Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරුණියකගේ ආදරය අහිමි වීම නිසා සියදිවි නසා ගත්, ඩොල්පින් මත්ස්‍යයා

ස්නායු විද්‍යාඥයෙකු වූ වෛද්‍ය ජෝන් සී. ලීලී, 1960 දශකයේ දී විද්‍යාව තුළ යම් පෙරළියක් කරන්නට සමත් වූ විද්‍යාඥයෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. 1942 දී ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා සරසවියෙන් වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහු කළ අත්හදා බැලීම් සහ පරීක්ෂණ බොහෝ දෙනෙකුගේ අවධානය ලබා ගැනීමට හැකි වූ දෙයක් බවට පත් වුණා. ඔහුගේ පරීක්ෂණයන් අතර විශේෂිත පරීක්ෂණයක් වුණේ මොළයේ සංවේදකයන්වලට මානසිකත්වයේ බලපෑම පිළිබඳ ව සොයා ගැනීමට කළ පරීක්ෂණය යි. වෛද්‍ය ජෝන් මේ සඳහා යොදා ගත්තේ තල්මසුන් හා ඩොල්පින් මත්ස්‍යයන් ය. වෛද්‍යවරයා මේ මසුන් තෝරා ගැනීමට හේතුව වූයේ ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය ගැන ඔහු කළ සොයාබැලීමකින් අනතුරුව යි.

ස්නායු විද්‍යාඥ, වෛද්‍ය. ජෝන් සී. ලිලී (Wikimedia Commons)

වෛද්‍ය ජෝන්ගේ පරීක්ෂණයන් සඳහා අනුග්‍රාහය දැක්වූයේ NASA ආයතනය විසින්. ඔහුගේ පරීක්ෂණාගාරය රහසක් ව යි පැවතුණේ. පරීක්ෂණාගාරය පිහිටා තිබුණේ කැරබියන් දූපත්වලට අයත් සාන්ත තෝමස් නම් දූපතේ යි. මෙය නිර්මාණය කර තිබුණේ ඩොල්පින් මත්ස්‍යයන් සමග පරීක්ෂණ කිරීමට පහසු ආකාරයෙනුයි. එය පුරා ම ජල තාටක පිහිටා තිබුණු අතර, ඩොල්පින් මත්ස්‍යයන් පහසුවෙන් එහා මෙහා ගමන් කරවීමට හැකියාවක් තිබුණා.

සාන්ත තෝමස්වල පිහිටා තිබුණු පරීක්ෂණාගාරය (Youtube/BBC)

මෙම පරීක්ෂණාගාරය තුළ ඩොල්පින් මත්ස්‍යයන් තිදෙනෙකු සිටි අතර, ඔවුන්ගේ නම් වුණේ පීටර්, පැමලා, හා සීසී. මේ ඩොල්පින් තිදෙනා මාර්ගයෙන් විවිධ පරීක්ෂණ කළ අතර, ඔවුන්ට මිනිස් භාෂාව ද ඉගැන්වීම සිදුකරනු ලැබුවා.

පරීක්ෂණාගාරය තුළ සිටි ඩෝල්පින් මත්ස්‍යයෙක් (Youtube/BBC)

1964 දී දූපත තුළ ජීවත් වූ තරුණියක වුණු මාග්‍රට් හොව් ලොවට්ට මේ පරීක්ෂණාගාරය ගැන ආරංචි වෙනවා. ඒ ඇයගේ ඥාති සහෝදරයෙකු මාර්ගයෙන්. කුඩා කාලයේ සිට ම සත්ත්වයන් ගැන ආසාවක් දක්වපු ඇයටත් මේ පරීක්ෂණයට සම්බන්ධ වෙන්න ආසාවක් ඇති වෙනවා. මාග්‍රට් පරීක්ෂණාගාරය සොයා ගෙන ගිය අතර, එහි දී පරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂක ග්‍රේගරි බෙට්සන් ව හමුවෙනවා. මාග්‍රට් ඇයගේ ආසාව ගැනත්, ඇයට ඔවුන් සඳහා උදව් කළ හැකි බවත් පවසා සිටියා. ග්‍රේගරි ඇය ව සේවයට එකතු කර ගන්නා අතර, ඇයට රාජකාරීය ලෙස පැවරුවේ ඩොල්පින් මත්ස්‍යයන්ගේ ඇය දකින වෙනස් වීම් සටහන් කරගැනීම යි. ඒ වගේ ම ඇයට ඕනෑම වෙලාවක පරීක්ෂණාගාරය වෙත ඒමට ද ඔහු විසින් අවසර ලබා දුන්නා.

