ශරීරයේ ආරක්ෂාව වෙනුවෙන් ශරීරයේම ඇති වන ස්වභාවික ප්‍රකාශනය මානසික ආතතිය ලෙස හැඳින්විය හැකි බව පර්යේෂකයන් පවසනවා. විවිධ හේතු නිසා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇති වන මෙම තත්ත්වය ඇතැම් විට ඉතා පීඩාකාරී විය හැකියි. වර්තමානයේ කාර්යබහුල ජීවන රටාව සහ තරඟකාරීත්වය මෙයට වැඩිපුරම බලපාන බවයි පෙනී යන්නේ. නමුත් මානසික ආතතියෙන් මිදෙන්නට යැයි කියා අපට එදිනෙදා ජීවිතයේ වගකීම්වලින් මිදෙන්නට හැකියාවක් නැහැ. අප කළ යුත්තේ මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමයි. එසේ නොවුණහොත් මෙය දිගු කාලීනව පැවතීමෙන් පුද්ගලයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට සෘණාත්මක බලපෑම් ඇති විය හැකියි.
ප්‍රතිචාර දැක්වීම
මානසික ආතතිය යම් තරමකට පැවතීම ජීවිතයේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමටද හේතු වන අතර අතීතයේ සිට මිනිසාට ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙසද ක්‍රියා කර තිබෙනවා. නමුත් එය පාලනය කරගත නොහැකි තරමට සීමාව ඉක්මවා යාම සුදුසු නොවන අතර අද ලිපියෙන් අප කතා කරන්නට යන්නේ කාන්තාවකගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට මානසික ආතතිය බලපාන්නේ කෙලෙසදැයි කියායි.
එදිනෙදා ජීවිතයේ බොහෝ කාරණාවලට ස්ත්‍රීන් සහ පුරුෂයන් දෙපිරිසම ප්‍රතිචාර දක්වන ආකාරය එක සමානයි. නමුත් මානසික පීඩනයක් ඇති වූ අවස්ථාවකදී මේ දෙපිරිස ප්‍රතිචාර දක්වන ආකාර එකිනෙකාට වෙනස් වෙනවා. එහි නිවැරදිම යාන්ත්‍රණ පැහැදිලි නැතත් විවිධාකාර ආතති තත්ත්වවලදී පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩි වැඩියෙන් මානසිකව සහ ශාරීරිකව සංවේදී වන බව ඇතැම් පර්යේෂණ වලින් සනාථ වී තිබෙනවා
හොමෝනවල බලපෑම
කාන්තාවන් මානසික ආතතිය ඇති වූ විට හැසිරෙන ආකාරය පිරිමින්ට සාපේක්ෂව බොහෝ වෙනස්. ඔවුන් එවන් අවස්ථාවලදී උද්වේගකාරීව හෝ ගැටුම් ඇති වන ආකාරයේ ප්‍රතිචාර නොදක්වන අතර බොහෝ විට සාකච්ඡා කිරීමෙන් එය නිරාකරණය කර ගැනීමට කැමැත්තක් දක්වනවා. පරීක්ෂණයකට අනුව මෙසේ ප්‍රතිචාර දැක්වීම “tend and befriend” (නැඹුරුව සහ මිතුරු වීම) ලෙස නම් කර තිබෙනවා. මෙයට හේතුව දරු උපත අතරතුර කාලයේදී කාන්තාවන්ගේ ශරීරයේ නිපදවෙන ඔක්සිටොසින් හොමෝනයේ බලපෑම බවයි ඇතැමුන්ගේ මතය.
එදිනෙදා ජීවිතය
නිවසේදී, රැකියා ස්ථානයේදී හෝ සමාජයේ ඕනෑම තැනකදී මුහුණ දෙන්නට සිදුවන ඇතැම් සිදුවීම් නිසා කාන්තාවන්ට මානසික ආතතිය ඇති විය හැකියි. ඔබේ රැකියාව, දරුවන්, අසල්වාසීන් සහ විවාහයේ යම් යම් ගැටළු නිසා මානසික පීඩනය එක් වරම ඇති වනවා නම් එය සැලකිය යුතු මට්ටමේ තත්ත්වයක්.
ඔසප් චක්‍රය අනුව කාන්තාවකගේ මානසික ආතති මට්ටම් වෙනස් විය හැකියි. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම නිසා කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යාම හෝ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සිදු වෙනවා. මීට අමතරව හිසරදය, ආමාශගත ගැටළු සහ ශාරීරික වේදනා ඇති වීමටද හැකියි. එවැනි අවස්ථා කිහිපයක් පහතින් විස්තර කර තිබෙනවා.
උදරාබාධ
ඔබව බොහෝ ආහාර ගැනීමට පෙළඹවීමට හෝ ආහාර අනවශ්‍ය යැයි සිතෙන මට්ටමට ඔබගේ උදරය පත් කිරීමට මානසික ආතතිය හේතු වෙනවා. එමෙන්ම උදරයේ තද බව, උදරය ඉදිමීම, අම්ල පිත්තය සහ අන්ත්‍රය සම්බන්ධ රෝගද ඇති විය හැකියි. පමණට වඩා ආහාර ගැනීම සහ ආහාර වේල් මඟහැරීම අනුව ශරීරයේ බර අඩු වීම හෝ බර වැඩි වීම සිදු විය හැකියි.
