Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මිනිස් දිව ගැන ඔබ නොදත් තොරතුරු

මිනිස් ශරීරය සොබාදහමේ ඉතා විශ්මයජනක නිර්මාණයක්. ඉතා සංකීර්ණ ලෙස සැකසී තිබෙන මිනිස් ශරීරයක සෑම අවයවයක්ම පාහේ ඉතා සියුම් ලෙස නිමැවී තිබෙන්නේ යම් කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක්ම ඉතා කාර්යයක්ෂ්ම ලෙස සිදු කිරීම සඳහායි.

මානව දිව මිනිස් සිරුරක පවතින ශක්තිමත්ම පේශියක් ලෙස සමහර තැනක සඳහන් වෙනවා. අස්ථිවලින් තොරව නිමැවී ඇති මෙය බැලූ බැල්මට සරළ ලෙස සැකසුණක් සේ පෙණුනත් රස ප්‍රතිග්‍රහණය, ආහාරවල යාන්ත්‍රික ජීර්ණය ඇතුළු ක්‍රියාවලීන් රැසක් සඳහා උරදීම වෙනුවෙන් එය තැනී තිබෙන්නේ ඉතා සියුම්වයි. මේ ලිපිය තුලින් අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කළේ මිනිස් දිව පිළිබඳව වැඩි දෙනෙක් දැනුවත් නොමැති කාරණා කිහිපයකුයි.

රස සංවේදනය

මානව දිවෙහි ඒ ඒ රසයට වඩා සංවේදී පෙදෙස් (pinterest.co.uk)

මානව දිවකට ප්‍රධාන රස වර්ග 5ක් වෙන් කොට හඳුනාගන්නට පිළිවන්. පැණිරස, ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස හා උමාමි නම් රස ඒ පස් වර්ගයයි. මිනිස් දිවක සාමාන්‍යයෙන් රසාංකුර 10000 ක් පමණ පිහිටා තිබෙනවා. මීට අමතරව දිවෙහි යටි පැත්තේ, කම්මුල්වල ඇතුළු පෙදෙසේ, තල්ලේ හා තොල්වලත් රසාංකුර 2000 ක් පමණ හමු වනවා. සාමාන්‍යයෙන් දිව අගට පැණි රස හා ලුණු රස සංවේදන හොඳින් දැනෙන අතර ඇඹුල් රස දිවෙහි දෙපසටත්, තිත්ත රස දිවෙහි පාදාන්තයටත් දැනෙනවා. උමාමි රස යනු මස් හා හතු වැනි දේ ආහාරයට ගැනීමේදී දැනෙන රසයි.

දිවෙහි දිග

මිනිස් දිවක දිග වයස හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වෙනවා. හොඳින් වැඩුණු පුරුෂයෙකුගේ දිවක සාමාන්‍ය දිග අඟල් 3.3 ක් හෙවත් සෙන්ටිමීටර 8.5ක් පමණ වන අතර වැඩිහිටි කාන්තාවකගේ දිවක සාමාන්‍ය දිග අඟල් 3.1 ක් හෙවත් සෙන්ටිමීටර 7.9 ක් පමණ වෙනවා.

Nick Stoeberl –YouTube

ලොව දිගම දිවෙහි ලෝක වාර්තාවට උරුමකම් කියන්නේ ඇමෙරිකානු ජාතික Nick Stoeberl නම් තැනැත්තෙක්. ඔහුගේ දිවෙහි දිග අඟල් 3.97 ක් හෙවත් සෙන්ටිමීටර 10.1 ක් වෙනවා.

දිවෙහි වර්ණය

දිවෙහි වර්ණය ඔබේ සෞඛ්‍ය ගැන යම් යම් දේ පවසයි (quoteapic.com)

නිරෝගී මානව දිවක් සාමාන්‍යයෙන් රෝස පැහැති වන අතර දිවෙහි වර්ණය අනුව බොහෝ කොටම යමෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිගමනවලට එළැඹෙන්නට පිළිවන්. යමෙකුගේ දිවෙහි වර්ණය සුදු පැහැයට හැරී තිබේ නම් ඉන් පෙන්නුම් කරන්නේ ඔහු දිළීර රෝගයකින් පීඩා විඳින බවයි. දිවෙහි වර්ණය කහ පැහැති නම් එම පුද්ගලයා උණකින් හෝ උදර රෝගයකින් පෙළෙන බවට අනුමාන කළ හැකියි.

රසාංකුරවල පිහිටීම

විශාලක කාචයක් ගෙන ඔබේ දිව ඔබ විසින්ම නිරීක්ෂණය කළහොත් එහි මතුපිට රතු පැහැ ලප විසිරී තිබෙනු ඔබට දැකිය හැකියි. සමහරෙක් ඒවා රසාංකුර ලෙස අනුමාන කළත් ඇත්තෙන්ම දිවෙහි රසාංකුර බහුතරය පිටතට පෙනෙන්නේ නැහැ. දිවෙහි රසාංකුර පොකුරු වශයෙන් පිහිටන අතර ඔබට නිරීක්ෂණය වන කුඩා රතු ලපයක් තුල සාමාන්‍යයෙන් රසාංකුර 6ක් පමණ ගැබ්ව තිබෙනවා. මේවා තුනී සෛල ස්ථරයකින් ආවරණය වී තිබෙනවා. අපේ පියවි ඇසට රතු පැහැ ලපයක් සේ දිස් වන්නේ එවැනි රසාංකුර පොකුරක් වට කරමින් සැදී ඇති සෛල ස්ථරයයි. මේවා පිටිකා නමින් හඳුන්වනවා.

