තාරක කල්දේරාගේ පළමු නවකතාව වූ කල්පාවසාන සාදය නිකුත් වූයේ 2017 දී ය. බලාපොරොත්තුවෙන් සිටියාට වඩා තරමක ප්‍රමාදයකින් පසු එම කතා මලාවේ දෙවැන්න වන “ඉයුලෝසියා: අන්ධකාරාලෝක සටහන්” මාර්තු 16 වන දා එළිදැක්වෙනවා. ඉතින්, තාරක සමග කතාබහකට මෙය අවස්ථාව බව අපි හිතුවා.
ළඟදි ඔබ ෆේස්බුක් සටහනක් ලියනවා පොතක් ගැන. ඔබව ඇති කළ සහ ඔබව නැති කළ පොත එයයි යනුවෙන්. ඒ ගැන කියමු ද?
ඔව්. ඒ ගැන කියනවා නම් ටිකක් අතීතයට යන්න වෙනවා. ගෙදර එකම දරුවා නිසා මම කුඩා කාලෙ ඉඳන්ම තනියම හිතන්න පුරුදු වෙලා හිටියා. මට තනිකම ම නොවන, මොකක්දෝ හැඟීමක් දැනෙමින් තිබුණා. ඒක මට හරියට විස්තර කළ නොහැකි දෙයක්. නමුත්, විශේෂයෙන්ම මගේ පියාගේ අභාෂයෙන් මමත් පොත් කියවන්න පුදුමාකාර ලෙස ප්‍රිය කළා. ඔය කාලෙ තමයි මට ඇල්බෙයා කැමූගෙ “පිටස්තරයා” කියවන්න ලැබුණෙ.
කැමූ කියන්නෙ, ඇබ්සර්ඩිස්ම් (Absurdism) කියන න්‍යායය පිළිගත් ලේඛකයෙක්. කිසිවකට අර්ථයක් නැහැ කියන වගේ අදහසක් තමයි එයින් සරලව ගත්තොත් කියවෙන්නෙ. මේ පොතේ ප්‍රධාන චරිතයත් ඒ වගේ අයෙක්. ඔහු විශ්වාස කරනවා කිසිවකට අර්ථයක් නැහැ කියල. ඔහොම ඉන්න අතර දවසක් මුහුදු වෙරළක ඔහු අරාබි ජාතිකයකු දකිනවා. අරාබි ජාතිකයාගෙ අතේ කිණිස්සක්. එයට හිරු එළිය වැදිලා දිස්නය දෙන එක අපේ කථානායකයාට රුස්සන්නෙ නැහැ. ඔහු ඒ හේතුව මත ම අරාබි ජාතිකයාට වෙඩි තියනවා.
නඩුවේදි ඔහු මුලින් කිසිවක් කියන්නෙ නැහැ. නමුත් පසුව, පූජකයකු ඔහු හමුවෙන්න එනවා. පූජකයා සමග කතාබහේ දි ඔහු ඔහුගේ පැත්තෙන් කතාව කියනවා. අපි නොදැනීම ඔහු අපේ වීරයෙක් වෙනවා. අන්තිමට ඔහු මරණ දඬුවමට මුහුණ දෙන්නේ අප අතරේ වීරයෙක් වගේ කෙනෙක් වෙලා යි.
මේ එකම චරිතය මුලින් අපව ප්‍රශ්න කරනවා. පස්සෙ අපි ඔහුට බය වෙනවා. අන්තිමට අපේ වීරයෙක් බවට ඔහු පත් වෙනවා.
මේ පොත කියවන්න කලින් මම මාව ප්‍රශ්න කරමින් හිටියෙ මට දැනිච්ච දේ වැරදිද කියලා. නමුත්, මේ පොතේදි මම මට හිතිච්ච දේ ම තව කෙනෙක් දැකලා තියෙනවා දැක්කා. දැන් මම මෙතනදි වෙඩි තියන එක හරි කියනවා නෙවේ. මෙතන කියන්න හදන්නෙ පැවැත්ම සහ විශ්වය පිළිබඳ කිසිම දෙයක තේරුමක් නැහැ කියන එක. එයින් මට තේරුණා, මම වගේ හිතන තව අයත් ඉන්නවා කියලා. ඒකෙන් මම අද මෙතන ඉන්නවා. එහෙම නොවුණා නම් එක්කෝ මම මීට වඩා තැන්පත් අයකු වුණත් වෙන්න ඉඩ තිබ්බා. මීට වඩා කලබලකාරී අයකු වෙන්නත් ඉඩ තිබ්බා.
