Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉස්සර අපි පාවිච්චි කළ මේ බ්‍රෑන්ඩ්ස් මතක ද?

අවුරුදු 30කට 40කට, හෝ ඊටත් පෙර ලංකාවෙ වෙළඳපොළ අද වගේ නෙවෙයි. අද විවිධ නිශ්පාදනයන්, විවිධ සන්නාමයන් යටතේ වැහි වැහැලා තිබුණත්, ඒ කාලෙ ලංකාවෙ තිබුණෙ සන්නාමයන් කීපයයි. යම් වෙළඳ භාන්ඩයක් (උදා: සබන්, දත් බෙහෙත්, සෙරෙප්පු) ගැන සඳහන් කරද්දි, එය යම් සන්නාමයකින්ම හඳුන්වන තරමට ඒ සීමිත සන්නාමයන් විසින් වෙළඳපොළ බලය තහවුරු කරගෙන තිබුණා.

අද වෙනකොට ජනගහනය වැඩිවෙලා, ලංකාව ලෝකයට විවෘත වෙලා, වෙළඳපොළ පුළුල් වෙලා තියෙන නිසා සබන්, සෙරෙප්පු, හෝ වෙන ඕනෑම දෙයක් ඕනෑම සන්නාමයන් දුසිමක් යටතේ මිළට ගත හැකි යි. නමුත් එදා වෙළඳපොළ ආක්‍රමණය කර තිබූ ඇතැම් සන්නාමයන් අද දකින්නට නැහැ. අද නැතිමුත් එදා ලංකාවේ බහුල හා ප්‍රසිද්ධ වුණු එවැනි සන්නාමයන් කීපයක්.

ගෝපාල් දත් බෙහෙත් කුඩු

මේක ආවෙ මෙන්න මේ පැකට් එකේ (thejamushop.net)

ටියුබ් වල “ටූත් පේස්ට්” එන්න කලින්, දත් මදින්න භාවිත කළේ එක්කො අඟුරු, නැත්නම් මේ “දත් කුඩු”. ඉන්දියාවෙන් ගෙන්වපු “ගෝපාල් දත් කුඩු” ඒ දවස්වල ගම්වල ඇති කුඩා කඩයකින් පවා මිළට ගන්න පුළුවන්කම තිබුණා. කරාබුනැටි, කුරුඳු, හුණුගල් කුඩු ආදී දේ අඩංගු වුණු, සැකරින් වලින් පැණි රස කළ රෝස පැහැති මේ කුඩු පැකට් එකක් එකල ශත 5කට පමණ අලෙවි වුණා.

“පැරකුම්බා” යන වෙළඳ නාමය යටතේත් දත් බෙහෙත් කුඩක් එකල තිබුණු නමුත්, ඒ ඖෂධීය කුඩ ක‍ටුක රස වූ නිසාදෝ එකල ලක්වැසියන් 50%ක් පමණ දෙනා පාවිච්චි කළේ මේ “ගෝපාල් දත් කුඩු” බවයි කියැවෙන්නේ.

බ්ලූ බෑන්ඩ් මාජරින්

මේ ටින් එක නම් ලාවට මතක ඇති. (afromum.com)

නිල් පාට පටියක් තිබුණු කහ පාට ටින් එකක ආපු “බ්ලූ බෑන්ඩ් මාජරින්”, ඒ කාලෙ ලංකාවෙ විකිණුවෙ අද ඇස්ට්‍රා විකුණන යුනිලිවර් සමාගමෙන්මයි. බ්ලූ බෑන්ඩ් මාජරින් එක ඒකාලෙ “ඇස්ට්‍රා” කියලා හැඳින්වුවත් වරදක් නෑ. අද වෙළඳපොළේ බහුල ෆැට් ස්ප්‍රෙඩ් වෙනුවට, ඒ කාලෙ ඇත්තම “මාජරින්” තිබුණා තමයි. හැබැයි ඒ බටර් වෙනුවට. මොකද “මැතිණි”ගෙ ආණ්ඩුව කාලෙ පිටරටින් වෙළඳ භාණ්ඩ ආනයනයට තහනම් පැමිණවීම නිසා ඒ දවස් වල හොඳ බටර් ටිකක් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක් වුණා. බටර් වෙනුවට ඒ කාලෙ බහුලවම ආහාරයට ගත්තෙ මේ බ්ලූ බෑන්ඩ් මාර්ජරින් එක යි.

එළවළු තෙලෙන් හදපු මේ මාජරින් එකේ, පාසැල් දරුවන්ගෙ ඉගෙනීමේ හැකියාව වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙන විටමින් A, D, සහ E තියෙනවා කියලා තමයි විකිණුවෙ.

ක්වින්ක් තීන්ත

ක්වින්ක්! (stationarytraffic.com)

අද අපි ලියන්න පාවිච්චි කරන බෝල්පොයින්ට් පෑන වෙළඳපොළට එන්න කලින් උල්පත් පෑන්, එහෙමත් නැත්නම් “ෆවුන්ටන් පෑන්”, කියලා පෑන් වර්ගයක් තිබුණා සමහරුන්ට මතක ඇති. මේවායින් ලියන්න නම් පෑනෙ ඇතුලෙ තිබ්බ බටේට තීන්ත පුරවන්න වුණා. ඒ දවස්වල මේ වැඩේට ප්‍රසිද්ධම තීන්ත ජාතිය වුණේ පාකර් සමාගමෙන් නිකුත් කරපු ක්වින්ක් ෆවුන්ටන් පෑන් තීන්ත.

