Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තර්ක ශාස්ත්‍රය ලොවට හඳුන්වාදුන් ඇරිස්ටෝටල්

බටහිර සමාජයේ චින්තනය හැඩගැස්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකළ ආදී ග්‍රීක දාර්ශනික ත්‍රිත්වයේ අවසානයා ලෙස හමුවන්නේ ඇරිස්ටෝටල් ය. ඇරිස්ටෝටල් ප්ලේටෝගේ ශිෂ්‍යයකුද, ප්ලේටෝ සොක්‍රටීස්ගේ ශිෂ්‍යයකුද වේ. දේශපාලනය, තර්ක ශාස්ත්‍රය, ජීව විද්‍යාව, ආචාර විද්‍යාව , හේතුඵල වාදය වැනි ක්ෂේත්‍රයන්හි අධ්‍යයනයන් කළ ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් මධ්‍යකාලින යුරෝපයේ සමාජයට බලපෑ ප්‍රධානම දාර්ශනික මතවාදයන් විය. ඔහු විසින් රචනා කරන ලද කෘති අතරින් ‘Poetics’, ‘Metaphysics’, ‘Nicomachean Ethics’, ‘Politics’, ‘Rhetoric’, ‘Prior Analytics’ ප්‍රධාන වේ.

wikimedia

ඇරිස්ටෝටල් උපත ලබා ඇත්තේ ක්‍රි.පු. 384 දී මැසිඩෝනියාවේදිය. ඔහුගේ පියා රාජකීය වෛද්‍යවරයකු විය. අරිස්ටෝටල් ජීව විද්‍යාව කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූ අයෙක්ද විය. ඇරිස්ටෝටල් මිසියා නගරයේ වාසය කරන සමයේදී පයිතියාස් නම් කාන්තාව හා පළමු විවාහය සිදුකල බවත් ඔවුන් දෙදෙනාට දාව දියණියක් උපන් බවද සඳහන්. නමුත් ඇය මිය යාමෙන් යම් කලකට පසුව තවත් විවාහයක් සිදු කළ බවත් ඉතිහාසයේ සඳහන්.

ඇරිස්ටෝටල් මුලින්ම ප්ලේටෝගේ ඇකඩමියේ අධ්‍යාපනය සඳහා පිටවන්නේ වයස අවුරුදු 17 දිය. ප්ලේටෝ යටතේ අධ්‍යාපනය ලැබුවද ඇරිස්ටෝටල් සිය ගුරුවරයා සමග එකඟ නොවූ මතවාදයන් බොහෝ විය. මේ නිසා ඇරිස්ටෝටල් පසුව ප්ලේටෝගේ ඇකඩමිය හැරදා ගිය අතර පසු කලෙක තමන්ගේම පාසලක් අරඹනු ලබන අතර ඇය ලිසියම්(Lyceum) ලෙස හඳුන්වන ලදී. ක්‍රි.පු. 338දි ඇරිස්ටෝටල් සිය උපන් නගරය වන මැසිඩෝනියාව වෙත යන්නේ කිරුළ හිමි කුමාරයා වන ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරයා ලෙස අධ්‍යාපනය ලබාදීමටයි. පසු කලෙක දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩනැගු මහා ඇලෙක්සැන්ඩර් ඔහුය. ලිසියම් පාසල අරඹන්නේ ඇලෙක්සැන්ඩර්ගේ අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු නැවත ඇතැන්ස් වෙත යාමෙන් පසුය.

ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී රෆායල් විසින් සිතුවම් කළ ඇතන්ස්හි පාසල(ඇකඩමි) සිතුවමේ ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් (Wikimedia)

ඇරිස්ටෝටල්ගේ කෘති ඔහුගේ ශිෂ්‍යයකු වූ Theophrastus විසින් භාවිත කර ඔහුගේත් ශිෂ්‍යයකු වූ Neleus වෙත භාර දී ඇති අතර ඔහු විසින් එම කෘති ආරක්ෂිතව ගබඩා කර තබා ඇති අතර රෝම අධිරාජ්‍යය විසින් පසුව එම කෘති ලබාගන්නා ලදී. මේ තුළ බොහෝ අඩංගුව තිබුයේ ඇරිස්ටෝටල්ගේ ලිසියම් පාසලේ අධ්‍යයන පිලිබඳ තොරතුරුය.