මේ කිසිවකට අර්ථයක් නැත්නම්, පොත් ලියන්නෙ, එහෙමත් නැත්නම් කතාවක් කියන්නෙ ඇයි?
සාන්දෘෂ්ටිකවාදයේ දී සහ ඒ අවට දර්ශනයන් හි මේකට උත්තරයක් කියවෙනවා. එයින් කියනවා අපි මේ කරන හැමදේම දිවි නසාගැනීම කල් දමන්න කරන දේ කියලා. අපි පැත්තක ඉඳන්, ජීවිතේ නියම අර්ථය දකිද්දි අපිට තේරෙනවා මේකට අර්ථයක් නැහැ කියලා. නමුත්, අපිට ඕන මෙතන ඉන්න. ඒකට අපි ප්‍රබන්ධයක් ගොඩනගනවා. ඒ කියන්නෙ කතා ලියනවා කියන එකම නෙවෙයි. අපේ ජීවිතේ අපි ගොඩනගන දේවල්. අපි දිනපොතක් ලිව්වත් ඒක ප්‍රබන්ධයක් ගොඩනැගීමක් තමයි. ඒකෙත් ප්‍රබන්ධ ලක්ෂණ තියෙනව. කතාවක් කියනවා කියන එකත් ඒ වගේ අපි කරන දෙයක්.
එතකොට පොතක් ලියන අදහස ආවේ කොතනින් ද?
කල්පාවසාන සාදයේ පෙරවදනෙ මම ඔය විස්තරේ සඳහන් කළා. මගේ “බෝඩිම” කියලා කෙටි කතාවක් තිබ්බා. යශෝධා සම්මානි කියන ලේඛිකාව ඒක දැකලා ඒක දිනමිණේ කාංචනා අමිලානිට යවලා තිබෙනවා. පසුව ඇය විද්‍යා ප්‍රබන්ධයක් ලියන්න කියලා මට ආරාධනා කළා. අමතක වෙවී තිබිලා අන්තිමට මම “මකුළුවා” කියලා කතාවක් ලිව්වා. ඔය අතරෙ සයුර ප්‍රකාශන ආයතනයේ අධිපති නිලන්ත ගමගේ අයියා විද්‍යා ප්‍රබන්ධයක් ලියන්න කෙනෙක් හොයමින් ඉඳලා තියෙනවා. ඉතින්, මගෙ දිහාට තමයි ඒකත් යොමු වුණේ. ඔහොමයි ඒක සිද්ධ වුණේ, කෙටියෙන්ම කීවොත්.
ඉතින් කල්පාවසාන සාදය ලියද්දි මට තේරුණා මට ඕන කතාව තනි පොතකින් කරන්න බෑ කියල. පස්සෙ නිලන්ත අයියා කිව්වා අපි එහෙනම් නවකතා කිහිපයක් ලියමු කියල. ඔහොමයි මේ Theory of Everything පොත් පෙළට අපි අත ගැහුවේ.
ඒ කියන්නෙ ඔබට අදහසක් තියෙනවා මේ කතා මාලාව යන්නෙ කොතෙන්ට ද කියන එක?
ඔව්. ඒ කියන්නෙ, මම යන්නෙ කොතෙන්ට ද කියන එක මම දන්නවා. මම විද්‍යාත්මක සංකල්පයක් මේ තුළින් ඉස්මතු කරලා ගන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ, කතාව ඉවර වෙද්දි. ඉතින්, මුල් කොටස්වලින් සමහර වෙලාවට යමෙකුට ප්‍රශ්නයක් ඉතුරු වුණා නම්, ඒවට උත්තර ලැබෙන්නේ පස්සෙ.
