කෘත්‍රිම පැණිරසකාරක ඇත්තෙන් ම ශරීරයට අහිතකර ද?

පැණි බීමවලට යොදන සීනි ප්‍රමාණය පිළිබඳ රජයේ ප්‍රතිපත්ති දැඩි වීමත් සමග ම ඒවා නිෂ්පාදන සමාගම් සීනි වෙනුවට විවිධ ආදේශකවලට යොමුවීමේ ප්‍රවණතාවයක් වර්තමානය වන විට දකින්නට පිළිවන්. මින් බහුතරය කෘත්‍රිම පැණිරසකාරක  වෙනවා. කෙසේ නමුත් මේවා සීනිවලටත් වඩා අහිතකර සෞඛ්‍ය ගැටලු ගෙනදීමට සමත් බවට සමාජයේ පැතිරී ගිය මතයක් තිබෙනවා. මෙහි සත්‍යතාව විමසා බලන්නට අපි තීරණය කළා.

සීනි භාවිතය සීමා කිරීම සුදුසු ඇයි?

‘සීනි’ යනුවෙන් අපි එදිනෙදා ව්‍යවහාරයේ හඳුන්වන්නේ උක් හෝ සීනි බීට්වලින් නිපදවාගන්නා සුක්‍රෝස් ස්ඵටිකවලට යි. මෙය ස්වභාවික නිෂ්පාදනයක් මුත් එහි අඩංගු අධික කැලරි ප්‍රමාණයත්, ඉහළ ග්ලයිසීමික අගයත් දියවැඩියාව ඇතුළු රෝග රාශියකට අත වනනවා. එම නිසා ඒවා මඳ පමණින් භාවිතය සුදුසු වෙනවා.

සුක්‍රෝස් සීනි- edgylabs.com

යම් ආහාරයක් හෝ පානයක පැණිරස ඇති කරවිය හැකි ලොව එක ම සංඝටකය මෙම සුක්‍රෝස් සීනි නොවේ. සුකෝස් යම් ප්‍රමාණයක් මඟින් යම් ප්‍රමාණයකින් ආහාරයක් හෝ පානයක පැණිරස නංවාලයි ද ඊට වඩා බොහෝ අඩු ප්‍රමාණයක් යොදාගෙන එම පමණින්ම එහි පැණිරස ඇතිකරවිය හැකි ස්වභාවික හා කෘත්‍රිම ව සංශ්ලේෂණය කරන සංඝටක රාශියක් ලොව පවතිනවා. මේවා ‘පැණිරසකාරක’ ලෙස පොදුවේ හැඳින්වෙනවා.

යම් ආහාරයක ‘පැණිරසහාවය’ ශරීරයට අහිතකර වන්නේ දිවට දැනෙන පැණිරස නිසා නොවේ, එහි ඉහළ ග්ලයිසීමික අගය හා වැඩි කැලරි ප්‍රමාණය නිසා යි. එබැවින් යම් පැණිරසකාරකයක් සීනිවලට සාපේක්ෂ ව අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට දායක කරමින්, අඩු ග්ලයිසීමික අගයක් සහිත ව පැණිරස ජනනය කරයි නම්, එම සාධක දෙක පමණක් සලකන කල්හි එය සීනිවලට වඩා ශරීරයට හිතකර වෙනවා.

ස්වභාවික පැණිරසකාරක- mdaringgourmet.com

සීනි වෙනුවට යොදාගත හැකි ස්වභාවික පැණිරසකාරක ග්ලයිසීමික අගය අතින් බොහෝ විට සීනිවලට වඩා ශරීරයට හිතකර වූවත්, කැලරි අගය අතින් සීනිවලට වඩා වැඩි වීම මෙන්ම සාපේක්ෂ ව මිලෙන් අධික වීම හා භාවිතයේ ප්‍රායෝගික ගැටලු නිසා බොහෝ නිෂ්පාදකයින් කෘත්‍රිම පැණිරසකාරකවලට යොමු වී තිබෙනවා.

මොනවද මේ කෘත්‍රිම පැණිරසකාරක?

කෘත්‍රිම පැණිරසකාරක යනු යම් මාධ්‍යයක් භාවිතයෙන් කෘත්‍රිම ලෙස සංශ්ලේෂණය කරන ලද පැණිරසකාරක වෙනවා. මේවා ස්වභාවික ද්‍රව්‍යවලින් ද සංශ්ලේෂණය කළ හැකි අතර, තවත් සමහරක් සම්පූර්ණයෙන් ම කෘත්‍රිම රසායන ද්‍රව්‍ය යොදා විද්‍යාගාරයේ දී නිර්මිත වෙනවා. බොහෝ දෙනා බියවන්නේ මේ දෙවන වර්ගය සම්බන්ධයෙනුයි.

