සියලු සංග්‍රාමයන් අවසන් කිරීම උදෙසා ඇති වූ පළමු ලෝක සංග්‍රාමය, දේශපාලන සීමාවන් නැවත සලකුණු කරමින් මිනිස් ඉතිහාසය තුළ දැවැන්ත යුද්ධයක් බවට පරිවර්තනය වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. විෂ වායු, ස්වයංක්‍රීය ගිනි අවි, සහ යුද ටැංකි වැනි නූතන ආයුධ රාශියක් ලොවට හඳුන්වා දුන් පළමු ලෝක සංග්‍රාමය ගැන ලෝකවාසීන් තුළ ඉතුරු වී ඇත්තේ කටුක මතකයන් ගොන්නක් පමණක් වුව ද පළමු ලෝක සංග්‍රාමය, එදිනෙදා කටයුතු පහසු කරන ප්‍රායෝගික නිපැයුම් කිහිපයකගේ ම බිහිවීම සඳහා මංපෙත් විවර කළ බව ඔබ දැන සිටියා ද?
ට්‍රෙන්ච් කබා
වර්තමානයේ දී බටහිර වැසියන් අතර අතිශය ජනප්‍රිය ‘ට්‍රෙන්ච් කබා’ මුල්වරට භාවිතා කර ඇත්තේ පළමු ලෝක සංග්‍රාමයට සහභාගී වූ බ්‍රිතාන්‍ය හමුදා භටයින් විසින්. 20 වැනි සියවසේ දී පුරුෂ පක්ෂය අතර ජනප්‍රිය ව පැවති බරින් වැඩි කබා මෙන් නොව, නවීන මෝස්තරයට අනුව ‘ට්‍රෙන්ච් කබා’ නිර්මාණය කර තිබුණේ දිය කාන්දු නොවන (waterproof) සහ බරින් අඩු රෙදි උපයෝගී කරගෙන යි. වර්ෂා සහිත කාලගුණය නොසලකමින් දිග අගල් හි පවා සැඟ වී සිටීමට සිදු වූ හමුදා භටයින්ට සාම්ප්‍රදායික ලොම් කබා සමග සසඳන කල, ‘ට්‍රෙන්ච් කබා’ ඉතා පහසු ඇඳුමක් වූ බවට සැකයක් නැහැ. එසේ ම ‘ට්‍රෙන්ච් කබා’ සතු ව ප්‍රවේශම් සහිත ව ආයුධ (සහ වෙනත් බඩුබාහිරාදිය) තැන්පත් කළ හැකි සාක්කු පැවති බැවින් කෙටි කලෙකින් ම හමුදා භටයින් අතර පමණක් නොව, සාමාන්‍ය වැසියන් අතර පවා ‘ට්‍රෙන්ච් කබා’ ඉහළ ජනප්‍රියත්වයක් අත් කර ගත් බව යි වාර්තා වන්නේ.
රුධිර බැංකු
පළමු ලෝක සංග්‍රාමයට පෙර වෛද්‍යවරුන් රුධිර පාරවිලයනය සිදුකළේ අතිශය කලාතුරකින්. එහෙත් විවිධ රුධිර ගණ පවතින බව සහ රුධිරය ශීතකරණයට ලක් කිරීමෙන් වැඩි කාලයක් තබා ගත හැකි බව අනාවරණය කර ගැනීමෙන් පසු ව ඇමෙරිකානු එක්සත් ජනපද හමුදාවේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ කපිතාන් ඔස්වල්ඩ් රොබට්සන්, බ්‍රිතාන්‍ය හමුදාවෙන් ද අදහස් විමසා පළමු ලෝක සංග්‍රාමයේ බටහිර පෙරමුණේ (බටහිර යුරෝපය ආශ්‍රිත ප්‍රදේශය) ලොව ප්‍රථම රුධිර බැංකුව පිහිටුවා ඇත්තේ 1917 දී යි. ඔහුගේ අරමුණ වී ඇත්තේ යුද්ධයේ දී තුවාල ලබන භටයින් සඳහා ලබා දීමට අවැසි රුධිරය, අප්‍රමාදී ව සපයා ගත හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීම වන අතර, අයිස් යොදා ගනිමින් දින 28ක පමණ කාලයක් තබා ගත හැකි වූ රුධිරය කැටි ගැසීම වළක්වා ගැනීම සඳහා සෝඩියම් සිට්‍රේට් භාවිතා කර තිබෙනවා.
සනීපාරක්ෂක තුවා
1914 දී යුරෝපා මහද්වීපයේ සංචාරයක නිරත වූ කිම්බලි-ක්ලාක් සංස්ථාවේ (සෞඛ්‍යාරක්ෂක භාණ්ඩ නිෂ්පාදනය කරන ඉහළ පෙළේ ඇමෙරිකානු ආයතනයක්) විධායක නිලධාරීන්, දැව පල්ප (wood pulp) යොදාගනිමින් නිර්මාණය කළ හැකි රෙදි විශේෂයක් අනාවරණය කරගෙන ඇති අතර, සාමාන්‍ය කපු මෙන් පස් ගුණයක උරා ගැනීමේ හැකියාවක් ඇති එය අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදනය කිරීමේ හැකියාව පැවතුණා. පළමු ලෝක සංග්‍රාම සමයේ දී කපු සැපයුම පහළ මට්ටමක පැවති බැවින් ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් සැත්කම් සැරහුම් (surgical dressings) ලෙස භාවිතා කර ඇත්තේ කිම්බලි-ක්ලාක් සංස්ථාවේ නව නිපැයුම යි. මෙසේ තොග වශයෙන් හමුදාවන්ට අලෙවි කරන ලද කපු ආදේශකය, මුල්වරට සනීපාරක්ෂක තුවා ලෙස භාවිතා කිරීම ආරම්භ කර ඇත්තේ තුවාල වූ හමුදා භටයින්ට සාත්තු කිරීමේ යෙදුණු රතු කුරුස හෙදියන් විසින්. ඔවුන් ව අනුගමනය කරමින් 1920 දී කිම්බලි-ක්ලාක් සංස්ථාව විසින් ‘Kotex’ යන වෙළඳ නාමය යටතේ සනීපාරක්ෂක තුවා නිපදවීම අරඹා තිබෙනවා.
