උරුගුවේ ජාතික රගර් කණ්ඩායම ඇතුළු කාර්ය මණ්ඩලයේ 45 දෙනෙකු රැගත් උරුගුවේයානු ගුවන් හමුදාවට අයත් යානයක් 1972 ඔක්තෝබර් 13 දින ආර්ජන්ටිනා ආශ්‍රිත ඇන්ඩීස් කඳුවැටියට කඩාවැටීමෙන් සිදුවූ අනතුර “ ඇන්ඩීස් ගුවන් ඛේදවාචකය” ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වෙනවා. ගුවන් අනතුරෙන් සියළුම මගීන් මරණයට පත්වන්නට ඇතැයි සිතා ගුවන් යානය සෙවීමේ කටයුතු අතහැර දමන අතර විශේෂිතම කරුණ වන්නේ ඉන් මාස දෙකකට පමණ අනතුරෙන් දිවිගලවාගත් 16 දෙනෙකු හමුවීමයි.
ජනාවාසයන්ගෙන් බොහෝ එපිට හිමෙන් පිරුණු ඇන්ඩීස් කදු වැටියේ මරණයත් ජීවිතයත් අතර උග්‍ර සටනක යෙදුනු මේ පිරිස පිළිබඳව ලොව පුරා ප්‍රසිද්ධ වෙනවා. පසුව මේ පිළිබඳව චිත්‍රපට, ටෙලිනාට්‍ය මාලා හා වාර්තා වැඩසටහන් බොහෝ ප්‍රමාණයක් ලොවපුරා නිෂ්පාදනය වෙනවා. ඉතින් අද ලිපියේ ඉඩ වෙන්වන්නේ ඇන්ඩීස් කදුවැටියේ වික්‍රමාන්විතය පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්නටයි.
රග්බි තරගයක් වෙනුවෙන් උරුගුවේ සිට චිලී දේශය බලා පිටත් වූ යානය
උරුගුවේ ජාතික රග්බි පාපන්දු ක්‍රීඩක කණ්ඩායම චිලී දේශය වෙත ගමන් ආරම්භ කිරීමට සුදානම්ව සිටියේ චිලී හි සාන්තියාගෝ නුවර සුහද රග්බි තරගයකට සහභාගීවීමටයි. මේ ගමන සඳහා ඔවුන් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ලබා ගන්නා අතර එය ෆෙයාර්චයිල්ඩ් එෆ්- 227 වර්ගයේ (Turboprop Fairchild FH-27) මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානයක් විය. රග්බි පාපන්දු ක්‍රීඩක කණ්ඩායම සමග ඔවුන්ගේ මිතුරන්, පවුලේ ඥාතීන් ද මේ ගමනට එක්වෙනවා. යානාවේ ගුවන් මගීන් 40 දෙනෙකු සිටි අතර කාර්ය මණ්ඩලය 5 දෙනෙක් විය. උරුගුවේ කැරැස්කෝ (Carrasco International Airport) අන්තර් ජාතික ගුවන් තොටුපළේ සිට චිලී හි සාන්තියාගෝ නුවර දක්වා යන මේ ගමන ආරම්භ කරන්නේ 1972 ඔක්තෝබර් 12 දිනයි.
මේ ගමන් මාර්ගය වැටී තිබුණේ ආර්ජන්ටිනාවත්, චිලී දේශයත් වෙන්කෙරන හිම කඳු වලින් සමන්විත දැවැන්ත ඇන්ඩීස් කඳු පන්තිය හරහායි.ඇන්ඩීස් කඳුවල කාලගුණ තත්වය තරමක් යහපත් වනතුරු ඔවුන්ට දිනක් ආජන්ටිනාවේ මැන්ඩෝසාහි නතරවන්නට සිදුවෙනවා.
