වෙනවා. සමහර වර්ගවල කීටයන් බත්කූරෙක් වෙන්න වසර 5ක් ගත වෙන්නත් පුළුවන්.

ගොදුරු සොයා ගැනීමට උදව් වන ඇස

බත්කූරන්ගේ දැවැන්ත ගෝලාකාර ඇස් බොහෝ දෙනා දැක ඇති. ඔවුන්ට ම ආවේණික වුණු සංයුක්ත අක්ෂි විශේෂය කෘමි සතුන් අතර දකින්න ලැබෙන විශාල ම අක්ෂි විශේෂයත් වෙනවා. මෙම එක ඇසක් 30,000කට පමණ බෙදුණු මුහුණත් ප්‍රමාණයකින් සමන්විතයි. මේවා හඳුන්වන්නේ Ommatidia නමින්. මේ කුඩා මුහුණත් ක්‍රියා කරන්නේ හරියට කුඩා කාච වගේ. ඒවා යොමු වෙලා තියෙන දිශාවෙන් එන ආලෝකය ලබාගැනීම තමයි ඒවාහි කාර්යය වෙන්නේ.

සත්ව ලෝකයේ හමුවන සතුන් අතරින් හොඳ ම වර්ණ පෙනීමක් තියෙන්නේ බත්කූරන්ට යි. මිනිසුන් වන අපට තියෙන්නේ ත්‍රි-වර්‍ණමය (tri-chromatic) දැක්මක්. ඒකෙන් අදහස් කරන්නේ අපි සියලු ම වර්ණ දකින්නේ රතු, නිල් සහ කොළ සංයෝජනයක් විදිහට කියන එක යි. මේකට බලපාන්නේ අපේ ඇස්වල තිබෙන තුන් වර්ගයක ආලෝක සංවේදී ප්‍රෝටීන යි (Opsin). ක්ෂීරපායීන්ගේ ඉඳන් කුරුල්ලන් හා කෘමීන් දක්වා සත්වයින් ද්වි, ත්‍රී හෝ උපරිම ලෙස සිවු -වර්‍ණමය දැක්මක් සහිතව යි උපදින්නේ. හැබැයි බත්කූරන් සතු ව ආලෝක සංවේදී ප්‍රෝටීන විශේෂ 11ක් වත් තිබෙනවා. සමහර බත්කූරන්ගේ opsin වර්ග 30ක් පමණත් හමුවෙනවා. කලින් සඳහන් කරපු Ommatidia එකක opsin 4-5ක් දකින්න පුළුවන්.

dragonfly complex eyes
කොටස්වලට බෙදුණු විශාල අක්ෂි යුගළය – pinterest.com

 

බත්කූරන්ට තැඹිලි පැහැයේ සිට පාරජම්බුල දක්වා වර්ණ පරාසයක වර්ණයන් පේනවා. මේ නිසා දිවා කාලයේ දඩයම් කිරීම පහසු යි. ඒ වගේම ප්‍රජනනයට සහකාරියක් සොයා ගැනීමත් ජලය තියෙන ස්ථාන හඳුනා ගන්නත් මේ වර්ණ පරාසයේ පෙනීම උදව් වෙනවා. බත්කූරෙක් ඉහළ අහසේ ගමන් කළත් ඉතා කුඩා ජලය තියෙන පොකුණක් උනත් පෙනෙන්නේ ඉන් පරාවර්තනය වෙලා එන ආලෝකය උගේ ඇසට ගැටීම නිසයි. මේ හින්දා ගෙදරක හදපු කුඩාම පොකුණක වුණත් බත්කූරන් ගැවසෙනවා අපිට දකින්න පුළුවන්.

