Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමාන අත්දැකීම්වලට මුහුණ දුන් ‘ජිම් නිවුන්නු’න්ගේ කතාව

අමෙරිකානු යුවළකට ලැබුණු සම නිවුන් දරුවන් දෙදෙනෙක්, උපතින් සති කිහිපයකට පසු ව එකිනෙකාගෙන් වෙන් කෙරෙනවා. ඉන් වසර ගණනාවකට පසුව, වැඩිහිටියන් බවට පත් වූ පසු මේ දෙදෙනා නැවත මුණගැසෙනවා. එහිදී අවබෝධ වන්නේ ඔවුන් දෙදෙන එකිනෙකාට ඉතා සමාන අත්දැකීම්වලට මුහුණදී ඇති බව සහ, ඉතා සමාන ලෙස සිය දිවිය ගත කොට ඇති බව යි. 

ඔවුන්ගේ ජීවිතයන් හි මෙම අතිශය සමාන බව පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙහි බොහෝ දෙනා පුදුමයට පත් වුණා.

සම නිවුන් දරුවන් දෙදෙනෙක්- scarymommy.com

අතිශය සමාන ජීවිත

අමෙරිකා එක්සත් ජනපදයෙහි ලීමා හි ජීවත් වන ජේම්ස් ‘ජිම්’ ලුවිස් උපත ලබා තිබුණේ 1940 වසරේදී යි. උපතින් සති 3 කට පසුව ඔහු වෙනත් යුවළක් රැගෙන ගොස් හදා වඩාගෙන තිබූ අතර, එලෙස හදා වඩා ගත් මාපියන් ඔහුට ‘ජේම්ස්’ යන නාමය ලබා දී තිබුණා. ඔහුට ‘ටෝයි’ නමින් සුරතල් සුනඛයෙක් සිටි අතර, පාසල් අධ්‍යාපනය ද හොඳින් සිදු කර තිබුණා. පාසල් සමයෙහි ගණිතය ඔහුගේ ප්‍රියත ම විෂයයක් වූ අතර, වඩු වැඩවලට ද ඇලුම් කළා. කෙසේ නමුත් ලිවීමේදී නිවැරදි අකුරු භාවිත කිරීමට ඔහු දුර්වලතාවක් දැක්වූවා. 

වැඩිවිය එළැඹි පසු ඔහු ‘ලින්ඩා’ නම් කාන්තාවක හා විවාහ වූ අතර, පසුව එම විවාහය බිඳ වැටී, දෙදෙනා දික්කසාද වී තිබුණා. දෙවනුව ඔහු විවාහ වූයේ ‘බෙටී’ නම් කාන්තාවක සමඟ යි. ඔහුට ‘ජේම්ස් ඇලන් ලුවිස්’ නම් පුත්‍රයෙක් වුණා.  ඔහු ආරක්ෂක නිලධරයෙක් ලෙස ක්‍රියා කළ අතර, ෂෙවී (චවලට්) වර්ගයේ මෝටර් රථයක හිමිකරුවෙක් වුණා. ඔහු සතු නරක ම පුරුද්ද වූයේ දැඩි ලෙස දූම් පානය කිරීම යි. දිනකට සිගරැට්ටු දුසිමකට වඩා ඔහු පානය කළා.

කතාවෙහි විස්මයජනක ම කොටස

1979 වසරේදී ඔහුට අපූරු අමුත්තෙක් මුණගැසෙනවා. එම අමුත්තා නමින් ජිම් හෙවත් ජේම්ස් ස්ප්‍රින්ගර් වූ අතර, ඔහුගේ දිවියෙහි වූ සිද්ධීන් ජේම්ස් ලුවිස් ගේ දිවියේ වූ සිද්ධීන් හා කෙතරම් සමාන වූයේ ද යත්, මෙම සමානකම් අසා බොහෝ දෙනෙක් අතිශය පුදුමයටත් උද්දාමයටත් පත් වුණා.

