Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපූරු හැඩයකින් නිර්මාණය වුණු “ගුගන්හෙයිම් කෞතුකාගාරය”

ලෝකයේ විවිධ විවිධ ගෘහ නිර්මාණ රාශියක් පිළිබඳව අපි ඔබට පසුගිය කාලය පුරාවට තොරතුරු ගෙන ආවා. ඒවා අතර ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර ඉදිවෙමින් පවතින සාග්‍රාඩා ෆමීලියා හෙවත් ශුද්ධ වූ පවුලේ දෙව් මැදුර ,නව දිල්ලියේ බහායි දේවාලය​, “ඇපල් පාර්ක්” ගොඩනැගිල්ල , චීනයේ තුන්දුර්ග වේල්ල වගේ ලෝක ප්‍රසිද්ධ ගොඩනැගිලි රාශියක් වුණා. අද අපි හිතුවා ඔබව ස්පාඤ්ඤයට අරන් යන්න. ඒ තවත් අපූරු ගෘහ නිර්මාණ ශෛලයකට අනුව නිර්මාණය වුණු “ගුගන්හෙයිම් කෞතුකාගාරය” හා එය නිර්මාණය වුණු ආකාරය ගෙන තොරතුරු කියන්න.

guggenheim.org

“ස්පාඤ්ඤයේ බිල්බාඔ නගරයේ ගුගන්හෙයිම් කෞතුකාගාරය”

මේ ස්පාඤ්ඤයේ බිල්බාඔ නගරයේ කෞතුකාගාරය සැලකෙන්නේ සොලමන් ආර් ගුගන්හෙයිම් පදනමට අයිතිව ලොව වටා ඇති කෞතුකාගාර කිහිපයෙන් එකක් ලෙසයි. මෙහි අනිත් කෞතුකාගාර නිව්යෝක් නුවර, වෙනීසිය හා අබු ඩාබි යන නුවරවල පිහිටා තිබෙනවා. නමුත් එම කෞතුකාගාර අතරින් මෙම කෞතුකාගාරය එහි ඇති ගෘහ නිර්මාණ හැඩයේ වෙනස නිසා විශේෂ වෙනවා.

සොලමන් ආර් ගුගන්හෙයිම් පදනම ආරම්භ වෙන්නේ 1937 වසරේයි.  ඒ විවිධ වර්ගවල සිතුවම් තැම්පත් කර පළමු කෞතුකාගාරය 1939 වසරේ නිර්මාණය වුණා. ඒ නිව්යෝක් නුවරයි.

විශිෂ්ඨ නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක්

මෙම ගොඩනැගිල්ල නිර්මාණය කරනු ලැබුවේ ෆ්‍රෑන්ක් ඔවෙන් නම් ගෘහ නිර්මාණ ශිල්පියා විසිනුයි. ඔහු කැනඩාවේ උපත ලැබුවේ 1929 පෙබරවාරි 28 වෙනිදායි. නමුත් ඔහු තමන්ගේ නිර්මාණ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පදනම් කරගෙන නිර්මාණය කරනු ලැබුවා. කුඩා කාලයේ තමන්ගේ ආත්තම්මාගේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල ආශ්‍රිතව තිබූ භාණ්ඩවලින් ඔහු නගර හා නිවාස තනා තිබුණා. දකුණු කැලිෆෝනියාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිලිබඳ විශ්ව විද්‍යාලයෙන් තම අධ්‍යයන කටයුතු කළ ඔහු පසුව හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබුණා. ඉන්පසුව ඉන් ඉවත් වන ඔහු කැලිෆෝනියාවේ දී  “Easy Edges” නම් කාඩ්බෝඩ් ආශ්‍රිතව නිර්මාණ කිරීම ආරම්භ කරා.

නමුත් ගෘහ භාණ්ඩවලට වඩා ගොඩනැගිලි නිර්මාණයට විශාල ආශාවකින් ඔහු පෙලුනා. ඔහුගේ අනෙක් සුවිශේෂිතම ගෘහ නිර්මාණය අතර, ලොස් ඇන්ජලීස් නුවර වෝල්ට් ඩිස්නි රඟහල, වොෂින්ටන් නුවර EMP කෞතුකාගාරය ද වෙනවා. ගෘහ නිර්මාණයට අමතරව ගෘහ භාණ්ඩ, ආභරණ හා ඇඳුම් නිර්මාණයටද මොහු ප්‍රසිද්ධයි. කිසිඳු දේශපාලනික පක්ෂයකට මොහුගේ සම්බන්ධයක් නොතිබුන මුත් තරමක් වාමාංශික අදහස් දරන පුද්ගලයෙකු ලෙස මොහු ප්‍රසිද්ධයි.

dezeen.com

ගොඩනැගිල්ල

මෙම ගොඩනැගිල්ල සැළකෙන්නේ බිල්බාඔ (Bilbao) නගරය නැවත සංවර්ධනය කිරීමේ සැලසුම යටතේ නිර්මාණය වුණු වැදගත්ම නිර්මාණයක් ලෙසයි. මෙම නගරය නැවත සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ වරාය හා ගුවන් තොටුපල විශාල කිරීම, නව දුම්රිය මාර්ග නිර්මාණය ද ඇතුලත් වී තිබුණා. නර්වියොන් (Nervión) ගඟ මායිම් කරගෙන වර්ග මීටර 32,500ක භූමියක් පුරා මෙම කෞතුකාගාරය නිර්මාණය වුණා. වර්ෂ 1991 වසරේදී බස්ක්යු රජය (Basque government) විසින් සොලමන් ආර් ගුගන්හෙයිම් පදනමෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කෞතුකාගාරය 1997 වසර වනවිට ඔවුන් විසින් ලබා දෙනවා.