හැබැයි, මේ කතාවෙ චරිත හැසිරෙන විදිහ ගැන මම පූර්ව නිගමනවල නැහැ. මම දන්නවා මට ඉස්සරහට ගේන්න ඕන සංකල්ප මොනවද කියලා. නමුත්, චරිත කොහොම ඉස්සරහට යයි ද කියන්න මම දන්නෙ නැහැ.
ඒ කියන්නෙ කල්පාවසාන සාදයේ ඉන්න චරිතත් අහඹුවක් ද?
බොහෝ දුරට. ඒ ඒ චරිත කතාවට එද්දි පොඩි අදහසක් තිබ්බා. විශේෂයෙන් ඉන්ද්‍ර ගැන. නමුත් ත්‍යා වුණත් ඔච්චර ප්‍රබලව ඉස්මතු වේවි කියලා මුලින් කිසිම අදහසක් තිබ්බේ නැහැ.
එහෙමනම්, ආපහු කල්පාවසාන සාදය දිහා බලද්දි වෙන විදියකට ලියන්න තිබුණා කියලා හිතෙනවද?
නැහැ. ඒක ඒ වෙලාවෙ ලියැවුණේ ඒ වෙලාවෙ තිබ්බ හැඟීම්, දැනීම්, සහ වචන එක්ක. දැන් මට ඒක දිහා බලද්දි පෙනෙන්නෙ වචන ගොඩක් පමණයි. ඒ කියන්නෙ, මම ඒක ලියද්දි ආපු හැඟීම් මට ආපහු ඒ විදියටම ඇති කරගන්න බැහැනෙ. ඒක වෙනස්. ඒ නිසා ආයෙ ඒක ලියන්න අවශ්‍ය නැහැ.
ඔබ කල්පාවසාන සාදය නම් කරන්නෙ විද්‍යා ප්‍රබන්ධයක් විදියට. විද්‍යා ප්‍රබන්ධවලට ලංකාවේ තියෙන තැන මොකක්ද?
ඔතන සරලව ගත්තොත් තියෙන්නෙ මාර්කටිං නැත්නම් වෙළෙඳපොල අවශ්‍යතාවක්. ඒ කියන්නෙ මම මේ පොත විද්‍යා ප්‍රබන්ධයක් ලෙස නම් කළ හේතුව නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධයක් ලෙස පොත් නම් කිරීම ගැන පොදුවේ මම කියන්නෙ. ඒ ගැන විස්තර කළොත් මෙහෙමයි. ලංකාවෙ පොත් කියවීම ගැන තියෙන්නෙ හරිම නෙගෙටිව් අදහසක්. විශේෂයෙන් ළමයි පොත් කියවීම ගැන. දෙමාපියෝ හිතන්නෙ එක්කො ළමයි මල් පොත් කියවලා නරක් වෙයි කියලා. නැත්නම් පොත් කියෝලා ඉගෙන ගන්න එක කඩාකප්පල් කරගනී කියලා. පොත් කියවන්නෙ නැති ගතානුගතික අය හිතන් ඉන්නවා මේක ගංජා ගහනවා වගේ වැඩක් කියලා. එතකොට, අම්මලා ළමයින්ට ලෝභ නැතුව අරන් දෙන පොත් තමා විද්‍යා ප්‍රබන්ධ කතා. මොකද ඒවයෙන් විද්‍යාව ඉගෙනගනිවි කියන අදහස නිසා.
හැබැයි, මෙහෙම දේකුත් තියෙනවා. ඔය විදියෙ ලේබල් එකක් ගැහුවාම සාමාන්‍ය පාඨකයා දන්නවා පොතකින් බලාපොරොත්තු වෙන්න ඕන මොකක්ද කියන එක. එතකොට විද්‍යාව ගැන පොඩි අදහසක් තියෙන කෙනෙක් මේ පොත ගනිවි. අනික් අය නොගෙනත් ඉඳිවි.
