Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවත්තේ තිබෙන විෂ සහිත ශාක කිහිපයක්

බොහෝ දෙනෙකු සිය ගෙවත්ත අලංකාර කරගැනීම සඳහා විවිධ ශාක වර්ග සහ වැල් වර්ග වගා කරන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. එලෙස වගා කරන සමහර ශාක බැලූ බැල්මට සුන්දර වුණත් එහි අසුන්දර පැත්තකුත් තිබෙනවා. ගෙවත්තට සුන්දරත්වයක් එක් කරන සමහර ශාකවල තිබෙන විෂ සහිත බව නිසාම කුඩා දරුවන් මරණයට පත් වුණු සිද්ධි අප අසා තිබෙනවා. ඔබගේ නිවසේ කුඩා දරුවන් සිටිනවා නම් ගෙවත්තේ එවැනි ශාක තිබීම ඉතාමත් අවදානම්. සමහර විට ඇතැම් ශාකවල තිබෙන විෂ සහිත බව ගැන අවබෝධයක් නොමැතිව ඔබ එම ශාක ගෙවත්තේ වගා කර තිබෙනවා වන්නට පුළුවන්. එසේ නම් පහත දැක්වෙන්නේ ගෙවත්තේ තිබිය හැකි එවැනි විෂ සහිත ශාක කිහිපයක් පිළිබඳව යි. 

ඔළිඳ

ඔළිඳ කියන නම ඇසූ සැනින් අපට මතක් වන්නේ ඔළිඳ කෙලිය නම් ක්‍රීඩාව යි. සාමාන්‍යයෙන් ඔළිඳ වැල් අතීතයේ දී ගෙවතුවල සුලභවම දක්නට ලැබුණා. ඔළිඳ ශාකයේ කොළ දේශීය වෙදකම සඳහා ද පැරැන්නන් භාවිතා කළා. ඔළිඳ වැලේ හටගන්නා කරල් තුළ සෑදෙන ඇට කළු සහ තැඹිලි/රතු වර්ණයෙන් යුක්ත වනවා. ඔළිඳ ඇට බොහෝ විට ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහා යොදාගන්නවා. 

ඔළිඳ ඇටය බැලූ බැල්මට සුන්දර වුණත් ඒවා හැපීම මඟින් ඒබ්‍රින් නම් විෂ ශරීරගත වනවා. එම විෂ ඇති කිරීම සඳහා එක් ඔළිඳ ඇටයක් හොඳටම ප්‍රමාණවත්. ඒබ්‍රින් ශරීරගත වුණු විට වමනය, මළපහ සමග රුධිරය පිටවීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා. එසේම වැඩි ඒබ්‍රින් විෂ ප්‍රමාණයක් ශරීරගත වුණු විට වකුගඩු අක්‍රීය වීම පවා සිදුවිය හැකියි. ඔබගේ දරුවා තවමත් ප්‍රාථමික ශ්‍රේණියක අධ්‍යාපනය ලබනවා නම් ඔළිඳ ඇට අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීමට සිදුවන අවස්ථාවල ඔබ දරුවා ගැන විමසිල්ලෙන් සිටීම මඟින් අනතුරු ඇතිවීම වලක්වාගත හැකියි.

ඔළිඳ ඇට (Lakviru.com)

කනේරු/ කදුරු

කනේරු කා මියගිය පුද්ගලයන් ගැන නිතර අසන්නට ලැබෙන නිසා කනේරු විෂ සහිත ශාකයක් බව කවුරුත් හොඳින්ම දන්නවා. නමුත් කනේරු ශාකයේ සුන්දරත්වය නිසා ගෙවතු අලංකරනය සඳහා ඇතැම් අය එය භාවිතා කරනවා. එසේම විසිතුරු මල් පැළ අලෙවිසැල්වල ද මෙම ශාකය දක්නට ලැබෙනවා. 

ඇතැම් ප්‍රදේශවල ‘කදුරු’ යන නාමයෙන් ද හැඳින්වෙන කනේරු ශාකවල විවිධ කොටස් විෂ සහිත වුණත් උග්‍ර විෂක් ඇත්තේ කනේරු ඇටවල යි. ලංකාවේ කනේරු ලෙස හැඳින්වෙන ශාක වර්ග දෙකක් දක්නට ලැබෙනවා. ‘කදුරු’ යනුවෙන් හඳුන්වන, වඩා විශාල ගස් හැදෙන කහ සහ ලා තැඹිලි පැහැති කනේරු එක් වර්ගයක් වන අතර, ගෙවතුවල විසිතුරු මල් පැළයක් ලෙස සිටුවන, රෝස, රතු, සුදු ආදී පැහැ මල් හටගන්නා කනේරු වර්ගය අනෙක යි. ගෙඩි සහ ඇට හටගන්නේ කහ/ ලා තැඹිලි කනේරු ප්‍රභේදයේ පමණක් වන නමුත්, ගෙඩි හට නොගන්නා රෝස පැහැති කනේරු වර්ගයේත් මල් සහ කොළ විෂ සහිත වනවා. මේවා එක පවුලේ නමුත් ගෝත්‍රයන් දෙකක ශාකයන් වර්ග දෙකක්.

