පණ්ඩුකාභය රජතුමාගේ කාල සමයේ නිර්මාණය වුණු අභයවාපී නම් වැව, ලංකාවේ වාරි කර්මාන්තයේ ආරම්භය ලෙසින් සනිටුහන් වනවා. නමුත්, ඊට පෙර යුගයේ සිටම ලංකා භූමිය තුළ පොකුණු පිහිටා තිබුණු බවට විජය-කුවේණි පුවත සාක්ෂ්‍ය දරනවා. පැරණි සිංහල ජල කර්මාන්තකරුවන්ගේ දස්කම් ඉස්මතු වුණු අවස්ථාවක් ලෙස සැලකෙන පොකුණු එදා අභයගිරි බිමේ වැඩි වශයෙන් දක්නට ලැබුණා. එසේ නම් මෙම ලිපිය ලියැවෙන්නේ එදා අභයගිරි බිම සුන්දර කළ පොකුණු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.
පොකුණු යනු මොනවාද?
යම් ස්ථානයක ජලය එක්රැස් කිරීම සඳහා තනන ලද ආවාට පොකුණු ලෙසින් හඳුන්වනු ලබනවා. එහි දී මිනිසා විසින් නිර්මාණය කළ පොකුණුවලට අමතරව ස්වභාවික පොකුණු ද දක්නට ලැබීම සුවිශේෂී සිදුවීමක්. විශාල ගල්තලා මත ස්වභාවිකව නිර්මාණය වුණු පොකුණු මිනිසාට පොකුණු නිර්මාණය කිරීම සඳහා යම් අදහස් ලබා දුන් බව උපකල්පනය කළ හැකියි.
පොකුණු නිර්මාණය කිරීමේ අරමුණු
වර්තමානයේ දී බොහෝ විට අලංකාරය උදෙසා පමණක් පොකුණු නිර්මාණය කළත්, අතීතයේ දී පොකුණු නිර්මාණය කළේ පහත සඳහන් වන අරමුණු සඳහා යි.
1) ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා
2) පරිසරය අලංකාර කිරීම සඳහා
3) පරිසර උෂ්ණත්වයේ සමතුලිත බව රැකගැනීම සඳහා
අභයගිරි බිමේ දක්නට ලැබුණු පොකුණු
පාහියන් හිමිගේ වාර්තාවලට අනුව අභයගිරි බිමේ භික්ෂූන් වහන්සේලා 5000ක් පමණ වාසය කර තිබෙනවා. එම නිසාම එදා කුට්ටම් පොකුණ, ඇත් පොකුණ ඇතුළුව තවත් කුඩා පොකුණු 65ක් පමණ අභයගිරි බිම තුළ පිහිටා තිබුණු බව පැරණි පොත පතෙහි සඳහන් වනවා.
කුට්ටම් පොකුණ
අභයගිරි විහාරයේ වාසය කළ භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් ඉදිකළායැ යි විශ්වාස කරන කුට්ටම් පොකුණ, පොකුණු දෙකකින් සමන්විත වනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ දී කුට්ටම යනු යුගලය යි. මෙහි පොකුණු දෙකක් පිහිටා තිබෙන නිසා මෙයට කුට්ටම් පොකුණ යන නම ලැබුණු බව උපකල්පනය කළ හැකියි. මෙම පොකුණු දෙකෙහි දක්නට ලැබෙන යම් වෙනස්කම් නිසා මෙය එකවර ඉදිකළ පොකුණු දෙකක් නොවන බව පැහැදිලි වෙයි. එහි දී වම්පස පිහිටා තිබෙන පොකුණ පියගැට පෙළ 20කින් යුක්ත වන විට දකුණුපස පිහිටා ඇති පොකුණේ දක්නට ලැබෙන්නේ පියගැට පෙළ 18ක් පමණ යි. එසේම වම්පස පිහිටා ඇති පොකුණ අඩි 91ක දිගකින් යුක්ත වන විට, දකුණුපස පිහිටා තිබෙන පොකුණ දිගින් අඩි 132ක් පමණ වනවා. එම මිනුම් වාගේම, මෙම පොකුණු දෙකේ පළලත් වෙනස් වනවා. එහි දී වම්පස පොකුණේ පළල අඩි 14ක් වන විට දකුණු පස පොකුණේ පළල අඩි 17ක් ලෙස සටහන් වනවා.