එය මහජනතාවට විවෘත කිරීමත් සමඟම ජනතාකර්ෂණය ඉහලින්ම ලබා ගන්නා ස්ථානයක් බවට පත් වෙනවා. මෙම ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය වර්ග මීටර් 24,000ක්. එයින් වර්ග මීටර 11,000ක් වෙන්ව තිබෙන්නේ ප්‍රදර්ශන අවකාශය වෙනුවෙනුයි.

staticflickr.com

විශිෂ්ට නිර්මාණයක්

ෆ්‍රෑන්ක් ගේ මෙම නිර්මාණය පසුගිය වසර 30ක පමණ කාලය තුල ලෝකයේ නිර්මාණය වූ විශිෂ්ඨතම ගොඩනැගිලි නිර්මාණයක් ලෙස සැලකෙනවා. එමෙන්ම අද වනවිට එය සංචාරක පරාදීසියක් වී අවසානයි.

පෙර සඳහන් කළ ලෙසම වර්ෂ 1991 වසරේදී බස්ක්යු රජය විසින් (Basque government) විසින් සොලමන් ආර් ගුගන්හෙයිම් පදනමෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඉන් වසර 6කට පසුව ඇමරිකානු ඩොලර් මිලියන 89ක වටිනාකමකින් යුතු වූ මෙම කෞතුකාගාරය ලබාදෙනු ලැබුවා. මෙම ගොඩනැගිල්ල ලා සල්වේ පාලම උඩින් හරි අපූරුවට දර්ශනය වෙන ලෙස නිර්මාණය වුණා පමණක්ම නොව ඒ මගින් හරිම අපූරු පිළිගැනීමක් නගරයට පැමිණෙන අයට ලබා දෙනවා.

hitchhikershandbook.com

නිර්මාණය කර අැති අාකාරය

මේ අතිවිශාල ගොඩනැගිල්ල එකිනෙකට සම්බන්ධ වූ හැඩයන්වලින් යුතු අතර එය නිර්මාණයට හුණුගල්, වීදුරු හා ටයිටේනියම් යොදාගෙන තිබෙනවා. මෙම ස්වාහාවික හා ලෝහමය අමුද්‍රව්‍ය  එකිනෙකට සම්බන්ධ වූ හැඩයන් හා මාළු කොරපොතු වැනි වූ ආකෘතිය මෙම ගොඩනැගිල්ලට නාගරික හා තරමක් සෙල්ලක්කාර පෙනුමක් ලබා දී තිබෙනවා.

කෙසේ නමුත් මෙම නිර්මාණය ගොඩ නැගීමම සැළකෙන්නේ විශාල ජයග්‍රහණයක් ලෙසයි. මෙහි සැලසුමේ තිබූ සංකීර්ණතාවය, ජ්‍යාමිතික හැඩතල හා යොදාගත් අමුද්‍රව්‍ය නිසා මෙම ගොඩනැගිල්ල තැනීම තරමක් අසීරු වී තිබුණා.

මෙම ගොඩනැගිල්ලේ සැලසුම – (adsttc.com)

කෙසේ නමුත් මෙම වර්ග මීටර 24,000ක , තට්ටු 3ක් තුල කලාගාර 20ක්, ශ්‍රවණාගාරයක්, අවන්හලක් හා පොත් හලක් ද ඇතුලත් වෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඇතුලත මුළුමනින්ම ස්වාභාවික ආලෝකයෙන් පාලනය වීමයි. එමෙන්ම අධික හිරු රශ්මිය නිසා කලා කෘතිවලට හානි වීම වැළැක්වීමට විශේෂිත උපක්‍රමද එහි භාවිත වෙනවා.

මෙම ගොඩනැගිල්ලේ මුල්ම අදහස – (archgened.oucreate.com)

කෙසේ නමුත් මෙම ගොඩනැගිල්ල හා එහි නිර්මාණ නැරඹීමට එන ජනතාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. එම ප්‍රමාණය 2010 වසරේ 956,417ක් වූ අතර 2017 වසරේ පැමිණි ප්‍රේක්ෂකයන් ප්‍රමාණය 1,322,611ක්.

මේ වගේ ඔබ දන්න වගේම ආස කරන ලොවපුරා තියෙන ගොඩනැගිලි ගෙනත් විස්තර අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

කවරයේ රූපය : notatherdesk.com

Related Articles