Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනුක් අරුද්ප්‍රගාසම්: බූකර් සම්මානයේ ශ්‍රී ලාංකීය සලකුණ

ලෝක සාහිත්‍යය ගැන යම් පමණක හෝ ඇල්මක්, අවධානයක් ඇති කෙනකුට බූකර් සම්මානය (The Booker Prize) යනු අලුත් වචනයක් නොවේ. Booker Prize for Fiction, Man Booker Prize යන නම්වලින්ද කලෙක හැඳින්වුණු එය මුලින් වෙන් ව තිබුණේ බ්‍රිතාන්‍ය, අයර්ලන්ත, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සහ සිම්බාබ්වේ හි ලේඛකයන් සඳහා පමණයි. ඊට 18 වසරක් ගතවීම අනුස්මරණය කිරීම වෙනුවෙන් එය 2019 වසරේ සිට ලොව ඕනෑම රටක ලේඛකයකු බ්‍රිතාන්‍යයේ දී පළ කරන කෘතිවලට විවෘත කෙරුණා.
මේ සටහන 2021 බූකර් සම්මානයේ දොරකඩට පිවිස සිටින අපේ රටේ ලේඛකයකු සම්බන්ධවයි.

ලේඛකයන් 13 දෙනකුගේ නම්

The Federal, 2021 ජුලි 28 දින සඳහන් කරන ආකාරයට; මේ වසරේ බූකර් සම්මානය සඳහා නම් කළ ලේඛකයන් 13 දෙනකුගේ නම් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අනුක් අරුද්ප්‍රගාසම් (Anuk Arudpragasam) ගේ නමත් එහි ඇතුළත්. ඔහුගේ කෘතියේ නම A Passage North. ඊට අමතරව බ්‍රිතාන්‍ය-ඉන්දීය ජන්මයක් සහිත Sanjeev Sahota ගේ China Room සහ ජපානයේ උපන් බ්‍රිතාන්‍ය ලේඛක, නොබෙල් සාහිත්‍ය සම්මාන සහ පුලිට්සර් සම්මානලාභී Kazuo Ishiguro ගේත් නම් ද එහි ඇතුළත්.

නොබෙල් සාහිත්‍ය සම්මාන සහ පුලිට්සර් සම්මානලාභී Kazuo Ishiguro – Getty Images

Ishiguro යනු 1989 වසරේ The Remains of The Day කෘතියට බූකර් සම්මානය හිමි කරගත් ලේඛකයායි. මෙවරත් සමඟ ඔහුගේ නම තුන් වතාවක් සම්මානය සඳහා යෝජනා වී තිබෙනවා. ඒ, When We Were Orphans -2000 , Never Let Me Go -2005 සහ මෙවර Klara And The Sun වශයෙනුයි. Ishiguro 2017 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය ද හිමි කර ගත්තා.

සම්මානය සඳහා දැවැන්ත සටනක

Sahota සම්බන්ධයෙන් ගත් කල, ඔහුගේ නම 2015 දීත් බූකර් සම්මානය සඳහා යෝජනා වුණා. ඒ The Year Of The Runaway කෘතිය වෙනුවෙන්. ඔහු 2017 වසරේ European Union Prize For Literature හෙවත් යුරෝපා සංගම් සාහිත්‍ය සම්මානය ද දිනා ගත්තා.

ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ අපේ කතානායකයා අනුක් අරුද්ප්‍රගාසම් බූකර් සම්මානය සඳහා කවරාකාර දැවැන්ත සටනක නියැළී සිටින්නේ ද යන්නයි.

අනුක් අරුද්ප්‍රගාසම් ගේ පළමු නව කතාව The Story of a Brief Marriage – bwf.org.au

ශ්‍රී ලංකාවේ උපත ලැබ, දැනට මෙරටත් ඉන්දියාවේත් වාසය කරන අරුද්ප්‍රගාසම් ද දකුණු ආසියා සාහිත්‍යය සඳහා වන DSC සම්මානයට පාත්‍ර වුණා. Dylan Thomas සම්මානය සඳහාත් ජර්මනියේ Internationaler Literaturpreis සඳහාත් ඔහුගේ නම යෝජනා වුණා.

බෙහෙවින් කතාබහට ලක් වූ කෘතියක්

දෙමළ සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන් ම ලේඛනයේ යෙදෙන අනුක් අරුද්ප්‍රගාසම් ගේ පළමු නව කතාවThe Story of a Brief Marriage ලෝක සාහිත්‍ය කතිකාව තුළ මෑත දී බෙහෙවින් කතාබහට ලක් වූ කෘතියක්.