ජේම්ස් හෙවත් ජිම් ස්ප්‍රින්ගර් ද උපත ලැබීමෙන් සති තුනකට පසු හදා වඩා ගැනීම සඳහා ස්ප්‍රිංගර් නම් යුවළක් රැගෙන ගොස් තිබූ අතර, ඔහුට ‘ජේම්ස්’ යන නාමය තබා තිබුණේ ද ඔවුනු යි. ඔහුට ද කුඩා කල ‘ටෝයි’ නම් සුරතල් සුනඛයෙක් සිට ඇති අතර, සිය නිවුන් සොයුරා මෙන් ම පාසලේ දී ගණිතයට සහ වඩු වැඩවලට හොඳ දක්ෂතා දක්වා තිබුණා. එමෙන් ම ඔහු ද වචනවල අකුරු නිවැරදි ව ලිවීමේ දුර්වලතාවකින් පෙළී තිබීම සුවිශේෂී යි.

මොවුන් දෙදෙනාගේ කතාවෙහි විස්මයජනක ම කොටස උදා වන්නේ ඉන් පසුව යි. ස්ප්‍රින්ගර් මුලින් ම විවාහ වූ තැනැත්තිය ගේ නම ද ‘ලින්ඩා’ වන අතර ඔවුන් දෙදෙනාගේ විවාහය ද දික්කසාදයකින් අවසන් වී තිබෙනවා. ඔහු ද දෙවනුව විවාහ වී ඇත්තේ ‘බෙටී’ නම් තැනැත්තියක සමඟ යි. ඔහුට ද ‘ජේම්ස් ඇලන් ස්ප්‍රින්ගර්’ නම් පුතෙක් වූ අතර, ෂෙවී වාහනයක් හිමි වූවා මෙන් ම, දැඩි ලෙස දුම් පානයට ඇබ්බැහි වූවෙක් ද වුණා.

ජිම් ලුවිස් හා ජිම් ස්ප්‍රින්ගර්- pmj.bmj.com

අහඹු හමුවීමක්

මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා සිය කුඩා කාලය සහ තරුණ කාලය ගෙවා දමා තිබුණේ එකිනෙකාට සැතපුම් 45 ක් තරම් දුරක ජීවත් වෙමිනු යි. කෙසේ නමුත් වසර 39 ක් ගත වන තුරු ම ඔවුන් එකිනෙකා හමු වී තිබුණේ නැහැ. ලුවිස් සහ ස්ප්‍රින්ගර් දෙදෙනා මෙන් ම ඔවුන් හදාවඩා ගත් මාපියනුත් එකිනෙකා හට නිවුන් සොහොයුරෙක් සිටි බැව් දැන සිටියා. දෙසොහොයුරන් හා ස්ප්‍රින්ගර් පවුල සිතා සිටියේ අනෙක් සොහොයුරා කුඩා කලම මියයන්නට ඇති බවට යි. කෙසේ නමුත් ලුවිස් හදා වඩා ගත් මවට මීට වඩා යමක් දැනගැනීමට ලැබුණා. 

ඇය තමන්ට හදා වඩා ගැනීමට ලැබුණු දරුවා සම්බන්ධ ලියකියවිල්ලක් සම්පූර්ණ කර ගැනීමට අධිකරණය හමුවට ගිය විටක  එම දරුවාගේ නිවුන් සොයුරා ද ඒ ආකාරයෙන් ම හදා වඩා ගැනීමට දී ඇති බවත්, ඔහු ද ‘ජේම්ස්’ ලෙස නම් කර ඇති බවත් ඇයට දැනගන්නට ලැබුණා. දෙසොහොයුරන් අවසානයේ දැන හඳුනා ගත්තේ ඒ අනුව යි. මෙම සිදුවීමෙන් වසර ගණනාවකට පසු, එක් අවස්ථාවක දී ඇය මේ පිළිබඳ ව ජේම්ස් ලුවිස්ට සැළ කර සිටි අතර, ඔහු සිය සොයුරා සොයා යාමට තීරණය කළා.

ඇමතුමකින් සම්බන්ධ වීමේ අවස්ථාව

ඒ අනුව ලුවිස් අධිකරණය අමතා ඔහායෝ ප්‍රාන්තයේ ම පිකුවා හි ජීවත් වූ ස්ප්‍රිංගර් පවුලේ දුරකථන අංකය ඇතුළු තොරතුරු සොයා ගත්තා. මේ අනුව අවසානයේ ඔවුන්ට ඇමතුමකින් සම්බන්ධ වීමේ අවස්ථාව ලැබුණා. දෙදෙනා එකිනෙකා හමුවී සිය තොරතුරු බෙදා හදා ගත්තේ ඉන් දින හතරකට පසුව යි. ඒ වන විට ඔවුන් දෙදෙනා 39 වියැති වුණා.

