සුද්දෝධන රජතුමාගේ බිසව වූ මහාමාහා දේවී තොමෝ සිය දරු ප්‍රසූතිය සඳහා රජගහ නුවරින් නික්ම සිය නෑ සියන් විසූ දෙව්දහ නුවරට යන්නට පිටත් විය. ඒ ගමන අතර ලුම්බිණි නම් සල් උයනේදී අසිරිමත් සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු විය. බුද්ධ චරිතය අනුව සිද්ධාර්ථ උපත සිදුවන්නේ රජගහ නුවරත් දෙව්දහ නුවරත් අතර වූ මෙම ලුමිබ්ණි නම් අයස්කාන්ත සල් උයනේදීය. එහෙත් වර්තමානයේ වසර 2600කට එපිට වූ එම කාලයේ සාධක එපරිද්දෙන්ම සොයාගන්නට නැත. එබැවින් නූතන යුගයේ මුල් භාගයේදී, එනම් 20 වන සියවසේ මුල් භාගයේදී බුදුන් උපන් ලුම්බිණිය පිහිටියේ කොහිද යන්න විවාදාපන්න කරුණක් විය. දේශාටන වාර්තා අනුවත්, පුරාවිදයාත්මක සාධක අනුවත් අද වන විට නේපාලයේ ලුම්බිණිය, වඩාත් සාධාරණව බුදුන් උපන් ස්ථානය යැයි වර්තමානයේදී පිළිගනු ලැබේ.
ලුම්බිණි මායාදේවී පන්සල අසබඩ ඇති අශෝක ටැම් ලිපිය නේපාල ලුම්බිණි පුදබිම බුදුන් උපන් ස්ථානය යැයි තහවුරු කරගන්නට ප්‍රබල සාධකයකි. පාඨලීපුත්‍ර හෙවත් වර්තමාන පැට්නා කේන්ද්‍ර කරගත් අශෝක අධිරාජ්‍යය බටහිරින් වර්තමාන ඉරානය තෙක්ද, නැගෙනහිරින් ඉන්දීය බෙංගාලයේ වර්තමාන කෙළවර තෙක්ද විහිදී පැතිරී ගිය විශාල අධිරාජ්‍යයක් විය. මෞර්ය පෙළපතේ කීර්තිමත්ම රජු වූ අශෝක අධිරාජ්‍යයා කාලිංග යුද්ධයෙන් අනතුරුව එහි වූ විනාශය ගැන කළකිරී බුදුදහමට නැඹුරු විය. දෙවන පියදසි යනු අශෝක රජුගේ අනවර්ථ නාමයක් විය.
බුදුන් උපන් ලුම්බිණියේ පිහිටුවාලූ අශෝක ස්මාරකයේ සහ ශිලා ලේඛනයේ වූ බ්‍රාහ්මීය අක්ෂරවල සිංහල තේරුම පහත පරිදිය.
“දෙවන පියදසි රජුගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල මෙහි ශාක්‍යමුණි බුදුරදුන් උපන්නේ යැයි සලකා තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප්‍රකාශයට පත්කොට) දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක් පිහිටුවීය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කළේය.”(අසෝක ධම්මලිපි,ගිරිලිපි, ටැම් ලිපි – මහාචාර්ය අභය ආරියසිංහ)
මධ්‍යම ආසියාව තෙක් බලය විහිදූ මහා අශෝක රජතුමා සිය අගනුවර වූ පාඨලීපුත්‍ර සිට කිලෝමීටර සිය ගණනක් ගෙවා විත් බුදුන් උපන්නාවූ ස්ථානය මහත් බැතියෙන් වන්දනාමාන කරන්නට ඇත. මෙම ශිලා ලේඛනය එම කාලයට අයත් වූවක් බවට පුරාවිද්‍යා අංශ විසින් සනාථ කොට ඇත.
අශෝක යුගයටත් පෙරාතුව මෙම ස්ථානයේ තිබූ වන්දනා මාන කරන ලද වෘක්ෂයක සාධක මෑතකදී සොයාගෙන ඇත. වර්තමානයේ මායාදේවී පන්සල යැයි හඳුන්වන ස්ථානය කේන්ද්‍ර කොටගත් ලුම්බිණි පුදබිම, බුද්ධෝත්පාද කාලයේ සිට සියවස් 15ක් යනතෙක් විහිදුණු විහාර, ආරාම, චෛත්‍ය ආදී නටඹුන්වලින් යුක්තය.