බත්කූරෙක්ගේ ගෝලාකාර ඇසේ ඉහළට වෙන්නට තියෙන Ommatidia වඩා සංවේදී වෙන්නේ වැඩි සංඛ්‍යාතයක ආලෝක තරංගවලට යි. ඒ කියන්නේ පාරජම්බුල කිරණ සහ නිල් වර්ණයට. ඇසේ පහළට වෙන්නට අඩු සංඛ්‍යාතයක් තියෙන කොළ සහ තැඹිලි වර්ණයන්ට සංවේදී වෙනවා. බත්කූරෙක් බොහෝවිට ගොදුරු සොයා පියාසර කරන්නේ ජල පෘෂ්ටයට ඉහළින් සහ ආසන්නයෙන්. මේ හින්දා අහසේ නිල් වර්ණයෙන් ගොදුරක් හෝ තමන්ගේම වර්ගයේ සහචරයෙක් වෙන් කරලා හඳුනා ගන්න ඉහත පිහිටීම උදවු වෙනවා.

ommatidia
බත්කූරෙක්ගේ සංයුක්ත අක්ෂියක Ommatidia පිහිටා ඇති ආකාරය – scienceblogs.com

 

කාච කොටස් බොහොමයකට වෙන් වෙලා ඇස පිහිටීමෙන් වඩා තියණු පෙනුමක් ලැබෙන්නේ නැහැ. උදහරණයක් විදිහට මිනිසකුට පෙනෙන තරමේ පැහැදිලි රූප සහ දුර බත්කූරකුට පෙනෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉතා කුඩා චලනයක් වේගයෙන් හඳුනාගැනීමේ විශේෂ හැකියාවක් බත්කූරාට තියෙනවා. තමන්ට තරමක් දුරින් ඉන්න ගොදුරක් ඇසේ දර්ශන ක්ෂේත්‍රය හරහා අංශකයක විතර කුඩා චලයනයක් සිදු කිරීම ම බත්කූරාට ඒ ගොදුර පසුපස පැන්නීමට ප්‍රමාණවත්. අංශකයක් කියන්නේ සාමාන්‍යයෙන් Ommatidia දෙක තුනකින් ම අදාළ ගොදුර පෙනුණා කියන එකයි. මේ කුඩා සංඥාවට ඉතා වේගයෙන් ප්‍රතිචාර දක්වන්න බත්කූරාට පුළුවන්. විලොපිකයන්ගෙන් ආරක්ෂා වෙන්නත් මේ හැකියාව උදවු වෙනවා.

බත්කූරාගේ අක්ෂි ගෝල උගේ හිස වටේ ම වැහෙන විදිහට පිහිටලා තියෙනවා. ඊට අමතර ව තමන්ගේ හිසත් යම් ප්‍රමාණයකට කරකවලා උපරිම පෙනීමක් ලබාගන්න බත්කූරාට පුළුවන්. මේ නිසා බත්කූරකු ගේ ඇසේ දර්ශන ක්ෂේත්‍රය අංශක 360ක් විතර වෙනවා. මේ නිසයි වලිගයෙන්වත් බත්කූරෙක් ඇල්ලීමට අපහසු වෙන්නේ. ඉහත විස්තර කරපු සංයුක්ත ඇස් දෙකට අමතර ව සරල ඇස් තුනක් ද බත්කූරෙක්ගේ හිසෙහි පිහිටා තිබෙනවා.

dragon fly simple eyes
3, 4 සහ 5 ලෙස නම් කර ඇත්තේ බත්කූරාගේ සරල අක්ෂි ත්‍රිත්වයයි – quora.com

බත්කූරු තටුවේ අපූරු වායුගතික සැකැස්ම

හොඳ දඩයක්කරුවකුට විශේෂ ලෙස සකස් වුණු අක්ෂි පද්ධතියකට අමතර ව ඒවායෙන් ලැබෙන සංඥාවලට ප්‍රතිචාර දක්වන්න පුළුවන් චාලක පද්ධතියක් ද තිබීම අත්‍යාවශ්‍ යයි. බත්කූරාට ස්වභාව ධර්මයෙන් ඒ සඳහා ලබා ඇත්තේ අද්විතීය පියාසැරි අනුවර්තනයක්. ගෙවත්තේ පියාඹන බත්කූරන් අප කවුරුත් දැක තිබෙනවා. උන් ඉතාම වේගයෙන් තැනින් තැනට ගමන් කරලා ඒ ස්ථානවල නැවතීත් ඉන්නවා (hover) දැකගන්න පුළුවන්. මීට අමතර ව උඩු යටිකුරු වෙලා පියාඹන්නත් එක තැන සිට අංශක 360 ක් දක්වා ම හැරෙන්නත් බත්කූරන්ට පුළුවන්.

