අලියා යනු දැනට ගොඩ බිම ජීවත්වන විශාලත ම කිරි බී වැඩෙන සත්ත්වයා ය. අද වනවිට අප ජීවත්වන පෘථිවියෙහි අප්‍රිකානු අලියා (African elephant) සහ ආසියානු අලියා (Asian Elephant) ලෙස ප්‍රධාන විශේෂ දෙකක් ජීවත් වේ. ආසියාතික අලින්ගේ උප විශේෂ තුනක් (Elephas maximus maximus, Elephas maximus indicus, Elephas maximus sumathranus) ආසියා මහාද්වීපයයේ වෙන්වෙන්ව විසිර පවතින අතර ශ්‍රී ලංකාවේ ජීවත්වනුයේ Elephas maximus maximus නම් උප විශේෂයයි. මෙම උප විශේෂය අනෙකුත් ආසියාතික උප විශේෂ අතුරින් වඩාත් ම කැපී පෙනෙනුයේ ඔවුන්ටම ආවේණික වූ තද කළු පැහැය සහ විශාලත්වය නිසා ය.
සාමාන්‍ය ව්‍යවහාරයේදී ඇත්දළ සහිත පිරිමි සතුන් ඇතුන් ලෙසත් ගැහැනු සතුන් ඇතින්නන් ලෙසත් ශ්‍රී ලංකාවේ දී හඳුන්වයි. ඇත්දළ රහිත පිරිමි සතුන් අලියා ලෙසත් ගැහැනු සතුන් කෙනෙර ලෙසත් හඳුන්වයි. අප්‍රිකානු අලින්ගේ ගැහැනු සහ පිරිමි යන සතුන් දෙකොටස ම ඇත්දළ පවතින අතර ආසියානු අලින්ගෙන් සමහර පිරිමි සතුන් පමණක් ඇත්දළ දරයි. ආසියානු අලින්ගේ සමහර ගැහැනු සතුන්ට පමණක් ‘’Tushes’’ ලෙස හඳුන්වන ඉතා කුඩා ඇත්දළ කොටසක් ශරීරයේ පැවතිය හැක. ඇත්දළ යනු ඇතුන්ගේ වර්ධනය වූ උඩු හනුවේ කෘන්තක දත් යුගළය වේ. ඇතකු හා ඇතින්නක අතර සංවාසයෙන් පසුව අලි පැටවකු බිහිවිය හැකි අතර අලියකු සහ කෙනෙරක අතර සංවාසයෙන් පසුව ඇත් පැටවකු බිහිවිය හැක.
සද්දන්තයන්ගේ පවුල
අලින් යනු ඉතා සමාජශීලී සත්ත්ව කොට්ඨාසයක් වන අතර මිනිසා මෙන්ම අලි වැඩිහිටියන් ද ඔවුන්ගේ දරුමුණුබුරන් පෝෂණය කරමින් රැක බලා ගනී. අලුත උපන් අලි පැටවුන් වයස අවුරුදු 10 – 15 වන තුරුම කණ්ඩායමේ වැඩිහිටියන්ගේ රැකවල් යටතේ හැදී වැඩෙයි. අලි පැටවා ගේ පළමු මාස 6 ඇතුළත මව පැටවා ඇය අසල ම තබාගන්නා අතර එම අවධානය වසරක් සපිරෙන තුරුම අලි පැටවා කෙරේ පවතී. බොහෝ විට වැඩිහිටි පිරිමි අලින් හැරුණුකොට අනෙකුත් ගැහැනු අලින් සහ පැටවුන් කණ්ඩායමක් ලෙස වනයෙහි දිවි ගෙවති. අලින් කණ්ඩායමක නායකත්වය වැඩිහිටි ගැහැනු අලියකු දරන අතර කණ්ඩායමේ සියලු අලි ඇතුන්ට අලුත ඉපදුණු පැටවුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය කෙරෙහි සමාන වගකීමක් පවතිනු ඇත. සාපේක්ෂව පිරිමි සතුනට වඩා ගැහැනු සතුන් අලිපැටවුන් කෙරේ වැඩි සැලකිල්ලක් හා ඇල්මක් දක්වයි. අන්තර්ජාතික රතු දත්ත පොතට (IUCN Red Data Book) අනුව අලින් යනු වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් කාණ්ඩයකි.
පෝෂණය සහ අධ්‍යාපනය
මවු අලියා (කෙනෙර හෝ ඇතින්න) පැටවාට වසර 2 සිට 3 දක්වා කාලයක් තම කිරි දීම සිදුකරන නමුත් බොහෝවිට සිදුවන්නේ මවු අලියා පැටවාට අවශ්‍ය වූ විට පමණක් කිරි උරා බීමට ඉඩ සලසාදීමය. සමහර අවස්ථාවන්හි දී ඇය එක්වර පැටවුන් දෙදෙනකුට පවා තම කිරි ලබා දීම සිදුකරයි.