ක්වින්ක් සඳහා පලවූ පුවත්පත් දැන්වීමක් (pinterest.com/erangatennakoon)

1928 දී වෙළඳපොළට හඳුන්වාදීපු මේ තීන්ත වර්ගය ලංකාවට ආවෙ නම් ඊට දශකයකට පමණ පස්සෙ. නමුත් මේවා මෑතක් (ඒ කිව්වෙ 2000ගණන්වල මුල වගේ) වන තුරුත් වෙළඳපොලෙන් මිළට ගත හැකිව තිබුණා. නිල් සහ රතු පාට දෙකෙන්ම ආපු මේක නැතිවෙලා ගියේ තීන්ත පෑන්වල තැන බෝල්පොයින්ට් පෑන් වලින් ආක්‍රමණය කළාට පසුව යි.  

රෙක්සෝනා සබන්

පැකට් එක ටිකක් මේ වගේ නේද?  (bowman-studio.com.au)

මේක නම් හුඟ දෙනෙක්ට මතක තියෙන්න ඕනෙ. දැනුත් ලංකාවට විවිධ සනීපාරක්ෂක නිශ්පාදනයන් එවන රෙක්සෝනා සමාගමෙන් ඉස්සර සබන් කැටයක් වෙළඳපොළට නිකුත් කළා. අමුතු සුවඳක් තිබුණු මේක ඉස්සර හරිම ජනප්‍රිය යි. නමුත් මොකක් හෝ හේතුවක් නිසා 2004න් විතර පස්සෙ මේ සබන් ලංකාවට ගෙන්වන එක නැවතුනා.

රෙක්සෝනා සබන් සඳහා පලකළ පුවත්පත් දැන්වීමක්  (wanni.wordpress.com)

වීනස් පැන්සල්

හරියට ඉරිතලලා වගෙ මෝස්තරයක් තිබුණු තද කොළපාට පැන්සල් ජාතිය මතක ද? හැත්තෑව සහ අසූව දශකවල ලංකාවෙ පාසැල් ළමයි ළඟ තිබුණු පැන්සල් වර්ගයක් මේ. ඇමරිකානු සමාගමකින් නිපදවපු මේවා ලංකා පැන්සල් සමාගමේ නිශ්පාදනයන්ට ලොකු තරඟයක් දුන්නා. හැබැයි මේවා ටිකක් මිළෙන් වැඩි බවයි මතක.

වීනස් පැන්සල්  (journaldaddy.com)

මේ පැන්සල් හදපු ඇමරිකානු සමාගම පසුව ජර්මානු සමාගමක් වන ෆේබර්-කැස්ටෙල් විසින් මිළට ගනු ලැබුවා. ෆේබර්-කැස්ටෙල් විසින් නිකුත් කරන නිශ්පාදනයන් නම් අදටත් ලංකාවෙ වෙළඳපොළෙන් මිළට ගන්න පුළුවන්.

කාඩිනල් පොලිෂ්

කාඩිනල් පොලිෂ් සඳහා පලකළ පුවත්පත් දැන්වීමක්  (wanni.wordpress.com)

ලංකාවෙ ගොඩක් ගෙවල් වල බිම ටයිල් නොකර සිමෙන්තියෙන් හදලා තිබුණු කාලෙ, හැම ගෙදරකම වගෙ “කාඩිනල් පොලිෂ්” කියලා නම ගහපු ටිකක් ලොකු ටින් එකක් තිබුණා. රතු සහ දුඹුරු පාට දෙකෙන්ම ආපු මේ ඉටි වගෙ ද්‍රව්‍යය පාවිච්චි කළේ පොළව ඔප දාන්න. විශේෂ උත්සවයක් එහෙම ගෙදරක පවත්වද්දි, ඉස්සරවෙලාම පරණ පොල්කුඩු වගෙ දෙයක් හරි, වතුරෙන් හරි පොළව අතුල්ලලා හෝදනවා. පොලිෂ් එක ගාලා වේලෙන්න තියලා, පස්සෙ බිම ඔප වැටෙන්න මදිනවා. පොලිෂ් ගාපු බිම වේලෙන තුරු ඇවිදින්නෙපා කියලා අම්මලා කෑගහපු හැටි, පොලිෂ් ගාලා දවසක් දෙකක් යනකල්ම යටි පතුල් රතු පාට වුණු හැටි සමහරුන්ට නම් මතක ඇති. ඒ පොලිෂ් තවමත් වෙළඳපොළේ තිබුණත් නැතත්, අද වෙනකොට නම් එතරම් භාවිතයක් නැති තරම්.

මේ සඳහන් කරපු 6 විතරක් නෙවෙයි, එදා තිබුණු අද නැති, ටූ එලෆන්ට්ස් ගිණි කූරු, ශෙල්ටොක්ස් කෘමිනාෂක, බොව්රිල් වගෙ ගොඩක් නිශ්පාදනයක් ඔබට මතක ඇති. ඒවා පහළින් කමෙන්ට් එකක් විදියට ලියාගෙන යන්න.

Cover: ebay.com

මූලාශ්‍රය:

Ten Household Brands Only Your Mother Remembers by Roel Raymond

Related Articles