ඒ 1764 වර්ෂය යි. ප්‍රංශය මේ කාලයේ දී ගෙවමින් සිටියේ ඉතා අසීරු කාලපරිච්ඡේදයක්. සත් අවුරුදු යුද්ධය අවසන් වී වසරක් පමණ ගෙවී ගියත් ඉන් ඇති වූ බලපෑම නිසා ආර්ථික වශයෙන් ප්‍රංශ සමාජය විශාල පසුබෑමකට ලක් ව තිබුණා. ප්‍රංශයේ ජනාකීර්ණ ප්‍රදේශ රැසකට මේ ගැටලු බලපා තිබුණත් ග්‍රාමිය ප්‍රදේශවල තිබුණේ ඊට හාත්පසින් ම වෙනස් සන්සුන් සාමකාමී පරිසරයක්. එවැනි සාමකාමී ගම්මාන අතරින් දකුණු ප්‍රංශයේ ජෙවූඩන් (Gévaudan) ගම්මානයත් ප්‍රධාන ස්‍ථානයක් ගත්තා. ඒත් ඒ සාමකාමී බව වැඩිකලක් පැවතුණේ නෑ.සියල්ල එක රැයකින් වෙනස් වුණේ දරුණු මෘගයකුගේ ආගමනයත් සමඟ යි.
වෘකයෙක් වැනි එහෙත් වෘකයෙක් නොවන
1764 ජූනි 30 වෙනිදා ජෙවූඩන් ගම්මානයේ වැසියන්ට තවත් සාමාන්‍ය දිනයක් වුණේ නෑ. එදින තම පවුලේ ගව පට්ටිය බලා ගනිමින් සිටි ජීන් බූලට් නම් 14 හැවිරිදි දැරියක් යමකු පහර දී මරා දමා තිබුණා. ඝාතකයා කවුරුන්දැයි සොයා ගැනීමට ගම් වැසියන් උත්සාහ දැරුවත් ඝාතකයාගේ කිසිම සලකුණක් දක්නට ලැබුණේ නෑ. ඊට මාස දෙකකට පෙර ජෙවූඩන්හි ගවයන් බලා ගනිමින් සිටි තවත් දැරියක් තමන්ට දැවැන්ත සතකු පහරදීමට තැත් කළ බවට පවසා තිබුණා. ඇය මේ සතා විස්තර කර තිබුණේ ” වෘකයෙක් වැනි එහෙත් වෘකයෙක් නොවන” ලෙසයි.
කෙසේ හෝ වේවා ගැමියන්ට ටික දිනෙකින් සිද්ධි දෙක ම අමතක ව ගියා. අගෝස්තු 8 වෙනි දා තවත් දැරියක් ඝාතනය වුණේ ජෙවූඩන් ගම් වැස්සන් නැවත බියපත් කරමින්. අවසන් හුස්ම හෙළන විට ඇය තමාට යම් සතෙක් පහර දුන් බවත් ඌ “බිහිසුණු මෘගයෙක්” බවත් පවසා තිබුණා.
ඉන්පසු ඇරඹුණේ නොනවතින ඝාතන රැල්ලක්. අගෝස්තු මස අවසානයේ දී, බැටළුවන් බලා ගනිමින් සිටි තවත් කුඩා පිරිමි ළමයකු අතුරුදහන් වූ අතර, අර්ධ වශයෙන් අනුභව කළ ඔහුගේ මළසිරුර වනාන්තරයෙන් හමුවුණා. සැප්තැම්බරයේ දී මෙවැනි ඝාතන හතරක් සිදූවීමත් සමඟ මේ හුදෙකලා කඳුවැටියේ තමන් සැබවින්ම හුදෙකලාව නැති බව ජෙවූඩන් ගම්වැසියන්ට වැටහෙන්නට ගත්තා.
දඩයම ඇරඹෙයි
මේ බිහිසුණු මෘගයා දඩයම් කිරීමට ජෙවූඩන් ගම්වාසීන් දැවැන්ත මෙහෙයුමක් ඇරඹුවා. මේ මෙහෙයුමට ප්‍රංශ පාබළ හමුදාවේ කපිතාන් ජීන්-බැප්ටිස්ට් ඩුහැමෙල් සහ ප්‍රාදේශීය රාජ්‍ය නියෝජිතයකු වූ එටියන් ලෆොන්ට් සමඟ ස්වේච්ඡා සේවකයන් 30,000ක් එක්වූ බව සඳහන්.
