Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 12ක් පුරාවට එකම නළුවන්ගෙන් තැනූ සිනමාපටය, Boyhood

ඔබ කුඩා ළමයෙකුව සිටි අවධියේ පටන් වැඩිහිටියෙකුවීම දක්වා ආ ගමන චිත්‍රපටයක් සේ ඔබටම නරඹන්නට ඉඩහැරියොත් එය කුමනාකාරයේ අත්දැකීමක් වේවි ද? ජීවිතයේ සතුටුවුණ තැන්, දුක්වුණ තැන්, ජයග්‍රහණ ලබපු තැන්, පරාජය ලබපු තැන් වගේම, ජීවිතයේ විවිධ අවධීන්වල තමාගේ අනාගතය ගැන මවපු සිහින එවිට ඔබට එකින් එක හමුවේවි.

පුද්ගලයෙකු හෝ පවුලක් කේන්ද්‍රකර ගෙන, ඔවුන්ගේ ජීවිතය වසර ගණනාවක් තිස්සේ ගතවන ආකාරය පාදක කරගත් චිත්‍රපට හා ටෙලි නිර්මාණ කලා ලෝකයේ ඕනෑ තරම් බිහිවී තිබෙනවා. ශ්‍රී ලංකාවේත් අතිශයින් ජනප්‍රිය වූ “ඔෂින්” මාලා නාටකයත් එවැන්නක්. මේ ලිපියෙන් කතා කරන්න සූදානම් වන්නේත් එවැනිම ආකාරයේ සිනමාපටයක් ගැන යි. නමුත් කාරණා කිහිපයක් නිසා මේ සිනමාපටය ලෝක සිනමාව තුළ විශේෂ ස්ථානයක් ගනු ලබනවා.

මේ චිත්‍රපටයේ නම “Boyhood”. එහි සිංහල අර්ථය බාලවිය(හෝ කොලු අවධිය) යන්න යි. Boyhood චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රිචඩ් ලින්ක්ලේටර්. එමෙන්ම චිත්‍රපටයේ කතාව රචනා කරන්නේත් මේ අධ්‍යක්ෂකවරයාම යි. රංගන දායකත්වය සපයන්නේ ඊතන් හෝක්, පැට්‍රිෂීයා ආර්කට්, ලොරේලි ලින්ක්ලේටර්, එලර් කොල්ට්රේන් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්.

Boyhood චිත්‍රපටයේ නිල ප්‍රචාරක දැන්වීමක්/offhandreviews.wordpress.com/

ඇකඩමි සම්මාන උළෙල, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල වැනි ලෝක සිනමාවේ ප්‍රමුඛතම සම්මාන උළෙලවල සම්මාන රැසකට නිර්දේශ වූ Boyhood, එයින් සම්මාන කිහිපයක්ම දිනාගැනීමට සමත්වුණා. ඒ අතර 2015 වර්ෂයේ පැවැත්වුණු ඇකඩමි සම්මාන ප්‍රදානෝත්සවයේ හොඳම සහාය නිළියට හිමි සම්මානය පැට්‍රිෂියා ආර්කට්ට හිමිවීම සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ දී හොඳම නාට්‍යමය චිත්‍රපටය හා හොඳම සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් Boyhood චිත්‍රපටයට සම්මාන හිමිවීම කැපී පෙනෙනවා.

Boyhood කතාව සැකෙවින්

තවමත් මේ සිනමාපටය නරඹා නොමැති පාඨකයින්ගේ රසවින්දනයට බාධාවක් නොවන්නට චිත්‍රපටයේ කතාවේ පොදු හරය පමණක් ඉස්මතුවෙන ආකාරයෙන් තමයි මෙම කොටස ඉදිරිපත් කරන්නේ.

Boyhood චිත්‍රපටයේ කතාව කේන්ද්‍රවන්නේ මේසන් එවන්ස් නම් කුඩා දරුවා වටා යි. ඔහුගේ ජීවිත ගමනේ වසර දොළහක කාලපරාසයක් තුළ ඔහු මුහුණදෙන සිදුවීම් ඔස්සේ Boyhoodහි කතාව ගලාගෙන යනවා.

ජීවිතයේ විවිධ අවධීන්වල අප ලබන ජයග්‍රහණයන් සහ පරාජයන් ගැන හොඳ කියවීමක් boyhood සිනමාපටයේ තිබෙනවා/7wallpapers.net/

මේසන් සහ ඔහුගේ සහෝදරිය වන සමන්තා, ඔවුන්ගේ මව සමග ගෙවන්නේ තරමක් දුෂ්කර ජීවිතයක්. ඔවුන්ගේ මව තම ස්වාමි පුරුෂයාගෙන් දික්කසාදවී සිටිනවා. කෙසේවුවත්, මේසන් සහ ඔහුගේ සහෝදරියගේ පියා සති අන්තවල දී හැකි සෑම විටෙකම ඔවුන්ව හමුවීමට එනවා. එවැනි හමුවීම්වල දී සරල ජීවිතයක් ගතකිරීමේ වැදගත්කම ගැන ඔහු නිරන්තරයෙන් තම දරුවන්ට කියාදෙනවා. කුඩා මේසන්, තම දෙමව්පියන් එකට නොසිටීමේ යථාර්ථයට මුහුණදෙන අතරතුරේ දී ඔහුගේ අනාගත සිහිනත් සාක්ෂාත් කරගත යුතු වෙනවා. ජීවිත ගමන තුළ, අවලස්සන යතාර්ථයන් සහ කොන්දේසි මැද පියවරෙන් පියවර සිදුවෙන මේසන්ගේ සිහින හඹායෑමේ කතාව බොහොම දක්ෂ ලෙස මේ සිනමාපටයෙන් ඒ අනුව ඉදිරිපත් වෙනවා. මූලිකවම ඇමරිකානු සංස්කෘතියේ සහ ජීවන රටාවේ සැබෑ පැතිකඩ ගැන හොඳ කියවීමක් මේ චිත්‍රපටය හරහා ඔබට ලබාගත හැකියි.