ඇන්ඩීස්හි වැදුණු යානය කොටස් කිහිපයකට කැඩී යාම
පසුදා එනම් ඔක්තෝබර් 13 දින සවස 2.18 ට යානය මැන්ඩෝසා සිට චිලී රටේ සාන්තියාගෝ නුවර බලා පියාසර කිරීම සඳහා ගුවන් ගතවෙනවා. මෙවැනි මධ්‍යම ප්‍රමාණයේ යානා චිලී රටට ගමන් කරන්නේ ඇන්ඩීස් කඳුයායේ උස අඩුම ස්ථානය වන ප්ලැන්චොන් (Planchon) කපොල්ල හරහායි
ප්ලැන්චොන් කපොල්ල පසුකරන අවස්ථාවේ කාලගුණය තත්වය ක්‍රම ක්‍රමයෙන් අයහපත් අතට හැරෙනවා. වායු රික්තවලට හසුවීමෙන් යානය වේගයෙන් සෙලවෙන්නට පටන් ගත් අතර නියමුවන් විසින් යානය වැරදි ස්ථානයකින් උතුරට හරවනවා. එක්වරම උස් කඳු ශිඛරයක හැපීමෙන් යානයේ දකුණු තටුව බඳෙන් ගැලවී යන අතර ගැලවුණු දකුණු තටුව යානයේ වලිග කොටසේ වැදීමෙන් වලිග කොටසද යානා බඳෙන් ගැලවී යනවා. වම් තටුවද කන්දක ගැටීම හේතුවෙන් ගැලවී යන අතර බඳ කොටස වේගයෙන් අයිස් හා හිම පොළොවේ සැලකිය යුතු දුරක් ලිස්සා ගොස් නතර වෙනවා. පසුපස බඳ කොටසේ සිටි මගීන් සුළඟට ගසාගෙන ගොස් ඉතා දුර ස්ථානවලට වැටුණ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ක්ෂණික මරණය අත් වෙනවා.
මරණ හා බරපතල තුවාල
ගුවන්යානයේ සිටි 45 දෙනා අතරින් 12 දෙනෙක් අනතුර සිදුවන අවස්ථාවේ හෝ ඊට සුළු මොහොතකට පසු ජීවිතක්ෂයට පත්වෙන අතර අනතුර සිදුවීමෙන් පසු ජීවත්ව සිටියේ 33 දෙනෙකි. එම 33 දෙනාගෙනුත් බරපතල තුවාල ලැබූ 6 දෙනෙක් දෙනෙක් පසුදා මිය යනවා. ඉතිරි වූ බෝහෝ දෙනෙක් පාදවල අස්ථි බිදීයාමෙන් බරපතල තුවාල ලබා සිටි අතර ඔවුන්ට බෙහෙත් සීතලට ඔරොත්තු දෙන ඇදුම් හෝ ආහාර කිසිවක් හෝ නොමැති විය.
දිවි බේරාගත්තවුන් අතර වෛද්‍ය සිසුන් දෙදෙනෙකු සිටි නිසා ඔවුන් දෙදෙනා එක්ව යානයේ සුන්බුන් අතරින් වෙළුම් පටි සහ අස්ථි ආධාරක පටි සොයාගෙන රෝගීන්ට ප්‍රතිකාර කරනවා.
රටවල් 3ක සෝදිසි කණ්ඩායම් ගුවන්යානය සෙවීමේ කටයුතු ආරම්භ කළත් මුල්ම සෝදිසි කණ්ඩායම දින 8ක් තිස්සේ කළ සෙවීම නතර කල බව කණ්ඩායමේ සිටි අයට රේඩියෝ ප්‍රවෘත්ති මගින් අසන්නට ලැබෙනවා. එනම් කඳුකරයේ දැනට දින 11ක් තිස්සේ අතරමංව ඇති තමා ඇතුළු පිරිස සෙවීම බලධාරින් නවතා දමනවා.