‘කෘත්‍රිම’ යන නාමය ඇසුණු සැණින් බොහෝ දෙනා පිළිකා ඇතුළු නොයෙක් ලෙඩ රෝග වැළඳේයැ යි බියෙන් ඒවායින් ඈත් වෙනවා.

කෘත්‍රිම පැණිරසකාරක භාවිතයේ වාසි

කෘත්‍රිම පැණිරසකාරක භාවිතා කිරීමේ යම් වාසි තිබෙනවා. විශේෂයෙන් ම මේ අතිබහුතරය සුක්‍රෝස් සීනිවලට වඩා ප්‍රබල පැණිරසකාරක වෙනවා. මින් සමහරක පැණිරසකාරක ගුණය සුක්‍රෝස් සීනිවලට වඩා සිය ගුණයකටත් වඩා ප්‍රබල වෙනවා. වෙනත් වදන්වලින් පැවසුවහොත් යම් ආහාරයක් පැණිරස කිරීම සඳහා සුක්‍රෝස් සීනි ග්‍රෑම් 20ක් භාවිතා කරයි නම් කෘත්‍රිම රසකාරකයක් භාවිතයෙන් එය පැණිරස කිරීමේ දී එම සංඝටකය භාවිතා කළ යුතු ප්‍රමාණය මිලිග්‍රෑම් 200ක් හෝ සමහර විටෙක ඊටත් වඩා බොහෝ සෙයින් අඩු වෙනවා. මේ හේතුවෙන් ශරීරයට එක්කාසු වන කැලරි ප්‍රමාණය සීනි යොදාගත්තාට වඩා බොහෝ සෙයින් අඩු වෙනවා. ග්ලයිසීමික අගය සලකන කල්හි එම සංඝටකයේ ඉහළ ග්ලයිසීමික අගයක් තිබුණත් යොදන ප්‍රමාණය නොසැලකිය හැකි තරම් කුඩා නිසා දියවැඩියාව ඇතුළු වැඩි සීනි හේතුවෙන් ඇති වන රෝගාබාධ රාශියක් ඇති වීම ඒ මඟින් වළකනවා.

කෘතීම පැණිරසකාරකවල හා වාසි යන දෙක ම තිබෙනවා-Justin Sullivan/Getty Images

සුක්‍රෝස් වෙනුවට ඊට වඩා බොහෝ සෙයින් ප්‍රබල කෘත්‍රිම පැණිරසකාරකයක් යොදාගත් විට ආකාරයක සමස්ත කැලරි ප්‍රමාණය අඩුවන නිසා අධික ස්ථුලතාවය පාලනය වෙනවා. මේ හේතුවෙන් ඒ හා සබැඳි ලෙඩ රෝග ගණනාවක් වැළඳීමට ඇති හැකියාව අඩු වෙනවා. මීට අමතර ව ශරීරයේ හැඩය පවත්වාගන්නට ආහාර පාලනය කරන අයට සීනි වෙනුවට කෘත්‍රිම පැණිරසකාරක යොදාගෙන සාදන ලද ආහාර ගැනීමෙන් සිය ශරීරයේ හැඩය පවත්වාගෙන යාමට වඩා පහසු වෙනවා.

කෘත්‍රිම පැණිරසකාරකවල අවාසි

සීනි වෙනුවට කෘත්‍රිම පැණිරසකාරක යොදාගැනීමේ අවාසි රාශියක් ද තිබෙනවා. මේ නිසා යමෙක් සුක්‍රෝස් සීනි වෙනුවට මේවා භාවිතා කරන විට ඉවක් බවක් නොමැති ව භාවිතා නොකිරීමට වගබලාගත යුතු යි.

සීනි වෙනුවට කෘත්‍රිම රස්කාරක භාවිතා කරන බොහෝ අවස්ථාවල 100%ක් ම සුක්‍රෝස් සීනිවලින් ලැබෙන පැණිරස ‘ප්‍රභේදය ම’ ලබාගත නොහැකියි. සමහර පැණිරසකාරකවල එම රසයත් සමග අඩුවැඩි වශයෙන් තවත් රස අඩංගු වී තිබිය හැකියි. මේ නිසා දිවට යම් නුහුරු බවක් ඇති වීම සිදුවෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ සමහර විටෙක වැඩි ආහාර හෝ පාන ප්‍රමාණයක් ගිලදැමීමට සිතීම යි.

