Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාසල් සිසුන් පිරිසක් පණ පිටින් වළලන ලද, ‘චෝචිලා පැහැර ගැනීමේ සිද්ධිය’

1976 වසරේ ග්‍රීෂ්ම ඍතුවේ දී ඇමෙරිකා එක්සත් ජනපදය ම සලිත කළ සිදුවීමක් එහි කැලිෆෝනියා ප්‍රාන්තයේ චෝචිලා ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ පාසල් සිසු, සිසුවියන් 26 දෙනෙකු හා ඔවුන් ගමන් කරමින් තිබූ පාසල් බස් රථයේ රියැදුරු ද සමග කප්පම් ගැනීම අරබයා පැහැර ගැනීමට ලක් වීම යි. ඔවුන් සියලු දෙනා පණ පිටින් ‘වැළලීමට’ සලස්වා තිබීම නිසා මෙහි දරුණුභාවය තවත් වැඩි වුණා. කෙසේ නමුත් වාසනාව තව දුරටත් ඔවුන් සතු ව තිබීම නිසා, ඒ සියලු දෙනා ම කිසිදු උපද්‍රවයකින් තොර ව ගැලවීමට අවසානයේ සමත් වුණා. කෙසේ නමුත්, එම සිදුවීම සිදු වී වසර 42ක් ගත වන මේ මොහොත වන විටත්, එම සිද්ධියට මුහුණ දුන් සමහරක් දෙනා සුළු වශයෙන් හෝ විවිධ මානසික බිඳවැටීම්වලට ලක් වී තිබෙනවා.

පැහැර ගැනීමට ලක්වීම

1976 වසරේ ජූලි මස 15 වන දා කැලිෆෝනියාවට උදා වූයේ ඉතා පැහැබර වටපිටාවක් සහිත ව යි. ඒ වන විට එහි පාසල්වලට ග්‍රීෂ්ම නිවාඩු සමය ලබා දී තිබූ අතර, චෝචිලා හි ඩේරිලන්ඩ් මූලික පාසලේ දරුවන් වෙනුවෙන් ‘ගිම්හාන කඳවුරක්’ පැවැත්වීමට එහි නිලධාරීන් තීරණය කර තිබුණේ ඒ මස මුල දී ම යි. එහි පළමු දිනය ජූලි 14 වැනි දා සාර්ථක අන්දමින් පවත්වා තිබූ අතර, වයස 5- 14 අතර පසු වූ දරුවන් ඊට සහභාගි වූයේ ඉතා උද්‍යෝගිමත් ව යි. විවිධාකාරයේ අත්කම් නිර්මාණ කිරීම, ක්‍රීඩා කිරීම ඇතුළු සිසුන් ප්‍රිය කරන ක්‍රියාකාරකම් බොහොමයක් මෙහි දී සිදුකෙරුණා.

සිද්ධියට මුහුණදුන් බස් රථය- edition.cnn.com

ජූලි 15 වැනි දා ද කඳවුර සාර්ථක ව පැවැත්වුණු අතර, එය නිම වී නිවෙස් බලා යන්නට සියලු දෙනා පාසල් බස් රියට නැඟුණා.

සිසුන් නිවෙස් බලා ඇරලවීමේ ගමනේ දී, මෙම බස් රියට ’21 වැනි පටුමග’ නම් එතරම් ජනාකීර්ණ නොවූ මාවතක් ඔස්සේ යන්නට සිදුවෙනවා. බස් රථයේ රියැදුරු ෆ්‍රෑන්ක් එඩ්වඩ් රේ, ඒ මඟට රථය හරවන්නේ කවදත් ගමන් කරන මාර්ගයේ කිසිදු කරදරයක් ඉව නොවැටුණු නිසා යි. එක්වර ම ඔහු දකින්නේ වෑන් රථයක් සිය මඟ අවුරා සිටින අයුරු යි. යම් කාර්මික දෝෂයක් නිසා මෙසේ එය නතර වී ඇතැ යි අනුමාන කළ ඔහු එය මඟ හැර පසෙකින් ගමන් කරන්නට උත්සාහ කරනවා.

