වසර ගණනාවක් තිස්සේ පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවේ නිදහස් සටනට උර දුන් යුද්ධ වීරයන් රැසක් සිටියා. මේ ලිපිය ඔවුන් ගැනයි.
සිංහලයේ පළමු නිදහස් සටන – 1817
සිංහලයේ පළමු නිදහස් සටන ලෙස සැලකෙන්නේ ඌව වෙල්ලස්ස කැරැල්ලයි. මෙය උඩරට කැරැල්ල, සත් කෝරළයේ කැරැල්ල ලෙසත් හැඳින්වෙනවා.1815 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් උඩරට ප්‍රධානීන් ලවා ලෙස අත්සන් කළ උඩරට ගිවිසුම නිසා මෙම කැරැල්ල ඇති වුණා. මෙම සටනට ප්‍රධාන හේතුව වුණේ දීර්ඝ කාලයක් තිස්‌සේ සිංහලයන්ට උරුම වී තිබූ මුලාදෑනි තනතුරකට ඉංග්‍රීසීන් විසින් මුස්ලිම් ජාතිකයකු පත් කිරීමයි. 1817දී මෙම සටන ඇති වන විට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූයේ රොබට් බ්‍රවුන්රිග් නම් බ්‍රිතාන්‍ය ජාතිකයායි.
දොරේසාමි හෙවත් විල්බාවේ
බ්‍රිතාන්‍ය රජයේ උසස් නිලධාරීන් සහ සිංහල නායකයන් අතර ඇති වූ ගැටුමක් දුර දිග යාමෙන් ඇරඹුණු මෙම කැරැල්ලට මුලදී නායකත්වය දී තිබෙන්නේ විල්බාවේ නම් පුද්ගලයෙක්. ඌව ප්‍රදේශයේ වාසය කළ ඔහුව දොරේසාමි ලෙසත් හඳුන්වා තිබෙනවා. “දොරේසාමි” නායක්කාර නාමයක් වුවද මොහු නායක්කාර් පෙළපතේ අයෙක් නෙවෙයි. මුල් කාලයේදී පැවිදිව අප්‍රකටව වාසය කළ දොරේසාමි කුරුණෑගල අසල විල්බාව පුරාණ වළව්වේ උපන් අතර මුදියන්සේ විල්බාවේ මෙතුමාගේ ගිහි කල නාමය වෙනවා.
බූටාවේ රටේ රාළ
බූටාවේ රටේ රාළ නම ඇසූ පමණින් නොබියව සිංහලයන් සටන් පෙරමුණට පැමිණ ඇති අතර ඉංග්‍රීසීන්ට පක්ෂව සිටි මැලේ බට පිරිස් තමන් වෙත නම්මා ගැනීමට එතුමා මහත් වෙහෙසක් දැරුවා. අසාර්ථක සටනක අවසානයේදී මරගල කන්දේ සැඟව සිටිමේදී ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් එතුමා 1818 ඔක්තෝබර් 20 වැනිදා බිබිල කොටබෝවේදී මරණයට පත් කළා.
වීර කැප්පෙටිපොළ දිසාවේ
රාජපක්‍ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්‌ඩාර මොණරවිල කැප්පෙටිපොල හෙවත් කැප්පෙටිපොල නිලමේ එවකට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව යටතේ වෙල්ලස්‌ස ප්‍රදේශය පාලනය කරමින් සිටියා. බ්‍රිතාන්‍යයන් විසින් වෙල්ලස්‌සේ සටන මර්දනය කිරීමට වඩාත් සුදුසුම පුද්ගලයා කැප්පෙටිපොළ බව තීරණය කිරීමෙන් පසුව ඔහුව සේනාවක් සමඟ වෙල්ලස්‌ස බලා පිටත් කළා.
වෙල්ලස්ස කැරැල්ල මෙහෙයවූ කොහුකුඹුරේ රටේ රාළ හා බූටාවේ රටේ රාළ අළුපොතදී කැප්පෙටිපොළ දිසාවේ මුණගැසුණු අතර එම හමුවීමෙන් පසු කැප්පෙටිපොළ දිසාවේ වෙල්ලස්‌සේ සටන හා එක් වූ බව සඳහන් වෙනවා.
ඉංග්‍රීසීන් මුස්ලිම් මිනිසකුගේ ඔත්තුවකට අනුව වීර කැප්පෙටිපොළ දිසාවේ අත්අඩංගුවට ගත් වූ අතර ඉන්පසුව ඔහුව මුරුසි දිවයිනට පිටුවහල් කර තිබෙනවා.
කිවුලෙගෙදර මොහොට්ටාල
වෙල්ලස්ස සටනේ යුද්ධ විරුවන් අතරින් රට වැසියන් අතර බොහෝ ජනප්‍රියව සිටි තැනැත්තා ලෙස කිවුලෙගෙදර මොහොට්ටාල හඳුන්වන්න පුළුවන්. බිබිලේ පහරගම්මන විසූ මුස්ලිම් තරුණියකට පෙම් බැඳි එතුමා වැඩිහිටියන්ගේ අකමැත්තද නොසලකා ඈ විවාහ කරගනු ලැබුවා.