ක්‍රිස්තු වර්ෂ 406 දී ලුම්බිණිය වන්දනාවට පැමිණි චීන භික්ෂුවක වූ පාහියන්ද, ක්‍රි ව 634 දී පැමිණි හියුං සාං භික්ෂුවද මනරම් පොකුණක්, ආරාම විහාර හා අශෝක ස්මාරකද සහිත වූ මෙම ලුම්බිණි පුදබිම ගැන වටිනා අදහස් සිය දේශාටන වාර්තාවල පළ කොට තිබේ. නූතනයේද ජලය පිහිටි පොකුණු අසබඩ පිහිටි මෙම පුදබිම මීට ශතවර්ෂ 20කට පෙරද එසේම පැවති බැව් අපිට සිතන්නට හැකිය.
ලුම්බිණි මායාදේවී විහාරය මූලික කොට ඇති පුරාවස්තු දෙස බැලූ බැල්මට ම ඒවා බෞද්ධ ඒවා බවට පසක් වේ. කාබන් කාල නිර්ණය සහ වෙනත් නවීන ක්‍රම ඔස්සේද මෙම ස්ථානයේ ඉතිහාසය බුද්ධ කාලය තෙක් දිවෙන බවටද කිහිප අවස්ථාවකදීම සනාථ කොට තිබේ. සිය ශාස්තෘවරයාණෝ උපන් ස්ථානය නිවැරදිව හඳුනාගෙන වැඳපුදා ගැනීමට දැකබලා ගැනීමට මාහැඟි අවස්ථාව ලුම්බිණියේදී බෞද්ධයන්ට ලැබේ.
බෞද්ධයින්ට ලුම්බිණි වන්දනාවේ ඇති වැදගත්කම
“ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කලෙක ඒ බැව් නොදත් භික්ෂු සංඝයා පැමිණෙන විට ඔවුනට වඳිනට පුදනට රිසි තැනක් වේදැ” යි ආනන්ද හිමි බුදුන්ගෙන් පිරිනිවන් යන්නට මත්තෙන් විමසන සේක. එවිට “බුදුන් වහන්සේ උපන් ස්ථානය, සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය, ප්‍රථම දම් දෙසුම පැවැත්වූ ස්ථානය, පිරිනිවී වදාළ ස්ථානය යන ස්ථාන සතර සැදැහැවත් කුලපුත්‍රයෙක් හට සංවේග උපදවා ගැනීම පිණිස වන්දනාමානයට රිසි යැ” යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. (මහා පරිනිර්වාණ සූත්‍රය, දීඝ නිකාය, සූත්‍ර පිටකය)
ඒ අනුව පසුකලෙක බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ කුමාරයාණන්ගේ උප්පත්තිය සිදු වූ කපිලවස්තු පුර ආසන්න ලුම්බිණිය වනාහි සම්බුද්ධ දේශනාවට අනුකූලවම බෞද්ධ බැතිමතුන්ට වඳිනට සුදුසු වූ පුදබිමකි. එදා සිදුහත්කුමාරයා උපත ලද තැන වත්මන් නේපාලයටත්, පසුකලෙක වැඩවාසය කොට බුදු වූ බුද්ධගයාව ප්‍රමුඛ සිද්ධස්ථාන වර්තමාන ඉන්දියාවටත් අද වන විට අයිති වී තිබේ.
ලුම්බිණියේ වර්තමානය
ලුම්බිණි පුදබිම යනු නේපාලයේ දකුණු දිග දේශසීමාවේ ඉන්දියාවට ආසන්නයේම පිහිටා ඇති කුඩා උපනගරයකි. ලුම්බිණි අවට ජීවත් වන නේපාල ජාතිකයෝ නම් වර්තමානයේ බොහෝ කොට හින්දු ආගම සරණ ගිය අයයි. ඒ හින්දු බැතිමතුන් ට නම් බුදුන් උපන් ලුම්බිණිය යනු තවත් පුරාවිද්‍යා ස්ථානයක් පමණකි. එහෙත් බොහෝ නේපාල ජාතිකයෝ ලොව ප්‍රකට ධර්මයක් වූ බෞද්ධ ධර්මයේ පීතෘවරයාණන් ඉපදුණේ තමුන්ගේ බිමේ යැයි පවසන්නේ මහත් අාඩම්බරයෙනි.