බුද්ධිවාදය ඉවත දමයි

ඇරිස්ටෝටල් ජීව විද්‍යාවට විශේෂ උනන්දුවක් දැක්වූ නිසාම ඔහු යථාර්ථය අවබෝධ කරගැනීමේ මාර්ගය ලෙස ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය හඳුනාගන්නා ලදී. නමුත් ඔහුගේ ගුරුවරයා වූ ප්ලේටෝ විසින් ඉන්ද්‍රිය මගින් ලැබෙන සංවේදනයන්ගෙන් ලෝකය අවබෝධ කරගත නොහැකි බව පවසමින් යථාර්ථයේ සත්‍යය ඇත්තේ සිත තුල බවත් සිත පුහුණු කරමින් එය ගවේෂණය කළ යුතු බව ප්‍රකාශ කළ බුද්ධිවාදී මතවාදය බැහැර කරන ලදී. මෙය තවත් පැහැදිලි කරන්නෙ නම් ප්ලේටෝ ප්‍රකාශ කලේ අපගේ ශරීරයේ සංවේදනයන් අනුව දැනෙන පෙනන ඇසෙන දේ සත්‍යය නොවන බවත් එය තාවකාලික දේ බවයි. ඔබ ඉදිරියේ පුටුවක් ඇතැයි සිතන්න. ඇත්තෙන්ම එතන පුටුවක් ඇත්දැයි ඔබ දැනගන්නේ කෙසේද? පළමුව ඔබට එය පෙනේ. තවත් අවශ්‍ය නම් එය අල්ලා බැලිය හැක. නමුත් මෙය සැබෑම යථාර්ථය නොවන බවයි ප්ලේටෝ ප්‍රකාශ කළේ. නමුත් ඇරිස්ටෝටල් ඉන්ද්‍රිය බද්ධ සංවේදනයන් තුලින් යථාර්ථය අවබෝධ කළ හැකි බව පිළිගන්නා ලදී.

ඔබ පුටුවක් දකින්නේ නම් ඒ ඇත්තෙන්ම පුටුවක් ඇති නිසාද පුටුවක් ඇතැයි ඔබේ සිත පවසන නිසාද?(Ikea)

යථාර්ථය සහ බුද්ධිය

ඇරිස්ටෝටල්ට අනුව යථාර්ථය නම් සොබාදහමයි. එනම් අප අවට ඇති සියල්ලයි. මිනිසාගේ විඥාණය සකස්වන්නේ ඉන්ද්‍රිය මගින් ලබාගන්නා අත්දැකීම් මත බවත් කිසිදා ඉන්ද්‍රිය මගින් අත්දැක නොමැති දෙයක් මිනිස් විඥාණය තුල අඩංගු නොවන ඔහු පවසයි. ප්ලේටෝට අනුව සංකල්ප ලෝකයේදී සියලු දේ පිලිබඳ අත්දැකීම් ලබා මිනිසා මෙලොව ඉපදෙන නිසා සියල්ල අපගේ විඥාණය තුල අඩංගුව පවතී. එම ඉගැන්වීම ඇරිස්ටෝටල් විසින් බැහැර කරයි. තවද සංකල්ප යනු අප විසින් අත්දැකීම් ලබාගන්නා දේ ලක්ෂණ අනුව ගොනු කිරීම මගින් සකසා ගන්නා දෙයක් බවද පවසයි. නමුත් එවැනි සංකල්ප කිසිවක් යථාර්ථය තුල නැත. එය ඇත්තේ මිනිස් සිත තුලය. උදාහරණයක් ලෙස, මේ සිටින්නේ බලලෙකුය, මේ සුනඛයෙක්ය, මේ මිනිසෙක්ය, මේ ගසක්ය යනුවෙන් වර්ග කර ඇත්තේ මිනිසාගේ බුද්ධියෙන් මිස එවැනි වර්ගීකරණයක් සොබාදහම තුළ නැතිබව අවධාරණය කරයි. සංකල්ප සෑම විටම මිනිස් විඥාණය සමග ක්‍රියාත්මක වන්නක් බවත් සංකල්පවල ස්වාධින පැවැත්ම ප්‍රතික්ෂේප කරයි.

pnas

යථාර්ථය සකස්ව ඇත්තේ එකිනෙකින් වෙන්ව පැවති ද්‍රව්‍යයන් එක්වීමෙන් බවත් එසේ එක්වන්නේ ඒ ඒ වස්තුවට අදාලවන ආකෘතින් අනුව බවත් ඇරිස්ටෝටල් පවසයි. එය මෙසේ පැහැදිලි කළ හැක. රුධිරය, අස්ථි, මාංශ පේශි මිනිසාට අදාළ ආකෘතිය අනුව එක්ව මිනිසෙක් බිහිවේ.

