බීඩි, ලංකාවේ අඩු ආදායම්ලාභීන් අතර ප්‍රසිද්ධියක් උසුලන දුම්වැටි වර්ගයක්. තරමක් දැඩි ගන්ධයක් සහිත වුවත් සාමාන්‍ය සිගරෙට්ටුවක මිලෙන් දහයෙන් පංගුවකටත් අඩුවෙන් මිලට ගත හැකි නිසා බීඩි ලංකාවේ උප සංස්කෘතියක් බවට පත්වී හමාර යි.
බීඩි සෑදීමේ හා ඒවායේ දුම් ඉරීමේ පුරුද්ද ආරම්භ වූ බවට සැලකෙන්නේ 17 වන සියවසේ අග භාගයේ දී යි. ඒ දුම්කොළ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ඉන්දියාවේ ගුජරාටයේ කේදා සහ පන්ච්මැහැල් දිස්ත්‍රික්කයන් ආශ්‍රිතව යි. ඒ කාලයේ ජනප්‍රියව පැවති, භාවිතයට තරමක් කරදරකාරී හූකා වෙනුවට කම්කරුවන් ඉතිරිවන දුම්කොළ කුඩු “කඳුකර කළුවර” නම් ගසක කොළයක ඔතා පානය කිරීමට පුරුදු වුණා. 19 වන සියවස පමණ වන තෙක්ම මෙය poor man’s cigarette (දුප්පත් මිනිසුන්ගේ සිගරට්) ලෙසින් ඉන්දියාවේ ව්‍යාප්තව තිබුණා. විශේෂයෙන්ම ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ මේ “දුප්පත් මිනිසුන්ගේ සිගරට්” වෙත තිබූ ජනප්‍රියත්වය දුටු සිගරට් නිෂ්පාදකයන්, සාමාන්‍ය සිගරට් මෙන්ම මේවා ද තනා අලෙවි කිරීම ආරම්භ කළා.
මෙම කර්මාන්තය විධිමත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ගුජරාත් ප්‍රාන්තයේ සොහොයුරන් වන මෝහන්ලාල් සහ හර්ගෝවින්දාස් පටෙල් (Mohanlal, Hargovindas Patel) වෙත යි. ඔවුන් මධ්‍යම ඉන්දියාවේ ජබල්පූර්හි බහුල වශයෙන් ලබා ගත හැකි දේශීය තෙන්දු (කළු තිඹිරි) කොළ භාවිතයෙන් බීඩි එතීමේ වාසි හඳුනාගත්තා. වියලි තෙන්දු කොළ මඟින් බීඩි එතීමේ දී සුරුට්ටුව ඉරිතැලීම හෝ කැඩී යාම සිදු නොවන අතර, එමඟින් බීඩි වෙත අපූර්ව රසයක් ද එකතු වෙන නිසාවෙන් පටෙල්වරුන්ගේ බීඩි ව්‍යාපාරය ඉතා ඉක්මණින් සාර්ථක වුණා. ඔවුන්ගේ සූත්‍රය ඉන්දියාව පුරා අනෙකුත් නිෂ්පාදකයින් විසින් ද අනුගමනය කෙරෙන්නට පටන් ගත්තා.
20 වෙනි සියවස පමණ වන විට මේ කර්මාන්තය ඉන්දියාවේ නැතිවම බැරි කර්මාන්තයක් බවට පත් වී අවසාන යි. හින්ද්මාතා (Hindmata) වැනි බීඩි සන්නාමයන් ඉන්දියානු ජාතිකත්වය උපයෝගයෙන් තමන්ගේ ව්‍යාපාරය ඉන්දියාව පුරාම ව්‍යාප්ත කළා. මේ අතරට Mother India, සිංහයන්, මහත්මා ගාන්ධි සංකේතයන්, සහ ජාතික ධජයේ වර්ණ භාවිතය සිදු වුණා
බීඩියේ ලංකා ආගමනය
ලංකාවේ බීඩි ප්‍රචලිත වීම ආරම්භ වූ බව සැලකෙන්නේ ලංකාවේ තේ කර්මාන්තයට ඉන්දීය ද්‍රවිඩ ජනතාව පැමිණීමත් සමග යි. “සෙයියදුරාජා කඩප්පුලී” යන සන්නාමයක් යටතේ ලංකාවට මුලින් ආනයනය වූ බීඩි පසු කාලීනව ලංකාවේම නිෂ්පාදනය ආරම්භ වෙනවා.