කනේරු ශාකවල අඩංගු විෂ, කාඩියැක් ග්ලයිකොසයිඩ් නම් ප්‍රභේදයට අයත්. මේවා ශරීරගත වීම නිසා හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩපණ වී හුස්ම හිරවීම නිසා මරණයට පත්විය හැකියි. කුඩා දරුවන් නොදැනුවත්කම නිසා මෙවැනි ශාකවල ගෙඩි හෝ කොළ ආහාරයට ගැනීමට ඉඩ තිබෙනවා. එසේම පානීය ජලයට කනේරු මල් එකතු වූවොත් විෂ වීමට ඉඩ තිබෙනවා. එම නිසා කනේරු ශාකයක් ඔබේ නිවසේ තිබෙනවා නම් ඉහත කරුණු පිළිබඳව අවධානය යොමුකර අනතුරු සිදුවීම අවම කරගන්න.

කනේරු ශාකයක් (sundara Lakdiwa)

නියඟලා 

නියඟලා මල ඉතාමත් සුන්දර යි. එනිසා නියඟලා වැල් ගෙවතු අලංකරණය සඳහා යොදා ගන්නා ආකාරය අප දැක තිබෙනවා. නමුත් නියඟලා උග්‍ර විෂ සහිත ශාකයක් බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. නියඟලා ශාකයේ සෑම කොටසක්ම විෂ සහිත වුණත්, වැඩිම විෂ ප්‍රමාණයක් ඇත්තේ එහි අලයේ යි. නියඟලා අලයේ ඇති විෂ ශරීරගත වීමෙන් පසුව බඩ රිදීම, වමනය, ලේ සහිත මළපහ පිටවීම ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. එම විෂ හෘදය, වකුගඩු, පෙනහළු ආදී ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රීන්වලට ද හානි සිදුකරනවා. එම තත්ත්වය වර්ධනය වීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වීමට පවා ඉඩ තිබෙනවා. 

මෙම ශාකයේ මල් ඉතාමත් අලංකාර නිසා කුඩා දරුවන් සිටින නිවෙස්වල වැවීමට සුදුසු නැහැ. ඔවුන් සෙල්ලම් කිරීමට මෙම ශාකයේ මල් සහ කොළ භාවිතා කළොත් අනතුරු සිදුවීමට ඉඩ තිබෙනවා. එසේම නියඟලා ශාකය හුළංකීරිය අල වගා කර ඇති ස්ථානයක සෑදී තිබුණොත් අත්වැරැදීමකින් හුළංකීරියයැ යි සිතා නියඟලා ආහාරයට ගැනීමේ අවදානමක් තිබෙනවා. එයට හේතුව වන්නේ එම අල වර්ගයන් දෙක පෙනුමෙන් තරමක් සමාන වීම යි. එම නිසා ආහාරයට ගන්නා අල වර්ග ආසන්නයේ නියඟලා ශාකය වැවී ඇත්නම් වහාම ඉවත් කළ යුතු යි.

පානීය ජලයට නියඟලා මල් මුසුවීමෙන් ද විෂ ශරීරයට ඇතුල් විය හැකියි. එම නිසා පානීය ජලය ලබාගන්නා නොගැඹුරු මූලාශ්‍රයයන්ට මෙම ශාකය මුසුවීමේ අවදානමක් තිබේනම් එය ඉවත් කිරීම වඩාත් සුදුසු යි.

නියඟලා ශාකයක් (subasetha)

හබරල වර්ග 

බොහෝ දෙනෙකු ගෙවතු අලංකරණය සඳහා විවිධ හබරල ශාක වර්ග සුලභවම භාවිතා කරනවා. අලංකාර වර්ණවලින් සමන්විත හබරල ශාක විසිතුරු පැල අලෙවි කරන ස්ථානවල දී දක්නට ලැබෙනවා. එම ශාක මිල දී ගන්නා ඇතැම් උදවිය නිවස තුළ ද හබරල වර්ග සිටවූ පෝච්චි තබා තිබෙනවා. ආකර්ෂණීය වර්ණයන්ගෙන් යුත් එම කොළ නිවසේ සිටින කුඩා දරුවෙකු සැපීමෙන් විෂ ශරීරගත විය හැකියි. හබරල සැපීමෙන් මරණයක් වාර්තා වී නැතත්, දරුවාගේ දිව, තොල්, උගුර, කම්මුල් ආදිය ඉදිමීම, තුවාල සිදුවීම සිදුවිය හැකියි. ඔබ ගෙවත්ත හෝ නිවස අලංකරණය කිරීම සඳහා හබරල ශාක භාවිතා කර තිබේ නම් ඒවා ඔබගේ කුඩා දරුවන්ගෙන් ඈත් කර තැබීම නුවණට හුරු යි. 

හබරල ශාක (Magnolia Landscaping)

ඉහත සඳහන් කළ ශාකවලට අමතරව ඇතැම් නිවෙස්වල දක්නට ලැබෙන එඬරු සහ අත්තන යන ශාකවල ඇට ආහාරයට ගැනීමෙනුත් විෂ ශරීරගත විය හැකියි. එම ශාක වර්ග දෙකම ඖෂධීය ගුණයෙන් යුක්ත නිසා ඇතැම් ගෙවතුවල දක්නට ලැබෙනවා. නමුත් අත්වැරැදීමකින් එම ශාකවල ඇට ආහාරයට ගතහොත් මරණය පවා උරුම විය හැකියි. බොහෝ විට ගෙවත්තේ තිබෙන විෂ සහිත ශාකවලින් අනතුරු සිදුවීමට වැඩි ඉඩක් තිබෙන්නේ කුඩා දරුවන්ට යි. එම නිසාම දෙමාපියන් විසින් දරුවන් පිළිබඳව විමසිලිමත් වීම තුළින් එම අනතුරු අවම කරගත හැකියි.

කවරයේ ඡායාරූපය- නියඟලා මල (Picture.lk)

Related Articles