රසාංකුරයක පිහිටීම (alternative-doctor.com)

සෑම රසාංකුරයකම ප්‍රතිග්‍රාහක සෛල 10 – 15 අතර ගණනක් පිහිටන අතර මේවා මඟින් ප්‍රතිග්‍රහණය කරන රස සංවේදන ස්නායු පද්ධතිය ඔස්සේ මොළයට යැවීම සිදු කෙරෙනවා.

ඛේටය හා මිනිස් දිව

රස ප්‍රතිග්‍රහණය කිරීමේ යාන්ත්‍රණය නිසියාකාරව සිදුකිරීම සඳහා දිවෙහි තෙතමනය පැවතීම අනිවාර්යය සාධකයක් වෙනවා. රසාංකුරවල තිබෙන ප්‍රතිග්‍රාහක කරා යම් රසයක් සහිත රසායනිකයක් ළඟාවීමට නම් ඒවා තරළයක දියවී තිබිය යුතුයි. මානව මුඛයක මේ කටයුත්ත නිරන්තරව සිදු කරන්නේ ඛේටය විසිනුයි. නිසියාකාරව ඛේටය නිපදවීම සිදු නොවුණහොත් අප ආහාරයට ගන්නා කිසිවක රස නිසියාකාරව වෙන් කොට හඳුනා ගැනීමට අප දිවට නොහැකි වෙනවා.

දිව ඇත්තෙන්ම මිනිස් ශරීරයක ශක්තිමත්ම පේශියද?

දිව මිනිස් ශරීරයේ ශක්තිමත්ම පේශිය ලෙස සමහරු විසින් හඳුන්වනු ලැබුවත් ඇත්තෙන්ම එය සෑදී ඇත්තේ එකිනෙකට සම්බන්ධ වූ පේශි 8 ක් මඟිනුයි. මේවා සහයෝගයෙන් ක්‍රියා කරන අතර මේ නිසා මිනිස් දිව ඉතා නම්‍යශීලී වී තිබෙනවා. දිවෙහි පේශි කිහිපය මිනිස් සිරුරක හමුවන, අස්ථි පඤ්ඤරයේ ආධාර නොමැතිව යුහුසුළුව චලනය විය හැකි එකම පේශි වර්ගය වෙනවා. එමෙන්ම මෙය මිනිස් සිරුරෙහි පවතින, කෙළවර දෙකම අස්ථි වලට සවි නොවූ එකම පේශිමය අවයවය වෙනවා.

මිනිස් දිවක පේශි (101proofsforgod.blogspot.com)

මිනිස් දිවක ඇති පේශිවලට ඉතා හොඳ දරාගැනීමේ හැකියාවක් තිබෙනවා. නිතිපතා එය වෙහෙසවමින් ආහාර ගැනීම, කතා කිරීම ගිලීම වැනි දේ සිදු කළත් ලෙහෙසියකින් වෙහෙසට පත් වන්නේ නම් නැහැ.

මිනිස් දිවක හැඩය

මිනිස් දිව ඉතා සංවේදී එකක් වෙනවා. එමෙන්ම යමෙකුගේ දිව ඇඟිළි සලකුණු යොදා ගන්නා කර්තව්‍යයන්ටත් යොදාගන්නට පිළිවන්. ලොව වෙසෙන සියළුම දෙනාගේ  දිවෙහි පිටිකා පිහිටා ඇති හැඩය හා රටාව එකිනෙකාට අනන්‍ය වෙනවා. මේ නිසා ඇඟිළි සලකුණු වෙනුවට යමෙකුගේ දිවෙහි පිටපතක් ලබා ගෙන එය ආරක්ෂක කටයුතුවලට යොදා ගැනීමත් බැහැර කළ නොහැකි අදහසක්.

දිවෙහි මහත් වීම

DTKUTOO/iStock/Thinkstock

යම් පුද්ගලයෙකු ස්ථුලත්වයට පත්වන්නා සේම මිනිස් දිවත් මහත් විය හැකියි. මානව දිවක සැලකිය යුතු ප්‍රමාණයක මේදය අඩංගු අතර පුද්ගලයෙක්ගේ ශාරීරික මේද ප්‍රතිශතය ඉහළ යත්ම දිවෙහි අඩංගු මේද ප්‍රතිශතයත් ඉහළ යනවා. මෙලෙස උවමනාවට වඩා දිව මහත් වීමට ඉඩ හැරීම රෝග කිහිපයකටම – විශේෂයෙන් නින්දෙන් හුස්ම හිරවීමට හේතු වන අතර අනෙක් අතට දිව මහත් වීම මඟින් පුද්ගලයෙකුට දැනටමත් පවතින නිදන්ගත රෝග පිළිබඳව යම් යම් අනුමාන සිදු කළ හැකියි.

දිව රෝල් කිරීම

pbs.org

මිනිස් ගහනයෙන් වැඩිමනක් පිරිසට දිව රෝල් කිරීම සිදු කිරීමට හැකි වුවද සුළුතරයකට එම හැකියාව පිහිටන්නේ නැහැ. ජානමය පදනමක් සහිත එම සාධකය හේතුවෙන් සමස්ථ මානව ප්‍රජාව ප්‍රජාවෙන් 85% ක් පමණ දිව රෝල් කිරීමේ සමර්ථයන් වශයෙන් උපදින අතර ඉතිරි 15% ක් දෙනාට දිව රෝල් කිරීමේ හැකියාවක් පිහිටන්නේ නැහැ. (1)

කවරයේ රූපය : Shutterstock

මූලාශ්‍ර :

bodytomy.com
onhealth.com

Related Articles