Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නීතිවිරෝධී සත්ත්ව වෙළඳාමේ දුක්බර ඇතුළාන්තය

ගෙවී ගිය නොවැම්බර් මාසයේ දී ලෝක වනජීවී අරමුදල මඟින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්වුණේ 1970 – 2014 අතර කාල සීමාවේ දී පෘථිවියේ පෘෂ්ඨවංශීන්ගේ ගහනය 60% කින් පමණ පහළ බැස ඇති බව යි. මෙයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ස්වභාවික වාසස්ථාන අහිමි වීම වුව ද ඇත් දළ සඳහා ඇති ඉල්ලුම, සාම්ප්‍රදායික චීන ඖෂධ සඳහා අවැසි රයිනෝ අඟ සහ ව්‍යාඝ්‍ර අස්ථි ලබා ගැනීම, විදේශ වෙළඳපොළේ අලෙවි කිරීම සඳහා දුර්ලභ සත්ත්ව සහ පක්ෂි විශේෂ අල්ලා ගැනීම වැනි විවිධ ස්වරූපයන් ඔස්සේ රහසිගත ව සිදුවන නීති විරෝධී සත්ත්ව වෙළඳාම, බොහෝමයක් සත්ත්ව විශේෂයන්ගේ පැවැත්ම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පැවසීමේ වරදක් නැහැ. නීතිවිරෝධී අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවන අයුරින් ම ජාත්‍යන්තර ජාලයන් ඔස්සේ සිදුවන නීති විරෝධී සත්ත්ව වෙළඳාම‍, විශාල වශයෙන් ආදායම් රැගෙන එන ව්‍යාපාරයක් බවට පත් ව ඇති බව යි ලෝක වනජීවී අරමුදල සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය එක් ව පවත්වාගෙන යන ‘TRAFFIC’ නම් සත්ත්ව වෙළඳාම අධීක්ෂණය කිරීම සඳහා වන ජාලය වාර්තා කරන්නේ.

(© ALJ Antiques) අලංකාර ඇත් දළ කැටයමක්

සතුන්ගේ පැවැත්මට තර්ජනයක් වූ නීති විරෝධී සත්ත්ව වෙළඳාම

කුමන තත්ත්වයක් යටතේ හෝ මිනිසුන්, සත්ත්ව, හෝ ශාක සම්පත් හුවමාරු කර ගැනීම හෝ අලෙවි කිරීම සිදුකරන්නේ නම් එය ‘සත්ත්ව වෙළඳාම’ යන නිර්වචනයට යටත් වෙනවා. සෑම වර්ෂයක දී ම ආහාර, සුරතල් සතුන්, විසිතුරු පැළෑටි, සත්ත්ව හම්, සහ ඖෂධ සඳහා අල්ලා ගන්නා ලද හෝ වගා කරන ලද සත්ත්ව සහ ශාක විශේෂ මිලියන ගණනක් අලෙවි කිරීම සිදුවන අතර, එයින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ සත්ත්ව ප්‍රජාවේ පැවැත්ම සඳහා හානියක් නොවන නීත්‍යනුකූල ක්‍රමවේදයන් ඔස්සේ යි. නමුත් කළු වෙළඳපොළේ දී නීතියෙන් අලෙවි කිරීම තහනම් කරන ලද දුර්ලභ සත්ත්ව සහ ශාක විශේෂ ඉහළ මිලකට අලෙවි වීම සිදුවන අතර, වර්තමානයේ දී වාසස්ථාන විනාශයෙන් පසු ව සත්ත්ව ප්‍රජාව මුහුණ දී ඇති දැවැන්ත ම අභියෝගය බවට නීති විරෝධී සත්ත්ව වෙළඳාම පත් ව තිබෙනවා.

