සමකාසන්නයේ පිහිටා ඇති රටවල වැසියන්ට සෘතු භේදය පැහැදිලි ව අත් විඳින්නට නොලැබුණත් උත්තර හෝ දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයේ පිහිටා ඇති රටවල දී වසන්තය, ගිම්හානය, හේමන්තය සහ සිසිර සෘතුව ලෙස පැහැදිලි සෘතු භේදයක් දැක ගැනීමට ලැබෙනවා. නිමක් නොමැති ශිතල හිම කුණාටු පිරි සිසිර සෘතුවේ අවසානය සනිටුහන් කරමින් පැමිණෙන නොයෙක් පැහැ මලින් බර වසන්තය, සෑම අයෙක් ම සතුටින් භාර ගන්නා බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.
වසරකට දෙවරක් පැමිණෙන වසන්ත සෘතුවේ පළමු දිනය හෙවත් ‘වසන්ත විෂුවය’ සාමාන්‍යයෙන් උතුරු අර්ධගෝලයට මාර්තු මාසයේ දී ද දක්ෂිණ අර්ධගෝලයට සැප්තැම්බර් මාසයේ දී ද උදා වෙනවා. 2018 වර්ෂයේ දී උතුරු අර්ධගෝලයට ‘වසන්ත විෂුවය’ පැමිණියේ මාර්තු 20 වැනි අඟහරුවාදා දින ඉන්දියානු සම්මත වේලාවෙන් රාත්‍රී 9.45 ට යි.
බොහෝමයක් දෙනාට වසන්තයේ පළමු දිනය හුදෙක් ම තවත් එක් දවසක් පමණක් ම වුව ද ඇමෙරිකානු මහද්වීපය ආශ්රිත ව පිහිටි පැරණි සංස්කෘතීන්ට එය සතුට සැමරීම සඳහා මෙන් ම සංක්‍රමණය කිරීම සහ බිලි පූජාවන් සඳහා කාලයක් වුණා. සහස්ර ගණනාවක් හිරුගේ ගමන් මග නිරීක්ෂණය කළ පැරැන්නන්ට එය නොසලකා හැරීමට අපහසු වූ අතර නොනැසී ජීවත් වීම සඳහා ද එය අත්‍යවශ්‍ය වුණා. මේ හේතුවෙන් පැරණි දින දසුන් බොහෝමයක අස්වනු සමයේ ආරම්භ දැක්වුණේ වසන්ත විෂුවයට සමගාමී ව යි. ඒ අනුව අස්වනු සමය සහ වසන්තයේ පළමු දිනය සැමරීම සඳහා බිහි වූ සංස්කෘතික සැණකෙළි සමහරක් අදටත් භාවිතයේ පවතිනවා.
ඇමෙරිකානුවන්ගේ පුරාණ දින දසුන්
ලෝක විනාශය ගැන අනාවැකි පළ කළ බැවින් බොහෝ දෙනෙක් මායාවරුන්ගේ දින දසුන ගැන දැනගෙන සිටිය ද අනෙකුත් පැරණි දින දසුන් ගැන දන්නේ අතළොස්සක් දෙනා පමණ යි. ලීමා අගනුවරට උතුරු දෙසින් පේරු කාන්තරය මධ්‍යයේ ‘චන්කිලෝ’ නමින් හඳුන්වනු ලබන බිම්කඩ මැද කඳු මුදුනක දැවැන්ත තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයක් පිහිටා තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 500 දී පමණ ගොඩ නංවන්නට ඇතැයි විශ්වාස කරන එය උතුරේ සිට දකුණ දක්වා විහිදී යන කශේරුකාවක හැඩයට සිටු වන ලද කුලුනු 13 කින් සමන්විත යි.
වාර්ෂික ව සිදු වන සූර්යයාගේ ගමනේ දී යම් නිශ්චිත දිනයන් හි දී හිරු උදාව සහ හිරු බැසීම සිදු වන්නේ එම කුලුනු අතරින්. ගිම්හාන නිවෘත්තියේ දී හිරු නැගීම වම්පස පළමු කුලුන දෙසින් සිදු වන අතර වසන්ත විෂුවයේ දී හරි මැද පිහිටි කුලුන දෙසින් හිරු උදාව සිදු වෙනවා. සිසිර නිවෘත්තියේ දී හිරු නැගීම සිදු වන්නේ දකුණුපස අවසන් කුලුන දෙසින්. ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ චන්කිලෝ හි පිහිටි ගල් කුලුනු හුදෙක් ම තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයක් නො ව විශාල උත්සවාකාර මධ්‍යස්ථානයක් බව යි.