බීඩි ලංකාවේ ජනප්‍රියත්වයට පත් වන්නේ ඈත කලෙක වුණත්, අද වෙද්දීත් බීඩි කර්මාන්තය තරමක් අවිධිමත්ව සිදු වෙනවා. Social Development Network (SDN) එකට අනුව වසරකට නිපදවෙන බීඩි ප්‍රමාණය බිලියන 2.5ක් පමණ. නමුත් 2018 වසරේ පමණක් බීඩි බිලියන 4.5ක් පමණ නිෂ්පාදනය වී ඇති බව Ceylon Tobacco Company (CTC)හි අවසාන කාර්තුමය වාර්තාව ඇස්තමේන්තුවේ සඳහන්. ඒ අනුව බීඩි බිලියන 2කට අධික ප්‍රමාණයක් හොරෙන් ආනයනය කර හෝ එසේ නොමැති නම් රහසිගතව නිෂ්පාදනය කර තිබෙනවා. මෙලෙසින් හොරෙන් ගෙන්වන බීඩි සහ තෙන්දු කොළ නිසාවෙන් ලංකාවේ බීඩි කර්මාන්තයට එල්ල වෙන්නේ විශාල බලපෑමක් බව නම් කිව යුතු යි.
මෙලෙසින් හොරෙන් ගෙන්වන බීඩි සහ අමුද්‍රව්‍ය ගුවන්තොටුපළවල් සහ වරාය රේගුව මඟින් අත් අඩංගුවට පත් වෙන වාර ගණන විශාල යි.
බීඩි නිසාවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු ප්‍රමාණය නම් අති විශාල බව මතක් කළ යුතු තවත් කරුණක්. බීඩි සුරුට්ටුවේ ෆිල්ටරයක් නොමැති නිසා සාමාන්‍ය සිගරට්ටුවකට සාපේක්ෂව ඉතා විශාල තාර සහ නිකොටීන් ප්‍රමාණයක් පානය කරන්නාගේ ශරීරගත වීම සිදු වෙනවා. ඒ වගේම මේ කර්මාන්තයේ නිරත වෙන පුද්ගලයන්ටත් එමඟින් විශාල බලපෑම් සහ සෞඛ්‍ය ගැටළු ඇති වන බව නම් නොරහසක්. කර්මාන්තයේ පවතින අවිධිමත් බව නිසාවෙන් වගේම, බීඩි එතීම බොහෝ විට ගෘහාශ්‍රිතව සිදුවන නිසාත් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම පුදුමයට කරුණක් නොවේ. දුම්කොළවලට දිගු කාලීනව නිරාවරණය වීමෙන් ශරීරයේ කෝටිනින් සහ සැලකිය යුතු මට්ටමකට නිකොටින් තැම්පත් වන අතර ඒවා ඇස් පෙනීමට, සම, සහ ශ්වසන පද්ධතියට දැඩි ලෙස බලපානවා.
කිසිදු ආකාරයක කොන්ත්‍රාත්තුවක් හෝ සෞඛ්‍ය සහ ආරක්ෂක ප්‍රමිතීන්ගෙන් ආවරණය නොවන බීඩි එතීමේ කර්මාන්තයේ යෙදී සිටින පවුල් 8,000කට ආසන්න ප්‍රමාණයෙන් 95%කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් බවයි SDN සභාපති ජීව සිරිවර්ධන පැවසුවේ. ළමයින් ද බොහෝ විට වෙළඳාමට සම්බන්ධ වන අතර, ඔවුන්ගේ දෙමාපියන්ට බීඩි රෝල් කිරීමට සහාය වන බව සභාපති සිරිවර්ධන සඳහන් කළා.
සිගරට් සඳහා සිදුවන බදු ඉහළ නැංවීම් හේතුවෙන් සීඝ්‍රයෙන් ඉහළ යන සිගරට් මිල නිසාවෙන්, තරුණයන් බීඩි වෙත විශාල වශයෙන් නැවත යොමු වීමට ඉඩක් පවතිනවා. රුපියල් 70 – 90 අතර මිලකට සිගරට්ටුවක් මිල දී ගැනීමට වඩා, ඒ මිලට බීඩි මිටියක් මිලට ගැනීම ඔවුන්ට ලාභදායි යි. වෙන් වෙන්ව හෝ මිටි වශයෙන් විකිණෙන බීඩිවල කිසිදු ආකාරයක රූපමය අනතුරු ඇඟවීමක් දැකගන්නටත් ලැබෙන්නේ ද නැහැ.
සීඝ්‍රයෙන් ඉහළ යන පාරිභෝජනය සහ සෞඛ්‍ය ගැටළු ඇතිකිරීමේ අවදානම නිසා කර්මාන්තය කළමනාකරණය කිරීම සඳහා පැහැදිලි නියාමනයක් හඳුන්වා දීම සිදුවිය යුත්තක්. සිගරට් මිල ඉහළ දැමීමෙන් පමණක් වාර්ෂිකව බිලියන 7.5කට අධික ආදායමක් රජය උපයන අතර හුදෙක් සිගරට් මිල ඉහළ දැමීම මඟින් පමණක් දුම්පානයෙන් සිදුවන සෞඛ්‍ය ගැටළු සඳහා විසඳුම් සෙවිය හැකි ද යන්න පිළිබඳව ඇත්තේ නම් යම් ගැටළුකාරී තත්ත්වයක්.