ජාත්‍යන්තර ජාලයන් ඔස්සේ රහසිගත ව සිදුවන බැවින් එහි මූල්‍යමය වටිනාකම මැනීම අපහසු වුව ද, ‘TRAFFIC’ හෙවත් සත්ත්ව වෙළඳාම අධීක්ෂණය කිරීම සඳහා වන ජාලය සඳහන් කරන්නේ 1990 දශකයේ සිට ලොව පුරා අලෙවි වී ඇති නීති විරෝධී සත්ත්ව නිෂ්පාදිතයන්ගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 160ක් පමණ විය හැකි බව යි. එයට අමතර ව, ජීවත් ව සිටින සත්ත්ව විශේෂ අලෙවිය ද සිදුවන අතර එක් වර්ෂයක් තුළ දී මත්ස්‍යයින් ටොන් මිලියන 100ක්, පක්ෂීන් මිලියන 1.5ක්, සහ ඖෂධීය ශාක ටොන් 440,000ක් පමණ ජාවාරම් කරන බව සැලකෙනවා.

ඇත් දළ, ව්‍යාඝ්‍ර අස්ථි, රයිනෝ අඟ, සහ කබල්ලෑ කොරපොතු

නීතිවිරෝධී සත්ත්ව වෙළඳාම මඟින් වඩාත් බලපෑමට ලක් වී ඇත්තේ රයිනෝසිරස්, අලි ඇතුන්, ව්‍යාඝ්‍රයින්, සහ වලසුන් වැනි ප්‍රමාණයෙන් විශාල සතුන්. නමුත් ආභරණ, සාම්ප්‍රදායික ඖෂධ, විසිතුරු සිහිවටන ආදිය නිර්මාණය කිරීම සඳහා කිසිවෙක් නොහිතන අන්දමේ සත්ත්ව විශේෂ රැසක් දඩයම් කරන බව යි වාර්තා වන්නේ. එසේ ම නීති විරෝධී සත්ත්ව නිෂ්පාදිත සඳහා ඉහළ ඉල්ලුමක් ඇත්තේ ආසියා මහද්වීපයෙන් (විශේෂයෙන් ම චීනයෙන් සහ වියට්නාමයෙන්). ගෙවී ගිය දශකය කිහිපය තුළ ආසියානු රාජ්‍යයන් සීඝ්‍රයෙන් ධනවත් වීම, ඇත් දළ ආභරණ හෝ රයිනෝ අඟ කැටයම් කිරීම සකසන ලද නිර්මාණ වැනි සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා.

(© Isaac Lawrence / Getty Images) වෙළඳාම සඳහා තබා ඇති කබල්ලෑ කොරපොතු

මෑත කාලයේ දී නීති විරෝධී සත්ත්ව වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් හිමි වී ඇත්තේ කබල්ලෑ කොරපොතු සඳහා යි. ඒ සාම්ප්‍රදායික චීන සහ වියට්නාම් ඖෂධ සඳහා කබල්ලෑ කොරපොතු භාවිතා කිරීම හේතුවෙන්. හොඳින් තම්බා ගත් කබල්ලෑ කොරපොතු මනා ව වියළා සකස් කර ගන්නා කුඩු, කිරි නොඑරෙන මව්වරුන් සඳහා ලබා දීම චීනයේ සහ වියට්නාමයේ ජනප්‍රිය අත්බෙහෙතක් වන අතර, වියට්නාම් වැසියන් කබල්ලෑ මාංශ සලකන්නේ ප්‍රණීත ආහාරයක් ලෙස යි.

චීනය සහ ගිනිකොනදිග ආසියාව තුළ ව්‍යාඝ්‍රයින් සඳහා ඇත්තේ ද ඉහළ ඉල්ලුමක්. ව්‍යාඝ්‍ර අස්ථි, මාංශ, ලොම්, දත්, සහ නියපොතු සඳහා ඇති ඉල්ලුම අධික බැවින්, එයට සරිලන සැපයුමක් ලබා දීම සඳහා චීනය සහ අසල්වැසි රාජ්‍යයන් හි ව්‍යාඝ්‍ර ගොවිපොළවල් පවත්වාගෙන යන බව යි වාර්තා වන්නේ. චීන වැසියන් විසින් ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ව්‍යාඝ්‍ර අස්ථි සහ ලිංගය, සහල් වයින් සමග ආහාරයට ගැනීම සිදුකරනවා. ලෝකයේ බොහෝ රාජ්‍යයන් හි ව්‍යාඝ්‍ර වෙළඳාම නීති විරෝධී වුව ද, චීනය තුළ එය සිදුවන්නේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ යි.

