වර්තමානය වන විට හොඳ පහසුකම් සහිත නගරාසන්න ව ජීවත් වෙන තරුණ ප්‍රජාවෙහි බොහෝ දෙනාගේ උප්පත්තිය සිදු වී ඇත්තේ රෝහලක් තුළ යි. කෙසේ නමුත් මීට දශක කිහිපයකට පෙර බොහෝ දරු උපත් නිවෙස් තුළ සිදුවුණා. මේ අතර අනපේක්ෂිත ව මග තොටේ දී දරුවන් ප්‍රසූත කරන්නට යෙදුණු අවස්ථා ද එකල අසන්නට ලැබුණා. වර්තමානයේ දී ද එවැනි කතා කලාතුරකින් වාර්තා වෙනවා.
ඉතා අසාමාන්‍ය තත්ත්ව යටතේ, අසාමාන්‍ය ස්ථානවල සිදු වූ දරු උපත් ගැන ද ඉතිහාසය පිරික්සීමේ දී ඉඳහිට අපට හමුවනවා. ගුවන් යානයක් තුළ දරුවෙක් ප්‍රසූත කිරීම යනු ඒවා අතරිනුත් ඉතා කලාතුරකින් අසන්නට ලැබෙන දෙයක්. මෙවැනි සිද්ධියක් මුලින්ම වාර්තා වන්නේ 1929 දී යි. මෙවැනි උපතක් සිදු වූ විට විවිධාකාරයේ ප්‍රශ්න රාශියක් ඒ අරබයා ඇති වන්නට පිළිවන්. ගුවන්යානයේ කාර්යමණ්ඩලයට ප්‍රායෝගික ව ඇති වන අපහසුතාවලට අමතර ව දරුවාගේ පුරවැසි භාවය නිර්ණය කිරීම ඇතුලු ගැටලු රාශියකට ඒත් සමග පිළිතුරු සොයාගන්නට සිදුවෙනවා.
ෂෝනා ඕවන් සිද්ධිය
ෂෝනා කර්ස්ටි යිව්ස් ඕවන්ගේ උප්පැන්න සහතිකයේ ‘උපන් ස්ථානය’ ලෙස සටහන් වී ඇත්තේ ‘සසෙක්ස් හී මේෆීල්ඩ් පෙදෙසට සැතපුම් 10 ක් දකුණින්, අහස් යානයක් තුළ’ ලෙස යි. 1991 දී ඇගේ උපත සිදු වී තිබුණේ පොළොවෙහි සිට අඩි 7000ක් ඉහළ අහසේ, බෝයිං 747 ගුවන්යානයක පළමු පන්තියේ මඟී කුටිය තුළ යි. මෙම ගුවන්යානය බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් වුණා.
ෂෝනාගේ මව වන ඩෙබෝරා ඕවන්, ඇය සේවය කළ ඝානාවේ අක්‍රා නුවර දී ඉහත කී ගුවන්යානයට නැඟී තිබුණේ එංගලන්තය බලා යන්නට යි. මේ වන විට සති 34ක පමණ ගැබිණියක් ව සිටි ඇයගේ ප්‍රසූතය සඳහා දින ලැබී තිබුණේ එදින සිට සති 6 ක කාලයකට පසු යි. කෙසේ නමුත් යානය ගුවන්ගත වී මද වේලාවකින් ඇයට ප්‍රසූත ලක්ෂණ පහළ වන්නට පටන්ගත්තා.
සාමාන්‍යයෙන් ගුවන්යානයක දී මෙවැනි තත්ත්වයක් ඇති වීම ඉතා අවදානම් වෙනවා. පාරිසරික තත්ත්ව මෙන්ම, දරු ප්‍රසූතියකට අදාළ පහසුකම් කිසිවක් එය තුළ නොතිබීමත්, ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් නොමැති වීමත් යන කාරණා මව හා දරුවා යන දෙදෙනාගේ ම ජීවිත අනතුරේ හෙළනවා.
ඩෙබෝරාට ප්‍රසූත ලක්ෂණ පහළ වන විට යානය ස්ථානගත වී තිබුණේ ඇල්ජීරියාවට ඉහළ අහසේ යි. කෙසේ නමුත් හදිසි ගොඩබැස්වීමක් නොකර ලන්ඩනය කරා ගමන් කිරීමට එහි නියමුවා තීරණය කරන්නේ ඇයගේ ලක්ෂණ අනුව ඒ කාලය තුළ දරු උපත සිදු නොවේයැ යි උපකල්පනය කරමින්. කෙසේ නමුත් ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර ගුවන් සීමාව පසුකරන විට ඇය විළි රුදාවෙන් ඇඹරෙන්නට පටන් ගන්නේ ඕනෑම මොහොතක ප්‍රසූතිය සිදුවිය හැකි බැව් පෙන්වමින්. කෙසේ නමුත් මේ පිළිබඳ යානයේ නියමුවාගේ අවධානය යොමුවන විට ඔහු පැරිස් නුවර ද පසුකර සිටියා.