මම පුද්ගලිකව ලෝකය දකින්න සහ පැහැදිලි කරන්න උත්සාහ කරන්නෙ විද්‍යාවන් එක්ක. මොකද, ඒ මම දන්න දේ නිසා. ඉතින් ඒ හේතුව නිසාත් මම ලියන්නෙ විද්‍යා ප්‍රබන්ධ කතා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත්, ඒකට වෙනත් වර්ගීකරණයන් ද තියෙන්න පුළුවන්. සමහරු කල්පාවසාන සාදය දකින්නෙ වීර කතාවක් විදියට.
හැබැයි, ඉයුලෝසියා කියන්නෙ ෆැන්ටසි කතාවක්?
විශ්වය පිළිබඳ න්‍යායයන් වර්ග දෙකක් තියෙනවා. එකක් භෞතික විද්‍යාව, අනෙක ඉතිහාසය පුරා ආපු මිත්‍යාවන් (mythologies) නැත්නම් ෆැන්ටසි. භෞතික විද්‍යාවෙන් විතරක් ලෝකය සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න බෑ. ෆැන්ටසියෙන් විතරක් පැහැදිලි කරන්නත් බෑ. උදාහරණයක් විදියට කුඩයක් ගන්න. වහිද්දි වැහි පොද කුඩේකින් නවත්වන එක අපට භෞතික විද්‍යාව අනුව පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ජෝඩුවක් කුඩයක් යටින් යන එක, එතන තියෙන හැඟීම්, එතන තියෙන සමාජ විද්‍යාත්මක පැත්ත කොහොමද භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරන්නෙ? අන්න ඒ වගේ දෙයක්. ඔය ගැන හයිඩේගර් වගේ දර්ශනවාදීන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඔය දෙපැත්තම කතා කරන්න ඕන. අනික, ඉයුලෝසියා පොත විද්‍යා ප්‍රබන්ධ කතාවක් කිව්වා නම් අම්මලා ළමයින්ට මේක අරන් දීලා ප්‍රශ්න ඇති වෙන්නත් තිබ්බා. මොකද මේකෙ ශෘංගාරාත්මක අන්තර්ගතය, අසභ්‍ය වචන, සහ ප්‍රචණ්ඩත්වය යන දේත් යම් ප්‍රමාණවලින් අඩංගු යි.
එතකොට අපි එනවා ඔබ හඳුන්වා දෙන අන්තර්ගතය වර්ගීකරණයට
ඒක ඇත්තෙන්ම හඳුන්වා දුන්නෙ අනිල් හේරත්. ඔහුගෙ “සැණෙළි වියුම්” පොතේ ඒ වර්ගීකරණය කරලා තියෙනවා. ඔහු කියන විදියට ඇමෙරිකානු චලන චිත්‍ර සංගමයේ’ වර්ගීකරණය ප්‍රමුඛ කොටගෙන තවත් වෙබ් අඩවි රැක තිබූ අදහස් ගුරුකොට ගනිමින් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන කිහිපදෙනෙකුගේ ද අදහස් අනුව සකසාගත් මූලික නිර්දේශයන් තමයි ඔහු හඳුන්වා දෙන්නෙ. මේක අපිට ඒ විදියටම ගැලපෙනවද කියලා කෙනෙක්ට ප්‍රශ්න නගන්න බැරි නැහැ. අපි කරලා තියෙන්නෙ අපේ අතින් වරදක් නොවෙන්න උපරිම උත්සාහය ගනිමින්. මම හිතනවා ලංකාවෙ පොත්වලට මෙහෙම ක්‍රමයක් අවශ්‍යයි කියලා.
මාර්තු 16 (අද) සිදුවන දේ ගැන කිව්වොත්?
එදාට මගේ පොත් පෙළේ දෙවැන්න “ඉයුලෝසියා: අන්ධකාරාලෝක සටහන්” එළිදැක්වෙනවා. හවස තුනට. කොළඹ මහජන පුස්තකාලයේදි. මේක සාකච්ඡාවක් වගේ තමයි කරන්න බලාපොරොත්තුව. එතකොට ඕන කෙනෙක්ට අදහස් දක්වන්න පුළුවන්. ඒ අදහස් අහන්න මම එනවා.