ඔවුන් ජෙවූඩන් අවට වනාන්තරබද ප්‍රදේශ පීරමින්, විෂ සහිත ඇම සහිත උගුල් අටවමින් මෘගයා අල්ලා ගැනීමට ප්‍රයත්න දැරුවා. මේ කාලයේදි ජෙවූඩන් මෘගයා ගොදුරු කර ගන්නේ කාන්තාවන් හා ළමයින් පමණක් බවට වූ මතයක් සමාජගත ව තිබුණා.ඒනිසා සමහරුන් ස්වේච්ඡාවෙන් කාන්තාවන් මෙන් ඇඳ පැළඳ ගෙන මේ දඩයමට එකතුවුණේ සත්ත්වයා කෙසේ හෝ ආකර්ශනය කරගැනීමට යි.
මේවනවිට ජෙවූඩන් හි ක්‍රියාත්මක වන මේ දඩයම ගැන පුවත ප්‍රංශය පුරා පැතිර ගොස් තිබුණා. මේ සත්ත්වයාට “ජෙවූඩන්හි මෘගයා”( La Bête du Gévaudan) නමින් නමක් ද පටබැඳී තිබුණා. ප්‍රංශ රාජාණ්ඩුව, මේ සතා මරා දමන්නකුට ලීවර් (livre) 6000ක ත්‍යාග මුදලක් ප්‍රදානය කරන බව දැන්වූවා. මේ නිසා දඩයමට තව තවත් පිරිස් ප්‍රංශයේ නන් දෙසින් පැමිණෙන්න ගත්තා.
දඩයම්කරුවන් කෙතරම් සිටියත් ජෙවූඩන් මෘගයාගේ ප්‍රහාර නැවතුණේ නෑ. කෙටිකලක් තුළ ළමයින් හා කාන්තාවන් විශාල සංඛ්‍යාවක් මෘගයා අතින් ඝාතනය වුණා. දඩයම්කරුවන් රැසක් මේ සත්ත්වයා මුහුණට මුහුණ හමුවුවත් ඔවුන්ට සතා මරාදැමීමට හැකිවුණේ නෑ. එයට මේ සතාගේ පෙනුමට බියපත් වීම, දඩයම්කරුවන්ට වඩා සත්ත්වයා ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සහ මෘගයා සාමාන්‍ය සතකුට වඩා කපටි බුද්ධිමත් ආකාරයෙන් හැසිරීම යන කරුණු හේතුවුණ බව ලේඛන අනුව පෙනීයනවා. කොටින් ම වෘකයන් 1,000කට වඩා මරා දමා පළපුරුද්දක් තිබූ ප්‍රංශයේ නෝමැන්ඩි ප්‍රදේශයේ සිට ආ පිය-පුතු කණ්ඩායමක් පවා ජෙවුඩන් මෘගයා දඩයම් කිරීමට පිවිසුණත් ඔවුන් පවා අසාර්ථක කරවන්නට තරම් මෘගයා දක්ෂ වුණා.
මෘගයාගේ හැඩරුව
ජීන් ඩුහැමෙල් පවා මේ සත්ත්වයාව මුහුණට මුහුණ හමුවනවා. ඩුහැමෙල් මේ සත්ත්වයා විස්තර කරන්නේ “අශ්වයකු තරම් පළල් පපුවක් ඇති, දිවියකුගේ තරම් දිග සිරුරක් ඇති කළු ඉරි සහිත රතුලොම්වලින් ගහණ වෘකරූපි සතකු” ලෙසයි.
මේ කාලයේ මේ මෘගයා දුටු බව කියන දඩයක්කරුවන් විවිධාකාරයේ කතන්දර පතුරුවා හැරියා. පිරිසක් මේ සතා පාද දෙකෙන් සිට ගන්නා බව කියනවිට තවත් පිරිසක් මේ ජීවියාගේ සමට වෙඩි උණ්ඩවලට ඔරොත්තු දීමට සහ විකර්ෂණය කිරීමට හැකියාව ඇති බව තැන තැන පැවසුවා. තවත් වාර්තාවක දඩයක්කරුවන් පිරිසක් මෘගයා වටකොට වෙඩි තබා මෘගයාගේ නිසල සිරුර බිම පතිත වූ බවත්, ඔවුන් ඒ සිරුරට ළංවත් ම මරණින් පිබිදුණා සේ මෘගයා නැගී සිට වනයට නැවත දිව ගිය බවත් සඳහන් වෙනවා.