බුදුන් වදාළේ එකම දහමක් වූ නමුදු එක් එක් සංස්කෘතින් හිදී එහි ඇති හැඩය යම් පමණකට වෙනස්ය. කොරියානු, චීන, ජපන් ජාතිකයෝ වන්දනාමාන කරන අයුරු අප රට වෙසෙන බෞද්ධයන්ගේ වන්දනා සිරිතට වඩා වෙනස්ය. අපට යාබද බෞද්ධ සංස්කෘතිය අතින් හිතවත් වූ මියන්මාර, තායිලන්ත රටවල ජනී ජනයාද ඇතැම්විට අපිට ආගන්තුක වූ වතාවත්වලින් සිය වන්දනාමාන කටයුතු සිදු කරනු ලුම්බිණියේදී දැකගත හැකිය. කෙසේ වෙතත් ආගම් ගැන විශ්වාසයක් නැති ඇතැම් යුරෝපීය විදේශිකයෝ පවා ලුම්බිණි විහාරයට ඔබින සේ දිග ඇඳුමින් සැරහී පාවහන් ගලවා ඇතුළු වී ගෞරවයෙන් යුතුව පුරාවස්තු දැකබලා ගනිති.
ලුම්බිණිය යනු නේපාලයේ වායු දූෂණය වැඩිම නගරයකි. අවට වූ ගඩොළු පෝරණ සහ කර්මාන්තවලින් නිකුත් වෙන දුම් පුදබිමටද හානියකැයි විද්‍යාඥයෝ සැක පහළ කොට ඇත. ශ්‍රී ලංකාව ඇතුලු බෞද්ධ රටවල් සෑම එකකම පන්සල් මෙම පුදබිම අවට පිහිටා ඇත. අලංකාර පොකුණක බෝට්ටු සවාරි යෑමේ අවස්ථාවද ලුම්බිණියේ ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ලක් රජයේ ආධාරයෙන් තැනූ පිවිසුම් මාර්ගයක්ද ලුම්බිණියේ ශ්‍රී ලංකා පන්සල ආසන්නයේ දකින්නට ඇත.
ලෝ පතල පුදබිමක් වුවත් නවාතැන් හෝටල සාමාන්‍ය මිලට සොයාගැනීමට තිබේ. එක් එක් මට්ටමේ නවාතැන් තමුන්ගේ පසුමිබ්යේ ප්‍රමාණය අනුව ලුම්බිණි පුදබිම ආසන්නයෙන්ම වුව සොයාගත හැකිය. අපගේ ලාංකික ආහාර වේල් එසේම ලබාගන්නට බැරි වුවත් බත් සහ වෙනත් එළවලුවක් දෙකක් ඇතුළත් කෑම වේලක් නම් ලුමිබිණියේදී පහසුවෙන්ම ලබාගත හැකිය.
මියන්මාරය හෙවත් බුරුමයේ සිට කිලෝමීටර දහස් ගණනක් ගෙවා ගොඩබිම ඔස්සේම පැමිණි බෞද්ධ පිරිස්ද, චීනය, ජපානය, කොරියාව ආදී නැගෙනහිර දුර රටවලින් පැමිණි පිරිස්ද, බටහිරින් පැමිණි යුරෝපීය පිරිස්ද එකම බිමෙක නවාතැන් ගෙන සිය වන්දනාමාන සහ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් පෙළ ගැසෙති. කලක පටන් දඹදිව වන්දනාවේ එක් මූලික ස්ථානයක් ලෙස ලුම්බිණිය සැලකෙන නිසා ශ්‍රී ලාංකිකයෝද ලුම්බිණියට අමුත්තෝ නොවෙති. කලාතුරකින් තැනක සිංහල බසින්ම පුවරු සහිත නවාතැන් පොළවල්ද දකින්නට තිබේ.
