පුද්ගල සබඳතාවන්ට හානි කරන සීමාසන්න පෞරුෂත්ව ආබාධය

දියුණු රටවල, මානසික සෞඛ්‍යය පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර ප්‍රමාණවත් දැනුමක් තිබෙනවා. නමුත් ලංකාවේ තත්ත්වය වෙනස්. ඉතා හොඳ සෞඛ්‍ය සේවයක් තිබුණත්, මානසික සෞඛ්‍ය සඳහා වන දකුණු ආසියාවේ හොඳම විද්‍යායතනයන් දෙකෙන් එකක් අප සතු වුණත්, සාමාන්‍ය ජනතාවට මානසික රෝගාබාධයන් ගැන ඇත්තෙ ඉතා සුළු දැනුමක්. තවමත් “මානසික රෝග” කියන වචනෙට පවා බයවෙන, සමාජාපවාදයට ලක්වේය යන බියෙන් ඒ සඳහා ප්‍රතිකාරයක් නොගන්න, නිවෙස “අංගොඩ” පිහිටීම ලැජ්ජාවට කරුණක් වන සමාජයක් තවමත් ලංකාවේ ඇත්තේ.

මේ දේවල් අවම කරන්නටත්, රටක මානසික සෞඛ්‍ය මට්ටම ඉහළ දමන්නටත් ජනතාව දැනුවත් වීම අවශ්‍ය යි. එනිසා සුලබව හමුවන මානසික සහ පෞරුෂත්ව ආබාධයන් පිළිබඳව ලිපි පෙලක් ඔබ වෙත ගෙන එන්නට Roar තීරණය කළා. මේ එයින් පළමුවැන්න යි.

playbuzz.com

මොනවද පෞරුෂත්ව ආබාධ?

“මානසික රෝග” ගැන දැන සිටින බොහෝ දෙනෙක්, “පෞරුෂත්ව ආබාධයන්” යනුවෙන් හඳුන්වන මානසික රෝග තත්ත්වයන් ඇති බව දන්නේ නැහැ. පෞරුෂත්ව ආබාධයක් කියන්නේ යම් සමාජයක සාමාන්‍ය යැයි සලකන හැසිරීම් වලින් සැලකිය යුතු තරම් ඔබ්බට යන, කල් පවතින, වෙනස් නොවන, එදිනෙදා වැඩ කටයුතු සහ සම්බන්ධතා වලට හානි පමුණුවන අන්දමේ හැසිරීම් රටා සහ සිතුවිලි යමෙකුට ඇතිවීම කියලා සරලව අර්ථ දක්වන්නට පුළුවන්. දැනට හඳුනාගත් පෞරුෂත්ව ආබාධයන් 10ක් පමණ තිබෙනවා. එයින්, “සීමාසන්න පෞරුෂත්ව ආබාධය” පිළිබඳව මේ ලිපියෙන් සරලව සාකච්ඡා කෙරෙනවා.

ඔබේ සමීපතමයෙකුට නිතර අන්තර්පුද්ගල සම්බන්ධතාවයන්හි ගැටළු ඇතිවෙනවා නම්, අස්ථාවර පුද්ගල ප්‍රතිරූපයක් ඇත්නම්, ආවේගශීලී නම්, නිතර තදබල කෝපය, දුක, හෝ කාංසාව ඇතිවෙනවා නම් ඔබ මේ ලිපිය කියවිය යුතුම යි.

“බෝර්ඩර්ලයින්”

සීමාසන්න පෞරුෂත්ව ආබාධය,”සිංහලෙන්” කිව්වොත් Borderline Personality Disorder, කියන්නෙ ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි පෞරුෂත්ව ආබාධයක්.

නීරෝගී තැනැත්තෙකු මෙන් නොවේ, සීමාසන්න පෞරුෂත්ව ආබාධය ඇත්තෙකුගේ ලෝකය හැදෙන්නෙ කළු සහ සුදු වලින්. (healthism.co)

සීමාසන්න පෞරුෂත්ව ආබාධය මූලිකවම බලපාන්නෙ අන්තර්පුද්ගල සබඳතාවයන්ට. මෙය එක් සබඳතාවයකට හෝ කීපයකට බලපාන්න පුළුවන්.