(© Mike Ives / Associated Press) වියට්නාමයේ ව්‍යාඝ්‍ර ගොවිපොළක දර්ශනයක්

2007 – 2014 අතර කාලයේ දී ඇත් දළ ලබා ගැනීම සඳහා ඇතුන් 144,000ක් පමණ මරා දමා ඇති අතර, ඒ හේතුවෙන් ලෝකයේ ඇත් ගහනය 30%කින් පහළ බැස තිබෙනවා. 2011 වර්ෂයේ දී සිදුකරන ලද වැටලීම් 13ක දී අත්අඩංගුවට ගන්නා ලද නීති විරෝධී ලෙස ජාවාරම් කරන ලද ඇත් දළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 23ක් (ඒ සඳහා ආසන්න වශයෙන් ඇතුන් 2,500 කින් දළ ලබා ගත යුතු වෙනවා). නීතිවිරෝධී ඇත් දළ වෙළඳාම නතර කිරීම සඳහා කෙන්යාව විසින් අනුගමනය කරන ක්‍රමවේදයක් වන්නේ ‘ඇත් දළ දැවීම’ යි. 1989 දී පළමු වරට ඇත් දළ දැවීම සිදුකර ඇත්තේ පාෂාණීය ධාතු විද්‍යාඥයෙකු වූ රිචඩ් ලීකි විසින්. පසුකාලීන ව දළ ඇතුන් සඳහා ජාත්‍යන්තර වශයෙන් ඉහළ ම ආරක්ෂාවක් ලබා දීම සහ ඇත් දළ වෙළඳාම තහනම් කිරීම සඳහා ලෝකයේ අවධානය යොමු වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.

(© Brent Stirton / Getty Images) කෙන්යාවේ ‘ඇත් දළ දැවීම’

නීතිවිරෝධී සත්ත්ව වෙළඳාමට එරෙහි ව

ලෝක වනජීවී අරමුදල සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය විසින් නීති විරෝධී සත්ත්ව වෙළඳාම නතර කිරීම සඳහා රැගෙන ඇති ක්‍රියාමාර්ග මූලික වශයෙන් තුන් ආකාරයකින් යුතු වෙනවා.

  • වඳ වී යාමේ ඉහළ අවදානමක් ඇති වන සත්ත්ව සහ ශාක විශේෂ අන්තර්ජාතික ව වෙළඳාම කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සඳහා සහාය දැක්වීම.
  • නීති සම්පාදනය සහ බලාත්මක කිරීම.
  • මහජනතාව දැනුවත් කිරීම.

බොහෝමයක් රාජ්‍යයන් සතු ව නීති විරෝධී සත්ත්ව වෙළඳාම සම්බන්ධයෙන් පවතින්නේ ලිහිල් නීතිරීති වන අතර, වඩාත් දැඩි නීතිරීති සම්පාදනය කිරීම සඳහා එවැනි රාජ්‍යයන්ට උපකාර කිරීම සහ නීති බලාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් සංවිධානය කිරීම, ලෝක වනජීවී අරමුදල මඟින් සිදුකරනවා. එයට අමතර ව නීති විරෝධී සත්ත්ව නිෂ්පාදිත මිල දී ගැනීම අධෛර්යමත් කිරීම සහ එවැනි කාර්යයන් හි නිතර වන දේශීය ආයතන සඳහා අවැසි අරමුදල් සැපයීමට ලෝක වනජීවී අරමුදල පසුබට වන්නේ නැහැ. මෙවැනි ක්‍රියාමාර්ගයන් හේතුවෙන් චීනය සහ වියට්නාම ඇතුළු ආසියානු රාජ්‍යයන් බොහෝමයක අවධානය, නීතිවිරෝධී සත්ත්ව වෙළඳාමට එරෙහි වීම කෙරෙහි යොමු වී ඇති බව යි වාර්තා වන්නේ.

කවරයේ පින්තූරය : © World Wildlife Fund

Related Articles