ඉංග්‍රීසීන් විසින්, කිවුලෙගෙදර මොහොට්ටාලගේ හිස ලබා දෙන අයෙකුට රන් පගෝදි 500ක් ලබා දෙන බවට පණිවිඩයක් යවා තිබුණා. බලවත් ශක්තිසම්පන්න අයෙකු වූ එතුමා අත්අඩංගුවට පත් වූයේත් මුස්ලිම් මිනිසුන් දෙදෙනෙකු දුන් ඔත්තුවක් නිසයි. ඉංග්‍රීන් විසින් 1818 දෙසැම්බර් 18 වැනිදා එතුමා මරණයට පත් කළ අතර මරණින් මතු දේව ආත්මයක උපත ලබන්නට ඇති බවට ජනයා අතර විශ්වාසයක් පවතිනවා.
නකල්ලේ රටේ රාළ
ඌව වෙල්ලස්ස සටනේ අප්‍රකට විරුවෙක් වූ නකල්ලේ රටේ රාළ මොණරාගල ප්‍රදේශයේ සටන් සංවිධානයට මහත් කැපවීමකින් කටයුතු කර තිබෙනවා.
පිටදෙණියේ තිසාහාමි
ශක්තිමත්, උත්තුංග දේහදාරී තැනැත්තෙකු වූ පිටදෙණියේ තිසාහාමි පණපිටින් අල්ලා ගැනීමට ඇති අපහසුව තේරුම් ගත් බ්‍රිතාන්‍යයන් උපක්‍රමශීලීව ඔහුගේ ආහාරයට මත් ද්‍රව්‍යයක් එකතු කර ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිගු කාලයක් තිස්සේ පැවති මෙම කැරැල්ල මාතලේ සහ සබරගමු පළාත්වල ද ව්‍යාප්ත වූ අතර අවසානයේදී ඉංග්‍රීසීන් විසින් ඉතා දැඩිව මර්දනය කර තිබෙනවා. 1818 ජනවාරි 18 වැනිදා බ්‍රවුන්රිග් විසින් 17දෙනෙක් කැරලිකරුවන් ලෙස නම් කළ අතර එම පිරිසෙන් 14 දෙනෙක්ම ඌව ප්‍රදේශයේ ප්‍රභූන් වෙනවා. මෙම සටනේදී සිංහල පවුල් 240ක විරුවන්ගේ ජීවිත 10,000 ක් පමණ අහිමි වුණා.
මීට අමතරව තවත් අප්‍රකට විරුවන් බොහෝ දෙනෙක් මේ නිදහස් සටනට දිවි හිමියෙන් කැපවුණා. ඌව ප්‍රදේශයෙන් ගොඩගෙදර අදිකාරම්, කැටකෑල්ලේ මොහොට්‌ටාල, කුඩා බෙත්මේ රාළ, පලුගොල්ලේ මොහොට්‌ටාල, පොල්ගහගෙදර රෙහෙනරාළ, පොස්‌සරවත්තේ විදානේ, වැටකැලේ මොහොට්‌ටාල යන අයද වෙල්ලස්ස ප්‍රදේශයෙන් බගිනිගහවෙල රටේ රාළ, මහ බදුල්ලේ ගම්මන රටේ රාළ, පලුමල්හේන ගම් ඇති රාළ යන අයද වලපනේ ප්‍රදේශයෙන් යාලගම මොහොට්‌ටාල, උඩමැදුරේ මොහොට්‌ටාල යන අයද මෙම සටනට උර දී තිබෙනවා.
වටකැලේ රටේ මහත්තයා, උඩපළාත රටේරාල , අලවුමුල්ලේ රාළ, බකිණිගහවෙල මුදියන්සේ, ඊතනවත්ත දේවාලේ කපුරාළ, කිරිඅප්පු වැනි මෙහි නොකියවුණු තවත් බොහෝ යුද්ධ විරුවන් පිරිසක් සිටින අතර ඔවුන් සියල්ලම ප්‍රභූ පන්තියට අයත් නොවන බව ඔවුන්ගේ නම් වලින් පැහැදිලි වෙනවා.
මාතලේ කැරැල්ල – 1848
ඌව වෙල්ලස්ස කැරැල්ල අසාර්ථක වීමෙන් පසු නැවතත් ඉංග්‍රීසීන් මෙරටින් ඉවත් කිරීමට 1848 දී මාතලේ කැරැල්ල සංවිධානය කෙරුණා. භික්‍ෂූන් වහන්සේලාගේත්, රදළ පැළැන්තියේත් සහය ඇතිව සාමාන්‍ය වැසියන් විසින් මෙහෙයවූ මේ කැරැල්ලේ නායකත්වය දැරුවේ පුරන් අප්පු නැමැත්තායි.