මෙරට සිවිල් යුද්ධයේ අවසන් දවස් පදනම් කර ගත් කතාවක් වන එහි කතානායකයා දිනේෂ්. එක් පසෙකින් ඉදිරියට පැමිණෙන ආණ්ඩුවේ හමුදාවෙනුත් අනෙක් පසින් හමුදාවේ ගමන වැලැක්වීමට සටන් වදින දෙමළ කොටි හමුදාවෙනුත් තවත් පසෙකින් මහ මුහුදෙනුත් වටවූ බිම් කඩෙක උන්හිටි තැන් අහිමි ව කොටු වී සිටින දහස් සංඛ්‍යාත සෙනඟ අතර දී ඔහුට එක්තරා මහල්ලෙක් සිය දියණිය විවාහ කර ගන්නැයි යෝජනා කරනවා. ඒ,විවාහක කතකට කිසිවකු ගෙන් හිරිහැර නොවනු ඇතැයි මහල්ලා සිතන නිසායි.

අරුද්ප්‍රගාසම් දකුණු ආසියා සාහිත්‍යය සඳහා වන DSC සම්මානයට පාත්‍ර වුණා – indianexpress.com

අහඹු අනපේක්ෂිත සම්බන්ධතාව

සියල්ල අහිමි ව, හුවමාරු වන ප්‍රහාර මැද අවුල් වියවුල් ව, භීතියෙන් යුතු ව ආහාර පාන සහ ජීවිතය බේරා ගැනීම ගැන පමණක් සිතමින් පසු වන දිනේෂ් සහ මහල්ලා ගේ දියණිය ගංගා, යුද්ධය තමන් කරා ළඟාවන තුරු අවිනිශ්චිත ව තම අහඹු අනපේක්ෂිත සම්බන්ධතාව සහ තම තමන් ගවේෂණය කරන ආකාරයThe Story of a Brief Marriage මගින් නිරූපණය කෙරෙන බව The Rumpus හි, අනුක් සමඟ සාකච්ඡාවකට හැඳින්වීමක් ලියමින් Liana Holmberg සටහන් කර තිබුණා. එය දහවලක් සහ රාත්‍රියක් තුළ කියැවෙන මානුෂීය කතාවක්.

බූකර් සම්මානය සඳහා ලේඛනගත ව ඇති A Passage North – theparisreview.org

 

බූකර් සම්මානය සඳහා ලේඛනගත ව ඇති A Passage North හිදී අනුක් අරුද්ප්‍රගාසම් සාකච්ඡා කරන්නේ යුද්ධය සම්බන්ධයෙන්මයි. එහෙත් එය යුද්ධය අවසන් වූ කාලපරිච්ඡේදය විෂය කර ගන්නා නව කතාවක් .A Passage North හි අප හමුවේ දිග හැරෙන්නේ කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන තරුණයකු වන ක්‍රිෂ්ණා ගේ සතිඅන්තයක්. අනුක් ගේ මුල් කෘතියෙන් යුද්ධය, ප්‍රචණ්ඩත්වය මැද මිනිසුන් ජීවත්වෙන්නේ කෙසේද යන්න විමර්ශනය කරන අතර යුද්ධයකින් පසුව අප ජීවත්වන්නේත්, මියැදෙන්නේත් කෙසේද යන වග දෙවැනි කෘතිය එනම් Passage North විමර්ශනය කරන බව npr.org හි Jenny Bhatt සඳහන් කරනවා.

දර්ශන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක්

අනුක් අරුද්ප්‍රගාසම් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දර්ශන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක්. ඔහු සියලු ආකාරයෙන් ම ශාස්ත්‍රවන්තයෙක්, මෙන් ම දාර්ශනිකයෙක් බවයි Liana Holmberg ගේ අදහස. හෙතෙම අදහසක් විධිමත් ව නිරවුල් ව ප්‍රකාශ කරන්නට වැඩ කරනවා. සූදානම් සිනහවක් සහ දැඩි උපහාසයෙන් යුතු විචාරශීලී හාස්‍යයක ක්ෂණික හැඟීමක් ද ඔහු සතු බව Liana වැඩිදුරටත් සඳහන් කරනවා.

Pacific Standard හි Jeffrey Zuckerman සමඟ 2016 වසරේ කතාබහක යෙදෙමින් අනුක් අරුද්ප්‍රගාසම් මෙසේ කියා තිබුණා.