මාග්‍රට් හොව් ලොවට් ඩොල්පින් මත්ස්‍යයන් සමග (Youtube/BBC)

මාග්‍රට්ගේ උනන්දුව සහ ඇයගේ කැපවීම පරීක්ෂණාගාරයේ විද්‍යාඥයින්ට ඇය ගැන හොඳ අදහසක් ගොඩනඟා ගැනීමට හේතුවක් වුණා. ඒ නිසා ම කිසිදු විද්‍යාත්මක පුහුණුවක් නොලද ඇය ව ඔවුන්ගේ පරීක්ෂණවලට ද සම්බන්ධ කර ගන්නත් ඔවුන් කැමති වුණා. මාග්‍රට් කිසිදු ආකාරයකින් එයට සුදානම් නොවුණු කෙනෙක් වුණත්, පසු ව ඇය එයට හුරු වෙන්නට වුණා. වෛද්‍ය ජෝන්ටත්, මාග්‍රට් හටත් මේ පරීක්ෂණාගාරය තුළ සිදු වූ ක්‍රියාවලියන් පිළිබඳ ව සෑහීමකට පත් වන්නට නොහැකි ව යි හිටියේ. ඒ නිසා ම දෙදෙනා ම එකතු වී අමුතු අදහසක් ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තා. ඒ මාග්‍රට් රාත්‍රී කාලයෙත් ඩොල්පින් ලා සමග සිටිමින් ඔවුන් සමග කාලය ගත කිරීම යි.

මාග්‍රට් රාත්‍රී කාලයේ දී ඩොල්පින් ලා සමග කාලය ගත කිරීමට තෝරා ගත්තේ පරීක්ෂණාගාරයේ ම ඉහළ කොටස යි. වෛද්‍ය ජෝන්ට මාග්‍රට් තමන්ගේ අදහස කියූ අතර, ඔහු විසින් කඩිනමින් ඇයට අවශ්‍ය පහසුකම් සපයා දී පරීක්ෂණාගාරයේ ඉහළ කොටස ජලය පිරවිය හැකි ලෙස නිර්මාණය කර දුන්නා. මාග්‍රට් තමන්ගේ අලුත්ම නිවහනේ ඇය සමග කාලය ගත කිරීමට තෝරා ගත්තේ පීටර් නැමැති යෞවන වියේ පසු වූ ඩොල්පින් මත්ස්‍යයා යි.

මාග්‍රට්, පීටර් නම් ඩොල්පින් සමග (Youtube/BBC)

ඒ අනුව මේ දෙපළ 1965 ජුනි මාසයේ දී පරීක්ෂණාගාරයේ නව කොටසට පදිංචිය සඳහා යනවා. පරීක්ෂණාගාරයේ උඩුමහළ අඟල් 18ක් පමණ උසට ජලයෙන් යට කෙරූ අතර, මාග්‍රට් සඳහා වෙනම ඇඳක් එහි මධ්‍යයේ වෙන්නට ලෑස්ති කර, ලිවීම් සහ කියවීමේ කටයුතු සඳහා ලුණු මඟින් වහළයේ එල්ලූ මේසයක් සවි කර තිබුණා. සියලු පහසුකම් සහිත වූ නිසා මාග්‍රට් ඇයගේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. මුලික වැඩ කටයුතු ඉතාමත් සාර්ථක වූ හෙයින් ඇය, සතියකට දින 6ක් පීටර් නම් ඩොල්පින් සමග ගත කිරීමට කටයුතු කළා. පීටර් සහ මාග්‍රට් අතර හොඳ බැඳීමක් ද ඒ නිසා ම ඇති වුණා. සතියේ අවසාන දිනය පීටර්ට, පැමලා සහ සීසී සමග කාලය ගත කිරීමට ඉඩ ලබා දුන්නා. මාග්‍රට්ගේ පළමු උත්සාහය වුණේ පීටර්ට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට ඉගැන්වීම යි. එය සාර්ථක නොවුණත්, අසාර්ථක වුණේ ද නැහැ.

