සමහර වසර අපේ මතකයේ රැඳෙන්නේ එම වසරේ සිදුවුණු, ඇරඹුණු, අවසන් වුණු එක් විශේෂ සිද්ධියක් – යුද්ධයක්, ජයග්‍රහණයක්, හෝ විනාශයක් – නිසා විය හැකියි. 1815, 1945, 1948, 1969, 2009 ආදී වසර එයට හොඳ උදාහරණ. එම වසරවල විශේෂත්වය කුමක්දැ යි සඳහන් කිරීමට අවශ්‍ය නැහැ.
මේ විශේෂ වසර ගොන්නට එක්වෙන තවත් වසරක් ලෙස 2020 නම් කළ හැකියි. තාක්ෂණයෙන් වෙන කවදාටත් වඩා දියුණු සමයක විසුව ද ස්වභාව ධර්මය ඉදිරියේ අප කොතරම් අසරණදැ යි අපට, ලංකාවට, පමණක් නොව, මුළු ලොවට ඒත්තු ගැන්වූ වසරක් 2020.
මාස දොළහක්, පින්තූර දොළහක්; මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කෙරෙනා ඡායාරූපයන්ගෙන් මෙවසරේ තීරණාත්මක අවස්ථාවන් දොළසක් සනිටුහන් කෙරෙන්නේ ය.
දුරුතු: තාප ස්කෑනර යන්ත්‍ර
නව කොරෝනාවෛරස අවදානම ගැන ලංකා බලධාරීන් දැනුවත් වූයේ 2019 දෙසැම්බර් 31 දා, එම වෛරසය පළමුවරට හඳුනාගත් අවස්ථාවේම ය. නව වෛරසය ගැන අධ්‍යයනයට, සහ එයින් ඇතිවිය හැකි හානිය පාලනය කරගැනීමට ඔවුහු ඉක්මනින් සූදානම් වූහ.
මේ සඳහා ගත් මුල් පියවර කීපයෙන් එකක් වූයේ, විදේශයන්හි සිට පැමිණෙන අයවලුන්ගේ ශරීර උෂ්ණත්ව පරීක්ෂාව සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තාප ස්කෑනර යන්ත්‍රයන් තුනක් සවිකිරීම යි. එසේම, වෛරසය පැතිරීම පාලනය සඳහා ජාතික විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන කමිටුවක් පත්කෙරුණු අතර, වෛරසය පැතිරීමේ අපිකේන්ද්‍රය වූ චීනයේ වුහාන්හි කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ඇරඹිනි.
ජනවාරි 27 වැනි දා අප රටෙන් හමුවූ පළමු කොවිඩ්-19 රෝගියා වූ චීන ජාතික සංචාරකයාව හඳුනාගැනීමට උපකාරී වූයේ මේ යුහුසුලු ක්‍රියා පටිපාටිය යි.
නවම්: “හාද්ද”
ලංකාවෙන් හඳුනාගත් පළමු කොවිඩ්-19 රෝගියා වූ හතළිස් තුන්හැවිරිදි චීන කත මුල්ලේරියාවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කොට සති දෙකක් ප්‍රතිකාර ලබාදෙනු ලැබුණි. සාර්ථකව සුවය ලැබූ උත්සවශ්‍රීයෙන් ඇය රෝහලෙන් මුදාහැරුණි.
ඇගේ සුවපත්වීම ලංකාව රෝගය පාලනය කරන ඉහළ කාර්යයක්ෂමතාවයට නිදසුනක් සේ සැලකුණු අතර, ඇගේ සුවපත්වීම අලලා පැවැත්වුණු උත්සවයේ දී ගනු ලැබූ මේ සේයාරුව (සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සුවය ලැබූ කාන්තාවගේ නළලතට හාද්දක් ලබා දෙයි) මහත් ප්‍රසිද්ධියක් ලැබීය.