” රටේ දෙමළ නොවන ප්‍රදේශවල ජීවත්වන අපේ ජීවිතවලටත් දෙමළ බෙදුම්වාදී අරගලය ඉතාමත් දැඩිව බලපෑවා. සමාජ ආර්ථික වශයෙන් කතා කළොත්, මගේ පවුල වරප්‍රසාදලත්, උසස් කුලයේ, යමක් කමක් තියෙන පවුලක්. නමුත්, අපටත්, යම් ආකාරයක පළිගැනීමට ලක්වෙයි කියාත්, නගරයේ කෙළවරක් නැති හමුදා මුරපොළවල දී හේතුවකින් තොරව නතරකරයි, රඳවාගනියි කියාත් නිරන්තර බියක් තිබුණා. අපි සෙනඟ ගැවසෙන තැන්වලදි දෙමළ කතා කිරීම නතර කළා. සමහර දෙමළ අනන්‍යතා සඟවා ගත්තා.”

New York Times කියන්නේ, A Passage North දේශපාලන නවකතාවක් බවයි. දෙමළ සාමාන්‍ය ජනතාවට අත්විඳින්නට සිදු වුණු අපවාදය සහ ම්ලේච්ඡත්වය එමගින් විග්‍රහ කරන්නා සේ ම දාර්ශනික සොයා යාමකුත් කෘතිය තුළ ඇති බවත් New York Times පෙන්වා දෙනවා. මෙපමණ විඳවීම් සහිත ලෝකයක අප ජීවත්විය යුත්තේ කෙසේද යන අනුභූතික ප්‍රශ්නය අනුක් ඉදිරිපත් කරන බව New York Times පෙන්වා දෙනවා. Passage North කෘතියට විමර්ශනයක් ලියමින් Guardian කියන්නේ, දසක ගණනක් දිග්ගැසුණු සිවිල් යුද්ධයට පාදක වුණු නිදහසේ අපේක්ෂාව සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් පැන නැඟුණු ප්‍රචණ්ඩත්වය මෙන් ම කිසිදා සුව නොවන අධ්‍යාත්මික කැළැල්, අනුක් අරුද්ප්‍රගාසම් විසින් මෝහනීය ප්‍රබන්ධයක් මඟින් ගවේෂණය කරනු ලබන බවයි.

ශ්‍රී ලංකා – කැනේඩියානු කතුවරයකු වන මයිකල් ඔන්ඩාච්චි 1992 දී බුකර් ත්‍යාගය දිනා ගත්තා – Getty Images

විචාරාත්මක ප්‍රශංසාවට පාත්‍ර වූ නවකතාව

බූකර් සම්මානය සඳහා නිර්දේශිත කෘති හයෙහි කෙටි ලේඛනය (Short List) ප්‍රකාශයට පත්කිරීමට දින යෙදී ඇත්තේ ලබන සැප්තැම්බර් 14වැනි දාට ය.

සම්මානලාභියා කවුරුන්ද යන වග දැනගත හැකි වනු ඇත්තේ නොවැම්බර් 03වැනි දාට යි. ශ්‍රී ලංකා – කැනේඩියානු කතුවරයකු වන මයිකල් ඔන්ඩාච්චි 1992 දී බුකර් ත්‍යාගය දිනා ගත්තා. ඔහුගේ විචාරාත්මක ප්‍රශංසාවට පාත්‍ර වූ නවකතාව The English Patient (එය එම නමින් ම චිත්‍රපටයක් බවට ද පත් විය) දෙවන ලෝක යුද්ධයේ අවසානය කෙරෙහි අවධානය යොමු කරන්නක්. මයිකල් ඔන්ඩාච්චිගේ නම අසලින් තම නම ලියා තබන්නට අනුක් අරුද්ප්‍රගාසම් නමැති ශ්‍රී ලාංකිකයාටත් හැකියාව ලැබේද? සම්මාන විනිශ්චය මණ්ඩලයේ තීරණය කවරක් වුවත් අනුක් අරුද්ප්‍රගාසම් දැනටමත් ලොවක අවධානයට පාත්‍ර වී අවසන්. ඔහු ගේ The Story of a Brief Marriage සහ Passage North තවත් බොහෝ කලකට ලොව පුරා පාඨක සිත්සතන් කම්පනය කරන බවට සැකයක් ඇත්තේ නැහැ.

කවරයේ ඡායාරූපය: අනුක් අරුද්ප්‍රගාසම් දකුණු ආසියා සාහිත්‍යය සඳහා වන DSC සම්මානයට පාත්‍ර වූ දා - dhakatribune.com

මූලාශ්‍ර :

The New York Times 

Literary Hub

The Rumpus

guernicamag.com

Granta

npr.org

Pacific Standard

Tatler

The Federal 

The Guardian

Related Articles