තණකොළ යනු අලින්ගේ ප්‍රියතම ආහාරයකි. ඔවුන් ඒවා ඉදිරි පාදවලින් ගලවා හොඬ වැලෙන් එකතුකොට ගසමින් වැලි සහ පස් ඉවත් කිරීමෙන් අනතුරුව ආහාරයට ගනී. කුඩා පැටවුන් වැඩිහිටියන් සිදුකරන මෙම ක්‍රියාව හොඳින් නිරීක්ෂණය කරන අතර ඒවා අනුකරණය කරමින් ඉගෙන ගනී. කුඩා පැටවුන් ආහාර සපයා ගැනීමට හුරුවන තුරු මව ඇය ආහාර පිණිස සකසා ගත් තණකොළ පැටවාගේ ආහාර සදහා ලබා දෙයි. කණ්ඩායමේ සිටින තරමක වැඩිමහල් සතුන් ද කුඩා අහාර කැබලි තම බාල සහෝදර සහෝදරියන්ට ලබා දෙයි.
අලියාගේ මොළය ඉතා විශාල වන අතර එය ස්කන්ධයෙන් 4-6 kg පමණ වේ. එනිසා ඔවුන් ඉතා බුද්ධිමත් සත්ත්ව කොට්ඨාශයක් වන අතර ඉගෙන ගැනීමෙහි ඉතා දක්ෂ ය.
ආරක්ෂාව
අවට පරිසරයේ පවතින අනතුරක සේයාවක් ඉව වැටුණු විගස කුඩා පැටවුන් දිව ගොස් තම මව ගේ උදරය යට සැඟ වේ. ඔවුන් කණ්ඩායමක් ලෙස ගමන් කරන විට ඇති වන බාහිර තර්ජනය මඟ හැරීම සදහා වැඩිහිටි ගැහැනු සතුන් අලි පැටවුන් මැදි කර ගනී. පැටවුන් තමා අසල ම රඳවා ගැනීමට මව සිහින් නාදයක් යොදාගන්නා අතර පැටවුන් විනයගරුක කිරීම කණ්ඩායමේ සියලු වැඩිහිටියන්ගේ සාමූහික කාර්යය භාර්යයකි. පැටවුන් මව ගෙන් මීටර 5 කට වඩා දුර ඉවතට යනවිට ඇය විශාල ශබ්දයක් නංවමින් තම කණ්ඩායමේ වැඩිහිටියන්ගේ අවධානය ඒ දෙසට යොමුකරවා ගනී. යම්කිසි හෙයකින් පැටවකු මඩවළකට වැටීම හෝ වෙන යම් අනතුරකට පත්වුවහොත් මව මෙන් ම පැටවාට රැකවරණය ලබාදෙන අනෙකුත් වැඩිහිටි ගැහැනු සත්තු ද ඉක්මනින් උපකාර සදහා දිව එති. කුඩා පැටවුන් සිටින ගැහැනු සතුන් ඉතා කලහකාරී වන අතර එමගින් තම පැටවුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කරයි.
දඬුවම් කිරීම
අලි රංචුවේ නායකත්වය වැඩිහිටි ගැහැනු සතකු දරන අතර ඇය කණ්ඩායම මෙහෙයවයි. අලි රංචුව ඉදිරියට ගමන් කරන විටදී කුඩා පැටවුන් රංචුවට ඉතා සමීප ව ගමන් කරයි. පැටවුන් රංචුවෙන් ඉවතට යන විට දී වැඩිහිටියන් තම හොඬවැල උපකාරයෙන් ඔවුන් නැවත රංචුව වෙතට ඇද ගනී.
නොහික්මුනු හෝ වැඩිහිටි අණට කීකරු නොවන පැටවුන්ට මවගෙන් කලාතුරකින් දඬුවම් විදීමට සිදුවිය හැක. අකීකරු පැටවුන්ගේ පසුපසට හෝ තට්ටම් ප්‍රදේශවලට මව ගෙන් එල්ලවන තද හොඬවැල් පහරකින් පසු නැවතත් ඔවුන් තම මව ගේ බසට අවනත වේ.
වැඩිවියට පැමිණීම
මෙලෙස හැදී වැඩෙන පැටවුන් වයස අවුරුදු 8-13 අතරදී වැඩිවියට පත්වන අතර වැඩිහිටි පිරිමි සතුන් ඉන් පසු බොහෝ විට හුදකලාව ජීවත් වෙයි. ගැහැනු සතුන් තම රංචුව සමඟින් දිගට ම රැඳේ. සාමාන්‍යයෙන් ගැහැනු සතුන් වයස අවුරුදු 15 පමණ වනවිට තම පළමු පැටවා බිහි කරන අතර පිරිමි සතුන්ට ගැහැනු සතකු හා සංසර්ගය සදහා බොහෝ විට අවස්ථාව හිමිවනුයේ වයස අවුරුදු 30 පමණ වූ විට ය.
ආසියානු අලියා ගේ සාමාන්‍ය ආයු කාලය වසර 55 ක් පමණ වුව ද ශ්‍රී ලංකාවේ ජීවත්වන අලි ගහනය මිනිස් ක්‍රියාකරකම් හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ පා ඇත. නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොර ව සිදුවන සංවර්ධන ව්‍යාපෘති මෙන් ම වගාබිම් ආශ්‍රිත ව සිදුවන කඩාවැදීම් ද අලි මිනිස් ගැටුමට මූලික පසුබිම් සකසයි. එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාවේ අලි ගහනය දැඩි අවදානමක තම ජීවිත පවත්වාගෙන යයි. එබැවින් ස්වභාවධර්මයෙන් අපහට දායාද වූ මේ වටිනා අලි සම්පත රැක ගැනීම අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක්වන බව තරයේ සිතට ගත යුතුය.