සම්පූර්ණයෙන් ම විද්‍යාගාර තුළ කෘත්‍රිම සංඝටක යොදාගෙන සාදන කෘත්‍රිම පැණිරසකාරක සම්බන්ධ බරපතල ම කාරණයක් වන්නේ ඒවා සමහරක් ශරීරයෙන් සම්පූර්ණයෙන් පිටනොවීම යි. මේවායේ අඩංගු සමහර සංඝටක අර්ධ වශයෙන් ජීර්ණය වන අතර ඒවා යම් යම් රසායනික විපර්යාසයන්ට ලක් වී ශරීරය තුළ රැඳෙනවා. මේවායින් පිළිකා ඇතුළු රෝගාබාධ කිහිපයක් ම වැළඳීමේ සම්භාවිතාවක් සෛද්ධාන්තික ව පවතිනවා. කෙසේ නමුත් මේ කිසිවක් නිසියාකාර ව ම විද්‍යාත්මක ව තහවුරු කර නැති අතර අද වන විටත් ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කෙරෙනවා. කෙසේ නමුත් තවත් මතයක් වන්නේ ඒවා ශරීරගත වන්නේ ඉතා සුළු ප්‍රමාණවලින් නිසා මිනිසෙකුගේ ජීවිත කාලය තුළ ශරීරයට හානි කළ හැකි තරම් රසායනික සංඝටක ප්‍රමාණයක් ඉන් ශරීරගත නොවන බව යි. මේ නිසා අසාත්මිකතා වැනි හඳුනාගත් ක්ෂණික සෞඛ්‍ය ගැටලු නොමැති කෘත්‍රිම පැණිරසකාරක සුළු ප්‍රමාණයෙන් භාවිත කිරීම අනතුරුදායකයැ යි වෛද්‍යවරුන් පවසන්නේ නැහැ. සුක්‍රෝස් සීනි නිතර භාවිතය ඊට වඩා තහවුරු කරන ලද සෞඛ්‍ය ගැටලු ගෙන දෙනවා.

පසුවදන

පැණිරස ආහාර සීමා කිරීම නුවණට හුරු යි- bigstock/mydiet.com

ඉහත කාරණාවලින් පෙනී යන්නේ සුක්‍රෝස් සීනි මෙන්ම කෘත්‍රිම පැණිරසකාරක ද පමණ ඉක්මවා භාවිත කිරීම සෞඛ්‍ය ගැටලුවලට අතවැනීමක් බව යි. යම් යම් විවාද තිබුණ ද සෞඛ්‍ය සංගම් මඟින් අනුමත කරන ලද පැණිරසකාරක යොදාගෙන පමණට ආහාර හා පාන වර්ග භාවිතා කිරීම සුක්‍රෝස් සීනි භාවිතා කිරීමට වඩා අඩුවෙන් ගැටලු ගෙන දෙන බව පැවසිය හැකියි. ඒ ඒවා සැලකිය යුතු තරම් සුළු ප්‍රමාණයක් භාවිතා වන නිසා යි.

අපේ පැරැන්නන් ආහාර රසවත් කිරීමට හකුරු, මී පැණි වැනි ස්වභාවික පැණිරසකාරක යොදාගත්තා. ඒවායේ ග්ලයිසීමික් අගය සුක්‍රෝස් සීනිවලට අඩා අඩුවන අතර ගැටලුවක් ඇත්තේ වැඩි ප්‍රමාණයක් යොදාගැනීමට සිදුවීම හා සබැඳි වැඩි කැලරි ප්‍රමාණය මත පමණයි. මේවා භාවිතය ඉහත කී දෙවර්ගයට ම වඩා සුදුසු වූවත් මේ නිසා ඒවා භාවිතය ද සීමාවකට යටත් ව කළ යුතු වෙනවා.

අවසානයේ තහවුරු වන කරුණ වන්නේ කුමන ප්‍රභවය මත පදනම් ව හෝ වේවා පැණිරස ජනනය කරන ආහාර සීමාවකට යටත් ව ගත යුතු බව යි.

කවරයේ පින්තූරය- huffingtonpost.com

මූලාශ්‍රයයන්:

Mayoclinic.org

Canyonranch.com

connectusfund.org

Related Articles

Exit mobile version