මෙම ආබාධය ඇති පුද්ගලයින් හැම දේකම තීව්‍ර අග්‍රයන් පමණක් දකින අය. ඔවුනට අනුව, ලෝකය හැදෙන්නෙ කළු සහ සුදු වලින්. එහි “අලු” පාටක් නැහැ. ඔවුන්ගේ මිත්‍රකම්, සබඳතා, දවසින් දවස වෙනස් වන සුළු යි. අද හොඳම යාළුවා, හෙට ජන්මාන්තර හතුරෙක් ලෙස පෙනෙන්න පුළුවන්. අද තමා පෙම්කරනා තරුණයා/ තරුණිය, හෙට වෙද්දි තමන්ට කිසිදු ආදරයක් නැති බවට හැඟෙන්නට පුළුවන්. මේ නිසා, ඔවුන් සමඟ ප්‍රේම සබඳතා පැවැත්වීම ඉතාමත් අපහසු යි. ඔවුන් තම සහකරුවාගෙන් විශාල කැපවීමක් බලාපොරොත්තු වෙන අතරම, සිය ඉතාම පෞද්ගලික රහස් පවා තමාට හෙළි කළ යුතු බවත්, තමා සමඟ වැඩි වේලාවක් ගෙවිය යුතු බවත් සිතනවා. ඔවුන් තමාට ඇති තරමට ආදරය නොලැබෙන බවත්, සහකරු පෙර තරම් කැපවීමෙන් ක්‍රියා නොකරන බවත් පැමිණිලි කරන්නට පුළුවන්. ඒ වගේම, අනුන්ගේ හැඟීම් හඳුනාගැනීමේ අපහසුවත් (හෝ ඒවා හඳුනාගත්ත ද, එයට හුවමාරුවට අනෙකාගෙනුත් යමක් බලාපොරොත්තු වීමත්), තමාගේ හැසිරීම ගැටළුකාරී බවට වන අනවබෝධයත් මේ තත්ත්වයන් තවත් උග්‍ර කරනවා.

මොවුන් විවිධ සෙනාරිය තම සිතේ මවාගෙන, ඒ සිතින් මවාගත් සිදුවීම් ගැන වදවෙන්නට දක්ෂයින්. ඒ වගේම ආවේගාත්මක ක්‍රියාවන් (අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්, තරම නොදැන වියදම් කිරීම, සූදු කෙලීම) ආදියේත් නියැලෙන්ට නැඹුරුතාවක් පෙන්වනවා.

මොවුන් බහුතරය තමා හඳුනන අයව පොළඹවන්න දක්ෂ යි. එනිසා සමාජය මොවුන්ට මානසික ආබාධයක් ඇති බව දැනගන්නේ නැහැ. මොවුන්ගේ ගැටළුකාරී හැසිරීම බොහෝකොටම බලපාන්නේ සමීපතමයින්ට හෝ සහකරුවා/ සහකාරියට යි.

සියදිවි නසාගැනීමේ තර්ජන

නොවැදගත් කරුණු වලට අනවශ්‍ය සහ උග්‍ර ලෙස කේන්ති යාම, නිතර ඇතිවන දුක් සහිත ස්වභාවය සහ හිස් ගතිය මොවුන්ගේ පොදු ලක්ෂණයක්. තම සහකරුවා අවිශ්වාස කරන මොවුන්, ඇතැම්විට ඔවුන් තමාට එරෙහිව කුමණ්ත්‍රණය කරන්නේ යැයි ද විශ්වාස කරනවා. ඔහු/ ඇය සිය මිතුරන් සමඟ යන විනෝද ගමනක්, රැකියාවට සම්බන්ධ ගමනක් පවා මොවුන්ට ඇති සැකයක් ඇතිකරගන්න. තම සමීපතමයින් තමා අත්හරිනු ඇත, එයින් තමා හුදෙකලා වේය යන බියෙන් මොවුන් නිරන්තරවම පෙළෙන නිසා කොයි ක්‍රමයකින් හෝ ඔවුන්ව තමා ළඟ තබාගැනීමට උත්සාහ කරනවා. එනිසා ප්‍රේම සම්බන්ධතාවක් බිඳී යෑමට හදද්දී තමා සියදිවි නසාගන්නා බව හෝ, අතපය කපාගන්නා බව කියමින් තම සහකරුවාට තර්ජනය කිරීම මොවුන් අතර බහුලව දක්නට පුළුවන්.

ආබාධය ඇත්තන්ගේ ආදර සබඳතා මෙවැනි යි. (thequeenandking.blogspot.com)

පුද්ගල ස්වභාවයේ නිරන්තර වෙනස්වීම්

සීමාසන්න පෞරුෂත්ව ආබාධය ඇත්තන්ගේ චරිත ස්වභාවය, පුරුෂාර්ථයන්, රැකියා සැලසුම් ආදිය, මිතුරන් පමණක් නොව, ලිංගික නැමියාව පවා කලින් කලට වෙනස් විය හැකියි. නිතර දුක්මුසු ස්වභාවයක්, කාංසාව, පහසුවෙන් කලබලයට පත්වීම, සහ පහසුවෙන් කෝපයට පත්වීම මොවුන්ගෙන් නිරන්තරව නිරීක්ෂණය කළ හැකි ලක්ෂණයන්. කෝපයට පත් වූ විට පරුෂ වචනයෙන් බැන වැදීම, උපහාසාත්මක වීම පුරුදුකොට ගත මොවුන්, කේන්තිය නිවුණු පසු තම හැසිරීම ගැන ලජ්ජාවට පත්වෙනවා මෙන්ම, තමා නිසඟයෙන්ම “දුෂ්ට” හෝ “නරක” පුද්ගලයෙකු බව සිතන්නට පෙළඹෙනවා.

