ලොව බොහෝ රාජ්‍යයන් බහු වාර්ගික, බහු ආගමික මෙන්ම බහු භාෂාමය ස්වරූපයක් දරයි. මෙකී අභ්‍යන්තර විවිධත්වය විසින් බලය බෙදා හැරීමට රාජ්‍යයන් වෙත බල කිරීමක් නිරන්තරයෙන් සිදු වේ. බෙල්ජියම ද සිය අභ්‍යන්තර විවිධත්වයන් හඳුනා ගනිමින්, විප්ලවීය සහ සාධනීය බලය බෙදාහැරීමකට මුල පුරා ඇත.
බෙල්ජියම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පවත්නා සාධනීය ප්‍රතිපාදන
1831 බෙල්ජියම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රංශ බස ගුරු කොටගත් ඒකීය රාජ්‍යයක් නිර්මාණය කරන ලදී. ඉන් අසතුටට පත් සෙසු භාෂාවන් භාවිත කළ සුළුතරය, සිය භාෂා අයිතීන් වෙනුවෙන් හඬ නැගීම ආරම්භ කළහ. මෙම ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී වූ බෙල්ජියම, තම රාජ්‍ය තුළ බලය බෙදාහැරීම සඳහා අසමමිතික සන්ධීය ක්‍රමය තෝරාගන්නා ලදී.
මෙහිදී භාෂාමය සමජාතීය පරිපාලන කලාප ඉල්ලමින් ෆ්ලෙමිෂ් ව්‍යාපාරය ආරම්භ විය. බෙල්ජියම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වන ව්‍යවස්ථාව (වගන්තිය) මගින් බහු ජාතිකත්වය පිළිගන්නා ලද අතර ඒ අයුරින් ෆ්ලෙමිෂ්, ප්‍රංශ සහ ජර්මන් ජන වර්ගයන්ට බෙල්ජියම තුළ සැලකිය යුතු පිළිගැනීමක් හිමි විය. 3වන ව්‍යවස්ථාව මගින් ෆ්ලෙමිෂ්, බෘසෙල්ස් සහ වලූන් ලෙස පළාත් වර්ගීකරණයක් සිදු කර ඇත. 4වන ව්‍යවස්ථාව මගින් භාෂාමය පදනම මත ලන්දේසි බස භාවිත වන ප්‍රදේශය, ප්‍රංශ බස භාවිත වන ප්‍රදේශය, ද්වි භාෂා භාවිත වන බෘසල්ස් අගනුවර, ජර්මන් භාෂාව භාවිත වන ප්‍රදේශය වශයෙන් ප්‍රාදේශීය පාලන ඒකක 4ක් හඳුනා ගනී. බෙල්ජියම තුළ ඒ ආකාරයේ ස්වයං පාලන ඒකක පිහිටුවා ඒවාට බලතල පවරා දී ඇත. ඒකීය ක්‍රමයක සිට සන්ධීය ක්‍රමයක් කරා විතැන්වීමෙහි අපේක්ෂිත අරමුණ වූයේ සුළු ජාතීන්ගේ ඉල්ලීම්වලට සාධාරණය ඉටු කිරීමය.