පීටර් “M” ශබ්දය කියන්නට පුරුදු වුණා. ඒ මාග්‍රට්ගේ නම කීමට පීටර්ට ඉගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස යි.

මාග්‍රට්, පීටර් සමග සංවාදයේ යෙදෙමින් (Youtube/BBC)

මාග්‍රට් පරීක්ෂණයේ යෙදී ඉන්න අතර පීටර්ගෙන් තරමක වෙනස් ආකාරයේ හැසිරීමක් දකින්නට පුළුවන් වුණා. ඒ කාලයත් සමග පීටර් ඇයට ළං වෙන්නට උත්සාහයක යෙදෙන ආකාරය යි. පීටර්ගේ ලිංගිකත්වය තරමක් ඇය අසල දී වැඩි වී තිබුණා. ඒ නිසා ම ඇය පීටර් ව නැවතත් පැමලා සහ සීසී සිටින තටාකය වෙත දැම්මත්, පීටර් නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ පරීක්ෂණ කටයුතුවලට ද බාධා කරමිනුයි. පීටර්, මාග්‍රට් තටාකයට බැස සිටි අවස්ථාවල දී ඇයගේ දෙපාවල ඇතිල්ලීමට වැඩි කැමත්තක් දැක්වූවා. පරීක්ෂණයන් අතර දී ඩොල්පින් මත්ස්‍යයන්ගේ සෞඛ්‍ය මට්ටම පවත්වා ගෙන යාම වැදගත් වුණා, ඒ අතරට ඔවුන්ගේ ලිංගිකත්වය ද අයත් වුණා. යෞවන වයසේ සිටි පීටර්ට පැවතියේ දැඩි ලිංගික අාශාවක්. එය සැපිරීමට පීටර් ව පැමලා, සීසිගේ තටාකයට දැම්මත් පීටර් එයට කැමති වුණේ නැහැ.

මේ හේතුවෙන් මාග්‍රට් හට ඉතිරි ව තිබුණේ පීටර්ගේ ලිංගික ආශාව ඇය හරහා සපුරා ගැනීමට ඉඩ දීමයි. මාග්‍රට් මේ සිදුවීම ගැන පවසා තිබුණේ එය ලිංගිකත්වයට වඩා එහාට ගිය සෞඛ්‍යමය දෙයක් බව යි. පීටර් මාග්‍රට්ගේ දෑත්වලත්, දෙපාවලත්, කලවාවලත් ඇතිල්ලීමට විශාල කැමත්තක් දැක්වූවා. එය ලිංගික එක්වීමක් නොවුණු අතර, පීටර් මාග්‍රට්ගේ ඇඟේ ඇතිල්ලෙමින් ඔහුගේ ලිංගික ආශාවන් සපුරා ගත් බව සඳහන් වෙනවා. සෑම අවස්ථාවක ම මාග්‍රට් තටාකයට බැස විගස ම ඇයට ළං වී, ඇයගේ දෙපා අතරට වී සිටියා. මාග්‍රට් වෙනත් වැඩක නිරත වී සිටියොත් ඇයට බාධා කරමින් අවධානය ලබා ගන්නට පීටර් නිතර ම උත්සාහ කර තිබෙනවා. පීටර් හා මාග්‍රට් අතර දැඩි සම්බන්ධයක් ගොඩනැඟී තිබුණු බවත් සඳහන් වෙනවා.

පීටර්, මාග්‍රට්ගේ දෙපා අතර දැවටෙමින්. (Youtube/BBC)