වීර පුරන්අප්පු
සන්නද්ද වීරබල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්තෝරු ප‍්‍රනාන්‍දු මහතා සහ වර්ණමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්‍ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේගේ දරුවා වූ වීර පුරන් අප්පු 1812 නොවැම්බර් 07 වැනිදා මොරටුවේ “උයන” ග‍්‍රාමයේදී උපත ලැබුවා. දෙමව්පියන් විසින් වීරහැන්නදිගේ ෆ්‍රැන්සිස්කු ප‍්‍රනාන්දු යන නාමය ඔහුට ලබා දුන් අතර කුඩා කාලයේ පටන්ම ඔහු තුළින් එඩිතර ගති ලක්ෂණ දක්නට ලැබුණා. ළමා වියේදී හොඳින් අධ්‍යාපනය ලැබූ ෆ්‍රැන්සිස්කු අසාධාරණයට එරෙහිව නැඟී සිටීමට කිසිවිටෙක පසුබට වුණේ නැහැ. මේ නිසා ලක්‍ෂපතියේ ගම්මුලාදෑනියා සමඟ විටින් විට ගැටුම් ඇති කරගත් ඔහු කාලයක් රත්නපුර, බදුල්ල, මහනුවර යන ප්‍රදේශ වලට පලා යමින් කාලය ගත කළා.
ඉන්පසු ඔහු තමන්ගේ විදේශ නාමය අත්හැර පුරන් අප්පු යන නම භාවිතා කළ අතර 1847 ජනවාරියේදී හාරිස්‌පත්තුවේ ගුණ්‌නෑපාන ආරච්චිගේ දියණියක් වන බණ්‌ඩාර මැණිකේ සමඟ විවාහ වුණා. පුරන් අප්පු විවාහ වන විට 35 වැනි වියේ පසු වූ අතර 1847 ඔක්‌තෝම්බර් 1 වෙනිදා ඔවුන් දෙපළට දාව පිරිමි දරුවකු උපත ලැබුවා.
මාතලේ සටනට නායකත්වය දුන් වීර පුරන් අප්පු 1848 ජූලි 22 වැනිදා දඹුල්ලේදීත්, 28 වැනිදා මහනුවර දීත් සිංහලේ රජු වශයෙන් අභිෂේක ලැබුවා. 1848 අගෝස්‌තු 2 වැනි දින මාතලේ සිට මහනුවර බලා යන අතරමඟදී ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් වූ අතර ඔහුව සිරකරුවකු ලෙස මහනුවරට ගෙන ආවා. ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනා වූයේ වික්ටෝරියා රැජිණට විරුද්ධව කැරලි ගැසීම සහ සිංහලයේ රජු ලෙස අභිෂේක ලැබීමයි. නඩු විභාගයෙන් වරදකරු බවට පත් කළ පුරන් අප්පුට දඬුවම වශයෙන් මරණ දණ්ඩනය නියම කෙරුණා.ඒ අනුව ටොරින්ටන් ආණ්ඩුකාරවරයා වීර පුරන් අප්පුව 1848 අගෝස්තු 08 වැනිදා වෙඩිතබා මරා දැමීමට නියෝග කළා. විලංගු දමා තිබූ දෑතින් ඒවා ඉවත් කරන ලෙසත්, දෑස් බැඳීම අනවශ්‍ය බවත් පැවසූ පුරන් අප්පු නොබියව මරණයට මුහුණ දුන්නා.
දඬුවමට මොහොතකට පෙර ඔහු ඉංගී‍්‍රසින් ඉදිරිපිටදී “මා වැනි තව හය දෙනෙකු සිටියා නම් නුවර එක් සුද්දෙකුවත් ජීවත් වෙන්නේ නැහැ” යි නොබියව පවසා තිබෙනවා.
ගොන්ගාලේ ගොඩබණ්ඩා
පුරන් අප්පු රජු බවට පත් කිරීමත්, මාතලේ කැරැල්ලට ආධාර දීමත් නිසා ගොන්ගාලේගොඩ බණ්‌ඩා මරණීය දණ්‌ඩනයට නියම වුවත් අවසානයේදී කස පහර සියයක් ගසා මලක්‌කාවට පිටුවහල් කිරීමට තීරණය වුණා.
කුඩාපොළ හිමි
පුරන් අප්පු රාජාභිෂේක කිරීම, මාතලේ කැරැල්ලට ආධාර දීම සහ බ්‍රිතාන්‍ය රැජිණට විරුද්ධව කැරලි ගැසීම යන චෝදනා මත කුඩාපොල ස්‌වාමීන් වහන්සේ වෙඩි තබා මරා දැමීමට තීරණය කෙරුණා. 1848 අගෝස්‌තු 26 වැනිදා බෝගම්බර වැව අසල දී උන්වහන්සේව වෙඩි තබා මරණයට පත් කෙරුණා.
කවරයේ පින්තූරය – pinimg.com
මූලාශ්‍ර – www.slstun.com, www.archaeology.lk, www.divaina.com, wikipedia.org