මෘගයාට එරෙහි වීරත්වය
ජෙවූඩන් මෘගයා සැමවිට ම පාහේ ඉලක්ක කළේ කුඩා දරුවන් හා කාන්තාවන්. තම ගොදුරේ ගෙලෙන් විකා ගෙල කඩා මරා දැමීම මේ සතාගේ උපක්‍රමය වුණා. මේ නිසා එකල ගමන් බිමන් යන ළමයින් සහ කාන්තාවන් විවිධ ආයුධවලින් සන්නද්ධ ව සිටියේ පූර්වෝපායක් වශයෙනු යි. මෙවැනි ළමයින් පිරිසකට 1765 ජනවාරි 12 වන දින මෘගයා පහර දුන්නා. ඒ පිරිසේ සිටි 10 හැවිරිදි ජැක් පෝට්ෆායික්ස් (Jack Portefaix) පොලු ප්‍රහාරයක් දියත් කොට මුර්ගයා පලවා හැරියා. ඔහුගේ වීරත්වය නිසා රජු ඔහුට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කළ බවට සඳහන් වනවා.
මෘගයා හමුවේ තම වීරත්වය පෙන් වූ එක ම චරිතය ජැක් නොවේ. 19 හැවිරිදි මාරි-ජීන් වැලට් නම් තරුණිය 1765 අගෝස්තු 11 වන දින ඇගේ සහෝදරිය සමඟ ඩෙස්ජෙස් ගඟ (River Desges) තරණය කරමින් සිටිය දී මෘගයාගේ ප්‍රහාරයට ලක්වෙනවා. එවිට තමා අත වූ බයිනෙත්තුවෙන් සන්නද්ධ වූ වැලට් මෘගයාගේ පපුව බයිනෙත්තුවෙන් පසාරු කොට තිබෙනවා.ඉන් තුවාල ලබන මෘගයා වැලට් අතැර පලා යනවා. මේ වීර ක්‍රියාව නිසා මැය “Maid of Gévaudan” ලෙස ප්‍රසිද්ධ වුණා.
ඇන්ටොයින්ගේ දඩයම
දඩයක්කරුවන් තවදුරටත් මෘගයා ඇල්ලීමෙහි අසමත් වූ නිසා 16 වෙනි ලුවී රජු ඔහුගේ පුද්ගලික ආරක්ෂකයා වූ ෆ්‍රැන්සිස් ඇන්ටොයින් (François Antoine) ජෙවූඩන්වලට පිටත් කරනවා.
ඇන්ටොයින් තම දඩයම අරඹා කෙටි කලකින් ඔහු සහ ඔහුගේ මිනිසුන් 1765 සැප්තැම්බර් 20 දින යෝධ වෘකයකුට වෙඩි තබා මරා දමා ඒ සිරුර පුරවා ඔහු ජෙවූඩන් මෘගයා මරා දැමු බව ප්‍රංශ මාලිගාවට දන්වනවා. ඒනිසා ත්‍යාග මුදල ඇන්ටොයින්ට හිමි වුණා. ඇන්ටොයින් ජෙවූඩන් මෘගයා මරා දැමූ බවට ගම්වාසිනුත් පිළිගන්නවා. ඉතින් ඔවුන් සැනසීමෙන් සුපුරුදු ජිවිතයට පිය නඟන්නට සිතා ගත්තත් කෙටි කලකින්, එනම් 1765 දෙසැම්බර් මාසයේ දී නැවතත් මෘග ප්‍රහාර ආරම්භ වනවා.
භීෂණයේ අවසානය
මේ වතාවේ, මෘගයා වඩාත් දරුණු හා නිර්භීත බවක් පෙන්වන්නට පටන්ගෙන තිබුණා. ජෙවූඩන් ගම්වැස්සන් තව තවත් භීතියට පත් කරමින් මෘගයා මිනිසුන් විශාල සංඛ්‍යාවක් මරා දමනවා. බිහිසුණු සත්ත්වයාගේ ගේ භීෂණ පාලනය නිමා වන්නේ 1767 ජූනි 19 වන දින යි. එදින ප්‍රදේශයේ ගොවියකු වූ ජීන් චැස්ටෙල් (Jean Chastel) විශාල වෘකයකුට සමාන එහෙත් වෙනස් ලක්ෂණ දැරූ සතකු රිදී උණ්ඩයකින් වෙඩි තබා මරා දමනවා.