බත්කූරාගේ මේ විශේෂ හැකියාවන් නිසා විද්‍යාඥයන් උන්ගේ පියාසර හැකියා පිළිබඳ ව විශාල පර්යේෂණ ගණනාවක් සිදු කර තිබෙනවා. විවිධ වර්ගවල බත්කූරන් අල්ලාගෙන උන්ගේ තටුවල ඉතා කුඩා සංවේදක සවිකර තටුවල හැසිරීම නිරීක්ෂණය කරනවා. ඒ වගේම උන් පියාඹන්නට සලස්වන්නේ වර්ණ දුමාරයක් සහිත කුටීරයක නිසා බත්කූරාගේ තටුවලින් වාතයේ සිදුවෙන කැළඹීමත් ඔවුන් නිරීක්ෂණය කරනවා.

dragonfly aerodynamics
පරිගණක ආශ්‍රයෙන් ලබාගත් වායු හැසිරීම පෙන්වන ත්‍රිමාණ දත්ත සටහන් – royalsocietypublishing.org

බත්කූරකුට තමන්ගේ සිරුරේ බර මෙන් තුන්ගුණයක විතර එසවුම් බලයක් ලබාදෙන්න පිටේ සවි වී තියෙන පියාපත් යුගළ දෙක උදව් වෙනවා. ඒවායින් මේ තරම් බලයක් ලැබෙන්නේ ඒවා ක්‍රියාකරන්න ම වෙන් වුණු පේශීන් පිහිටා තිබීම නිස යි. බොහෝ කෘමි සතුන්ගේ පියාපත් ක්‍රියාත්මක වෙන්නේ පපු ප්‍රදේශය සංකෝචනය හා දිගහැරීම සිදුකරන පේශීන්වලින්. ඒවා සෘජුව ම පියාපත් හා සම්බන්ධ වෙන්නේ නැති නිසා Indirect flight muscle ලෙසයි හඳුන්වන්නේ. බත්කූරන්ගේ පියාපත් 4ට ම වෙන් වෙන් ව පේශීන් පිහිටා තියෙනවා. මේ පේශීන්වලින් එක් එක් තටුවට ස්වාධීන ව සිරස්, තිරස් සහ ව්‍යවර්තීය චලනයන් ලබාදෙන්න පුළුවන්. මේ නිසා බත්කූරකුට පෙර සඳහන් කරපු සංකීර්ණ චලනයන් ලබාගන්න අපහසු වෙන්නේ නැහැ.

indirect vs direct flight muscles
පේශි සෘජුව ම තටුවලට සවි නොවූ සහ සවි වූ අවස්ථාවන් – amentsoc.org

හිසට ආසන්නයේ පිහිටා ඇති තටු යුගළයත් පිටුපස ඇති තටු යුගළයත් සෑම විට ම එක ම විදිහට ක්‍රියාකරන්නේ නැහැ. අවශ්‍යතාව අනුව තටු යුගළ දෙකේ කලා වෙනසක් (phase difference) පවත්වා ගන්න බත්කූරන්ට පුළුවන්. අහසේ නැවතී ඉන්නත් සෙමින් ගමන් කරන්නත් බත්කූරන් යොදා ගන්නේ තටු යුගළ දෙක අතර අංශක 180ක කලා වෙනසක්. ඒ කියන්නේ ඉදිරිපස තටුව ඉහළ උපරිමයට ළඟා වෙද්දී පිටුපස තටුව පහළ අවමයට ළඟා වෙනවා කියන එකයි. බත්කූරාට වැඩිම එසවුම් බලයක් ලැබෙන්නේ මේ ආකාරයට පියාසර කරන විට යි.

