මුහුදු මට්‌ටමේ සිට මීටර් 2243ක් (අඩි 7359) උසින් පිහිටි සමනළ කන්ද, සෑම අවුරුද්දක ම උඳුවප් පෝයේ සිට වෙසක් පෝය දක්වා වන්දනාකරුවන්ගෙන් පිරී යනවා. කොවිඩ් අවදානම නිසා වන්දනා කරන සංඛ්‍යාව අඩු වුණත් සිරිපා වැඳ පුදා ගන්නට තවමත් බොහෝ පිරිසක් පෙලඹෙනවා. බුදුන්වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩි ගමනේදී සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනය මත සමන්ත කූඨ පර්වතයේ මුනි සිරිපා සටහන තැබූ බව බෞද්ධයන්ගේ විශ්වාසයයි. එතැන් සිට වර්ෂ දහස් ගණනක ඉතිහාසය පුරා ශ්‍රී ලාංකික බෞද්ධයන් පමණක් නොව විවිධ ආගම්වලට අයත් විශාල බැතිමතුන් පිරිසක් සමනළ වන්දනාවේ යාම සිදුවෙනවා.
සමනළ වන්දනාවේ යන බොහෝ දෙනා තුළ එහි ඓතිහාසිකත්වය හෙළිදරව් කරන සෙල්ලිපි ගැන ඇත්තේ අඩු අවබෝධයක්. මෙවර සමනළ වන්දනා වාරය අදින් (උඳුවප් පෝයදායින්) ආරම්භ වුණා. පුරාණ රජකාලේ රජවරුන් රාශියක් සමනළ කඳුවැටිය නැග සිරිපා වැඳ පුදා ගත්තා මතු නොව සිරිපාදේ නඩත්තුවට ගම්බිම් ද පූජා කළා. ඒ ගැන සෙල් ලිපි කොටවා තැබුවා. එසේ පිහිටවූ සෙල් ලිපි කිහිපයක් ගැන විමසා බලමු.
ශ්‍රීපාද සෙල් ලිපි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ලේඛනවලට අනුව ශ්‍රී පාදස්ථානයේ ඇති පැරණිත ම ලේඛන ක්‍රිස්තු පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත යි. එය අංක 2670, 2671 යටතේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙනවා. කනගාටුවට කරුණ නම් මෙම ගිරි ලිපි කියවිය නොහැකි අයුරින් ගෙවී ගොස් තිබීම යි. පොළොන්නරු යුගයට අයත් ශිලා ලේඛන වන පළමුවන විජයබාහු රජුගේ අඹගමුව ශිලා ලේඛනය සිරිපා වන්දනාව ගැන වැදගත් කරුණු රාශියක් පවසනවා. නිශ්ශංකමල්ල රජුගේ භගවා ලෙන ලිපියත් වැදගත් අභිලේඛනයක්.
සිංහල ශිලා ලේඛනවලට අමතර ව දෙමළ භාෂාවෙන් ලියූ 12 වැනි සියවසට අයත් ගිරි ලිපියක් ද ශ්‍රී පාද මළුවේ දී හමු වෙනවා. දෙමළ ශිලා ලේඛනය ද කියවීමට අපහසු අයුරින් ගෙවීගොස් තිබෙන එකක්.
අඹගමුවේ විජයබාහු සෙල්ලිපිය
සොළී ආක්‍රමණ තර්ජනයෙන් රට මුදා ගත් පළමුවන විජයබාහු (ක්‍රිස්තු වර්ෂ 1055 – 1110) රජු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරවමින් වැඳ පුදා ගන්නා අතර අතිශය දුෂ්කර ගමනක් වන ශ්‍රීපාද වන්දනාවද සිදු කළා. වන්දනා ගමනේ දුෂ්කරතාව රජුගේ අඹගමුව ශිලා ලේඛනයෙන් හෙළිදරව් වෙනවා.