ගම්වාසීන් මේ වෘකයා කපා විවෘත කොට ඔහුගේ ආමාශය තුළ වූ මිනිස් අවශේෂ සොයා ගන්නවා. මේ අනුව, ජෙවූඩන් මෘගයා අවසානයේ සැබවින් ම මරා දැමූ බවට ගම්වාසීන්ට නැවත විශ්වාසයක් ඇතිවනවා. ඒ විශ්වාසය 100%ක් තහවුරු කරමින් එදායින් පස්සේ පහර දීම් නතර වුණා.භීෂණ කාලය අවසන් වන විට ජෙවූඩන් මෘගයා අතින් මිනිසුන් සිය ගණනක් මිය ගොස් තිබුණා.
ජෙවූඩන් මෘගයාගේ අනන්‍යතාව
ජෙවූඩන් මෘගයාගේ අනන්‍යතාව සම්බන්ධ ව අදටත් ඇත්තේ ප්‍රශ්නාර්ථ ම පමණ යි. විවිධ විද්වතුන් විවිධාකාරයේ අදහස් මේ සම්බන්ධ ව ඉදිරිපත් කර තිබෙනවා. පොදුවේ බොහෝ දෙනා ඉදිරිපත් කරන මතය වන්නේ මේ සත්ත්වයා ජලභීතිකාව වැලඳුණු වෘකයකු විය හැකි බව යි. එහෙත් පහර කෑමට ලක්ව බේරුණු පුද්ගලයන්ට ජලභීතිකාව වැලඳුණු බවට පැහැදිලි වාර්තා නම් නැහැ. ඒ අනුව මේ වෘකයා යම් තුවාලයක් හෝ ආබාධයක් නිසා සාමාන්‍ය සතුන් දඩයම් කිරීම අතහැර මිනිසුන් වැනි පහසු ගොදුරු දඩයමට පුරුදු වූ වෘකයකු විය හැකි බව ඔවුන් විකල්ප මතයකුත් ඉදිරිපත් කරනවා.
මීට අමතර මෘගයාගේ අනන්‍යතාව ගැන ඇති අදහස්වලින් සමහර ඒවා පුදුමසහගත උපකල්පන යි. ඊට ආසන්න උදාහරණ ලෙස මේ සත්ත්වයා නරවෘකයෙක් (werewolf) යැයි පැවසෙන උපකල්පනය දැක්විය හැකියි. චැස්ටෙල් මේ මෘගයා මරා දැමුයේ රිදී උණ්ඩයකින් වීම මේ උපකල්පනය තව ඔප්පු කරන සාධකයක් ලෙස ඒ සම්බන්ධ ව කරුණු දක්වන්නන් පවසනවා.
තවත් මතයක් වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගවල වාසය කොට වඳවී ගියා යැයි සැලකෙන ඩයර්වෘකයා (dire wolf), හයිනොඩොන් (hyaenodon) වැනි සතුන් මේ විස්‍තර හා කදිමට ගැළපෙන බව යි. ප්‍රාග් ඓතිහාසික යුගවල වාසය කළ සත්ත්වයකු සියවස් ගණනාවකට පසු එක වර පෙනී සිටීම පිළිගත නොහැකි නිසා මේ මතයට වැඩි අවධානයක් ලැබී නැහැ.
තවත් පිරිසකගේ මතය වන්නේ ජෙවූඩන් මෘගයා ප්‍රංශයේ ධනකුවේරයකු එරටට ගෙන්වා පසු ව වනයට නිදහස් කළ හයිනාවෙක් හෝ සිංහයෙක් වැනි විදේශීය විලෝපික සත්ත්වයකු විය හැකි බව යි.
ජෙවූඩන් මෘගයා සැබැවින් ම සතකු නොවන බවට පිළිගන්නා පිරිසකුත් සිටිනවා. ඔවුන්ට අනුව මේ සියල්ලේ වරදකරු අන් කවරකුත් නොව දාම ඝාතන රැල්ලක් සිදුකොට සතකු පිටින් යවා බේරි සිටී ජෙවූඩන්හි ගම් වාසියෙක්. අදහස්, සිද්ධාන්ත, උපකල්පන කෙතෙක් ඉදිරිපත් ව තිබුණත් අදටත් 1764 දි ප්‍රංශය ම බියපත් කළ මෘගයාගේ අනන්‍යතාව ඉතිහාසයේ නොවිසඳුණු තවත් එක් අභිරහසක්.