ආහාරය සඳහා මිනීමස්
වානේ තහඩු මතට හිම කැට තබා ඒවා හිරු එළියෙන් උණුකර ජලය ලබාගැනීම සිදුකළ අතර ගුවන් යානයේ තිබී හමුවූ ආහාර වර්ග අවසන් වූ විට යානයේ ආසනවල සවිකර ඇති ප්ලාස්ටික් කවර ගලවා ආහාරයට ගැනීමට ඔවුන් විසින් කටයුතු කරනවා. අනතුරෙන් සති දෙකකට පමණ පසු අනතුරින් මියගොස් සිටි තම සගයින්ගේ ශරීර මස් අනුභවය කිරීමට ඔවුන් තීරණය කරනවා. මෙම තීරණය පහසුවෙන් ගත් තීරණයක් නොවූ අතර එයට හේතුව වූයේ මියගොස් සිටි වැඩි දෙනෙක් ඔවුන්ගේ ළඟම මිත්‍රයින් හා ඥාතීන් වූ බැවින්ය.
හදීසි මරණ
ඔක්තෝබර් 29 දින හදීසි හිමකදු නායයාමකින් ඔවුන් වාඩි වී සිටි ගුවන් බඳේ කොටස සම්පුර්ණයෙන් යට වෙන අතර මේ හේතුවෙන් තවත් 8 දෙනෙකු මරණයට පත්වෙනවා. හිම නායා යාමෙන් පසුව දිවිගලවාගන්නේ 25 දෙනෙක් පමණයි.
බේරීයාම සඳහා සැළසුම් සකස් කිරීම
ඔක්කාරය, විජලනය, හිම අන්ධතාව, මන්දපෝෂණය හා රාත්‍රියට ඇතිවන අධික ශීතල ආදී තත්වයන්ට ඔවුන් හැමටම මුහුණදිය නොහැකිව සියළු දෙනා මියයාවි යැයි ඔවුන් බියට පත්වූවත් බේරීම සඳහා ඇන්ඩීස් කඳු තරණයද ඉතාම දුෂ්කර බව ඔවුන්ට පසක් වෙනවා.
එම නිසා උදව් පතා යන ගමනට සියළුදෙනා වෙනුවට කුඩා කණ්ඩායමක් තෝරා ගැනීමට තීරණය වෙනවා. තෝරාගත් කණ්ඩායම සීමාසහිත ආහාර ප්‍රමාණයකින් යැපීමට හැකි, ශරීර ශක්තියෙන් අනූන පුද්ගලයින්ගෙන් සමන්විය යුතු බවද තීරණය කෙරෙනවා.
ඒ සඳහා තෝරා ගන්නේ නැන්ඩෝ පරාඩෝ (Nando Parrado) හා වෛද්‍ය සිසුවෙකු වන රොබර්ටෝ කැනේසා යි (Roberto Canessa). නූමා ටර්කැටි (Numa Turcatti) හා ඇන්ටෝනියෝ විසින්ටින් (Antonio Vizintin) යන දෙදෙනා පැරඩෝ සහ කැනේසා සමඟ මද දුරක් යාම සඳහා එක් වෙනවා.
හිම කදු වැටිය ඔස්සේ නැගෙනහිරට ගමන් කල ඔවුන් දින කිහිපයකින් පසුව අධික සීතල හේතුවෙන් තව දුරටත් ගමන් කිරීම මරණයට අතවැනීමක් ලෙස අවබෝධ කරගන්නා අතර වහාම නැවතත් අනෙක් පිරිස සිටි ස්ථානයට පැමිණෙනවා. නොවැම්බර් 15 සහ 18 දෙදින තුළ කණ්ඩායමේ සිටි තවත් දෙදෙනෙකු ඇතිවී තිබූ තුවාල වලට නිසි ප්‍රතිකාරයක් නොලැබුන හේතුවෙන් ජීවිතක්ෂයට පත්වෙනවා. මේ අනුව ඉතිරිවූයේ 17 දෙනෙක් පමණයි. දෙසැම්බර් 11 දින තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වෙන අතර අවසානයේ ඉතිරි පුද්ගලයන් ගණන 16ක් දක්වා අඩුවෙනවා.