මොවුන්ට යමක් බොහොම පහසුවෙන් එපා වෙන නිසා නිතර අලුත් දෙයහි යෙදෙනවා දැකගන්නට පුළුවන්.

ආබාධය වර්ධනය වී ඇති අවස්තාවන්හි දී, තදබල පීඩනයක් හෝ ආතතියක් ඇතිවන අවස්ථාවන්හි අතාර්කික සහ අහේතුක සැකයත්, පෞරුෂත්ව විඝටනයත් ඇතිවිය හැකි යි.

අවදානමේ සිටින්නේ කවුද?

සීමාසන්න පෞරුෂත්ව ආබාධය ජනගහනයෙන් 1.6% – 5.9% අතර පිරිසකට වැළඳී තිබිය හැකි යි. මෙය බොහෝවිට විෂාදය වැනි වෙනත් මානසික හෝ පෞරුෂත්ව ආබාධයක් ද සමඟ ඇතිවන අතර, එවන් ආබාධයක් ඇති තැනැත්තන් අතරින් 20%ක් දක්වා පමණකට මෙය වැළඳී තිබිය හැකියි. එයිනුත් 3/4ක්ම වාගේ කාන්තාවන්.

බොහෝවිට නියුරොසික රෝගයන්, මත්ද්‍රව්‍ය භාවිත කිරීම් ආදී තත්ත්වයන් සමඟ සුලබව ඇතිවෙන මෙම ආබාධය සහිත රෝගීන්ගෙන් 84%කට පමණම සියදිවි නසාගැනීමේ සිතිවිලි පහළ වන බවට වාර්තා වෙනවා.

මෙය වැළඳුනු පිරිසෙන් 75%ක්ම වාගේ කාන්තාවන්. (cspeiran.wordpress.com)

මෙහි රෝග ලක්ෂණ පසු යොවුන් අවධියේ දී මුලින්ම නිරීක්ෂණය කළ හැකි අතර, සියදිවි නසාගැනීමේ අවදානම සහ රෝගයෙන් ඇතිවන හානිදායක තත්ත්වයන් ඉහළම වන්නේ ඒ සමයේ යි. වයස ගතවත්ම මේවා මදකින් අවම වන නමුත්, ආවේගශීලී බව, සබඳතාවල තීව්‍රබව, සහ හැඟීම් නිතර වෙනස්වන සුළු ස්වභාවය සාමාන්‍යයෙන් සදාකාලික යි. කෙසේ වෙතත් ජීවිතයේ 30 – 40 දශකයන්ට පැමිණෙන කල සබඳතාවයන් පෙරට වඩා ස්ථාවර කරගැනීමට මොවුනට හැකිවෙනවා.

මෙම ආබාධය නිරන්තරයෙන්ම වෙනයම් මානසික රෝගයක් ලෙස වරදවා හඳුනාගැනීමට ලක්වන්නක් නිසා එය ප්‍රතිකාරයන් මගින් පාලනය කිරීම පමාවිය හැකි යි. පාලනය කිරීමට නොහැකි වන අවස්ථාත් තිබෙනවා. නමුත් පළපුරුදු මනෝවිද්‍යා වෘත්තිකයෙකු විසින් ආබාධය නිවැරදිව හඳුනාගත් පසු මූලිකවම උපදේශනය හා ඖෂධ ප්‍රතිකාර මගින් තත්ත්වය තරමකට පාලනය කළ හැකි යි.

එහෙයින්, ඔබේ සහකරු/ සහකාරිය හෝ සමීපතමයෙකු මෙවන් ලක්ෂණ පෙන්වනවා නම්, ඒ ආදරය හෝ ඊරිසියාව නිසා හෝ ඔහුට/ ඇයට අනන්‍ය චරිත ලක්ෂණ නිසා බව සිතා තත්ත්වය නොසලකා හරින්නට එපා. හැකි ඉක්මනින් නිවැරදි ප්‍රතිකාර ලබාදුනහොත් එම තැනැත්තාගේ මෙන්ම ඔබේත් සෞඛ්‍යමය, සමාජයීය, සහ වෘත්තීය දිවියට වන හානි අවම කරගැනීමට සම්භාවිතාව ඉහළ යි.

ඔබ හඳුනන කිසිවෙකුත් මේ ලක්ෂණයන් පෙන්නුම් කරනවා ද?

භාවිත කළ මූලාශ්‍රයයන්:

The Diagnostic and Statistical Manual of Mental Disorders, Fifth Edition

“Overview of the treatment for borderline personality disorder” by Veerasamy, K., and Guruvaiah, L.

Cover image: Mental Movement Magazine

Related Articles

Exit mobile version