පළමු හමුවීමේ දී ම දෙදෙනාට වැටහී ගියේ පෙනුමට අමතර ව එකිනෙක සමාන බොහෝ දේ ඔවුන්ට තිබෙන බව යි. ඔවුන් දෙදෙනා ම නියපොතු සැපීම සිදු කළ අතර, භාවිත කරන්නේ එකම වර්ගයක සිගරැට්ටු බවත් ඔවුන්ට පෙනී ගියා. මෙම සමානකම්වලින් උද්දාමයට පත් වූ ඔවුන් පුදුමයෙන් පුදුමයට පත් වූයේ සිය පෞද්ගලික ජීවන අත්දැකීම් එකිනෙකා හා බෙදා ගැනීම ආරම්භ කිරීමත් සමඟ යි. 

ජිම් නිවුන්නු තුරුණු වියේදී- Alamy

පර්යේෂණ පවා සිදුකරන්නට යෙදුණු අත්දැකීම්

‘ජිම් නිවුන්නු’ ලෙස අමෙරිකාව පුරා මොවුන් පරසිදු වූයේ, ඔවුන් ලත් මෙම අසාමාන්‍ය අත්දැකීම ලොවට පැවසීමට ඔවුන් තීරණය කිරීමත් සමඟ යි. මෙම පුවත ලැව් ගින්නක් සේ හාත් පස පැතිර ගිය අතර, මේ පිළිබඳ ව පර්යේෂණ කරන්නට විද්‍යාඥයන් පවා උනන්දු වුණා. ඒ අනුව ඔවුන් ‘සම නිවුන්නු’ සම්බන්ධ ව පරයේෂණ කරන, මිනසෝටා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් ද හමු වී සිය අත්දැකීම් බෙදා හදා ගත්තා. ඒ මෙම සිදුවීම් එලෙස සිදුවූයේ කෙසේ ද යන්න පිළිබඳ ව ඔවුන් තුළත් පුදුමයක් හට ගැනීම නිසා යි.

මෙම කණ්ඩායම 1979 වසරේ පටන් මෙලෙස වෙන් කළ නිවුන් යුවළ 137 ක ජීවන අත්දැකීම් අධ්‍යයනය කළ අතර, ඔවුන්ගේ සොයාගැනීම් අනුව තවත් පර්යේෂණ රාශියක් ද පසුකාලීනව සිදු කෙරුණා. එහිදී හෙළි වූයේ ජානමය වශයෙන් ඇති සර්වසම බව නිසා, චර්යා රටා, බුද්ධි මට්ටම් වැනි දේවල ඇති සමානකම් හේතුවෙන් මෙම යුවළ බහුතරයක ජීවන අත්දැකීම්වල, තෝරා ගත් වෘත්තීන්වල මෙන්ම සෑදුණු රෝගාබාධ වැනි දේවලත් සමානකම් බහුල ව ඇති බව යි. කෙසේ නමුත් ජිම් නිවුන්නු හා සමාන අත්දැකීම් රාශියක් ලැබූ සොයුරන් දෙදෙනක් ඔවුනට නැවත හමු වූයේ නැහැ.

වෙන් කළ නිවුන් යුවළ 137 ක ජීවන අත්දැකීම්

එකිනෙක හමු වූවායින් පසු ව ලුවිස් සිය දෙවන බිරිය වන බෙටීව ද දික්කසාද කළ අතර, නැවත වෙනත් කාන්තාවක් හා විවාහ වීමට කටයුතු කළා. මෙම මංගල්‍යය සඳහා තම දෙවන මනාලයා ලෙස ඔහු තෝරා ගෙන තිබුණේ සිය සොයුරා යි. මෙම මනාලියගේ නම වූයේ ‘සැන්ඩි’ යි. කෙසේ නමුත් ජේම්ස් ස්ප්‍රිංගර් දික්කසාද වී ‘සැන්ඩි’ නම් ලද තැනැත්තියක හා නැවත විවාහ වූ බවට වාර්තා වන්නේ නැහැ.

කවරයේ ඡායාරූපය - 'ජිම් නිවුන්නු' - ripleys.com
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Ripleys.com
Cbsnews.com

Related Articles