තර්ක ශාස්ත්‍රය

තර්ක ශාස්ත්‍රය විද්‍යාවක් ලෙස සංවර්ධනය කරන ලද්දේ ඇරිස්ටෝටල් විසින්ය. සොබාදහමේ ඇති සියලු දේ විවිධ වර්ග ලෙස ගොනු කළ හැකි බවත්, සෑම වර්ගයක්ම ඊට වඩා විශාල වර්ගයක උප කුලකයක් බවත් ඇරිස්ටෝටල් හඳුනා ගන්නා ලදී. උදාහරණයක් ලෙස ඔබව සලකන්න. ඔබ අයිතිවන්නේ හෝමෝ සේපියන් සේපියන් ලෙස හඳුන්වන මානව වර්ගයටය. තවද ඔබ පෙරදිග සම්භවයක් ඇති අයෙකි. තවද ඔබ ශ්‍රී ලංකාවේ වැසියෙකි. තවද ඔබ වාසය කරන්නේ X දිස්ත්‍රික්කයේය. තවද ඔබ එහි කරන්නෙ Y රැකියාවය. තවද ඔබ Z නමින් හඳුන්වන තැනැත්තාය. මේ ආකාරයෙන් සියලු දේ ගොනු කළ හැකි බවත්, සෑම ගොනුවකම අයිතිවන ඊට වඩා විශාල තවත් ගොනුවක් ඇති බවත් ඇරිස්ටෝටල් විසින් පෙන්වයි.

සෑම ගොනුවකම ඊට වඩා විශාල ගොනුවකට අයිතිය (Wikimedia)

ඇරිස්ටෝටල්ගේ මෙම තර්ක ක්‍රමය ද්විකෝටික තර්ක ක්‍රමයකි. එනම් පිළිතුරු දෙකින් එකක් නිවැරදි විය යුතුය. ඔබ ලංකාවේ ජිවත් වේද? පිළිතුර ඔව් හෝ නැත දෙකෙන් එකකි. ඔබේ ඊයේ රැකියාවට පැමිණියාද? පිළිතුරු ඇත්තේ දෙකෙන් එකක් බව අපට පෙනෙයි. (තවත් මෙවන් උදාහරණ අත්හදා බලන්න) නමුත් මෙහි දුර්වලවතාවක් ඇත. එය ඇරිස්ටෝටල් නොදුටු දෙයකි. පිළිතුරු දෙකකින් එකක් තේරීම මගින් විසඳිය නොහැකි ගැටළු ඇත.

mazewomenshealth

මෙම ගැටළුව සලකන්න. ඔබ සොරකමට සම්බන්ධ වුයේ ජෙහාන් සමගද? මිට ඔව් හෝ නැත පිළිතුරු මගින් නිවැරදි පිළිතුරක් දීම නොහැකිවන අවස්ථාවක් ඇත. ඔබ සැබෑ ලෙසම ජෙහාන් සමග සොරකමට සම්බන්ධ වුණි නම් ඔව් ලෙසද, සොරකම කළේ ජෙහාන් සමග නොව වෙනත් අයෙක් සමග නම් නැත ලෙසද පිළිතුරු දිය හැක. නමුත් ඔබ එවැනි ක්‍රියාවකට සම්බන්ධ නොවුයේ නම්? එසේනම් එය ද්විකෝටිකයෙන් පිළිතුරු නොදිය හැකි අවස්ථාවකි. එය චතුර්කෝටික අවස්ථාවකි. අවස්ථා හතරක සම්භාවිතාවක් ඇත. ජෙහාන් සමග සොරකම කළ, වෙනත් අයෙක් සමග සොරකම කළ, ජෙහාන් සමග සොරකම නොකළ, වෙනත් අයෙක් සමග හෝ සොරකම නොකළ යන අවස්ථා හතරයි. මෙය චතුර්කොටිකයෙන් එහාට අනන්ත ප්‍රමාණයක් දක්වා දිගු කළ හැක්කකි. ඉහත ගැටලුවටම තවත් කොටස් එක්කර බලන්න. ඊයේ ජෙහාන් සමග සොරකම, ඊයේ ජෙහාන් සමග පිටකොටුවේ සොරකම…..