මැදින්: රට වසා දැමෙයි
වසංගතය ශ්‍රී ලංකාවට දැනෙන අන්දමේ බලපෑමක් සිදුකළේ මාර්තුව ලබද්දී ය. වෛරසයට පළමුවරට ශ්‍රී ලාංකිකයෙකු – පනස් දෙහැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙකු – ගොදුරු වූ අතර, එම හේතුවෙන් රජය විසින් රටේ සියලුම පෙදෙස්වලට නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නට යෙදිණි. වෙනදා ඉතා කාර්යයබහුල නගර දින කීපයක් තුළ සොහොන්පිටි මෙන් පාළුවට ගියේ ය.
ලංකාවේ පළමු කොවිඩ්-19 මරණය වාර්තා වූයේ ද මාර්තුවේ යි. මියගිය තැනැත්තා ගම්පහ, මාරවිල පදිංචිව සිටි හැටහැවිරිදි තැනැත්තෙකි. ඔහු නිධන්ගත ආබාධයන්ගෙන් පෙළුණු අයෙකු බවට වාර්තා විය.
බක්: කෝවිඩ් පොකුරු
අප්‍රේල් මාසයේ වන විට වාර්තා වන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පැවැති අතර, වෙන් වෙන් කෝවිඩ් රෝගී පොකුරු තුනක්, එනම් සුදුවැල්ල පොකුර, යාචකයින්ගේ පොකුර, සහ නාවික හමුදා පොකුර හඳුනාගැනිණි. වෛරසය තවදුරටත් පැතිරීම පාලනය කිරීමේ උපරිම පියවර රජය විසින් ගනු ලැබුණු අතර, කොළඹ නගරයේ යාචකයින් එකතුකොට (මෙයින් බොහෝදෙනෙකු වෛරස ආසාදිතයින් බව හඳුනාගැනිණි), ඔවුන් අනිවාර්ය නිරෝධායනයට යොමු කිරීම ද ඒ අතර විය.
වෙසක්: පීඩනය
වසංගතය දුප්පතාත් පොහොසතාත්, බලවතාත් අසරණයාත් අතර වූ පරතරය නැතිකර දැම්මේයැ යි ඇතැමුන් පැවසීය. නමුත් සැබෑවට සිදුවූයේ, වසංගතය නිසා ඇති හැකි අයවලුන් සහ නැති බැරි අයවලුන් අතර වූ පරතරයන් තවත් පුළුල්වීම යි; සමෘද්ධිමතුන් දාර්ශනික අතට බරවෙද්දී, දරිද්‍රතාවයෙන් පෙළුනු ජනයා කබලෙන් ලිපට වැටුණි.
මේ ඡායාරුවෙන් දැක්වෙන්නේ, මාළිගාවත්තේ පැවැති මුදල් බෙදාදීමේ පෞද්ගලික වැඩසටහනක් පැවැත්වූ නිවෙසක පිටත ගලවා තැබූ පාවහන් රැසකි. වැඩසටහනට සහභාගී වූ කාන්තාවන් තිදෙනෙකු එම නිවස තුළ දී තෙරපීමෙන් ජීවිතක්ෂයට පත්වූහ. කොළඹට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක ඇතිවූ මෙම සිදුවීම, බොහෝ ජනයා කෙතරම් පීඩිතව සිටියේදැ යි රටට පෙන්වා දුනි.
රජය විසින් පුරා තෙමසක් පනවා තිබූ රට වසාදැමීම මැයි මාසයේ අග භාගයේ දී ඉවත් කෙරුණි.