උපරිම වේගයෙන් චලනය වන්නට අවශ්‍ය වුණා ම කලා වෙනස අංශක 90ක් දක්වා අඩු කර ගන්නවා. ඒ කියන්නේ ඉදිරිපස තටුව පහළ අවම පිහිටුමේ පවතිද්දී පිටුපස තටුව තිබෙන්නේ මැද තිරස් පිහිටුමේ සහ පහළට ගමන් කරමින්. සමහර බත්කූරු විශේෂ පැයට කිලෝමීටර 55ක උපරිම වේගයකට ළඟා වෙන්නෙත් මේ ක්‍රමයට තටු සැලීම ප්‍රයෝජනයට අරගෙනයි. බත්කූරන් වැඩි ත්වරණයක් ලබාගන්න අවශ්‍ය වුණාම කලා වෙනසක් නැතුව තම තටු යුගළ සැලීම සිදුකරනවා. ඒත් දිගු කාලයක් ඒ ආකාරයෙන් තටු සැලීම බත්කූරන්ට අසීරුයි. බොහෝවිට ගොදුරක් හඹා යද්දී පමණක් මේ පියාසැරි ක්‍රමවේදය යොදා ගැනෙනවා.

තත්පරයට වාර 40 දක්වා තටු සැලීම කිරීමේ හැකියාවක් බත්කූරන්ට තිබෙනවා වුණත් වායුගෝලයේ සුළං ප්‍රවාහ (updraft) ප්‍රයෝජනයට අරගෙන තටු නිශ්චල ව තියාගෙන ඉන්නත් බත්කූරන්ට පුළුවන්. බත්කූරා පසුපසට පියඹන්නේ තමන්ගේ සිරුර සිරස් කර ගැනීමෙනු යි. එතකොට තටුවලින් ලැබෙන එසවුම් බලයෙන් බත්කූරා පිටුපසට ගමන් කෙරෙනවා.

pterostigma
බත්කූරන්ගේ පියාපතක දක්නට ඇති විරුද්ධ භාරය හෙවත් pterostigma කොටස – .researchgate.net

පේශි පද්ධතියේ විශේෂ සැකැස්මට අමතර ව බත්කූරන්ගේ පියාපතකත් විශේෂ ලක්ෂණයක් විදිහට තටුවක ඉදිරිපස කෙළවර ම තියෙන විරුද්ධ භාරය (counter weight) දක්වන්න පුළුවන්. මේ භාරය (pterostigma) බත්කූරාගේ ශරීරයේ බරෙන් 0.1% ක් විතර වුණත් එයින් කෙරෙන සේවාව සුළුපටු නැහැ. සාමාන්‍යයෙන් වේගයෙන් ගමන් කරන වස්තුවල තියෙන ඝනකමින් අඩු කොටස්වල ලෙළදීමක් (flutter) ඇතිවෙනවා. සුළං පහරකට ලක්වුණා ම තටු කෙළවරවල් ලෙළදෙනවා ඔබ දැක ඇති. ගුවන් යානාවල තටු කෙළවරවල් පවා සකස් කරලා තියෙන්නේ එවැනි flutter සිදුවීම වැළකෙන විදිහට යි. බත්කූරාගේ පියාපත් කෙළවරට අමතර භාරයක් එකතු වී තියෙන නිසා වේගයෙන් ගමන් කරද්දී තටු අනවශ්‍ය ලෙස ලෙළදීම නවතිනවා.

