සතකු ගේ හැසිරීම් සහ ඒ සත්ත්වයා ජීවත් වන ස්වභාවික වාස භූමිය අතර ශක්තිමත් සබඳතාවක් තිබෙනවා. සතකු ගේ භෞතික, මානසික සහ චර්යාත්මක ලක්ෂණ ඔවුන් ජීවත් වන වාස භූමියට අනුගත ව පැවතීම ඊට හේතුව යි. සතුන් සිර කර තබා ගැනීමේ දී තම වාස භූමිය සමඟ ඔවුන්ගේ තිබෙන මේ ශක්තිමත් සබඳතාව ඉතා නිර්දය අයුරින් බිඳ වැටෙනවා.
සිරගත ජීවිතයෙන් සතකුට අත්වන ඉරණම නිදහස සීමා වීමට පමණක් ලඝු කළ නොහැක්කේ ඒ නිසා යි. සමාජ අන්තර්ක්‍රියා, ආහාර රටාව, දේශගුණික රටාවට හුරු වීමේ හැකියාව, මිනිසුන් සමඟ අන්තර්ක්‍රියා කිරීමේ දී ඔවුන් මුහුණ දෙන ආගන්තුකත්වය යන සියල්ල ම මෙහි දී සැලකිල්ලට ගත යුතු වෙනවා.
සිරගත කළ සතකු ගේ පහසුකම් සහ අවශ්‍යතා වෙනුවෙන් කොපමණ කැප වුවත්, ස්වභාවික වාසභූමියේ ඔවුන් විඳි ජීවතය නැවත කෘත්‍රිම ව ගොඩනැඟිය නොහැකි යි. සරලව ම සිරගත ජීවිතය තුළ ඔවුන් මුහුණ දෙන්නේ පරිණාමය සූදානම් කර නොමැති, එහෙත්, මිනිසුන් නිර්මාණය කළ විකෘති අභියෝග කිහිපයකට පමණ යි.
එහි ප්‍රතිපලයක් ලෙස සතුන් ගේ චර්යා රටා ඒකාකෘතික හැසිරීමක් දක්වා පරිවර්තනය වීම සිදු වෙනවා. එය දැරිය නොහැකි තරමේ පීඩනයක් වන අතර, “සූකෝසිස්” තත්ත්වය දක්වා සත්ත්වයා ගේ මනස විනාශ වීම සිදු වෙනවා!
“සූකෝසිස්” යනු කුමක් ද?
“සූකෝසිස්” යනු දිගු කලක් සතුන් සිරගත ව තබා ගැනීමේ දී ඔවුන්ට ඇතිවන මානසික ගැටලු රාශියක් හැඳින්වීමට යොදා ගන්නා යෙදුමක් හෝ මනෝ ව්‍යාධි ආකාරයක් ලෙස හැඳින්විය හැකි යි. සිරගත ජීවිතයක් ගත කරන සතෙක් කිසියම් ඒකාකෘතික හැසිරීමක් දක්වන්නේ නම්, අදාළ සත්ත්වයා “සූකෝසිස්” තත්ත්වයෙන් පීඩා විඳින්නකු ලෙස නිගමනය කළ හැකි යි.
ඒකාකෘතික හැසිරීමක් යන්නෙන් අදහස් වන්නේ සිර ගත සත්ත්වයෙක් උමතුවෙන් මෙන් සිදු කරන පුනරාවර්තන ක්‍රියා එකක් හෝ කිහිපයකට වන අතර, එවැනි ක්‍රියා තම ස්වභාවික වාසභූමියේ දී ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවක් බොහෝවිට ඔවුන්ට ඇති වන්නේ නැහැ.
සතුන් තුළ උපදින මානසික වේදනාව
“සූකෝසිස්” තත්ත්වය සුලබ ව දක්නට ලැබෙන්නේ සත්වෝද්‍යාන තුළ යි. එහෙත්, ගෘහාශ්‍රිත ව ජීවත් වන සතකු සිර ගත කර ඇත්නම් ඔවුන්ගෙන් ද මෙවැනි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි යි.
