මෙක්සිකෝවේ චිහුවාහුවා නගරය සුවිශේෂ වන්නට හේතුව ලෝකයේ විශාලතම නිධානයක් සඟවාගෙන සිටීමයි. චිහුවාහුවාහි නයිකා නමින් හැඳින්වෙන පතලේ විශාල ප්‍රමාණයේ පළිඟු සියවසකට වැඩි කාලයක් තිස්සේ මෙලෙස නිදන්ගත වී තිබෙන්නේ සොබාදහම් දිනිතියගේ විශ්මිත බව ලොවට කියාපාමින්. ටොන් 55 ට වැඩි බරකින් යුත් ලොව විශාලතම පළිඟුවද ඇත්තේ මෙම පතල තුළයි. පළිඟු පතල සොයාගෙන අදට වසර 117 කට ආසන්න කාලයක් ගත වී තිබුණත් එය තවමත් ලෝකයට වැදගත් සොයා ගැනීමක් බවට පත්ව තිබෙන්නේ එහි අද්විතීය පිහිටීම, ඉහළ මූල්‍යමය වටිනාකම සහ ස්වභාව ධර්මයේ අපුර්වතම නිර්මාණයක් වන නිසාවෙනුයි.
යෝධ පළිඟු සොයා ගැනීම
18 වන සියවසේ මෙක්සිකෝවේදී රිදී ලෝහය ඉහළ වටිනාකමින් යුක්ත වූ අතර, කම්කරුවන් රිදී ලබා ගැනීම සඳහා පතල් කැණීම් සිදු කරන අතරතුර මෙම නයිකා පතල සොයා ගැනුණා. පසුව, මහා පරිමාණ පතල් කර්මාන්තය ආරම්භ කෙරුණේ 20 වන සියවස මුල් භාගයේදීයි. යෝධ පළිඟු (Giant Crystal) පතල සොයා ගැනීමෙන් පසුව 1911 දී නයිකා පතල නිල වශයෙන් වසා දැමුණා. එය දර්ශනීය ස්වභාවික ස්ථානයක් වන නිසාත්, එය විනාශ වීමට නොදී රැක ගැනීම පිළිබඳව එරට ජනතාව ප්‍රබලව සිතූ නිසාත්, පතල ආරක්ෂා කිරීමට නෛතික පියවරයන් ගනු ලැබ තිබෙනවා.
කෙසේ වෙතත්, 2000 වන විට පර්යේෂකයින් දෙදෙනෙකු වන ජුවාන් සහ පේද්රෝ සන්චෙස් යන දෙදෙනා නයිකා පතල නැවත ගවේෂණය කිරීමට පටන් ගත්තා. රිදී සහ ඊයම් පතල තුළ තවත් උමඟක් ඇති බව එහිදී ඔවුන් අනාවරණය කර ගත්තා. කුඩා විවරයක් තුළින් ඇතුළට රිංගා ගිය එක් අයෙක් මීටර් 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් ඉදිරියට ගමන් කිරීමෙන් පසු නැවත හැරී ආවේ අනර්ඝ පළිඟු කැට කිහිපයක් ද දෝතින් අරගෙනයි.
“හරිම ලස්සනයි, කැඩුණු කැඩපතකින් ආලෝකය පරාවර්තනය වන ආකාරයට එය දිලිසුණා” ඔහු පවසා තිබුණා.
ඔවුන් දුටු දේ අතිශය විශ්මයජනක මෙන්ම කිසිදා අමතක නොවන්නක් වුණා. පොළෝ තලයේ සිට අඩි 900 ක් පමණ භූගත ප්‍රදේශයක කුහරයක් තුළ යෝධ පළිඟු කූරු දුසිම් ගණනක් පිහිටා තිබෙනු ඔවුනට දක්නට ලැබුණා. මෙක්සිකානු කඳු පන්තියේ සිට මීටර් සිය ගණනක් පොළව තුලට වන්නට පිහිටා ඇති මෙම පළිඟු ගුහාවල මෝරෙකුගේ දත් මෙන් තියුණු, මීටරයක් පමණ උස පළිඟු මෙන් ම වැඩුණු පයින් ගසක් තරමට උස පළිඟු ද දැකගන්න ලැබෙනවා.
එයින් මසකට පසු නයිකා පතල් කරුවන් විසින් සොයා ගන්නා ලද්දේ මීටර් පහළොවකටත් වඩා උස පළිඟු කූරුවලින් එම ගුහා පිරී පවතින බවයි. එය ස්වභාව ධර්මයා විසින් මවන ලද මායා රාජධානියක් මෙන් දක්නට ලැබුණා.
පළිඟුවල ස්වභාවය
එක් පළිඟු කුළුණක් අඩි 12 ක් පමණ විෂ්කම්භයකින් සහ ටොන් 55 කට වැඩි බරකින් යුක්ත වුණා. භූගත මැග්මා නිසා මෙම පළිඟු නිර්මාණය වන්නට ඇතැයි සැලකෙන අතර ඒවා අවුරුදු 500,000 කට වඩා පැරණි බවත් සොයාගෙන තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන්, ස්වාභාවික සංසිද්ධීන්වලට අනන්‍යව ඒවා හැඩ ගැසෙමින් පැමිණ අවසානයේදී එහි ප්‍රතිඵලය දකිද්දී ඕනෑම අයෙකුට නිසැකවම ඇති වන්නේ විශ්මයක්. කෙසේ වුවත් පතලේ හිමිකරු වූ ෆිනෝල්ස් සමාගම මෙම සොයා ගැනීම රහසක් ලෙස තබා ගැනීමට හැකි තරම් උත්සාහ ගත්තා.