ගොදුරු අල්ලා ගැනීමේ උපායමාර්ගය

ඔබ නිශ්චල ව සිටගෙන ඔබේ දෑස් ස්ථාවර ව තබා ගත්තොතින් චලනය වන ඕනෑම වස්තුවක ප්‍රතිරූපය ඔබේ දෘෂ්ටි විතානය හරහා ගමන් කරනවා. ඒ වුණත් ඔබ ඉදිරියට ඇවිදිමින් යම් දිශාවකට හැරෙනවා නම්, ඒ හා සාපේක්ෂ ව චලනය වන වස්තුවට වෙන ම චලනයක් එකතු වෙනවා සේ පෙනෙනවා. ඔබේ ස්වයං චලිතය හේතුවෙන් වස්තුවේ සිදුවනවා සේ පෙනෙන චලනය, වස්තුවේ ප්‍රකෘති චලනයෙන් වෙන්කර හඳුනා ගැනීම අමාරුයි. මිනිසුන්ට මේ හැකියාව ස්වභාවිකව පිහිටලා නැති නිසා අපි දක්ෂ දඩයම්කරුවන් වෙන්නේ උපකරණ භාවිතයෙන් විතරයි. හැබැයි සත්වයන් උපදින්නේ සහජයෙන් ම මෙම හැකියාවන් එක්ක.

සාමාන්‍යයෙන් බොහෝ විලෝපිකයන් ගොදුරක් අල්ලා ගැනීමට භාවිත කරන්නේ ලුහුබැඳීමේ (tracking) ක්‍රමවේදය වෙනවා. මේකෙදි තමන්ගේ දර්ශන පථයේ එක ම පිහිටුමක ගොදුර පවත්වා ගැනීමයි වෙන්නේ. ගොදුරට වඩා වැඩි වේගයක් ලබාගන්න පුළුවන් විලෝපිකයන්ට ගොදුර හිමි වෙනවා. තවත් ක්‍රමවේදයක් වෙන්නේ අතරමගදී හරස් කිරීම (interception)යි. මෙම ක්‍රමයට ගොදුරු ඇල්ලීමට නම් ගොදුර තවත් සුළු කාලයක දී සිටින ස්ථානය පුරෝකථනය කරගන්න අවශ්‍ය යි. මෙම හැකියාව බොහෝ සතුන්ට පවතින්නේ නැහැ. මිනිසාටත් එය ලබා ගන්න පුළුවන් පුහුණුවකින් විතරයි.

dragonfly intercept prey
හරස් කිරීමේ ක්‍රමවේදයට ගොදුරක් අල්ලාගන්නා ආකාරය පෙන්වන සටහනක් – sciencedirect.com

 

ඒත් බත්කූරාට සහජයෙන් ම මෙම හැකියාව ලැබිල තිබෙනවා. උන් මුලින් ම ගොදුර හඳුනා ගන්නේ යම් ස්ථානයක නිශ්චල ව නැවතී සිටිද්දී යි. ඉන් පස්සේ ගුවන්ගත වීම අරඹන බත්කූරා, ගොදුර තව සුළු මොහොතකින් සිටින ස්ථානය වෙත තම ශරීරය යොමු කර පහළ සිට පහර දෙනවා. ශරීරය හැරවීම නිසා ගොදුර බත්කූරාගේ දර්ශන පථයෙන් පිටතට යාමට ඉඩ තිබෙනවා වුණත්, ඌ තම හිස ගොදුර දිශාවට කරකැවීමෙන් එය වලක්වා ගන්නවා. හිසේ භ්‍රමණය ශරීරයේ චලනයත් එක්ක ක්‍ෂණිකව සිදුවෙන නිසා ගොදුරක් වෙනුවෙන් උත්සාහ දරන අවස්ථාවලින් 95% කදීම සාර්ථකත්වයට පත්වෙන්න බත්කූරාට පුළුවන්.

බත්කූරා ලුහුබැඳීමේ ක්‍රමයටත් කෘමි සතුන් දඩයම් කරනවා. ඒත් බහුල ව ම භාවිත කරන්නේ ශක්ති වැයවීම අඩු සහ සාර්ථකත්වයෙන් වැඩි හරස් කිරීමේ ක්‍රමවේදය බව පැවසිය යුතු යි.

කවරයේ ඡායාරූපය:  - බත්කූරු මුහුණක සමීප රුවක් -  Getty images

මූලාශ්‍ර:

britannica.com

sciencedirect.com

curiositystream.com

threeriversparks.org

naturenorth.com

nationalgeographic.com

brisbaneinsects.com

science.org

asknature.org  

Related Articles

Exit mobile version