බස් රථය පසෙකින් ගමන් කරවීමට උත්සාහ කරනවාත් සමග එඩ්වඩ් එහි සිටි අයට ‘උදව්වක් අවශ්‍ය නම් පවසන’ ලෙස කියා සිටිනවා. ඒ නිමේෂයේ බස් රථය තුළට කඩා වදින අවි අමෝරා ගත්, මුහුණු වසාගත් කිහිපදෙනෙකු එඩ්වඩ්ට තර්ජනය කරන්නේ තමන් පවසන දිශාවට වාහනය පදවන ලෙස යි. කුඩා දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතූ ඔහුට ඊට අවනත වීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

අවි අත දැරූ ආගන්තුකයින්ගේ අණ කිරීම පරිදි එඩ්වඩ්ට උණ ගස් පිරුණු පෙදෙසක වූ දුෂ්කර මාර්ගයක බස් රථය රැගෙන යන්න්නට සිදුවෙනවා. මේ වන විට දරුවන් සියලු දෙනා භීතියෙන් ඇළලී සිටියා. සමහරු කෑ ගසන්නට පටන්ගත් අතර, ආගන්තුකයින් දැඩි ලෙස ඔවුනට නිහඬ වෙන සේ පවසමින් කෑ ගැසුවා.

ෆ්‍රෑන්ක් එඩ්වඩ් රේ (මැද) – Jim Palmer/AP

බස් රථය අවසානයේ ‘වසන ලද අගලක්’ වැනි යමක් අසලට පැමිණෙන අතර, ඒ අසල වෑන් රථ දෙකක් නවතා තිබුණා. එඩ්වඩ්ට නැවතීමේ විධානය ලැබෙන අතර, බස් රථය නවත්වන ලදු ව සියලු දෙනාට ම වෑන් රථ දෙක තුළට යන ලෙසට පැවසෙනවා. ඉන්පසු ව ඒවා විදුලි වේගයෙන් පිටත් වෙනවා.

පණ පිටින් වළලනු ලැබෙයි

සිසුන් රැගත් වෑන් රථ දෙක පැය 11ක් තිස්සේ ඔහේ ඇදී යනවා. වෑන් රථ කොහි යන්නේ දැ යි කිසිවෙකුට දැනගත නොහැකි වූයේ ඒවායේ වීදුරු කළු පැහැ ස්ටිකරවලින් ආවරණය කර තිබූ නිසා යි. වෑන් රථ තුළ දැඩි උණුසුමක් පැවති අතර ඒ අපහසුතාව, බඩගින්න, හා හදිසි අවශ්‍යතාවයන් හේතුවෙන් කුඩා දරුවන් කෑ ගසන්නට වුණා. එහෙත් ආගන්තුකයින් ඒ පිළිබඳ කිසිදු අවධානයක් දැරුවේ නැහැ.

පැය 11ක පීඩාකාරී ගමනකින් පසු වෑන් රථ දෙක ගල් කැඩීම සිදුකරන පතලක් අසල නතර කෙරුණා. මේ වන විට තදින් ම රෑ බෝ වී තිබුණා. මේ වන විට පතලෙහි කිසිවෙකුත් කාර්යයෙහි නිරත ව සිටියේ නැහැ.

මේ සිසුන් පිරිස පැහැරගෙන විත් තිබුණේ කප්පම් ගැනීමේ අටියෙනුයි. මෙහි මහමොළකරුවන් කිහිපදෙනාගෙන් අයෙකුගේ පියාට මේ පතල අයත් ව තිබුණා. සිසුන් ඉවතට ගත් කප්පම්කරුවන් ඒ සියලු දෙනාගේ ම නම, වයස, ලිපිනය වැනි කරුණු සටහන් කරගත් අතර, ඒ සෑම දෙනාට ම අයත් රෙදි කැබැල්ලක් වැනි යමක් ඉල්ලා ගන්නට ද අමතක කළේ නැහැ.

සිද්ධියට මුහුණදුන් කිහිපදෙනෙක් – whaleoil.co.nz

මෙලෙස තොරතුරු සටහන් කර ගැනීමෙන් අනතුරුව රියැදුරු එඩ්වඩ්ට හා දරුවන් සියලු දෙනාට අණ ලැබෙන්නේ පතල් විවරයේ දෝනාවක් ආරම්භයේ ඇති උඩුබැලි කරන ලද ‘කන්ටේනරයක්’ වැනි යමත් තුළට ගමන් කරන ලෙස යි. එය කඩන ලද ගල් මතුපිටට ගෙන එන සංවෘත පෙට්ටියක් වැනි යමක් වුණා. ඉණිමඟක් ආධාරයෙන් සියලු දෙනා ඒ තුළට යැවීමෙන් අනතුරුව ඉණිමඟ ඉවත් කරන කප්පම්කරුවන්, එහි ඉහළ විවරය වසා දමන්නේ සියලු දෙනා ඒ තුළ සිර කරමිනුයි.