පොසොන්: දියයට කටුගේ
ශ්‍රී ලංකාව සිය පළමු දිය යට කෞතුකාගාරය ගාල්ල ආශ්‍රිත මුහුදේ පිහිටුවීය. විවිධාකාර කෞතුක භාණ්ඩ සහ ප්‍රතිමා භාවිතයෙන් තැනූ මෙම කෞතුකාගාරය සැලසුම් කෙරුනේ ද, නිර්මාණය කෙරුනේ ද ශ්‍රී ලංකා නාවික හමුදාවෙනි. මෙම කෞතුකාගාරය සාමාන්‍යයෙන් දිය යට පරයන් අඩු ප්‍රදේශවල සාගර ජීවී සහ කොරල්පර ගහණය වර්ධනයටත්, ඛාදනය අවම කිරීමටත්, නාවික ගමනාගමනය නවතා දැමීමටත්, බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් මසුන් මැරීම අවහිර කිරීමටත් මෙන්ම කිමිදුම්කරුවන්ගේ පැමිණීම ඉහළ දැමීමටත් උපකාරී වේ.
ඇසළ: දන දිවිය යථා තත්ත්වයට
රජය විසින් රට නැවත විවෘත කිරීමත් සමග රටේ ජන ජීවිතය කෙමෙන් සාමාන්‍ය අතට පත්විය. පුරා තෙමසක් නිවෙස්වලටම කොටු වී පීඩාවට පත්ව සිටි ජනයා, තමන් සනීපාරක්ෂක ක්‍රියාපිළිවෙත් අකුරට ඉටු කරන්නෙදැ යි පරීක්ෂාවෙන් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් මධ්‍යයේ නැවතත් පොදු ස්ථානයන්හි හැසිරීම මෙම පින්තූරයට හසු කරගෙන තිබේ.
නිකිණි: ප්‍රජාතන්ත්‍රවාදය
2019 වර්ෂයේ නොවැම්බරයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපතිධුරයට පත් ගෝටාභය රාජපක්ෂ, තමා 2020 වසරේ ප්‍රථම කාර්තුවේ දී පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන බවටත්, ව්‍යවස්ථා සංශෝධනයන් ද ඇතුළුව පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් රැසක් ඇතිකරන බවටත් ප්‍රතිඥා දුන්නේ ය. නමුදු වසරේ මුල සිට ලොවම පෙලූ වසංගතය නිසා සැලසුම් කළ පරිදි මහ මැතිවරණය පැවැත්වීමට රජය අපොහොසත් විය. දෙවරක් කල් දමන්නට සිදුවුණු මහ මැතිවරණය, මැතිවරණ කොමිශන් සභාව විසින් නැවත දින නියම කර නිවේදනය කෙරුණු අතර, එය අගෝස්තු 5 දා පවත්වන්නට යෙදිනි.
දේශයේ 16 වැනි පාර්ලිමේන්තුව පත්කර ගැනුණු එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජය අත්විය.
බිනර: නව පාර්ලිමේන්තුවක්
2020 සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තුවේ කැබිනට්‍ටුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී දිවුරුම් දෙන්නට යෙදුනි. ජනාධිපති ගෝටාභය රාජපක්ෂ යටතේ පැවතෙන නව කැබිනෙට්‍ටුව අමාත්‍යවරුන් 28 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකුගෙන් සැදුම්ලත් අතර, එයට මැතිවරණය පැවැති කාල සීමාවේ දී මරණීය දණ්ඩනය විඳිමින් සිටි ප්‍රේමලාල් ජයසේකර ද අයත් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකරට මරණීය දණ්ඩනය නියමවුණේ, 2015 දී සිදුකෙරුණු මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු වීම හේතුවෙනි.
සැප්තැම්බරයේ දී මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට යෑම සඳහා අවසර ලැබුණු අතර, ඔහු මරණ දඬුවම නියමව සිටිය දී පාර්ලිමේන්තුවට පත්වුණු, සහ මරණ දණ්ඩනය විඳිමින් සිටි කාලසීමාව තුළ දීම පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගී වූ පළමුවැන්නා වේ.