සමට බලපෑම
මානසික ආතතිය දරුණු ලෙස සමට බලපෑම් කිරීමට හැකි තත්ත්වයක්. කැසීම් සහ කුෂ්ඨ ඇති කිරීමට මෙය හේතු වෙනවා.
චිත්තවේගාත්මක තත්ත්ව
ශෝකී හෝ නොරුස්සන මනෝභාවයක සිට බරපතල මානසික ගැටළුවක් දක්වා මෙය වර්ධනයක විය හැකියි. බොහෝ විට විෂාදය වැනි තත්ත්වයන් ඇති වීමද සිදු වෙනවා.
නින්ද සම්බන්ධ ගැටළු
මානසික ආතතියෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුට තිබෙන පොදු ගැටළුවක් වන්නේ නින්ද නොයෑමයි. නින්ද නොයෑම නිසා මානසික ආතතිය තවත් වැඩි වන අතර එසේ සිදු වීමෙන් නින්ද නොයෑම තව තවත් වැඩි වෙනවා.
අවධානය යොමු කිරීමේ අපහසුව
මානසික ආතතිය යමකට අවධානය යොමු කිරීම අපහසු කරවන නිසා ඵලදායී ලෙස නිවසේ සහ කාර්යයාලයේ වැඩ කටයුතු කිරීම අතපසු වෙනවා. මෙය තිබෙන ගැටළු තවත් වැඩි වීමට හේතු විය හැකියි.
හදවත සම්බන්ධ ගැටළු
මානසික ආතතිය මුළු රුධිර වාහිනී පද්ධතියටම සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. මෙය වක්‍රාකාරව බලපෑමෙන් අධි රුධිර පීඩනය, ආඝාතය සහ හෘදයාබාධ ඇති විය හැකියි.
ප්‍රතිශක්තිය අඩු වීම
රෝගයකට එරෙහිව සටන් කරන්නට නොහැකි තරම් ශරීරය දුර්වල කිරීමට මානසික ආතතියට හැකියාවක් තිබෙනවා. සෙම්ප්‍රතිශ්‍යාවකට හෝ නිධන්ගත රෝගයකට වුව මෙය පොදුයි.
මානසික ආතතිය අඩු කර ගන්නේ කොහොමද?
ඇමරිකානු මනෝ විද්‍යාඥ රොබට් එප්ස්ටන් පුද්ගලයන් 3000ක් යොදාගෙන කළ පරීක්ෂණයක ප්‍රතිඵලයට අනුව, අප මානසික ආතතිය හසුරුවන ආකාරය අපගේ සතුටට 25%ක බලපෑමක් කරන බව සොයාගෙන තිබෙනවා. ඔහු නිරීක්ෂණය කළ පරිදි මානසික ආතතිය කළමණාකරණය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ කටයුතු සැලසුම් කිරීම, තමන්ව ආතතියට පත් කරන දේවල් පිළිබඳව අවබෝධයෙන් සිටීම සහ එය වළක්වා ගැනීමට සූදානම්ව සිටීමයි.
ආහාර වේල
කෙටි ආහාර, පැණි බීම, ලුණු, තෙල් සහ සීනි අධික ආහාර වලින් වැළකී සමබල ආහාර ගැනීමෙන් ඔබට ඔබේ ශාරීරික සුවතාවය වැඩි දියුණු කර ගත හැකි අතර එමඟින් මානසික සුවතාවයද යහපත්ව පවත්වා ගත හැකි වෙනවා.
ව්‍යායාම කිරීම සඳහා වෙලාවක්
ව්‍යායාම කිරීම මානසික ආතතිය අවම කිරීමට සහ විෂාදය හසුරුවා ගැනීමටත් උපකාර වන බව බොහෝ දෙනා දන්නා දෙයක්. ක්‍රියාශීලී වීම, යහපත් මානසික තත්ත්වයක් ඇති කිරීමට උපකාර වන හෝමෝන සහ ස්නායු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීමට හේතු වෙනවා.
සැහැල්ලු වීම සඳහා විනෝදකාමී ක්‍රම සොයා ගන්න
පවුල, මිතුරන් සහ ඔබ ප්‍රිය කරන පුද්ගලයන් සමඟ කල් ගත කිරීම මෙයට හොඳම ක්‍රමයක්. ඒ වගේම කාර්යබහුල වීම නිසා ඔබෙන් ගිලිහී තිබූ විනෝදාංශ නැවත ඇරඹිය හැකියි. අවධානය දිගටම පවත්වා ගත යුතු විනෝදාංශයකට (චිත්‍ර ඇඳීම, කලා නිර්මාණ කිරීම) යොමු වීමත්, යෝගා හෝ භාවනා ක්‍රමයකට හුරු වීමත් කළ හැකියි.
මේ කිසිවකින් යහපතක් නොලැබෙන තරමට ඔබේ මානසික ආතතිය කරදරකාරී නම් වෛද්‍යවරයකු හමු වීම කළ යුතුයි.
කවරයේ පින්තූරය – huffpost.com
මූලාශ්‍ර :
https://www.everydayhealth.com/womens-health/physical-side-of-stress.aspx