අපායේ පැය 16ක්

කුඩා දරුවන් ගාල් කරන ලද කන්ටේනර් පෙට්ටියේ ආහාර ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් මෙන්ම හදිසි අවශ්‍යතා ඉටු කරගැනීමට ස්ථානයක් මෙන්ම ජල බෝතල් කිහිපයක් ද තිබුණා. මීට අමතර ව එහි ස්ථානයක මෙට්ට කිහිපයක් ද අතුරා තිබූ අතර, බැටරියෙන් ක්‍රියා කරන විදුලි පංකා කිහිපයක් ද තිබුණා. කෙසේ නමුත් ඒ සියල්ලේ ම බැටරි විසර්ජනය වී අවසන් ව තිබුණා. භයානක ම කාරණය වූයේ යම්කිසි හේතුවක් නිසා කප්පම්කරුවන් මෙහි වායු හුවමාරුව සඳහා තනා තිබූ විවරය අවහිර වී තිබීම යි. මේ හේතු නිසා ඉක්මනින් ම එහි වට පිටාවේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වූ අතර, උෂ්ණත්වය ද ඉහළ ගියා . එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා දරුවන් වමනය දැමීමට පවා පටන්ගත් අතර, හොඳ සිහියෙන් සිටියේ එහි සිටි එක ම වැඩිහිටියා වූ එඩ්වඩ් පමණයි. ඔහුගේ ද ශක්තිය ඉතා ක්ෂීණ ව තිබූ නිසා මේවා සඳහා කිසිදු පිළියමක් යෙදීමට ඔහුට නොහැකි වුණා.

කන්ටේනරය ඇතුළත- James Palmer/AP

පුදුමාකාර ගැලවීමක්

පැය 16ක් මෙම ‘අපාය’ තුළ සිර වී සිටි පිරිසෙහි යන්තමින්වත් පියවි සිහියකින් සිටියේ රියැදුරු එඩ්වඩ් හා තවත් වැඩිමහල් දරුවන් කිහිප දෙනෙකු පමණයි. ඔවුන් කිහිප දෙනා කෙසේ හෝ ඉක්මනින් ම මින් නොගැලවුණහොත් මරණය නියත බැව් තේරුම් ගෙන සිටියා. මේ නිසා ගැලවීමේ උපායන් ඔවුන් කඩිනමින් සිතුවා. මෙට්ට එක මත එක තබා කන්ටේනරයේ විවරය වෙත ළඟා වී පියන ඉවත් කර ගැනීමට ඔවුන් සැලසුම් කළා. සැලසුම් කළ පරිදි එහි ළඟා වුණත්, එඩ්වඩ්ට වැටහෙන්නේ එහි පියන ට්‍රක් රථවලට අයත් විශාල බැටරියක් මඟින් අවහිර කර ඇති බව යි. ඊටත් ඉහළින් අඩි කිහිපයක අබලි ද්‍රව්‍ය ද ගොඩගසා තිබුණා.

එඩ්වඩ් වැඩිමහල් දරුවන්ට පවසා සිටියේ එහි කොනක් කෙසේ හෝ හාරා ඉවතට යා යුතු බව යි. කෙසේ නමුත් කුඩා දරුවන් බිය වූයේ කප්පම්කරුවන් ඒ අසල සිට තමන්ට වෙඩි තබනු ඇතැ යි සිතායි. කෙසේ නමුත් මෙලෙස රැඳී සිටියොත් ඉක්මනින් ම හුස්ම හිර වී මිය යාමට සිදුවන බව එඩ්වඩ් වටහා දීමෙන් අනතුරුව ඒ සඳහා සැමගේ එකඟතාව පළවුණා.