“සූකෝසිස්” හරහා සතුන් තුළ උපදින මානසික වේදනාව අදාළ සත්වෝද්‍යානයේ පවතින සුබසාධන ක්‍රියාවලියේ දුර්වලත්වය විදහා පාන්නක් වන අතර, එය ගෘහස්‍ථ ඒකකයක් තුළ දක්නට ලැබේ නම් එහි නිවැසියන් සතුන් කෙරෙහි දක්වන ආකල්ප සම්බන්ධයෙනුත් ගැටලු මතු වෙනවා.
මොනවද මේ හැසිරීම්?
“සූකෝසිස්” හි ලක්ෂණ ලෙස ඒකාකාරී හැසිරීම් හෝ පුනරාවර්තන හැසිරීම් ලෙස සාමුහික ව අර්ථ දක්වන්නේ එක් එක් සත්ත්වයා එකිනෙකට වෙනස් පුනරාවර්තන හැසිරීම් එකක් හෝ කිහිපයක් දක්වන නිසා යි. ඒ අනුව හඳුනා ගත් අසාමාන්‍ය හැසිරීම් කිහිපයක් දැන් සලකා බලමු.
පියවර මැනීම
සිරගත කළ සතුන් එකම මාර්ගයක් අනුගමනය කරමින් එහාට මෙහාට ඇවිදීම හෝ වෘත්තාකාර පථයක ගමන් කිරීම “සූකෝසිස්” ලක්ෂණයක් වශයෙන් හඳුනා ගැනෙනවා. කූඩු තුළ වෙසෙන බිලාල කුළයේ සතුන් සහ වෘකයන් අතර මෙවැනි හැසිරීම් දැකිය හැකි යි.
දිව භාවිතයෙන් සිදු කරන හැසිරීම් සහ දඬු සපාකෑම
සිර ගත පරිසරයේ තිබෙන බිත්ති, ගේට්ටු හෝ දඬු ආකාරයේ ව්‍යුහ අඛණ්ඩ ව ලෙව කෑම, සපා කෑම හෝ දෙතොල් වලින් උරාබොන අන්දමේ හැසිරීම් පෙන්වීම “සූකෝසිස්” ලක්ෂණයක් වශයෙන් හඳුනා ගැනෙනවා.
මෙවැනි හැසිරීම් ජිරාෆ්, වඳුරන් වැනි සතුන් අතර තිබෙනවා.
ගෙල ඇඹරීම
අස්වාභාවික ලෙස ගෙල ඇඹරීමේ චර්යා පෙන්නුම් කිරීම මින් අදහස් වෙනවා. එය බොහෝ විට නිමක් නැති පියවර මැනීමත් සමඟ සංකලනය වූ චර්යාවක් ලෙසත් ප්‍රදර්ශනය විය හැකි යි. මෙවැනි හැසිරීමක් විශේෂයෙන් ම වලසුන් හරහා නිරීක්ෂණය කරන්න පුළුවන්.
බැලූ බැල්මටම එය ඔවුන් සිදු කරන ක්‍රීඩාවක් මෙන් පෙනෙන අතර, නරඹන්නන් එය විනෝදාත්මක හැසිරීමක් ලෙස වරදවා වටහා ගත හැකි යි. එය අධික මානසික පීඩාව ඔස්සේ නිර්මාණය වන විකෘති චර්යාවක් ලෙස හඳුනා ගැනීම වැදගත්. වලසුන්ට අමතර ව ජිරාෆ් සහ ප්‍රයිමේට් සතුන් ද මෙවැනි හැසිරීම් රටා පෙන්නුම් කරනවා.
නොනවතින පැද්දීම
මෙම හැසිරීම් රටාව බොහෝවිට ගෝරිල්ලන් වැනි සතුන් ගෙන් ප්‍රදර්ශනය වෙනවා.
ඔවුන්ට සාමාන්‍ය පරිදි වාඩි වී සිටිය හැකි බැවින්, ඒ ඉරියව්වෙන් ම ඉදිරියට නැඹුරුවී යළි පසුපසට පැමිණෙමින් මෙම පැද්දීම සිදුකළ හැකි යි.
