සිංහයන්, හිපපොටේමස්, රයිනෝසිරස් වැනි සතුන් අප්‍රිකානු සතුන් විදිහට යි අපි හිතාගෙන ඉන්නේ. හැබැයි ඉන්දියාවෙත් සිංහයො, රයිනෝසිරස්ලා නම් ඉන්නවා. අපට සිංහයන්, රයිනෝසිරස්, හිපපොටේමස් වැනි සතුන් බලන්න ඕනෑ නම් අපට සතුන් වත්තකට යන්න වෙනවා. එහෙත් අතීතයේ රත්නපුර ප්‍රදේශයේ මේ සතුන් ජීවත් වූ බවට ෆොසිල සාධකවලින් හෙළි වෙලා තියනවා. ඒ සතුන්ගේ ෆොසිල රත්නපුර ජාතික කෞතුකාගාරයේ දී, එහෙම නැත්නම් කොළඹ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී දැකගන්නත් පුළුවන්. රත්නපුර කටුගෙයි එළිමහනේ මේ සතුන්ගේ අපූරූ අනුරූ නිර්මාණය කර ඇති අන්දමත් දැකගත හැකියි. බ්‍රිතාන්‍ය ස්වභාවික විද්‍යා කෞතුකාගාරය, ලන්ඩන් නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාරය, අමෙරිකාවේ හාවඩ් සත්ත්ව විද්‍යා කෞතුකාගාරය වැනි ස්ථානවලත් මේ ෆොසිල තැන්පත් කර තිබෙනවා.
වඳවී ගිය අතීත සතුන් ගැන පර්යේෂණ
ලංකාවේ අතීතයට අයත් මේ සතුන් ගැන මුලින්ම ලෝකයට කිව්වේ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල. ඔහු ඒ කාලෙ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ වශයෙන් හිටියේ. රත්නපුර කුරුවිට නිජබිම කරගත් ආචාර්ය දැරණියගල, රත්නපුර අවට මැණික් පතල් ආශ්‍රිතව කළ ගවේශනවලින් වඳවී ගිය සත්ත්ව ප්‍රජාවක් ගැන අප තුළ කුතුහලය මතුකරන තොරතුරු ඉදිරිපත් කළ විද්වතෙක්. ඒ ගැන ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණ කෘතියක් ද ඔහු පළ කළා. මෙම අවධිය පිළිබඳව ඔහු විසින් සිදුකෙරුණු අධ්‍යයනයන්ගේ විස්තර හා ප‍්‍රතිඵල අන්තර්ගත කරමින් රචනා කරන ලද කෘතියට, ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයය විසින් ආචාර්ය උපාධිය පිරිනැමුනා. ඒ නිබන්ධනය පදනම් කරගනිමින් The Pleistocene of Ceylon නම් කෘතිය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පළමු වරට 1958 වසරේ දී ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සොයාගත් ක්ෂීරපායී සතුන්ගේ ෆොසිල වැඩිම සංඛ්‍යාවක් හමුවී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිත වයි. රත්නපුර සත්ත්ව ප්‍රජාව (Ratnapura Fauna) යන නමින් හඳුන්වන මේ ෆොසිල පොළෝ මට්ටමේ සිට මීටර් 4-12 අතර ගැඹුරක බහුලව පැතිර තිබෙනවා. සමහර ෆොසිල මීටර 35ක් තරම් ගැඹුරකින් ද හමුවී තිබෙනවා.