චන්කිලෝ ගල් කුලුනු මෙන් ම සූර්යයාගේ ගමන් මග නිරීක්ෂණය සඳහා යොදා ගන්නා ලද දැවමය කුලුනු යොදා සැකසූ දැව කවයක්, උතුරු ඇමෙරිකාවේ පළමු නගරය වූ කුහූකියා හි පිහිටා තිබෙනවා. මෙය සූර්ය නිවෘත්තිය, සූර්ය විෂුවය සහ සංස්කෘතික උත්සව වැනි ‘කුහූකියා’ නුවර වැසියන්ට වැදගත් වූ අංග දැක්වෙන දින දසුනක් ලෙස භාවිතා කරන්නට ඇති බව යි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ. එසේ ම දැව වෘත්තය මධ්‍යයේ පූජකවරුන්ට නැගී සිටිය හැකි වේදිකාවක් ද දැක ගත හැකි යි.
අලෝකය, සෙවණැලි සහ බිලි පූජා
නමුත් ඇතැම් ශිෂ්ටාචාරයන්ට හිරුගේ ගමන් මග මැනීම සඳහා තාරකා විද්‍යා නිරීක්ෂණාගාර ගොඩ නැංවීම ප්‍රමාණවත් වී නැහැ. මේ හේතුවෙන් ආලෝකය සහ සෙවණැලි උපයෝගී කර ගනිමින් හිරුගේ ගමන් මග තිරණය කිරීමේ ක්‍රමවේදයන් පැරැන්නන් අනුගමනය කර තිබෙනවා. උදාහරණයක් ලෙස මායාවරුන්ගේ චීචෙන් ඉට්සා නුවර දී දැක ගැනීමට ලැබෙන වසන්ත විෂුවයේ දී කූකුල්කාන් නම් දෙවිඳුන් නිරූපණය කරන සර්පයෙකුගේ හැඩයෙන් යුතු සෙවණැල්ලක් නිර්මාණය කරන මූර්තිය හැඳින්විය හැකි යි.
මෙවැනි ම අලෝක රටා මවන නිර්මාණයක් නිරිතදිග ඇමෙරිකාවේ පිහිටා තිබෙනවා. ‘සූර්ය කිරිච්චිය’ ලෙස හඳුන්වන එය නිමවා ඇත්තේ සර්පිල ද්විත්වයක් ගල් පර්වතයකට නිරේධනය (etch) කිරීම මගින්. ගිම්හාන නිවෘත්තියේ දී සහ වසන්ත විෂුවයේ දී ගල් පර්වතයේ පිහිටි කඩතොළු අතරින් ඇතුළු වන හිරු කිරණ, සර්පිල ද්විත්වය වෙන් කරන කිරිච්චියක් සේ දිස් වන අතර සිසිර නිවෘත්තියේ දී එවැනි සූර්ය කිරණ කිරිච්චි ද්විත්වයක් දැක ගැනීමට හැකි යි.
එසේ ම එම ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ පැරැන්නන් වසන්ත විෂුවය සැමරීම සඳහා ලෝහිත පැහැ මැකෝ ගිරවුන් ව බිලි දුන් බව යි. මෙම චාරිත්‍රය උතුරු ඇමෙරිකාවේ පමණක් නොව නිරිතදිග සහ උතුරු මෙක්සිකෝවේ ද ප්‍රචලිත ව පැවතී තිබෙනවා. පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ බිලි පූජා සඳහා ලෝහිත පැහැ මැකෝ ගිරවුන් ව තෝරා ගන්නට ඇත්තේ ඔවුන් සතු හිරු කිරණ නිරූපණය කරන දීප්තිමත් රතු සහ කහ පැහැති පිහාටු හේතුවෙන් විය හැකි බව යි.
අදටත් පවතින සාම්ප්‍රදායන්
ඇතැම් ස්වදේශීය ඇමෙරිකානුවන් වර්තමානයේ දී පවා සාම්ප්‍රදායික චාරිත්රයන්ට අනුකූල ව වසන්ත විෂුවය සමරනවා. උදාහරණයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ පංච මහා විල් ආශ්රිත උතුරු ප්රාන්තයන් හි වාසය කරන ලකෝටා වැසියන් වසන්ත විෂුවය ආරම්භයේ දී බටහිර දෙසට සංක්‍රමණය වෙනවා. එසේ ම ඔවුන් වසන්තය පිළි ගැනීමට සහ සිසිර සෘතුවේ දී මිය ගිය අයගේ ආත්මයන් ක්ෂීරපථයේ කේන්ද්‍රයට යැවීම සඳහා චාරිත්‍ර මාලාවක් පවත්වනවා.
මෙහි දී ලකෝටා වැසියන් රතු විලෝ දර දල්වමින් ‘ගිනි උත්සවය’ පවත්වන අතර ගිම්හාන නිවෘත්තියේ දී සූර්ය නර්තනයක් ද ඉදිරිපත් කරනු ලබනවා. ඔවුන්ගේ වාර්ෂික සංක්රමණයන් ආරම්භ වන්නේ ඉන් අනතුරු ව යි. බොහෝ විට මෙම සංක්රමණයන් සිදු කරන්නේ විශාල මී ගොනුන් රංචු ද රැගෙන යි.
කවරයේ පින්තූරය : © Stefan Kober