වෛද්‍ය ජෝන් ද ඒ අතර ම ඔහුගේ පරීක්ෂණ කරගෙන ගිය අතර, ඔහු මාග්‍රට්ට වඩා වෙනස් ක්‍රමවේදයන් අනුගමනය කළ කෙනෙක් වුණා. ඔහු ඩොල්පින් මත්ස්‍යයන්ට මාග්‍රට් තරම් ළං වී සිටියේ නැහැ. ඔහු පරීක්ෂණ අතරතුර ඩොල්පින් ලා හට LSD මත්ද්‍රව්‍ය එන්නත් කර තිබුණා. මේ පිළිබඳ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට දැන ගන්නට ලැබෙන අතර, ඔහු විසින් ව්‍යාපෘතිය සඳහා සැපයූ සියලු ආධාර කපා හරිනු ලබනවා. ඒ අනුව ස්නායු විද්‍යාඥ, වෛද්‍ය ජෝන් සී. ලිලීගේ පරීක්ෂණ කටයුතු නතර කර දමනු ලබනවා. ඒ අනුව මාස 6කට පසු ව පරීක්ෂණාගාරය වසා දමන්නට තීරණය කරනවා. ඩොල්පින් මත්ස්‍යයන් නැවතත් සත්ත්ව නිවහන් වෙත පිටත් කර හරිනවා. පීටර් ව පිටත් කර හැරියේ ඇමෙරිකාවේ මියාමි ප්‍රාන්තයේ ම තිබූ පරීක්ෂණාගාරයක් වෙත යි. මාග්‍රට් සහ පීටර්ගේ වෙන්වීම තරමක් ශෝකජනක දෙයක් බවට පත් වුණා.

කාලයක් ගත වුණා. මාග්‍රට්ට හිටි හැටියේ දුරකථන ඇමතුමක් ලැබුණු අතර, එම ඇමතුම අරන් තිබුණේ වෛද්‍ය ජෝන් සී. ලිලී විසිනුයි. ජෝන්ගේ පණිවිඩයට මාග්‍රට් කම්පාවට පත් වුණා. ඒ පණිවිඩයේ කියැවුණේ පීටර් සියදිවි නසා ගෙන ඇති බව යි. ඩෝල්පින් මත්ස්‍යයන්ට ශ්වසනය සඳහා ඔක්සිජින් ලබා ගැනීමට ජලයෙන් පිටතට යම් වෙලාවක් පැමිණිය යුතු යි. නමුත් පීටර් එලෙස පිටතට පැමිණිම ප්‍රතිකේෂ්ප කර තිබුණා. ශ්වසන කිරීමට ඔක්සිජන් නොලැබීම නිසා ම පීටර් තටාකය යට ම මියගොස් තිබුණා. සත්ත්ව විද්‍යාඥයින් පවසන්නේ ඩොල්පින් මත්ස්‍යයන්ගේ මෙවැනි දේවල් කලාතුරකින් දැකිය හැකි බව යි. පීටර්ගේ මරණයට හේතුව වී තිබුණේ මාග්‍රට් නැතිනම්, පීටර්ගේ සහායිකාව ඔහුගෙන් වෙන් කිරීම යි.

මෙම සිදුවීම පසු ව ප්‍රසිද්ධියට පත් වූ අතර, ‘ඩොල්පින් මත්ස්‍යයෙකු හා ලිංගික ව එක් වූ තරුණියක්’ යනුවෙන් විවිධ කතා ඇමෙරිකානු සඟරා තුළ ද පළ වී තිබුණා.

1970 දශකයේ Hustler සඟරාවේ පළ වූ ලිපියක් (The Guardian)

පළ වූ මෙම ලිපිවල සියලු පිටපත් මාග්‍රට් සොයා ගෙන කියෙව්වා. එහි පළ වූ සියලුම දේවල්වල සඳහන් තොරතුරු ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. පීටර් සහ ඇය අතර තිබුණු සම්බන්ධය, ඒ සඟරා කතාවලට වඩා වෙනස් වූ දෙයක් බව ඇය පවසා තිබුණා. මාග්‍රට් පසු ව, ඇය සේවය කළ පරීක්ෂණාගාරයේ ම ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කළ පුද්ගලයා සමග විවාහ වූ අතර වෛද්‍ය ජෝන් සී. ලිලී, ඩෝල්පින් මත්ස්‍යයන් සමග කළ සියලු පරීක්ෂණ ද නවතා දැමුවා.

මෙම සිදුවීම පසු ව ඩොල්පින් සහ මිනිසා අතර පරීක්ෂණ සිදුකරන බොහෝ පර්යේෂකයන්ට තමන්ගේ පරීක්ෂණ සඳහා පිටිවහලක් වූ අතර, ඔවුන් මෙම ජෝන් සී. ලිලීගේ පර්යේෂණ නැවුම් ආකාරයෙන් සිදුකිරීමට උත්සාහ කරන්නට යෙදුණා.

Related Articles