ප්ලයිස්ටොසීන යුගය
පුරා භූ විද්‍යාවට අනුව අද අප ජීවත් වන්නේ හොලෝසීන අවධියේ යි. අදින් වසර 10,000කට එපිට සිට ඇරඹුණු හොලෝසීන යුගයට ඉස්සර පැවතුණේ අධික සීතලක් පැවති ප්ලයිස්ටෝසීන හිම යුගය යි. එය වර්ෂ 10,000-12,000 සිට වර්ෂ 180,000ක් දක්වා ඈතට ඇදී යන යුගයක්. ලංකාව සහ ඉන්දියාව එකම භූ කලාපයක් ලෙස එක්ව පැවතුණේ ඒ කාලයේ යි. ඊට පසුව ලංකාව ඉන්දියාවෙන් වෙන්වී වෙනම දූපතක් බවට පත් වුණා. රත්නපුර මුල් කාලීන අවධිය අයත් වන්නේ ප්ලයිස්ටොසීන හිම අවදියේ මධ්‍ය හා ඉහළ කොටසට යි. එනම් අදින් වසර ලක්ෂ 78000 සිට ලක්ෂ 2 දක්වා කොටසට යි. මේ අවධියට අයත් සාධක රත්නපුර දියළු පස් තැන්පතුවලින් හමුවී තිබෙනවා. රත්නපුර මැණික් පතල් පැතිර තිබෙන්නෙත් මේ දියළු තැන්පතු ආශ්‍රිතව යි. අවිස්‌සාවේල්ල හා රත්නපුරය අතර වූ පහත් තැනතලා ප්‍රදේශ ප්ලයිස්‌ටොසීන කාලයේ විශාල වගුරක්‌ව පැවති බවත්, එහි හිපොපොටේමස් වැනි සතුන් ජීවත් වූ බවත් එම කලාපයෙන් හමුවන හිපොපොටේමස් ෆොසිල අනුව දැරණියගල තීරණය කරනවා. මේ කාලය අසල්වැසි ඉන්දියාවේ නර්මදා සත්ත්ව සංහතියට සමාන කළ හැකි බව භූ විද්‍යාඥයන් පවසනවා. ඒ අනුව අදින් වසර දසදහස් ගණනාවකට පූර්වයෙන් ලංකාව හා ඉන්දියාව අතර නිර්මාණය වී පැවැති ගොඩබිම් තීරය ඔස්සේ මෙම සතුන් දෙරට අතර නිදහසේ සංචරණය කර තිබෙන බව භූ විද්‍යාඥයන් පවසනවා.
ප්ලයිස්ටොසීන හිම යුගයේ සාධක
ප්ලයිස්ටෝසීන තැන්පතු ගැන වැදගත්ම සාධක හමුවී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. අදටත් එහි බොහෝ ප්‍රදේශ දියසීරාව සහිත තෙත් දේශගුණයෙන් යුක්ත යි. ඒ වගේම සිංහරාජය ඇතුළු සදාහරිත වනාන්තරත් පැතිර තිබෙනවා. අවම වශයෙන් ප්ලයිස්ටෝසීන මැද භාගයේ සිට ඉහළ ප්ලයිස්ටෝසීන යුගය දක්වා මේ සාධක හමුවෙනවා. මේ කාලයේ අප රටේ දේශගුණික පාරිසරික මෙන්ම ශාක සහ සත්ත්ව ප්‍රජාවගේ ද පැහැදිලි වෙනස් වීමක් දැකැනීමට පුළුවන්. රත්නපුර මැණික් නිධිවලින් තමයි මේ සාධක හමුවන්නේ. මේ කාලයේ දී ජීවත් වූ සතුන් කොටස් තුනකට බෙදීමට පුළුවන්.
- ප්ලයිස්ටෝසීන යුගයේ ප්‍රභවය වී ඒ අවදියේම වඳවී ගිය සතුන් – රයිනෝසිරස්, හිපපොටේමස්, සිංහයා
- ප්ලයිස්ටෝසීන යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා සිටි සතුන් – ගවරා
- ප්ලයිස්ටෝසීන යුගයේ සිට අද දක්වා ජීවත්වන සතුන් – තිත්මුවා
සබරගමු සිංහයා පැන්තෙරා ලියෝ
වර්ෂ 1930 දී මුලින්ම සිංහ ෆොසිල දෙකක් සොයාගැනීමට ආචාරය චැරණියගලට අවස්ථාව ලැබුණා. ඔහු ඊට වසර හයකට පසු 1936 දී සිංහ දත් දෙකක් සොයා ගත්තේ කුරුවිට ප්‍රදේශයෙන්. එම සිංහයාට ඔහු Panthera leo sinhaleyus යන සත්ත්ව විද්‍යාත්මක නාමය ද ලබා දුන්නා. එම සිංහ දත් දෙක යටි හනුවේ වම්පස චාර්වක දත් තුනෙන් එකක් ලෙස සහ යටි හනුවේ දකුණුපස රදනක දත ලෙස පසුව හඳුනාගත්තා. පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ මේ ෆොසිල වර්ෂ ලක්ෂයක් පමණ පැරණි විය හැකි බව යි.
වර්තමානයේ ආසියානු සිංහයන් ඉන්දියාවේ ගුජරාටයේ ගිරි නැමැති වනයට පමණක් සීමා වී සිටියත්, ප්ලයිස්ටොසීන් යුගයේ දකුණු ආසියානු කලාපයේ සිංහයන් පුළුල්ව වාසය කළ බව දැරණියගලගේ සොයාගැනීම් අනුව පැහැදිලි වෙනවා.
