Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ආචාර්ය මාර්ක් මෝබියස් කළ හෙළිදරව්ව

2019 දෙසැම්බර් 10 වන දින, ශ්‍රී ලංකාවේ නැගී එන බහු සංවර්ධන හා සුඛෝපභෝගී ජීවන රටා සන්නාමය වන Cinnamon Life සංවිධානය කළ විශේෂ වැඩසටහනක ප්‍රධාන අමුත්තා වූයේ නැගී එන වෙළඳපොළෙහි පුරෝගාමී ආයෝජකයකු වන ආචාර්ය මාර්ක් මෝබියස් ය. ආරාධිතයන්ට පමණක් සහභාගී වීමට හැකි වූ මෙම උත්කර්ෂවත් අවස්ථාව John Keells Properties හි හවුල්කාරීත්වයෙන් Cinnamon Life මෙතෙක් සංවිධානය කරගෙන ආ වැඩසටහන්වල තවත් අදියරක් විය.

‘ටෙම්පල්ටන් නැගී එන වෙළඳපොළ සමූහයේ’ විධායක සභාපති ලෙස වසර 30ක් සේවය කළ ආචාර්ය මෝබියස්, ‘මෝබියස් කැපිටල් පාර්ට්නර්ස්’ හි නිර්මාතෘවරයා ය. ඔහු ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ආර්ථික උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකි. ආචාර්ය මෝබියස් දශක හතරක් පුරාවට ලොව නැගී එන වෙළඳපලවල් සමග කටයුතු කිරීමෙන් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු බවට පත්ව ඇති අතර, බොහෝ සම්මානවලටත් පාත්‍ර වී තිබේ. ඔහු විසින් රචිත ග්‍රන්ථයන්වලට ඉහළ ඉල්ලුමක් තිබේ.

නැගී එන වෙළඳපොළෙහි පුරෝගාමී ආයෝජකයකු වන ආචාර්ය මාර්ක් මෝබියස්

Cinnamon Life වැඩසටහනේ දී, ආචාර්ය මෝබියස් තම අදහස් දැක්වීම ආරම්භ කළේ නැගී එන වෙළඳපොළ පිළිබඳ කෙටි ඉදිරිපත් කිරීමක් (Presentation එකක්) ද සමගිනි. 1987 දී ආයෝජනය සඳහා ශක්‍ය වූ වෙළඳපොළ හතක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබුණේ කෙසේ ද යන්නත්, අද වන විට එම සංඛ්‍යාව දස ගුණයකින් වැඩි වී ඇති ආකාරයත් ඔහු පැහැදිලි කළේ ය.

සිය ඉදිරිපත් කිරීම හරහා ඔහු පෙන්වා දුන්නේ, නැගී එන වෙළෙඳපොළ කෙරෙහි ආයෝජකයින්ගේ උනන්දුව වැඩි බවත්, විශේෂයෙන් විශාල ආයතනික ආයෝජකයින් නැගී එන වෙළෙඳපොළවලට විවිධාංගීකරණය තුළින් ප්‍රවිශ්ට වීමටත් අපේක්ෂා කරන බව යි.

නැගී එන වෙළඳපොළ ආර්ථිකයට වර්ධන වීමට හැකි අවස්ථාවන් පිළිබඳව සලකන විට, චීනය සහ ඉන්දියාව වැනි රටවල් සඳහා 2019 දළ දේශීය නිෂ්පාදිතය 5-6% දක්වා වර්ධනය වනු ඇති බව ඔහු පැහැදිලි කළේ ය.

නැගී එන වෙළඳපල 4.5%කින් වර්ධනය වනු ඇතැ යි මෝබියස් පවසයි

“2019 සඳහා වන දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය දෙස බැලුවහොත්, අප දකින සියලු පහත වැටීම් සමග වුව ද, සංවර්ධිත වෙළඳපොළ සතු 1.6%ට එරෙහිව නැගී එන වෙළඳපල 4.5%කින් වර්ධනය වනු ඇතැ යි අපි අපේක්ෂා කරනවා…” ආචාර්ය මෝබියස් පවසයි.