පිරිමැදීම සහ හානි සිදුකර ගැනීම
පිරිමැදීම සහ හානි සිදුකර ගැනීම සිරගත කළ සතෙක් පෙන්වන කම්පන සහගත ම “සූකෝසිස්” හැසිරීම ලෙසත් හඳුනා ගන්න පුළුවන්. මෙහි දී සත්ත්වයා සිය වලිගය, කකුල් වැනි ශාරීරික අංග නොනවත්වා සපාකෑම, බිත්තියේ හිස වද්දා ගැනීම, පිහාටු ඉවත් කර ගැනීම සහ ශරීරයේ කැළැල් ඇතිවන සේ ලොම් ඉවත් කර ගැනීම වැනි හැසිරීම් පෙන්නුම් කරනවා.
වානරයන්, වළසුන්, ගිරවුන් සහ බිළාලයන් ආදී විශාල පරාසයක සිටින සතුන් වෙතින් මෙම හැසිරීම පෙන්නුම් කිරීමත් විශේෂත්වයක්.
ඇතැම් සතුන් සිය ශරීරය පිළිවෙළට තබා ගැනීම සඳහා විශාල කාලයක් වැය කිරීම ද (පිරිමැදීම වැනි) මානසික පීඩාවේ ලක්ෂණයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. සිරගත ජීවියකුට ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා සිත යොමු කිරීමේ අවකාශයක් නොලැබෙන බැවින්, එකම ක්‍රියාවක් සඳහා විශාල කාලයක් වෙන් කිරීම මීට හේතුව යි.
වමනය සහ වමාරා කෑම
වාමාරා කෑම සත්ත්ව ලෝකයේ දක්නට ලැබෙන ස්වභාවික ක්‍රියාවක් වුව ද සිරගත කළ සත්ත්වයෙක් එවැනි චර්යාවක් පෙන්නුම් කිරීම පිටුපස මානසික අවපීඩනය තිබිය හැකි යි.
වමනය කිරීම, වමනය අනුභව කිරීම, නැවත වමනය කිරීම සහ නැවතත් අනුභවය, සූකෝසිස් ලක්ෂණ පෙන්වන සත්ත්වයෙකු ගේ අතිශය දුක්ඛිත චර්යාවක් බව සත්ත්ව ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා. වානරයන් අතර මෙය සුලබ ව දැකිය හැකි යි.
මල භක්ෂණය
මල භක්ෂණය යනු තමාගේ ම අසූචි සමඟ ක්‍රීඩා කිරීම සහ ඒවා ආහාරයට ගැනීම යි.
ස්වභාවික පරිසරයේ දී එවැනි චර්යා රටා පෙන්නුම් නොකරන සතුන් සිරගත කළ පසු මල භක්ෂණයට පෙලඹෙන්නේ නම් ඔවුන් අධික මානසික පීඩයකින් පෙළෙන බව අනුමාන කළ හැකි යි. බිත්ති හෝ වීදුරු මත අසූචි ආලේප කිරීමත් ඔවුන් සිදු කරනවා.
නිදහස කෘත්‍රිම ව නිර්මාණය කළ නොහැකි යි
සත්ත්වෝද්‍යානවලට එරෙහි වෙමින් සතුන්ට යහපත් ජීවිතයක් ලබා දීමේ වැදගත්කම පෙන්වා දෙන බොහෝ ක්‍රියාකාරීන් “සූකෝසිස්” තත්ත්වය කෙරෙහි විශාල සැලකිල්ලක් දක්වනවා.
ඔවුන් එල්ල කරන බලපෑම හේතුවෙන් සතුන්ගේ සිරගත ජීවිතය හා බැඳුණු මනෝවිද්‍යාත්මක ගැටලු කෙරෙහි අවධානය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර, සත්ත්වෝද්‍යාන සැලසුම් කිරීමේ දී මෙම කාරණය සැලකිල්ලට ගැනීමේ ප්‍රවණතාවත් වර්ධනය වෙමින් තිබෙනවා.