මහාවංශයේ 60 වෙනි පරිච්ඡේදයේ විජයබාහු රජු ශ්‍රීපාද වන්දනාවට පහසුකම් සැලසූ අයුරු මෙසේ සඳහන් කර තිබෙනවා:
“සමන්ථ කූඨ පව්වෙහි පිහිටි මුනි රජහුගේ පා සටහන වඳනා පිණිස දුක සේ යායුතු මග යන්නා වූ මනුෂ්‍යයෝ සියල්ලෝ ම නොපෙළෙන්ව යි දන් වැටුප් පිණිස හැල්කෙත් ආදියෙන් සමෘධ වූ ගිලීමලය නම් ගම දෙවා කෙසෙල්ගම් මග ද එසේම ඌවරට මග ද වෙන් වශයෙන් ගම් දුන්නේය. රජතෙමේ අනාගත කාලයෙහි රජදරුවෝ ඒ ගම් නොගණන් වයි සිතා අකුරු කොටවා ගල්ටැම් පිහිටවීය.
රජු කෙට වූ එවැනි ගල්ටැම් පසු ව හමු ව ඇත්තේ එම මහාවංශ පුවත සනාථ කරමින්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මේ සෙල්ලිපිය අවට ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබෙනවා. එය පිහිටා ඇත්තේ උඩබුලත්ගම නම් ගමේ යි. ගල්තලා බහුල ස්ථානයක පර්වත දෙකක් මත ගිරි ලිපිය කොටස් දෙකක් ලෙස කොටා තිබෙනවා. පළමු ගල මත පේළි 33ක් ද දෙවන ගල් පර්වතය මත අක්ෂර පේළි 25ක් ද දැකගත හැකි යි.
ගව්වෙන් ගව්ව දානශාලා
පළමුවන විජයබාහු රජු සිරිපා වන්දනාවේ ගොස් ඇත්තේ රාජ්‍යත්වයට පත් ව 38 වන වර්ෂයේ මැදින් මස පුර සතවක් වන දිනයේ යි. (පෙබරවාරි – මාර්තු අතර) මෙම සෙල්ලිපියට අනුව රජු ශ්‍රී පාදය අවට සියලු ප්‍රදේශ තුළ කුඹුරු කරවා විල්බා නම් පෙදෙසේ පිහිටි ඉඩම් ශ්‍රී පාදයට පූජා කර තිබෙනවා. කෙසෙල්ගමුව පුවක් අරඹක් ද, තිනියාගල, සොරගොඩ, ලියවල, බදුලුවන යන ප්‍රදේශවල එක් ස්ථානයකින් කොට වැලි එකක ප්‍රමාණයේ ඉඩම් කැබලි ද මකුළුමුල, අඹගමුව, වැලිගම්පාය සහ උලපන ප්‍රදේශවලින් පුවක් ද පූජා කළ දේවල්වලට ඇතුළත්. මෙම සියලු ප්‍රදේශවලට රාජ පුරුෂයන් ඇතුළු නොවිය යුතු අතර බදු අය නොකළ යුතු බව ද එහි සඳහන් තවත් කරුණක්.
ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට පැමිණෙන භික්ෂූන් වහන්සේලාගේ පිණ්ඩපාතය ඇතුළු අනිකුත් අවශ්‍යතාවන් ද රජු සපයා තිබෙන අතර මගී වන්දනාකරුවන් සඳහා රජුගේ නමින් මාර්ගයේ ගව්වෙන් ගව්ව දාන ශාලා ඉදිකරවා තිබෙනවා.
“සමන්ත කූඨයෙහි ශ්‍රී පාද ලාංඡනය වඳනු පිණිස දුර්ගමාර්ගයෙහි යන මිනිස්සු වෙහෙසට පත් නොවෙත්වායි දන්වැට සඳහා හැල්කෙත් ආදියෙන් යුක්ත වූ ගිලීමලය ගම දුන්නේය. කදලිගම මාර්ගයෙහි ද හූවරට්ඨ මාර්ගයේද වෙන් වෙන්ව නම්දී සාලා ද කරවීය. අනාගත රජවරු ඒවා නොගනිත්වයි අකුරැ ලියා ශිලා ස්තම්භ පිහිටුවීය.” යනුවෙන් ද මෙහි සඳහන් වෙනවා.