“නැගී එන වෙළඳපොළවල වටිනාකම දෙස බැලුවොත්, ශ්‍රී ලංකාව එහි ඉහළ තලයක ඉන්නවා. මෙරට විනිමය ද ලාභදායී යි. ඩොලරයට සාපේක්ෂව විනිමය දර්ශකය බෙහෙවින් පහත වැටී, ස්ථාවර වීමට පටන් ගෙන තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය මෝබියස් පැවසුවේ, මෙරට දේශීය ආර්ථිකය දැන් පරිවර්තනීය කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින බව ය. සංචාරක කර්මාන්ත ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට විශාල විභවයක් ඇති බවත්, අප මෙම විභවය ප්‍රයෝජනයට ගන්නා ප්‍රමාණය ඉතාම මඳි බවත් ඔහුට පෙනී ගොස් තිබේ. ඔහු පැහැදිලි කළේ, වර්තමානයේ දී ශ්‍රී ලංකාව වෙත පැමිණෙන වාර්ෂික සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2-3ක් වුව ද, අප අපේක්ෂා කළ යුතු ප්‍රමාණය මිලියන 10ක් බව යි.

දැවැන්ත සංචාරක වෙළඳපොළවල් වන අසල්වැසි ඉන්දියාව සහ චීනය සමග ශ්‍රී ලංකාව පවත්වන මිත්‍ර සබඳතාවන් සැලකිල්ලට ගත් කල, මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ විභව්‍යතාව ඉහළ මට්ටමක පවතින බව ඔහු අවධාරණය කළේ ය.

අන්තර්ජාලය වෙළඳපොළ වෙත වේගවත් වෙනසක් ලබා දෙයි

ඔහු ඉදිරිපත් කළ තවත් ප්‍රධාන නිරීක්ෂණ අංගයක් වූයේ, තාක්‍ෂණයේ වැදගත්කම සහ එහි භාවිතය ක්‍රමයෙන් වැඩිවන ආකාරය යි. තාක්ෂණය හරහා හිස ඔසවන අප්‍රිකානු රටවල් උදාහරණ වශයෙන් ගත් ඔහු, විශේෂයෙන් අන්තර්ජාලය හරහා රටකට බිම් මට්ටමේ සිට ඉතා ඉහළ මට්ටමකට ළඟාවිය හැකි ආකාරය පෙන්වා දුන්නේ ය.

චීන පුරවැසියන් මිලියන 800කට අධික සංඛ්‍යාවක් අන්තර්ජාල භාවිතා කරන්නන් බවත්, එය චීනයේ ජනගහනයෙන් 50%කටත් වඩා සුළු ප්‍රමාණයක් වුව ද එය ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය ඒකාබද්ධ වූවාටත් වඩා වැඩි ප්‍රමාණයක් බව ආචාර්ය මෝබියස් පෙන්වා දෙයි. ඉන්දියාවේ දී ඩොලර් 50ක් වැනි සුළු මුදලකට (ඇතැම්විට, ඊටත් වඩා අඩු මුදලකට) ස්මාර්ට්ෆෝන් එකක් ලබා ගත හැකි බවත්, එම පසුබිම අන්තර්ජාලය පරිශීලක සංඛ්‍යාව වැඩි කරන බවත් ඔහු පැවසීය.

ආකේතිත විනිමය (Cryptocurrencies) අඛණ්ඩව අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ වූ Dark Web හි පුළුල් ලෙස ගනුදෙනු සඳහා භාවිතා බැවින්, ඔහු පවසන්නේ ආර්ථික වර්ධනය සඳහා තාක්ෂණයේ කාර්යයභාරය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව යි. ආකේතිත විනිමය භාවිතා කරන හෝ ළඟ තබා ගන්නා පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රමාණයක් තුර්කිය, කොලොම්බියාව, සහ බ්‍රසීලය වැනි නැගී එන වෙළඳපල කේන්ද්‍රීයව සිටින බව ඔහු පෙන්වා දුන්නේ ය. 

එම සාකච්ඡාවේ දී ඔහු 2019 මැතිවරණයෙන් පසු මෙරට පාලන තන්ත්‍රය වෙනස් වීම පිළිබඳව ප්‍රසාදය පළ කළේ ය. ගෙවුණු වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය යම් තරමකින් අක්‍රීය ස්වභාවයක් ගත් බව සඳහන් කළ ඔහු, නිවැරදි ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මඟින් ශ්‍රී ලංකාවට වර්ධන මාවතෙහි ඉදිරියටම යා හැකි බව හෙළිදරව් කළේ ය. මෙරට අනාගතය සුබදායී බව ඔහු සඳහන් කළේ ය.