වප්: “දෙවන රැල්ල”
දිවයින පුරා ක්‍රියාත්මක වූ රට වසාදැමීම ඉවත්කොට මාස පහකින් දිවයිනේ පැතිරුණු නව කෝවිඩ් රැල්ලක් වාර්තා වූයේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙනි. මේ “දෙවන රැල්ල” පළමු රැල්ලට වඩා භයානක වූ ද වේගවත් පැතිරීමක් පෙන්වූවා වූ ද තත්ත්වයක් වූ අතර, තෙමසක් තුළ දිවයිනෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 13ක සිට 199 දක්වා ඉහළ නංවන්නට සමත් විය.
කෙසේ නමුත්, පෙර මෙන් රට වසාදැමීමක් ක්‍රියාත්මක කළ නොහැකි බව රජයේ තීරණය වූ අතර, ඒ වෙනුවට රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රදේශයන් හුදෙකලා කර නිරෝධායනය කිරීම සිදුවිය. මේ සේයාරුවෙන් දැක්වෙන්නේ කොළඹ මහ නගර සභාවේ නිලධාරිනියකට PCR පරීක්ෂණය සිදුකරන අවස්ථාව යි.
ඉල්: ලංකා ප්‍රිමියර් ලීග්
දිවයින පුරා ජනතා ප්‍රසාදය දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම, පළමු වරට පැවැත්වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත්විය. ජැෆ්නා ස්ටැලියන්ස් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත්කරමිනි.
LPL, පවතින කෝවිඩ්-19 තත්ත්වය අතරේ සංවිධානය කෙරුණකි. මෙම පන්දුවාර 20යි 20 තරගාවලිය පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කෙරුණු දැඩි සෞඛ්‍යාරක්ෂක නීතිරීති මධ්‍යයේ ය. මෙම නීති අතරට “ජෛව ආරක්ෂක බුබුල” නම් ක්‍රියාවලියක් අයත් වූ අතර, ඊට අනුව තරගාවලි කාලය පුරාවටම සෑම ක්‍රීඩකයෙකු සහ නිලධාරියෙකුම අවම වශයෙන් 10 වතාවක් PCR පරීක්ෂණයන්ට භාජනය කෙරිණි. එසේම කෝවිඩ්-19 අවදානම් තත්ත්වයක් උද්ගත වුවහොත් එය පාලනය කරනු වස් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෑම කණ්ඩායමකටම වෛද්‍යවරයෙකු අනියුක්ත කෙරිණි.
මේ අතරේ, රට පුරා පැතිරෙමින් පැවති කෝවිඩ්-19 භීතිකාව මධ්‍යයේ මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර කැරැල්ලක් ඇතිවිය. එහිදී පොලිස් වෙඩිපහරින් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විණි.
උඳුවප්: විරෝධතා
කෝවිඩ්-19 වැළඳීමෙන් මරණයට පත්වන සියල්ලන්ගේ සිරුරු මරණයෙන් පැය 24ක් තුළ ආදාහනය කළ යුතු බවට රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණු අතර, මළසිරුරු අදාහනය තම ආගමික විශ්වාසයන්ට අනුකූල නොවන බව විශ්වාස කරන මෙරට මුස්ලිම්වරු මෙයට විරෝධය පෑහ.
මෙම ගැටළුව මාස කීපයක් තිස්සේ ඇදෙමින් පැවතිය ද එයට එළිපිට ජනතා විරෝධයක් දැක්වුණේ, සර්වාගමික, සර්ව ජාතික ජනයා බොරැල්ල කනත්ත ඉදිරියේ රැස්ව සිදුකළ සාමකාමී උද්ඝෝෂණයකිනි. ඔවුහු කනත්තේ ගේට්‍ටුවල සුදු රෙදි පටි ගැටගසා, කෝවිඩ් රෝගීන්ගේ මළසිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමට විරෝධය පෑහ.
මෙම පින්තූරයේ ඉදිරියෙන් දිස්වන්නේ එවන් රෙදි පටියකි. ඊට පසුපසින්, කනත්ත වෙත ගෙනයන දෙණක් කැමරාවට හසුව තිබේ.