කාන්තාව පිළිබඳව

මින් පෙර ලිපියකදී පැවසු පරිදි ප්ලේටෝ කාන්තාවගේ සම අයිතිය වෙනුවෙන් හඬ නැගු ආදිතම දර්ශයනිකයෙක් විය. නමුත් ඔහුගේ ශිෂ්‍ය ඇරිස්ටෝටල් ස්ත්‍රිය පිළිබඳව දරන ලද්දේ ඊට හාත්පසින්ම වෙනස් අදහසකි. ඇරිස්ටෝටල් ප්‍රකාශ කළේ ස්ත්‍රිය යනු අසම්පුර්ණ පුරුෂයකු බවයි. තවද ප්‍රජනන ක්‍රියාවේදී පුරුෂයා විසින් සක්‍රියව ලබාදෙන ශුක්‍රානු කාන්තාව අක්‍රිය ලෙස ලබා ගනීද එම නිසා සක්‍රියව ප්‍රජනන ක්‍රියාවට දයකවන පුරුෂයාගේ ලක්ෂණ පමණක් දරුවට හිමි බවද පවසන ලදී. බොහෝ අවස්ථාවන්හිදී අතීතයට වඩා ඉදිරිගාමී අදහස් ප්‍රකාශ කළද කාන්තාව සම්බන්ධ කාරනයේදී ඇරිස්ටෝටල් අතිශය පුරුෂාධිපති මෙන්ම අසත්‍යය මත ඉදිරීපත් කර ඇති බව පෙනේ.

expresszine

සියල්ලට ආකෘතියක් ඇත

ඇරිස්ටෝටල් පවසන පරිදි සෑම ද්‍රව්‍යයකටම ඊට විශේෂ වූ ආකෘතියක් ලබා ගැනීමේ හැකියවක් ඇත. මෙහි ආකෘතිය යනු භෞතික ලක්ෂණයක් නොව ඊට අදාළ ගුණාත්මක ලක්ෂණයන්ය. වස්තුන් තුළත් සතුන් තුළත් මෙය දක්නට ඇත. ගලක් නම් ඊට අදාළව ආකෘති ඇත. බිම වැටීම ගලෙහි ආකෘතියයි. අප අද එය ගුරුත්වය ලෙස අවබෝධ කරගන්නා නමුත් ඇරිස්ටෝටල් එදා ප්‍රකාශ කළේ එය අදාළ වස්තුවේ ආකෘතිය බවයි. මෙම ආකෘතින් වස්තුන් සහ සතුන් අතර අනොන්‍යය වශයෙන්ද ඇතිවිය හැක. උදාහරණයක් ලෙස බිත්තරය නමැති වස්තුවෙන් කුකුළු පැටවා නම් සතෙකු බිහිවේ. එසේම කිකිළිය විසින් බිත්තර දමයි. බිත්තරයෙන් පැටවා බිහිවීමත්, කිකිලියගෙන් බිත්තරයක් ඇතිවීමත් එම වස්තුවේ සහ සත්වයාගේ ආකෘතියයි.

tickikids

හේතුඵලවාදය

ඇරිස්ටෝටල් පවසන ආකාරයට සෑම සිදුවීමකටම බලපානු ලබන හේතූන් හතරක් පවතී. ඒවා නම් භෞතික හේතුව, කාර්යක්‍ෂම හේතුව, විධිමත් හේතුව සහ අවසාන හේතුව යි. මෙය උදාහරණයක් ඇසුරින් සලකා බලමු. වර්ෂාව ඇතිවීම සැලකීමේදී අදාළ තත්ත්වයන් නිශ්චිත මොහොත තුළ සිදුවීම එනම්, තෙතමන සහ ශීතල සහිත අවස්ථාවක එහි වලාකුලක් පැවතීම භෞතික හේතුව ලෙස ඔහු සලකයි. එසේම කාර්යක්‍ෂම හේතුව නම් තෙතමනය සහ ශීතල ඇතිවීමයි. එනම් අදාළ සිදුවීම සිදුවීමට අවශ්‍ය තත්ත්වය පාරිසරික තත්ත්වය ඇතිවීමයි. විධිමත් හේතුව නම් අදාළ ද්‍රව්‍යයන්ගේ ආකෘතියයි. එනම් ජලයේ ස්වභාවය ඉහල සිට පහලට වැටීමයි. එම නිසා අහසේදී ජලය බවට පත්ව වර්ෂාව ලෙස පොළොවට පතිත වේ. අවසාන හේතුව ලෙස ඇරිස්ටෝටල් හඳුන්වන්නේ මෙම සෑම සිදුවීමකටම අරමුණක් ඇති බවයි. එනම් ගස්වැල් සතුන් වර්ධනය වීම සඳහා වර්ෂාව ලැබේ. ඒ අනුව ලොව සෑම භෞතික සිදුවීමක් පිටුපසම අරමුණක් ඇති බව ඔහු පවසයි.