ඩෙබෝරාගේ වාසනාවට යානය තුළ සුදුසුකම් ලත් නෙදර්ලන්ත ජාතික වෛද්‍යවරයෙක් සිටියා. විම් බැකර් නම් ඔහු හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඇයට සහාය වීමට ඉදිරිපත් වන්නේ මේ අතර යි. ඔහුගේ මඟ පෙන්වීම අනුව පළමු පන්තියේ මඟී කුටිය හිස් කර, එයට ඩෙබෝරා ගෙන ගොස්, යානය ගොඩබෑමට පෙර ප්‍රසූතියක් සිදුවුවහොත් ඒ පිලිබඳ ව කටයුතු කරන්නට යානයේ කාර්යය මණ්ඩලය පියවර ගන්නවා. එම ක්‍රියාව නිවැරදි බැව් තහවුරු වෙන්නේ යානය එංගලන්තයේ සසෙක්ස් හි ගුවන් සීමාවට ඇතුළු වෙද්දී ම ඩෙබෝරා සිය දියණිය ප්‍රසූත කිරීමත් සමග යි.
දරුවා සාර්ථක ව ප්‍රසූත වීමත් සමග ම මුළු ගුවන්යානය ම ප්‍රීතියෙන් පිනා ගියා. එහි නියමුවා ඒ ප්‍රීතිජනක ප්‍රවෘත්තිය යානයේ මඟීන්ට දැනුම් දුන්නා. පැය බාගයකට පසු ගැට්වික් ගුවන්තොටුපොළට යානය ගොඩ බෑ අතර අලුත උපන් බිළිඳියට ‘ෂෝනා කර්ට්ස් යිව්ස් ඕවන්’ යනුවෙන් නම් තැබුණා. එහි මුලකුරු එක්කල විට ‘SKY’ හෙවත් අහස අර්ථ දැක්වෙනවා.
ගුවන් යානයක දරු ප්‍රසූතියක් සිදුවීම කෙතරම් දුර්ලභ ද?
ගුවන්යානයක දරු ප්‍රසූතියක් සිදුවීම ඉතා දුර්ලභ කාරණාවක් වුවත්, ෂෝනා එලෙස උපන් පළමුවැන්නිය හෝ අවසාන තැනැත්තිය නොවේ. පසුගිය දා ගිනියා සිට බුර්කිනා ෆාසෝ වෙත පියාසර කළ තුර්කි ගුවන් සමාගමට අයත් යානාවක් තුළත් මෙවැනි දරු ප්‍රසූතියක් සිදුවුණා. මෙහි විශේෂත්වය වන්නේ එහි දී උප්පත්තිය සිදුවූයේ අඩි 42,000ක් ඉහළ අහසේ දී වීම යි. මීට අමතර ව 2004 දී වර්ජින් ඇට්ලැන්ටික් ගුවන් සමාගමට අයත් යානාවක් තුළත් මෙවැනි ම දරු උපතක් වාර්තා වුණා.
ගුවන්යානයක් තුළ දරු උපතක් සිදුවීම වික්‍රමාන්විත එකක් සේ පෙණුනත්, එහි ඇති අවදානම් බව නිසා ම හැකිතාක් එවැනි සිද්ධියක් වීම අවුරනු වස් නීති රීති ඒ ඒ ගුවන් සමාගම් සම්පාදනය කොටගෙන තිබෙනවා. ලොව බොහෝ ගුවන් සමාගම් සති 36 හෝ සති 32 කට වඩා වැඩි ගර්භණී මව්වරුන් හට තම යානාවල පියාසර කිරීමට අවසර ලබා නොදෙන අතර, තවත් සමහර සමාගම් සති 28 සම්පූර්ණ කර තිබෙන ගර්භණී මාතාවන්ගෙන් ඒ සඳහා වූ වෛද්‍ය සහතික ඉල්ලා සිටිනවා.
ගුවනේ උපන් දරුවාගේ පුරවැසි භාවය තීරණය වන්නේ කෙසේ ද?