බෙල්ජියම් සෙනෙට් මණ්ඩලය තුළ විවධ පළාත් සහ ජනවර්ග නියෝජනය කරන මිශ්‍රණයක් ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43වන ව්‍යවස්ථාව මගින් මන්ත්‍රණ සභාව තුළ ලන්දේසි බස භාවිත කරන නියෝජිතයන් සහ ප්‍රංශ බස භාවිත කරන නියෝජිතයන් වශයෙන් විභේදනයක් සිදු කර ඇත. පරිපාලනමය පහසුව තකා මෙවන් විභේදනයන් දක්වා තිබෙන නමුත් බෙල්ජියම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10වන ව්‍යවස්ථාව මගින් ඉතා වටිනා කරුණක් අවධාරණය කරයි. එනම්, රාජ්‍ය තුළ කිසිදු පන්ති භේදයක් නොපවතින බවයි. බහු ජාතිය හෝ සුළු ජාතිය යනුවෙනු බෙදීමක් නිර්මාණය වීම වැළැක්වීම උදෙසා මේ අයුරින් ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙමගින් සියලු බෙල්ජියන්වරු නීතිය ඉදිරියේ සමාන බවත්, සිවිල් සහ මිලිටරි සේවය සඳහා සුදුසුකම් සපුරන බවත්, ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර සමානාත්මතාවත් පිළිගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන ව්‍යවස්ථාව මගින් දක්වන්නේ සියලුම බෙල්ජියම්වරුන්ට නිදහස සහ අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතිය පවතින බවයි. නීති සහ ෆෙඩරල් නීති මගින් සුළුතරයේ අයිතීන්ද සුරකින බව සහ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මධ්‍ය සහ ප්‍රාදේශීය රාජ්‍ය තුළ නියෝජනය හිමි වන බවද එහි දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24වන ව්‍යවස්ථාව මගින් දක්වන්නේ යම් ජනවර්ගයක් තවත් දේහයකට ස්වතන්ත්‍රතාවය පිළිගැන්වීමට නම් එකී යෝජනාව සන්ධීයවාදය තුළ 2/3ක ඡන්දයෙන් සම්මත විය යුතු බවයි. තවද මෙම වගන්තිය මගින් විශේෂයෙන් අධ්‍යාපන අයිතිය පිළිබඳ අවධානය යොමු කරයි. අනිවාර්ය අධ්‍යාපනය තුළ රජයේ පාසල් ඔස්සේ පිළිගත් ආගමක් හැදෑරීමට මෙහිදී ප්‍රතිපාදන සලසන අතර එය ළමුන්ගේ අයිතිවාසිකමක් ලෙස ද සලකයි. ප්‍රාදේශීය රාජ්‍යයන්ගේ අනන්‍ය ආගමික ඉගැන්වීම් අදාළ ප්‍රාදේශීය පරිපාලන ඒකකවල වියදමින් පාසල් තුළ සිදු කිරීමට ද මෙමගින් ප්‍රතිපාදන සලසා ඇත.
54වන ව්‍යවස්ථාව දක්වන්නේ, පෞද්ගලික කෙටුම්පතක හෝ රාජ්‍ය කෙටුම්පතක අන්තර්ගත භාෂාමය වශයෙන් පාර්ශවයකට අහිතකර බලපෑමක් එල්ල විය හැකි කරුණකට එරෙහිව භාෂාමය නියෝජිතයන්ට ඔවුන් අතරින් 1/3ක් විසින් අත්සන් කරන ලද මෝසමක් ඉදිරිපත් කළ හැකි බවයි. එම අවස්ථාව, අයවැය හෝ නෛතික ක්‍රියාමාර්ගයක් සඳහා විශේෂ බහුතරයක අනුමැතිය දැක්විය යුතු අවස්ථාවක් නොවිය යුතුය. අදාළ මෝසම විභාගයට ගැනෙන තුරු පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය කල් තැබීමක් ද සිදු වේ. United Nations Research Institute For Social Developmentහි ‘Kris Deschouwer’ මැතිතුමන් මෙම තත්ත්වය, Alarm Bell Procedure හෙවත් අනතුරු ඇඟවීමේ සීනු ක්‍රමය ලෙස හඳුන්වා දෙයි. එමගින් භාෂා අයිතියක් උල්ලංඝනය වීමක් සිදුවීමට ආසන්න බව හැඟුණු වහාම නෛතික පියවර ගැනීමට විධිමත් අයුරින් ප්‍රතිපාදන සලසා ඇත.