youtube

ජීව විද්‍යාව

ඇරිස්ටෝටල් වඩාත් උනන්දුව දැක්වූ විෂය වුයේ ජීව විද්‍යාවයි. ඔහු විසින් පරිසරය මුලිකව කොටස් දෙකකට බෙදා වෙන් කරන ලදී. ඒ ජීව සහ අජීව ලෙසයි. ජීව ලෝකය ශාක සහ සතුන් ලෙසත් සතුන් නැවත මිනිසා සහ සතුන් ලෙසත් වර්ගීකරණය කරන ලදී. ඇරිස්ටෝටල් මෙම වර්ගීකරණය තුළ පවසන දෙයක් වන්නේ මේ සෑම කොටසක් තුළම යම් යම් කාර්යයන් සිදුකල හැකි වීමත් යම් දේ නොහැකි වීමත්ය. එනම් අජීව වස්තුන්ට වස්තුන් ලෙස ඊට අදාළ ආකෘතින් සමග පැවතීම පමණක් ඇත. ගලකට බිම වැටීමේ ආකෘතිය ඇත. සවිමත් බව ඇත. ජීවි ලෝකයේ ශාක සැලකු විට වර්ධනය වීමටත්, වර්ගයා බෝ කිරීමටත් හැක. සතුන්ට එම ශාකවල හැකියාවන් ඇති අතරම ශාක සතු නොවන ගමන් කිරීම ඇසීම දැකීම වැනි ගුණයන් ඇත. මිනිසාට එම සියල්ලම සහ සිතීමේ හැකියාවද ඇත. කිසිදු සත්වයෙකුට එම හැකියාව නොමැත. එනම් සියල්ල අතරින් උසස් වන්නේ මිනිසාය.

playbuzz

ඇරිස්ටෝටල්ගේ දර්ශනය තුළ භෞතිකවාදී ඉගැන්වීම් විවිධ දෝෂ සහිතව පැවතුන නමුත් ඔහු මූලිකව​ විඥාණවාදී විය. ඔහුට අනුව ලොවේ සියලු චලිතයන් අරඹන ලද්දේ දෙවියන් වහන්සේ කෙනකු විසිනි. ලොව සියලු දේ චලිත වෙමින් පැවතීම ඔබට පැහැදිලි ඇතැයි සිතමු. එනම් මේ සියලු දේ වෙනස් වෙමින් පැවතීමයි. වෙනස් වීම යනු චලිතයේ පැවතීමයි. ඇරිස්ටෝටල්ට අනුව එය දෙවියන්ගේ මෙහෙයවීමෙන් අරඹන ලදී.

ඇරිස්ටෝටල් පැවසුයේ මිනිසා ස්වභාවයෙන්ම දේශපාලනික සත්වයෙක් බවයි. ඔහුට අනුව රාජ්‍යය පාලනයේදී ආකාර තුනක් ඇත. රාජාණ්ඩු ක්‍රමය, රදළ ආණ්ඩුව සහ සංවිධානාත්මක සමාජය එනම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එම ආකාර තුනයි.

මිනිසාට යහපත් ජීවිතයක් ගතකිරීමට නම් සමතුලිතව පවත්වාගත යුතු අංශ තුනක් ඔහු සඳහන් කරයි. මිනිසා ප්‍රීතිමත් ජිවිතයක් ගත කළ යුතුය. එසේම නිදහස් වගකිව යුතු පුරවැසියකු විය යුතුය. එසේම මිනිසා චින්තකයකු විය යුතුය. මෙම අංශ තුන සමබරව පවත්වා ගැනීමෙන් යහපත් ජිවිතයක් ගතකළ හැකිබව ඇරිස්ටෝටල් පවසයි.

ලෝකය පිලිබඳ විග්‍රහ කිරීමට උත්සහ කරමින් විද්‍යාවන් වර්ගිකරණය කළ, තර්ක ශාස්ත්‍රය හඳුන්වාදුන්, පද්‍ය රචනය පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනක් සිදුකළ, ජීව විද්‍යාවට විශාල සේවයක් කළ එසේම දේශපාලනය පිළිබඳව බොහෝ විග්‍රහ ඉදිරිපත් කළ ඇරිස්ටෝටල් දාර්ශනිකයා ක්‍රි.පු. 322 දී මිය ගිය බව ඉතිහාසය පවසයි.

ඇරිස්ටෝටල් මෙසේ පවසයි.

‘සියලු ඥාණයන් ලැබීමේ ආරම්භය තමන් පිලිබඳ දැනීමයි’

මුලාශ්‍ර: https://www.biography.com/people/aristotle-9188415

සොෆිගේ ලෝකය- යුස්ටයින් ගෝඩර්

කවරයේ පින්තුරය: theodysseyonline

Related Articles