Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රතිසංස්කරණ කටයුතුවල මුවාවෙන් කැඩූ බැංකුව

බ්‍රසීලයේ සාඕ පෞලෝ හි පිහිටි Banco Itaú බැංකුවේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙමින් පවතිද්දී, 2011 අගෝස්තු 27 දා රාත්‍රී 11:50ට අළු පැහැති නිල ඇඳුම්වලින් සැරසුණු පිරිසක් එයට ඇතුළු වුණා. අභ්‍යන්තරික අලුත්වැඩියාවන් වෙනුවෙන් පැමිණි පිරිසක් ලෙස පෙනී සිටි නිසා බිම් මහළේ රථගාලේ සිටි ආරක්ෂක අංශ ඔවුන්ව සැක කළේ නැහැ.

කොල්ලයේ CCTV දර්ශනයක් (cbsistatic.com)

බැංකුවට ඇතුළු වූ ඔවුන් ප්‍රධාන මහළේ සිටි ආරක්ෂක නිලධාරීන් තමා යටතට ගනිමින්, අනතුරු සංඥා අක්‍රීය කරවා ගත්තා. අනතුරුව බැංකු සේප්පු කැඩිය හැකි විශේෂ උපකරණවලින් සන්නද්ධ වූ දෙවන කණ්ඩායමක් ද ඇතුළට ගෙන්වා ගත්තා. මේ අතරේ තවත් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටත රැඳී සිටිමින් බාහිර සිදුවන දේ පිළිබඳව ඇතුළතට දැනුම් දෙමින් සිටියා.

ඔවුන් ඉදිරි පැය 10ක් තුළ දී ධනවත් බැංකු පාරිභෝගිකයන් එකසිය විසි දෙනෙකුට අයත් සේප්පු 170ක තිබූ භාණ්ඩ සොරාගත්තා. ඒ අතරතුර බාහිරින් ආහාරත් ඇණවුම් කරගත්තා. පසුදින උදෑසන වන විට ඔවුන් මුදල්, පෞරාණික ස‍ුඛෝපබෝගී ඔරලෝසු, රන් කැට, රතු කැට, මරකත වැනි මැණික් වර්ග සහ දියමන්ති විශාල ප්‍රමාණයක් ද සමග නිදහසේ පිටව ගියා. ඒවායේ වටිනාකම ඩොලර් මිලියන 58.5ක් පමණ වුණා.

සොරාගත් භාණ්ඩවලින් රක්ෂණය කර තිබුණේ ඉතා සුළු ප්‍රමාණයක් පමණ යි. සාමාන්‍යයෙන් බැංකුවක් පාරිභෝගිකයින් සිය ආරක්ෂිත සේප්පුවල තැන්පත් කරනා දේ ගැන ඔවුන්න්ගෙන් විමසන්නේ නැහැ. Banco Itaú වෙතින් සේප්පුවකට ඩොලර් 8,800ක වගකීමක් දැරූ අතර, ඩොලර් 117,000කට දක්වා වටිනාකමකට වෙනම රක්ෂණ ආවරණයක් ද ලබා ගත හැකි වන සේ පහසුකම් සලසා තිබුණා. බොහෝ දෙනෙකු එය නොසලකා හැර තිබූ අතර, අවසානයේ සිදුවූයේ කිසිවකුත් නොසිතූ විරූ අන්දමේ අකරතැබ්බයක්.

ගුවන් සමාගමකට ඔවුන්ගේ ගුවන් යානයක් කඩා වැටුණාක් බඳු වගකීමක් සහ පාඩුවක් මෙම සිද්ධියෙන් බැංකුවට අත්විඳින්නට සිදු වුණා. කළමනාකරුවන් 70 දෙනෙකු පමණ ඔවුන්ගේ දෛනික රාජකාරිවලින් මුදවා, ඔවුන්ගේ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව පාරිභෝගිකයන්ට පෞද්ගලිකවම දැනුම් දීමට යොදවා තිබුණා. Forbes වාර්තා කරන්නේ එහිදී ඇති වූ කම්පනයන් හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන්ට වෛද්‍ය සහාය පවා අවශ්‍ය වූ බව යි.

සොරුන් බැංකුවේ රැඳී සිටි කාලය තුළ එකදු තුවක්කුවකින් උණ්ඩයක් පිට නොවීම විශේෂත්වයක්. ආහාර දවටන, බිත්ති විදීමට ගන්නා උපකරණ, දාහකයක්, සහ දම්වැල් කියතක් ඔවුන් බැංකුව තුළ අතහැර දමා ගොස් ආකාරය දකින්නට ලැබුණා.

මෙතරම් යමක් සිදුවූවාට පසු පොලීසිය වහ වහා ක්‍රියාත්මක වන්නට ඇතැ යි ඔබ සිතන්නට ඇති. මන්ද, අපරාධයක් සිදුවූවාට පසු නිවැරදි සාක්ෂ්‍ය ලබා ගැනීමට නම් සිද්ධියෙන් පසු පැය 48ක් තුළවත් ක්‍රියා කිරීම අනිවාර්ය කටයුත්තක්. එනමුත් පොලීසිය තම රාජකාරි කටයුතු ඇරඹුවේ සතියකුත් ගතවූවාට පසුව යි. බැංකුවේ සිටි ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් කර ඇත්තේ දින 11කටත් පසුව වන අතර, මේ නිසාම බැංකු පාරිභෝගිකයන්ට තම වියදමින් පෞද්ගලික විමර්ශන නිලධාරීන් (රහස් පරීක්ෂකයන්) යොදවන්නට සිදු වූවා.

විමර්ශන පමා වීමට හේතුව ලෙස මත පළවූයේ සාඕ පෞලෝ පොලීසිය අපරාධකරුවන්ගෙන් අල්ලස් ලබාගෙන ඇති බවට යි. එරට පොලිස් ඉතිහාසය තුළ සිදුව තිබූ අල්ලස් ගැනීම් සම්බන්ධ සිද්ධීන් එම මතයට තවත් උල්පන්දම් දෙනු ලැබුවා. මෙම සොරකමට සහභාගී වූ පිරිස අතර සිටි ඇතැමුන්, පෙර ලිපියේ සඳහන් කළ බ්‍රසීල මහ බැංකු ජාවාරමටත් සම්බන්ධ අය බව යි පසුව සොයා ගැනුනේ.

මෙම මංකොල්ලය සහ ඉන් පසුව සිදු කළ අකාර්යක්ෂම පරීක්ෂණයෙන් බ්‍රසීලය තවමත් මුහුණ දී සිටින ආරක්ෂක අභියෝග හොඳින් පැහැදිලි වෙනවා. සමහර අංශවල සැලකිය යුතු ප්‍රගතියක් තිබුණත්, අඛණ්ඩව සිදුවන මෙවන් අපරාධ නිසා එරට ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙනවා. රටක් වශයෙන් ඉදිරියට යාමටත්, ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් රටක් බවට පත්වීමටත් බ්‍රසීලයට පවතින විශාලතම බාධකවලින් එකක් බවට මෙම අපරාධ රැල්ල පත්ව තිබෙනවා.

Related Articles