ඩෙබෝරා සිය දරු ප්‍රසූතිය සඳහා මහාබ්‍රිතාන්‍ය බලා පැමිණීමට ප්‍රධානතම හේතුවක් වී තිබුණේ ඇගේ දියණිය මහා බ්‍රිතාන්‍යය තුළ උපත ලද යුතු බවට ඇය තීරණය කිරීම නිසා යි. ඇගේ උපත සිදුවූයේ එංගලන්ත අහස් සීමාවේ දී බැවින් ඒ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයකට මුහුණදෙන්නට ඩෙබෝරා හා දියණියට සිදුවූයේ නැහැ. කෙසේ නමුත් ඊට ප්‍රථමයෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ඉහළින් ස්ථානගත වී සිටිය දී ඇයට සිය දියණිය ලැබුණා නම් එම බිළිඳියගේ පුරවැසිභාවය කෙසේ නිර්ණය කරන්නට සිදුවේදයැ යි යන්න බොහෝ දෙනා නඟන ප්‍රශ්නයක්.
පුරවැසිභාවයකට හිමිකම් නොමැති අයවලුන් අවම කිරීමේ එකඟතාවය හෙවත් Convention on the Reduction of Statelessness agreement නම් සම්මුතියට අත්සන් තැබූ රටකට උපත සිදු වූ ගුවන්යානය අයත් නම් නිසඟයෙන් ම උපත ලබන බිළිඳාට එම රටෙහි පුරවැසිභාවය ප්‍රදානය කෙරෙනවා.
එය එවැනි රටකට අදාළ නොමැති නම්, උපත සිදුවීමේ දී යානය ගමන්කරමින් තිබූ ගුවන් සීමාව අයත් රට සලකා බලනවා. එම ගුවන් සීමාව සිය රටෙහි උපදින සියලු දෙනාට (දෙමව්පියන්ට පුරවැසිභාවය නැතත්) ජාතිකත්වය ලබාදෙන රටක් නම් උපත ලද බිළිඳාට එහි පුරවැසිභාවය ලැබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය එලෙස පුරවැසිභාවය ලබා දෙනවා. කෙසේ නමුත් අදාළ රට එවැන්නක් සිදු නොකරන එකක් නම් මවගේ හෝ පියාගේ ජාතිකත්වය අනුව දරුවාට පුරවැසිභාවය ලැබෙනවා.
තෙවන ලෝකයේ රටවල්වල සමහර දෙනා සිය දරුවාට වඩා හොඳ ජාතිකත්වයක් ලබා දීම සඳහා හිතාමතා ම ගුවන්යානාවක් තුළ දරුවන් ප්‍රසූත කිරීමට තැත් කළ අවස්ථා ද වාර්තා වී තිබෙනවා. 2015 දී තායිපේ සිට ලොස් ඇන්ජලීස් දක්වා ගිය චීන ගුවන් සමාගමට අයත් යානාවක එවැන්නක් වාර්තා වුණා.
ගුවන් යානාවක සිදුවන උපත් හා සබැඳි මත
ලොව පවතින ජනප්‍රිය ම මතයක් වන්නේ ගුවන්යානයක යමෙක් උප්පත්තිය ලදහොත් ඔහුට හෝ ඇයට ජීවිත කාලය පුරාවට ම එම ගුවන් ගමාගමේ යානාවල නොමිලේ ගමන් කිරීමේ අවස්තාව ලැබෙන බව යි. කෙසේ නමුත් එය සෑම විට ම සත්‍යයක් වන්නේ නැහැ.
ෂෝනා ඕවන් හට බ්‍රිතාන්‍ය ගුවන් සමාගමෙන් ලොව ඕනෑම තැනකට සංචාරය කර නැවත පැමිණෙන්නට නොමිලේ ටිකට් පත් දෙකක් ලැබුණා. තායි ගුවන් සේවය ඇතුළු තවත් සමාගම් කිහිපයක් එවැන්නෙකුට 21 වියැති වන තුරු නොමිලේ ගමන් කිරීමේ අවසරපත් ලබා දෙනවා. කෙසේ නමුත් ලිබියානු ගුවන් සමාගමක් පසුගිය දා සිය ගුවන්යානයක උපත ලැබූ බිළිඳෙකුට ජීවිත කාලයට ම බලපැවැත්වෙන පරිදි නොමිලේ සිය යානාවල ගමන්කිරීමේ වරම ලබාදුන්නා. ඉන්දියානු ගුවන් සමාගමත් එවැන්නක් සිදුකරන බවට පොරොන්දු වී තිබෙනවා.