එහෙත් ඉක්මණින්ම පතල්කරුවන්ට එහි වැඩ කිරීම අපහසු වුණා. උමං මග තුළ උෂ්ණත්වය දළ වශයෙන් සෙල්සියස් අංශක 65° ක් පමණ වූ අතර ඒ අසලට යන්නන්ට තත්පර කිහිපයක් තුළ දහදිය මුගුරු හෙළීමට සිදු වුණා. මෙම පළිඟු ආකරය ඇතුළට ගමන් කරන්නෙකු අධික උෂ්ණත්වය නිසා මිනිත්තු දහයක් පමණ කෙටි කාලයක් තුළ දී සිහිසුන් වෙනවා. ජීවිතයට එක් වරක් පමණක් නැරඹුවත් ප්‍රමාණවත් වන මෙම පළිඟු පතල තුළ ආරක්‍ෂිත උපකරණ නොමැතිව වැඩි වේලා රැඳී සිටින්නට පුළුවන්කමක් නැහැ. ප්‍රධාන කුටියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 58° (ෆැරන්හයිට් 136.4°) ක් වන අතර, විනාඩි 10 කට වඩා වැඩි කාලයක් ඒ තුළ රැඳී සිටීම මරණයට පවා හේතු විය හැකි බව විද්‍යාඥයින් පවසනවා. ඊට අමතරව, පතළ තෙක් යාම අතිශය දුෂ්කර නිසාම ඒ ආසන්නයට යා හැකි වන්නේ පතල පිළිබඳ විශේෂඥයෙකු සමඟ පමණි.
ස්වභාවික ක්‍රියාවලිය
මෙක්සිකානු කඳු පන්තියට කිලෝ මීටර 3 සිට 5 දක්වා දුරක මෙය පැතිරී ඇතැයි පැවසෙනවා. විද්‍යාඥයින් විස්තර කරන ආකාරයට ගිනිකඳු පිපිරීමකින් ඇති වූ මැග්මාටා කුටීරයක් හෝ අධික තාපය නිසා ද්‍රව වූ පාෂාණ මේ ආකාරයට වසර 30 සිට 50 දක්වා කාලයක් ගත වීමේදී පළිඟු බවට පත් වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ ආකාරයට මැග්මාටා හෝ පාෂාණ ද්‍රව වූ විට එම තාප රූපී තරලය පොළොව මතුපිටට වන්නට රිදී, ඊයම් හා සින්ක් ලෙස තැන්පත් වීමට පුළුවන්. එහෙත් ඇතැම් අවස්ථාවකදී මෙම තරලය සමඟ සල්ෆර් අධික භූගත ජලය මුසු වීමට ඉඩ තිබෙන අතර එවිට එම ලෝහ තැන්පත් වූ කැල්සියම් සමඟ ද සම්බන්ධ වීම නිසා මෙතෙක් නොදුටු විරූ පළිඟු නිර්මාණය වෙනවා. අප සෙලිනයිට් ලෙස හඳුන්වන්නේ ඛනිජමය ජිප්සම්වල පළිඟුමය ආකාරයයි.
“ලෝකයේ මෙතෙක් හමු වී ඇති පළිඟු සියල්ලම ඔබේ අත්ල මත තබා නැරඹිය හැකි ප්‍රමාණයේ ඒවායි. නමුත් මේ පළිඟු පතලේ ඔබට සිතා ගැනීමටත් බැරි තරම් විශාල පළිඟු ඔබේ ඇස් පනාපිටම දැකගත හැකියි”.
ස්මිත්සෝනියන් ආයතනයේ ඛනිජ විශේෂඥයකු වන ජෙෆ්රි පෝස්ට් පවසනවා.
අවාසනාවකට මෙන්, ඇතුළු ගුහාද ඇතුළුව ගල්ගුහාවල සහ සංචාරකයින් ගමන් කිරීමේදී ඇති අවදානම නිසා මෙම කාලය තුළ පතළ අමුත්තන්ට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
පළිඟුවල ප්‍රයෝජනය
ශ්වේත පැහැති මෘදු ආලෝකය නිසාම මෙම පළිඟු සඳට අධිපති සෙලනිටේ නම් ග්‍රීක දේවතාවියගේ නමින් සෙලනිටේ යනුවෙන් නම් කරනු ලැබුවා.
භෞතිකමය හා සුව කිරීමේ බොහෝ ප්‍රතිලාභ එමගින් ලබා ගත හැකි බව පැවසෙනවා. සෙලිනිටේ කුඩු ස්වභාවික සුන්දරත්වය වැඩිදියුණු කිරීම සඳහා වසර දහස් ගණනක් පුරා භාවිත කර ඇති අතර, එමඟින් බුද්ධිය, මතකය, දියුණුව, වාසනාව, ප්‍රතිශක්තිය, සහ ධෛර්යය වර්ධනය කරන බව පැවසෙනවා
කවරයේ ඡායාරූපය : unusualplaces.org
මූලාශ්‍ර
https://unusualplaces.org
https://www.bibliotecapleyades.net