ගිලීමලේ පුවරු ලිපිය
රත්නපුර මාර්ගයේ ගිලීමලේ ගම ශ්‍රී පාදයට පූජා කළ විජයබාහු රජු ඒ බව සඳහන් කර පුවරුවක කෙටූ සෙල්ලිපියක් ද ගිලීමලේ ගමේ පිහිටවූවා. ගිලීමලේ සහ බඹරබොටුව යන ගම්මාන දෙක ශ්‍රී පාදය වැඳීමට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා පූජා කළ බව එහි සඳහන වෙනවා.
පුරාණයේ රජවරුන් සමනළ වන්දනා කළ රජ මාවතේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ රත්නපුර පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ හමුවන ගිලීමලේ යි. පැරණි සෙල්ලිපිය කැබලි කිහිපයකට කැඩී තිබුණු අතර හමුවූ කොටසක් ගිලීමලේ රන්කොත් රජමහා විහාර බිමේ දී දැකගත හැකියි.
නිශ්ශංකමල්ල රජු කරවූ සෙල්ලිපි
ශ්‍රීපාද වන්දනාවට මහත් රුචියක් දැක්වූ නරපතියකු වශයෙන් අපට පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රජු (ක්‍රිස්තු වර්ෂ 1187 – 1196) හැඳින්විය හැකි යි. ඔහු ශ්‍රීපාදය වන්දනා කළ බව සමනළ කන්ඳේ භගවා ලෙන සෙල්ලිපියක් කොටවා ප්‍රසිද්ධ කළ අතර ම ඔහු කරවූ පඬුවස්නුවර ගල් ආසන ලිපිය, කටුගහගල්ගේ ලිපිය, වාදුරුප්ප ලිපිය හා දඹුලු ලිපියේ ද ඒ ගැන සඳහන් කර තිබෙනවා. ප්‍රසිද්ධියට කැමැත්තක් දැක් වූ රජු සමනළ කන්ද මුදුනට ආසන්න භගවා ලෙනේ තමාගේ රූපය ද කොටා තිබෙනවා. ලංකාවේ උසින් ම පිහිටි සෙල්ලිපි වන්නේ ද මේවායි.
භගවා ලෙන පිහිටා ඇත්තේ ශ්‍රීපාද මළුවට අඩි 350ක් පමණ පහළින් වන ලැහැබක ය. පසුගිය කාලයේ බැතිමතුන්ට එම ලෙනට පිවිසීම සඳහා මාර්ගය ද සකස් කළා. එහි ලෙන් බිත්තියේ නොතෙමෙන සේ ශිලා ලිපි දෙකක් කොටවා තිබෙනවා. පළමුවන සෙල්ලිපියේ නිශ්ශංකමල්ල රජු වැඳ සිටින ගේ රූපයක් පර්වතයේ කොටා “නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු රජු ශ්‍රීපාදය වැඳ බැස සිටි ආකාරය යයි සඳහන් කර තිබෙනවා..
එම රුවට පහළින් පර්වත බිත්තියේ කොටා ඇති සෙල්ලිපියේ රජුගේ සිරිපා වන්දනා පිංකම ගැන විස්තර කරනවා.