ඉන්පසු නැවතත් උදව් පතා යන ගමනට වෙන්වූ ඉතිරි තිදෙනා සෙසු සගයන් 13 දෙනෙකු තනිකර දෙසැම්බර් 12 දින ඓතිහාසික ගමන ආරම්භ කරනවා. ඒ ආහාර සඳහා මිනීමස්ද සුදානම් කරගැනීමෙන් පසුයි.
මරණයෙන් ගැලවීම
එවකට 21 හැවිරිදි වියේ පසුවූ පැරඩෝ සහ 19 හැවිරිදි වියේ පසුවූ කැනේසා දින කීපයක්ම කඳු තරණය කිරීමෙන් පසුව උස් කඳු මුදුනකට ලගා වෙනවා. එහි සිට බැලීමේදී පැරඩෝට පටු නිම්නයක් ඇස ගැටෙන අතර ඔවුන්ට එම ප්‍රදේශයට ඉක්මනින් ළඟාවීමට හැකි වෙනවා.
මේ අතරතුර ගඟෙන් එහා සිටි චිලි ජාතිකයෙක්ව දකින්නට ලැබෙන්නේ ඔවුන්ගේ වාසනාව හේතුවෙන්. 1972 දෙසැම්බර් 21දා මොවුන් දෙදෙනා විසින් සියළු තොරතුරු ලිපියක ලියා එය ගලක ගැටගසා එහා පැත්තට විසිකිරීම මගින් එහා ඉවුරේ සිටි කොටළුවන් දක්කන්නෙකු වූ චිලී ජාතිකයා මොවුන් පිළිබඳව තොරතුරු වටහා ගන්නවා.
ලොව පුරා ජනප්‍රිය වූ අන්දිස් වික්‍රමාන්විතය
පසුදා උදේ (දෙසැම්බර් 22) සන්තියාගෝ නුවරින් විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ විය. එතැනින් ගුවනට නැගණු හෙලිකොප්ටර් යානා 2ක්. පැරඩෝ හා කැනේසා රැගෙන අදාළ ස්ථානයට පියාසර කරනවා. මේ අතර මෙම විශ්මජනක පුවත ජාත්‍යන්තර මාධ්‍ය ජාලයට වාර්තා වූයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් වැල නොකැඩී පැමිණි අතර ඔවුන් පොන්ටෙ නිග්‍රෝ අසල මාර්ගයක විපතට පත්වූවන් යළි බේරාගෙන පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ඔවුන් අතර රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් වාර්තාකරුවන් හා කැමරාකරුවන් ද විය.
සහන සේවා කණ්ඩායම් විසින් දින දෙකක් ඇතුළත මගීන් 16 දෙනාම බේරාගනු ලැබූ අතර මෙම ගුවන් අනතුර ලොව ගුවන් යානා සමාගම් වලට යළිත් මේ ආකාරයේ ඛේදවාචකයක් සිදුනොවීම සඳහා කදිම පණිවුඩයක් ලබාදුන් අනතුරක් ලෙස සටහන් කළ හැකියි. තවද ගුවන් යානා වලට ඉහළ තාක්ෂණික මෙවලම් සවිකළයුතු බවට තීරණය විය. එසේම හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගතහැකි වනසේ හැකි තරම් ආහාර ප්‍රමාණයක් රැගෙන යාමට ඉදිරියේදී ගුවන්යානා වලට පහසුකම් සැලසිය යුතු බවටද තීරණය කෙරෙනවා.
මෙම සිද්ධිය අළලා නවකතා රැසක් පළවෙන අතර එම නවකතා කීපයක් ලියන ලද්දේ සිද්ධියට මුහුණ දුන් මගීන් වීම විශේෂත්වයක්. එයිනුත් ප්‍රකට ලේඛකයෙකු වූ පියර්ස් පෝල් රීඩ් (Piers Paul Read) විසින් ලියන ලද එලයිව් (Alive) නම් වූ නවකතාව අතිශය ජනප්‍රිය වෙනවා.
කවරයේ ජායාරූපය – අනතුර සිදු වූ ස්ථානයේ වත්මන් ජායාරූපයක් (scienceinthewild.com)