අඩි 9ක පරතරයක් ඇතිව නිර්මාණය කර ඇති මෙම පොකුණු යුගලය නළයක් මඟින් සම්බන්ධ කර තිබෙනවා. එහි දී වම්පස පොකුණට මුලින්ම ජලය ලැබී එම ජලය නලය තුළින් දකුණුපස පිහිටා තිබෙන පොකුණ වෙත ගමන් කරනවා. එසේම, වම්පස පොකුණේ පතුළෙහි පිහිටා තිබෙන විවරයකින් පොකුණු දෙකේම ජලය ඉවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. නාගයාට නොකඩවා ජලය ලබා දිය හැකි බව පැරැන්නන්ගේ විශ්වාසය වුණා. එම නිසාම මෙම පොකුණෙහි ද නාග රූප දක්නට ලැබෙනවා.
මෙම පොකුණු දෙක කාල වකවානු දෙකක දී ඉදිකළ බවට පැහැදිලිව පෙනී යන්නේ, කුඩා පොකුණ විශාල පොකුණට වඩා පැරණි ලක්ෂණවලින් යුක්ත වීම යි. එසේම, විශාල පොකුණේ සහ කුඩා පොකුණේ පිහිටා තිබෙන පුන්කලස් එකිනෙකට වෙනස් වීම එම මතය තහවුරු කිරීමට හොඳ සාක්ෂ්‍යයක් වනවා. අතීතයේ දී හෙළ කලාකරුවා විසින් ඉදිකළ ඉතාමත්ම අලංකාර පොකුණුවලින් එකක් වන කුට්ටම් පොකුණ අදටත් අභයගිරි බිමට අලංකාරයක් එකතු කරනවා. එම නිසාම දෙස්-විදෙස් සංචාරකයන් අනිවාර්යයෙන්ම නරඹන ස්ථානයක් බවට මෙය පත්ව තිබෙනවා.
ඇත් පොකුණ
අභයගිරි බිමේ ස්නානය කිරීම සඳහා පිහිටා තිබුණු විශාලතම පොකුණ ලෙසින් හැඳින්වෙන්නේ ඇත් පොකුණ යි. හතරවටින්ම ගල් බිත්තිවලින් වට වී තිබෙන මෙම පොකුණේ දිග සහ පළල පිළිවෙලින් අඩි 150ක් සහ 50ක් වන විට, ගැඹුර අඩි 10ක් පමණ වනවා. මෙම පොකුණට ජලය ලැබෙන උමං මාර්ග 3ක් හඳුනාගෙන තිබෙනවා. එහි දී උතුරු දෙසින් ජලය ලැබෙන එක උමං මාර්ගයක් ක්‍රියාත්මක වන්නේ පෙරමියන්කුලම වැවේ ජල මට්ටම ඉහළ ගිය විට යි. දකුණු පස උමං මාර්ගය තවම පාදාගෙන නැතත්, බුලංකුලම වැවෙන් එදා ජලය ලබාගත් බවට විශ්වාස කරනවා. ඇත් පොකුණට ජලය ගෙන ආ උමං මාර්ගවලින් පැමිණි ජලය දකුණු පැත්තේ පඩි පේළියට ආසන්නව ඇති බිසෝ කොටුවට වැටී වේගය අඩු වී ගල් කාණුවක් දිගේ ගොස් ඉවුරෙහි ඇති පිහිල්ලක් මඟින් පොකුණට වැටෙන ආකාරයට නිමවා තිබෙනවා. එසේම, මෙම පොකුණේ ජලය පිට කිරීම සඳහා පොකුණේ දකුණුපස නැගෙනහිර කොණේ විවරයක් පිහිටා තිබෙන ආකාරය දක්නට ලැබෙයි. අනුරාධපුරයට පැමිණෙන බොහෝ සංචාරකයන් කුට්ටම් පොකුණ නැරඹුවත් ඇත් පොකුණ නරඹන්නේ ඉතාමත් අඩු පිරිසක්. එම නිසාම ඔබ නැවතත් අනුරාධපුරයේ සංචාරය කළ දිනෙක ඇත් පොකුණ නැරඹීමට අමතක කරන්න එපා.