31වන ව්‍යවස්ථාව දක්වන්නේ, වාර්ගික සහ ප්‍රාදේශීය රාජ්‍යයන්හි ඇමතිවරුන් සහ නියෝජිතයන්ට අදාළ වන නෛතික කාර්යයන්හිදී හැර, සෙසු සිවිල් සේවකයන්ගේ පරිපාලනමය වැරදි සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමේදී ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගැනීම අත්‍යවශ්‍ය නොවන බවයි. බෙල්ජියම තුළ ස්වයං පාලනය මෙන්ම සංයුක්ත ඒකක කිහිපයක් විශේෂ කාරණා සම්බන්ධව එකට එක්ව ක්‍රියා කරන හවුල් පාලනයක් ද ක්‍රියාත්මක වේ. ප්‍රාදේශීය ඒකකවලට සිය ප්‍රදේශවල ආර්ථික කටයුතු රැකබලා ගැනීමට පූර්ණ බලතල හිමිවී ඇත. 143 ව්‍යවස්ථාව මගින් මධ්‍ය සහ ප්‍රාදේශීය පාලන ඒකකවල ආදායම් ඉපයීම පිළිබඳ අවධානය යොමු කරයි. රේගු සහ සුරාබදු සඳහා සමගාමී බලතල ප්‍රාදේශීය රාජ්‍ය භුක්ති විඳින අතර, ප්‍රාදේශීය සහ මධ්‍ය යන ද්විත්වයටම පෞද්ගලික ආදායම් බදු ඉපයීමේ හැකියාව හිමි වී ඇත. බෙල්ජියම තුළ සිරස් සහ තිරස් අරමුදල් හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර මධ්‍ය සහ ප්‍රාන්ත අතරත් ප්‍රාන්ත සහ ප්‍රාන්ත අතරත් කොන්දේසි සහිතව මෙන්ම කොන්දේසි විරහිතව ද අරමුදල් හුවමාරු කරගත හැක.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල බලපෑම
1970 සහ 1980 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා බෙල්ජියම තුළ සන්ධීය ක්‍රමයෙහි දියුණුවක් ඇති කිරීම මගින් සුළු ජාතික අයිතීන් සුරැකීමට උත්සාහ දරන ලදී. 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ෆ්ලෙමිෂ් සංස්කෘතික ප්‍රජාව ස්ථාපිත කරන ලද අතර වලූන්හි ඉල්ලීම මත ප්‍රාදේශීය ඒකක සඳහා අඩිතාලමක් සපයන ලදී. 1980 සංශෝධනය මගින් ජනවාර්ගික සහ ප්‍රාදේශීය පදනම මත ඔවුනටම පාර්ලිමේන්තු සහ රජයන් පිහිටුවා ගැනීමට ඉඩකඩ සලසන ලදී. 1988- 1989 අතර බෘසල්ස් ඒකකය ස්ථාපනය කළ අතර අදාළ ඒකක වෙත අධ්‍යාපන බලතල ලබාදුනි. 1993 සංශෝධනය හරහා බෙල්ජියම වඩාත් ෆෙඩරල් ස්වරූපයකට පරිවර්තනය කරමින් ප්‍රාදේශීය ඒකකවලට වැඩි නිදහසක් ලබාදෙමින් ඔවුනට මැතිවරණ පවත්වා ප්‍රාදේශීය ආණ්ඩුවලට නියෝජිතයන් පත් කරගැනීමට ද ඉඩකඩ සලසන ලදී. 2001 සංශෝධන හරහා කෘෂිකාර්මික බලතල ප්‍රාදේශීය ඒකක වෙත ලබාදෙන ලදී. 2011 වසරේදී ප්‍රාදේශීය ඒකක වෙත තවත් බලතල පවරමින් අනු ප්‍රාදේශීය ඒකක ස්ථාපනයටද පහසුකම් සලසන ලදී.
සුළුතරය බලගැන්වීමට බිහි කළ ව්‍යවස්ථාවන්
The Special Act On The Reform Of The Institutions 1980, The Act On The Reform Of The Institutions For The German Community 1984, The Special Act On The Brussels Institutions 1989, The Special Act On The Financing Of The Communities And Regions 1989 යන ව්‍යවස්ථාවන් සුළුතරය බලගැන්වීම උදෙසා ගෙන එන ලද ව්‍යවස්ථාවන් කිහිපයකි.
කවරයේ පින්තූරය – (wallpaperscraft.com)
මූලාශ්‍ර
- THE BELGIAN CONSTITUTION
- ජොහැන් පොයිරියර්, ‘බෙල්ජියම් ෆෙඩරල් ක්‍රමය’
- K., Deschouwer, ‘Ethnic Structure, Inequality And Governance Of The Public Sector In Belgium’
- Yash Ghai, ‘Autonomy and Ethnicity: Negotiating Competing Claims In Multi- Ethnic States’
- T., Fleiner, ‘ Dynamics of Shared Rule in Federations’
- P.B., Spahn, ‘Intergovernmental Fiscal Relations, and Structural Problems of Federalism in Belgium’