ලුම්බිණියට ලඟාවීම
නේපාල කත්මන්ඩු නුවරට ගුවනින් පැමිණ ඉන්පසු පැය 7-8ක රිය ගමනකින් ලුම්බිණියට ලඟා විය හැකිය. ප්‍රකට පුදබිමක් නිසාවෙන් කත්මන්දු සිට බස් රියෙන්ම වුවද ප්‍රවාහන පහසුව සලසා ගත හැකිය. ශ්‍රී ලංකාවේ සිට ලුම්බිණිය බැලීමට යන්නේ නම් ඉන්දියාවේ වාරණාසි, ගයා, පැට්නා, කල්කටා හෝ දිල්ලි දක්වා ගුවනින් ගොස් එයින් ඉන්දියාවේ ගොරක්පූර් හන්දිය වෙත පිවිස, පසුව සොනෝලි පිවිසුම හරහා නේපාලයට ලඟා වීම වඩාත් වාසි දායකය.
සොනෝලි පිවිසුම හරහා නේපාලයට පිවිසීමේදී ශ්‍රි ලාංකිකයින්ට නේපාල වීසා දින 28කට නොමිලේම ලැබේ. ඉන්දියාව හරහා පිවිසෙන්නේ නම් ඉන්දියානු වීසා ලබාගත යුතුය. ඇතැම් කාලවල වාරණාසි, ගයා, පැට්නා ආදී බෞද්ධ සිද්ධස්ථාන කරා කෙලින්ම ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් නොමැත. එවිට දිල්ලි කරා ගුවනින් පැමිණ දිල්ලියෙන් ගොරක්පූර් හන්දිය වෙත දුම්රියෙන් ගොස් ඒ හරහා බෝඩරය තරණය කිරීම පහසුම මගකි.
සොනෝලි පිවිසුමෙන් නේපාලයට පිවිසුන කල ලුම්බිණිය වෙත ලඟාවීමට ගත වන්නේ පැය බාගයක් පැයක් පමණ වූ කාලයකි. සොනෝලි පිවිසුමෙන් නේපාලයට ඇතුළු වූ සැනින් ඒ අවට ලුම්බිණි යැයි කෑ ගසමින් බස්වලට සෙනග ඇතුළු කරගන්නා අයුරු දැකගත හැකිය. කණ්ඩායමක් ලෙස යන්නේ නම් නේපාලයට ඇතුළු වී සොනෝලි බයිරවාවලින් කුලී රියක්ද වෙන් කරගත හැකිය. ඉන්දියාවෙන් පැමිණෙන්නේ නම් නේපාල රුපියල් ස්වල්පයක් හෝ මග වියදමට තිබීම වාසියක් නමුදු නේපාල මායිමේ බොහෝ තැන්වල තවමත් ඉන්දියානු රුපියල්වලින්ම මුදල් ගෙවීමේ පහසුව තිබේ.
සංවිධානය කළ චාරිකාවක ගමන සිතට නිස්කලංක, මිලෙන්ද පහසු තෝරාගැනීමකි. ඉන්දියාවට වෙනත් වැඩකට ගිය විටක දින දෙක තුනක් වැය කළ හැකි ඉඩක් තිබේ නම් නේපාල මායිමේ ලුම්බිණිය දැකබලා ගන්නට වැඳපුදා ගන්නට අවස්ථාව තිබේ. අන්තර්ජාලය මදක් පීරා විස්තර සොයාගෙන ඉන්දියාවට ගොස් තනිවම ලුම්බිණියට පිවිස වන්දනාමාන කරගැනීමද අද වනවිට මහත් අමාරු කාර්යයක් නොවේ.
බුදුන් උපන් තැන වන්දනාමාන කිරීම සකල ලෝකවාසී බෞද්ධයාගේම මහඟු අපේක්ෂාවකි. අප රටට ආසන්න භාරත දේශයේ බුදුන් වැඩවාසය කර ඇති හෙයින් ලක්වැසි සැදැහැවත් බෞද්ධයින්ටද වැඩි කරදරයකින් තොරව ලුම්බිණිය දැක බලාගැනීමේ හැකියාව ලැබී තිබේ.
කවරයේ පින්තුරය – Wikipedia/Yves Picq
අනෙක් රූප සියල්ල රචකයා වෙතිනි.