උද්ධමනය යනු නිවැරදි පැහැදිලි කිරීමක් නොවේ

වෙළඳ හා අපනයන කටයුතු හරහා ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් පිළිබඳව ආචාර්ය මෝබියස් මෙසේ පවසයි: “ඇත්තටම, ශ්‍රී ලංකාව වැනි නැගී එන රටවල් වෙළඳ හා අපනයන අංශයන් තුළ නව ප්‍රතිසංස්කරණ හරහා ප්‍රතිලාභ ලබා ගනීවි. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාව ස්වාධීනව සිටිමින්, ඉන්දියාව හා චීනය වැනි අනෙකුත් සුපිරි බලවතුන්ට ද මෙරට ආයෝජන හා නිෂ්පාදන කටයුතු කිරීමට අවස්ථාව ලබා දිය යුතු යි.” 

ලොව පොලී අනුපාත පහත වැටීම සහ වත්මන් අවධමන පසුබිම ශ්‍රී ලංකාව සතු ණය ගෙවා අවසන් කිරීම පහසු කරවන බවත්, අනාගතයේ දී ඉන් රටට ඉදිරියටම ගමන් කිරීමට හැකි වන බවත් පෙන්වාදෙමින් ඔහු “ලොව පොලී අනුපාත අඩුවන නිසා, ස්ථාවර වෙළඳපොළවලට වඩා නැගී එන ආර්ථිකයන්ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හා ණය නැවත ආයෝජනයටත්, නව මුදල් ඉපයීමටත් හැකි වෙනවා”යි කිවේ ය.

ආචාර්ය මෝබියස් Cinnamon Life සතු මෙරට මහල් නිවාසයක් වෙත ආයෝජනය කිරීමෙන්, ශ්‍රී ලංකාවේ දේපළ අංශයේ සංවර්ධනය කෙරෙහි ඔහු සතු උනන්දුව පිළිබිඹු වේ. ආයෝජකයින්ට වඩාත් හිතකර පසුබිමක් නිර්මාණය වීමට නම්, දේපළ වෙළඳාම් අංශය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඔහුගේ අදහස යි. “එම ක්‍රමවේදය ලොව පුරාම භාවිතයට ගැනෙනවා. ශ්‍රී ලංකාවේ, උකස් වෙළඳපොළ වර්ධනය කළ යුතු යි. දේපළ හිමිකම් ලැබීමට එය පහසු කරවන නිසා තවත් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට හේතුවක් වේවි,” මෝබියස් කියයි.

ජනතාව රජයට බලපෑම් කළ යුතු බව ඔහු කියයි

ශ්‍රී ලංකාව සතුව ඇති තවත් ගැටළු සඳහා විසඳුම් වශයෙන් “බදු ප්‍රතිසංස්කරණ, විදේශ විනිමය ප්‍රවාහ සහ සංචාරයේ පහසුව” යනාදිය අවශ්‍ය බව ඔහු පැවසීය. ඒ සඳහා කලාපය තුළ තරගකාරී බදු පසුබිමක් ඇති කිරීම, බදු ගෙවීම පහසු කිරීම, සහ වීසා ලබාගැනීම පහසු කරමින් සංචාරක කර්මාන්තයට අත දීම වනාහි ආර්ථිකය නංවාලීම සඳහා රජය විසින් ගත යුතු ප්‍රායෝගික පියවර වශයෙන් ඔහු දක්වයි.

“‍මෙතෙක් කල් නොකිරීම ගැන පසු තැවෙන්නේ නැතිව, මෙය ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවතේ නව පිටුවක් වශයෙන් සුබවාදීව දකින්න,” ඔහු අවසන් වශයෙන් පැවසීය. එසේම, ඔහු පැවසුවේ ශ්‍රී ලාංකික ජනතාව තම රජයට “(ව්‍යාපාරික) ක්‍රියාවලීන් ලිහිල් කිරීම, දියුණු වීම පහසු කිරීම සහ ආයෝජන දිරිමත් කිරීම” සඳහා බලපෑම් කළ යුතු බව ය.

සමස්තයක් වශයෙන්, ආර්ථික ප්‍රතිසංස්කරණ, ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවත සහ කලාපය තුළත්, ඉන් පිටතත් අනාගතයේ දී රටට අපේක්ෂා කළ හැකි දේ පිළිබඳව වූ මෙම සාකච්ඡාවෙන් ප්‍රේක්ෂකයින් සුවිසල් දැනුම් සම්භාරයක් ලද අතර, ඉන් මෙම සැසිය සාර්ථකත්වයේ සිහනද පතුරුවා හරින ලදී.

Related Articles