දරුවන් රඳවා තැබූ කන්ටේනරය පිටතින්-AP

එඩ්වඩ් හා වැඩිමහල් සිසුන් මඳ වේලාවක වෙහෙසකින් අනතුරුව කන්ටේනරයේ ඉහළ පියනේ පසෙකින් මාර්ගයක් පාදා ගැනීමට සමත් වෙනවා. ඉන් අනතුරුව එකිනෙකා ඉවතට පැමිණෙන්නේ මහත් වූ අපහසුතාවයෙන් යුතු ව උස් වූ අයගේ කර මතිනුයි. මේ වන විට වාසනාව ඔවුන් සතු වූයේ ඔවුන්ගේ ‘ආරක්ෂාවට’ එම ස්ථානයේ රැඳී සිටි සියලු කප්පම්කරුවන්ට නින්ද ගොස් තිබීම නිසා යි.

ඉතා දුර්වල ව සිටි සියලු දෙනා ඉවතට පැමිණි පසු කප්පම්කරුවන්ගේ ඇස නොගැටී මඳ දුරක් ගමන් කරනවා. එහි දී කුඩා ගොඩනැඟිල්ලක් ඔවුන්ගේ ඇස ගැටෙන අතර, එහි සිටි මිනිසෙකු මොවුන් ව හඳුනාගන්නවා. මේ වන විට කැලිෆෝනියාව පුරාවට මේ පාසල් දරුවන්ගේ අතුරුදන් වීම පිළිබඳ ව ප්‍රසිද්ධ කොට තිබුණු අතර, ඒ අනුව ඔවුන් හඳුනාගත් ඒ පුද්ගලයා වහා ම මේ පිළිබඳ ව පොලිසිය දැනුවත් කරනවා. ඉක්මනින් ම ඔවුන් රෝහල කරා යොමු කෙරෙනවා. වාසනාවට සියලුම දෙනා විශාල ආබාධ රහිත ව ඉන් මිඳීමට සමත් ව තිබුණා.

වැරදී ගිය කප්පම් ප්‍රයත්නය

කප්පම්කරුවන් ඉක්මනින් ම හඳුනාගත් අතර, ඔවුන්ගේ ප්‍රයත්නය වී තිබුණේ සිසුන් පැහැරගෙන ඩොලර් මිලියන 5ක කප්පමක් ඉල්ලා ගැනීමට යි. මොවුන් සියලු දෙනා පොහොසත් පවුල්වල අය බැව් හඳුනාගැනීමත් සමග ම කුමන හේතුවක් අරබයා මේ කප්පම් ගැනීම සිදුකිරීමට ගියා ද යැ යි සෑම දෙනාට ම මතු වූ ගැටලුවක් වුණා. මෙයට වඩාත් විශ්වාස කළ හැකි හේතුව ලෙස පෙනී ගියේ, ඒ වන විට කැලිෆෝනියාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතු ව විශාල අතිරික්ත මුදලක් ඇති බවට රාවයක් පැතිර යාම නිසා මොවුන් මේ පියවර ගන්නට ඇති බව යි. කෙසේ නමුත් කප්පම ඉල්ලා සිටින්නටත් පෙර ම ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නට එහි පොලිසිය සමත් වුණා.

අවසානය

සැකකරුවන් මෑතකදී- California department of corrections/AP

කප්පම් කරුවන් සිසුන් පිරිස රැගෙන ගොස් තිබුණේ පැහැරගත් ස්ථානයේ සිට සැතපුම් 100ක් පමණ වයඹදිගින් පිහිටි ලිවමෝර් අසල පිහිටි පතලකට යි. එය සැකකරුවෙකු වූ ෆෙඩ්‍රික් වුඩ්ස්ගේ පියාට අයත් ව තිබුණා. අනෙක් ප්‍රධාන සැකකරුවන් වූයේ රිචඩ් හා ජේම්ස් ශෝන්ෆීල්ඩ් යන දෙසොහොයුරනුයි. ඔවුන් තිදෙනා ම වරදකරුවන් බවට ඔප්පු වූ අතර, දීර්ඝ කාලීන සිරදඬුවම් නියම වුණා.

චෝචිලා සිද්ධියෙන් සියලු දෙනා නිරුපද්‍රිත ව ගැලවුණත්, ඉන් මානසික පීඩනයට පත් වූ දරුවන් කිහිප දෙනෙකුට ම දීර්ඝ කාලීන ප්‍රතිකාර කිරීමට සිදු වූ බැව් කියැවෙනවා.

කවරයේ පින්තූරය: dailymail.co.uk

Related Articles