අද වනවිට යම් පිළිගැනීමක් තිබෙන බොහෝ සත්ත්වෝද්‍යාන සහ සංරක්ෂණ උද්‍යාන සතුන් ගේ “සූකෝසිස්” තත්ත්වය අවම කිරීම සඳහා පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උත්සුක වෙනවා. කෙසේ නමුත්, සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් ඉන් සෑහීමට පත් වන්නේ කලාතුරකින්. වන ජීවියකු ගේ ස්වභාවික පරිසරය සහ සංචරණ පරාසය කෘත්‍රිම ව, ඒ අයුරින් ම නිර්මාණය කිරීම ඉතා දුෂ්කර යි.
උදාහරණයක් ලෙස ඔබ ගේ නිවසේ සුරතල් බළලකු සිටී නම් ඔහු ගේ සංචරණ වපසරිය මොහොතකට විමසා බලන්න. ගෘහාශ්‍රිත සතෙක් එතරම් නිදහසක් බලාපොරොත්තුවේ නම් වන ජීවින් ගැන කවර කතා ද!
සමහර විට සතුන් සිරගත කළ පමණින් ඉහත සාකච්ඡා කළ “සූකෝසිස්” ලක්ෂණ ඔවුන් වෙතින් ප්‍රදර්ශනය නොවීමට පුළුවන්. එලෙස නිරීක්ෂණය නොවූ පමණින් සතුන් පීඩා විඳින්නේ නැති බව කිව නොහැකි යි. ඔබ ගැන මොහොතක් සිතන්න. ඔබ කිසියම් මානසික පීඩාවකින් පෙළුණත්, එය පිටතට දර්ශනය වීමට ඉඩ නොදී සඟවා සිටි අවස්ථා ගැන මතකයේ තිබේ ද?
යතාර්ථය අඳුරු යි
සතුන්ටත් ඒ හැකියාව තරමක් දුරට තිබෙන බව සඳහන් වෙනවා. අප කොතෙක් ඔවුන් සමීප ව නිරීක්ෂණය කළත්, ඔවුන් විදහා පාන සියලු හැසිරීම් තේරුම් ගැනීමේ හැකියාවක් අපට නැහැ. වළසකු පෙන්වන “සූකෝසිස්” හැසිරීම් ඊට කදිම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි යි.
ඔවුන් ගේ සුරතල් පෙනුම සමඟ මානසික පීඩාව පෙන්නුම් කරන හැසිරීමක් සංකලනය වූ විට එය අපට විනෝදාත්මක අංගයක් සේ පෙනෙන්න පුළුවන්. අලියෙක් තාලයට නොනවත්වා සිදු කරන පැද්දීම අපට එක්තරා අන්දමක නැටුමක් සේ පෙනෙන්නත් පුළුවන්. නමුත්, යතාර්ථය ඊට වඩා අඳුරු යි.
සත්ත්වයෙක් නියමාකාරයෙන් රස විඳීමට නම් ඔවුන් ගේ ස්වභාවික චර්යා රටා නිරීක්ෂණය කිරීමේ අවකාශය තිබිය යුතු යි. ඉතින්, ඔබ සත්ත්වෝද්‍යානයකට යන්නේ නම් සිරගත ජීවිත ගත කරන ඒ අහිංසකයන් වෙතින් මෙතෙක් අප සාකච්ඡා කළ හැසිරීම් රටා ප්‍රදර්ශනය වෙනවාදැ යි බලන්න.
එම හැසිරීම් අධික ව දක්නට ලැබේ නම් ඔබ පැමිණ ඇත්තේ ගුණාත්මක සේවයක් සපයන සත්ත්වෝද්‍යානයකට නම් නොවෙ යි. සත්ත්වෝද්‍යාන සංකල්පය යනු සංරක්ෂණය, සත්ත්ව අයිතීන්, පාරිසරික සාධක, මානසිකව හා භෞතිකව සැපයිය හැකි පහසුකම් වැනි කරුණු රාශියක් සමඟ එකට ගමන් කරන, යාවත්කාලීන වන සංකල්පයක්.
එය කොතරම් පුළුල් මාතෘකාවක්දැ යි දැන ගැනීමට අවශ්‍ය නම් “අපට සත්වෝද්‍යාන අවශ්‍යම ද?” යන ලිපියත් කියවන්න. ඉන්පසු ස්වයං නීර්ණයක යෙදෙන්න. සහකම්පනය උපදවා ගන්න!