ඉවත දැමිය හැකි කඩදාසි තුවා
කපු ආදේශක භාවිතා කරමින් කිම්බලි-ක්ලාක් සංස්ථාව විසින් ලොවට දායාද කරන ලද්දේ සනීපාරක්ෂක තුවා පමණක් නොවෙයි. 1924 දී ඔවුන් ‘Kleenex’ යන වෙළඳ නාමය යටතේ මුහුණු අලේපන පහසුවෙන් ඉවත් කළ හැකි කඩදාසි තුවා ලෙස හඳුන්වා දෙන්නේ සනීපාරක්ෂක තුවා නිපදවීම සඳහා යොදාගත් කපු ආදේශකයේ ම වඩාත් සිහින් නිෂ්පාදිතයක්. පසුකාලීන ව කිම්බලි-ක්ලාක් සංස්ථාව විසින් එහි වඩාත් දියුණු කරන ලද නිමැවුම් ලෙස කඩදාසි ලේන්සු (paper handkerchiefs), වැසිකිළි කඩදාසි (toilet papers) සහ ඉවත දැමිය හැකි ළදරු යටඇඳුම් (diapers) හඳුන්වා දී තිබෙනවා.
මළ නොබැඳෙන වානේ
තාපය සහ වෙඩි තැබීමේ දී ඇති වන ඝර්ෂණය හේතුවෙන් සිදුවන විකෘති බව අවම වන ලෙස ගිනි අවි නිපදවිය හැකි වඩාත් සවිමත් ලෝහයක් සොයාගැනීම කෙරෙහි බ්‍රිතාන්‍ය යුද හමුදාවේ අවධානය යොමු වුණේ පළමු ලෝක සංග්‍රාම සමය අතරතුර දී යි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉංග්‍රීසි ජාතික ලෝහ පිළිබඳ විශේෂඥ හැරී බ්‍රියලි, උණු කරන ලද යකඩ සමග ක්‍රේමියම් මිශ්‍ර කිරීම මඟින්, මළ නොබැඳෙන ලෝහ නිෂ්පාදනය කළ හැකි බව අනාවරණය කරගෙන තිබෙනවා. මුල් කාලයේ දී ගිනි අවි නිපදවීම සඳහා මළ නොබැඳෙන වානේ යොදා නොගත්ත ද, පළමු ලෝක සංග්‍රාම සමයේ දී නිපදවන ලද ගුවන් යානා කොටස්, වෛද්‍ය උපකරණ, සහ බොජුන්හල් මෙවලම් සඳහා බහුල වශයෙන් යොදාගෙන ඇත්තේ මළ නොබැඳෙන වානේ යි.
සිපර්ස්
1923 දී බී. එෆ්. ගුඩ්රිච් සමාගම විසින් ‘සිපර්ස්’ යන නාමය ලබා දෙන ලද්දේ පළමු ලෝක සංග්‍රාම සමයේ දී ගිඩියන් සන්ඩ්බැක් විසින් ‘කොකු රහිත ගාංචු’ ලෙස ලොවට හඳුන්වා දුන් නව නිපැයුම යි. යුද සමයේ දී හමුදා නිල ඇඳුම් සඳහා බහුල වශයෙන් බොත්තම් යොදාගන්නා ලද අතර, මුල්වරට හමුදාවන් විසින් නාවික නිල ඇඳුම් සඳහා ‘සිපර්ස්’ භාවිතා කර තිබෙනවා. භාවිතා කිරීමේ පහසුව හේතුවෙන් කෙටි කලෙකින් ම ජනප්‍රිය වූ ‘සිපර්ස්’ 1920 දශකය වන විට පියාසරකරුවන්ගේ නිල ඇඳුම් මැසීම සඳහා යොදාගෙන ඇති අතර, පසුකාලීන ව ගමන් මලු, සපත්තු, සහ කූඩාරම් ආදිය නිපදවීම සඳහා ද බහුල වශයෙන් භාවිත කර ඇති බව යි වාර්තා වන්නේ.
අත් ඔරලෝසු
පළමු ලෝක යුද්ධයට පෙර සෑම දෙනා අතර ම ජනප්‍රිය ව පැවතුණේ සාක්කු ඔරලෝසු සහ වේලා දර්ශක (time keepers) බව පැවසීම වැරදි නැහැ. නමුත් දරුණු ලෙස යුද ගිනි ඇවිලෙන මොහොතක සාක්කු ඔරලෝසු පරීක්ෂා කර බැලීම ප්‍රායෝගික නොවූ බැවින් හමුදා නිලධාරීන්ට සහ ගුවන් පියාසරකරුවන්ට පහසුවෙන් භාවිතා කළ හැකි ඔරලෝසුවක් නිපදවීම අවශ්‍යතාව මතු වුණා. මුල් කාලයේ දී කාන්තාවන් විසින් මෝස්තර ආභරණයක් ලෙස භාවිතා කරන ලද අත් ඔරලෝසු, පුරුෂ පාර්ශවයට ගැළපෙන ලෙස නැවත නිර්මාණය කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.