රත්නපුර ව්‍යාඝ්‍රයා
දැන් අප රටේ වාසය කරන්නේ තිත් වැටුණු කොටි විශේෂයක් (Panthera pardus kotiya). මුන් “දිවියා” යනුවෙනුත් බහුලව හැඳින්වෙනවා. ඒ සතුන් ලංකාවට ආවේණික උප විශේෂයක්. නමුත් ඉන්දියාවේ වාසය කරන ව්‍යාඝ්‍රයාට සමාන කොටි විශේෂයක් රත්නපුර අවට වාසය කළ බවට සාධක ෆොසිල 9කින් තහවුරු වී තිබෙනවා. මෙම ෆොසිල මීට වසර 14000-17000ක කාලයකට අයත් බව සැලකනවා. මේ කොටියාට ලබාදී ඇති නම Panthera tigris.
ඝන වැසි වනාන්තරවල ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වන කොටියා නිතර දඩයමේ යන සතෙක්. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ආශ්‍රිතව තමයි කොටි ෆොසිල වැඩිපුර හමුවී ඇත්තේ. 1963 දී පී.ඊ.පී. දැරණියගල කොටි ෆොසිල කොටස් සොයාගත් අතර ඊටපසු 1982 දී කුරුවිට බටදොඹ ලෙන කැණීමෙන් ද කොටි ෆොසිල හමුවුණා.
රයිනෝසිරස් සහ හිපපොටේමස්
අප්‍රිකානු වනාන්තරවල වාසය කරන රයිනෝසිරස් ලංකාවේ විසූ බවට සාධක මුලින්ම හෙළිදරව් කර ගත්තේ 1936 දී ලැබුණු (Rhinoceros sinhaleyus) ෆොසිල සාධක ආශ්‍රයෙන්. කුරුවිට හිරිලියැද්ද, තලපිටිය මැණික් පතල්වලින් උන්ගේ ෆොසිල දැරණියගලට හමුවී තිබෙනවා.
හිපපොටේමස් ෆොසිල (Hexaprotodon sinhaleyus) මුලින්ම 1937 දී හමුවූ අතර ඊට පසුද විවිධ අවස්ථාවල හමුවී තිබෙනවා. පහළවෙල, ගල්ලැන්ද මණ්ඩිය, ගෝනපිටිය යන පතල්වලින් හිපෝ ෆොසිල මතුවී තිබෙනවා. මෙම පතල් පිහිටා තිබෙන්නේ කුරුවිට කුරුගඟ අවට යි. මීටර් 6.5ක් පහළ පස් තට්ටුවලින් තමයි පුරාණ හිපෝලා හමුවුණේ. දත්වල ප්‍රමාණයන් හා එහි රූපවිද්‍යාත්මක ලක්‌ෂණ අනුව රයිනෝසිරස් විශේෂ දෙකක් අප රට ජීවත් වූ බව දැරණියගලගේ ෆොසිල අධ්‍යයන මඟින් සනාථ වී තිබෙන කාරණයක්.
වඳවී ගිය දැවැන්ත අලියා
අද නම් රත්නපුරේ අලි ඉන්නේ රක්වානේ සිංහරාජ වනපෙත අවට සහ සමනළ අඩවිය ආශ්‍රිතව අලි කිහිප දෙනෙක් වශයෙන් පමණ යි. දැනට දැකගත නොහැකි අලි විශේෂයන් දෙකක් ඒ කාලේ රත්නපුර කැලෑවල ජීවත්ව සිටියා. වත්මන් අලියාට වඩා පෙනුමෙන් වෙනස් මේ අලි විශේෂය Elephas maximus sinhaleyus ලෙස දැරණියගල නම් කර තිබෙනවා. දැනට වර්ෂ ලක්ෂයකට පෙර උන් ජීවත්ව සිටි බව තමයි සැලකෙන්නේ.
එදා ආචාර්ය දැරණියගල සොයාගත් මේ ෆොසිල සාධක තවත් රත්නපුර අවට මැණික් පතල්වල වැළලී පවතිනවා. සමහරක් ෆොසිල පතල් කණින අයගේ නිවෙස්වල තබා තිබෙන බව ද පැවසෙනවා. ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කිරීමේ ව්‍යාපෘතියක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ රත්නපුර ව්‍යාපෘති කාර්යාලය මඟින් පසුගිය කාලයේ ආරම්භ කළා.