නිශ්ශංක කාලිංග චක්‍රවර්ති රජු ශ්‍රී ලංකාව එක්සේසත් කර රන්රුවන් ආදී බොහෝ වස්තු ජනතාවට ප්‍රදානය කර සහන සලසා තිබෙන බවත්, රජුගේ නවවැනි රාජ්‍ය වර්ෂයේ නවම් පුන්පොහෝ දින සමනළ කන්දට පැමිණි බවත් සඳහන් කර තිබෙනවා.ඊට අමතර ව රන් රිදී හා නවරත්නයෙන් හෙබි මල්මාලාවලින් හා වස්ත්‍ර පට රෙදිවලින් මළුව අලංකාර කර සියලු රාජාභරණවලින් සැරසී රජු ශ්‍රීපාදය වන්දනා කළ බව සෙල්ලිපියේ විස්තර වෙනවා. පෙර සිටි රජවරුන් පූජා කළ අඹගමුව ආදී ගම් නැවත වරක් ස්ථාවර කරන ලද බව ද ශිලා ලේඛනයේ දැක්වෙන ප්‍රදානයන්ට කිසිවකු හානි නොකළ යුතු බවට ද නිශ්ශංකමල්ල රජු නියෝග කළ බවත් සඳහන්.
නිශ්ශංකමල්ල රජු ශ්‍රීපාද කන්දට නැග ඇත්තේ රත්නපුර – එරත්න මාර්ගයේ බවත් ඔහු ආපසු පැමිණ තිබෙන්නේ අඹගමුව – ගම්පොළ හරහා සැළව හා අරණායක පැරණි මාර්ගයෙන් බවටත් සාධක හමුවෙනවා. රජු ගම්පොළ හරහා අරණායකට නුදුරු අරම විහාරයට පැමිණ විහාරයට පිළිම ගෙයක් කරවා එයට කෙත්වතු ආදිය පුදන ලද බව අරම තුඩපතේ සඳහන් වෙනවා.
ධර්මරාජගල සෙල්ලිපිය
රත්නපුර පළාබද්දල රජ මාවතෙන් ශ්‍රී පාදය නැගීමේ තමයි ධර්මරාජගල කියන පර්වතය හමුවෙන්නේ. සෘජු බෑවුමක් විදිහට ශ්‍රීපාද මාර්ගය අවහිර කරන පර්වතය තරණය කිරීමට පුරාණයේ පියගැට පෙළ කොටා තිබෙනවා. පියගැට පෙළට වම්පසින් පර්වතයේ කොටා ඇති සෙල්ලිපියෙන් එය කරවූ පුද්ගලයා හමුවෙනවා. කෝට්ටේ යුගයයේ දී (ක්‍රි.ව. 15 සියවස) කොටවා ඇති මේ ගිරිලිපිය කොටවා ඇත්තේ ශ්‍රී පාදය නැගීමට කරවූ පඩි පෙළ ගැන දැනුම් දීමට යි.
පේළි 16කින් යුත් සෙල්ලිපියේ 5, 6, 7 යන පේළි ගෙවී ගොස් නිසා කියවීමට නොහැකි යි. “කසාවතු නම් බමුණුගම ගිරිමහලා නම් බ්‍රහ්මණ වංශයෙහි උපන් ධර්මරාජ තාපසයන් බුදු බව පතා වෙදනප්පෙරුමාලා නම් වූ ආරච්චියේ සහායෙන්” පියගැට පෙළ කෙටවූ බව එහි සඳහන් වෙනවා.උඩුකය වස්ත්‍ර රහිත සේ පේන තාපස රුවක් ද සෙල්ලිපිය අසල ගලේ කොටා තිබෙනවා.
ධර්මරාජ නාමය ලංකාවෙන් මුලින්ම ශිලා ලිපිවල හමු වෙන්නේ වසර 2200ක් පමණ පැරණි පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපිවල යි. ඒ “දමරඣ” යනුවෙන්. ධර්මාරජ යන්න ථේරවාදයේදී බුදුන්ට පර්යාය නාමයක් වන අතර මහායානයේ ද ප්‍රකට ව භාවිත කරන නමක් ලෙස සැලකිය හැකි යි.
මෙම ලිපිය හා සබැඳි සිරිපා කරුණා කරමු ලිපියත් කියවන්න.