සාමාන්‍යයෙන් චිත්‍රපට, ටෙලි නාට්‍යවල චරිත වයස්ගත වන විට වේශ නිරූපණ ශිල්පීන්ගේ සහායෙන් ඒ ඒ වයසට ගැලපෙන ලෙස රංගන ශිල්පීන්ගේ පෙනුම සකසනවා. එය එතරම් ප්‍රායෝගික නොවේ නම් හෝ වෙනත් හේතුවක් තිබේ නම්, අධ්‍යක්ෂකවරුන් එකම චරිතයේ ඒ ඒ වයස් සඳහා වෙනස් පුද්ගලයන් තෝරා ගන්නවා. නමුත් Boyhood චිත්‍රපටයේ දී මේ කාරණය ඉතා ආකර්ෂණීය ලෙස වෙනස්. වසර 12ක් තිස්සේ මේසන්ගේ ජීවිතය වෙනස්කම්වලට ලක්වෙමින් ගෙවෙන අයුරු රූගත කිරීමට මෙහි අධ්‍යක්ෂකවරයා වසර 12ක් වැය කර තිබෙනවා! ඒ නිසා මේසන් ඇතුළු මේ චිත්‍රපටයට දායකවුණ රංගන ශිල්පීන් සියලුදෙනාම වසර දොළහක් පුරා තම රංගන දායකත්වය චිත්‍රපටයට ලබා දී තිබෙනවා. මේ හේතුවෙන් චිත්‍රපටයේ මිනිත්තු 165ක පමණ ධාවන කාලය ඇතුළත ඔවුන් වයස්ගත වන අන්දම අතිශයින් ස්වභාවික ලෙස ඔබට නරඹන්න පුළුවන්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ එලර් කෝල්ට්රේන්ගේ හැඩරුව වසර 12ක් මුළුල්ලේ වෙනස්වූ අයුරු/zimbio.com/

අධ්‍යක්ෂකවරයා Boyhood චිත්‍රපටයේ රූගතකිරීම් අරඹා තිබෙන්නේ 2002 වර්ෂයේ මැයි මාසයේ දී වන අතර, 2013 වර්ෂයේ අගෝස්තු මාසයේ රූගතකිරීම් අවසාන වෙනවා. චිත්‍රපටයේ වැඩකටයුතු අරඹද්දී කණිෂ්ඨ මේසන් එවන්ස්ගේ චරිතයට පණ පොවන එලර් කොල්ට්රේන්ගේ වයස අවුරුදු හයක් පමණ යි. නමුත් චිත්‍රපටයේ වැඩ කටයුතු අවසාන වෙද්දී ඔහු අවුරුදු දහ අටක තරුණ හාදයෙක්. මේ චිත්‍රපටයේ විශේෂතා රැසක් තිබුණත්, එයිනුත් සුවිශේෂී වන්නේ මෙය යි.

Boyhood ඇයි ඒ විදිහට හැදුවේ?

රිචඩ් ලින්ක්ලේටර් අධ්‍යක්ෂකවරයා මෙතරම් දීර්ඝ කලක් ගතකරමින් චිත්‍රපටයක් තැනුවේ ඇයි? වසර දොළහක කාලයක් ඔහු එකම රංගන ශිල්පීන් පිරිස මේ කර්තව්‍ය වටා එකට තබාගත්තේ කොහොම ද? මෙවැනි ගැටලු ඔබටත් පැන නඟිනවා ඇති.

90 දශකයේ අගභාගයේ දී සිතේ පැළවුණ වස්තු බීජයක් නිසා තමයි රිචඩ් ලින්ක්ලේටර් මේ සිනමා කර්තව්‍යය ආරම්භ කරන්නේ. ඔහුට කලක සිට ළමා කාලය හා සම්බන්ධ කතාවක් සිනමාවට නැඟීමට අවශ්‍යව තිබුණා. Boyhood චිත්‍රපටය රූගතකිරීම පිටුපස තිබෙන මේ අමුතු සංකල්පය ගැන වරක් ලින්ක්ලේටර් සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ පවසා තිබෙනවා:

“පියෙකු වශයෙන්, සිනමාවේ දී මගේ අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යව තිබුණත්, ඒ දේවල් එක චිත්‍රපටයක් තුළින් ගෙනහැර දක්වන්න බැහැ කියලා මට තේරුණා. එවැනි කතාවක් පැවසීමේ දී ස්වභාවික සීමාවන්ට යටත්වීමට සිදුවීම තමයි ඒකට හේතුව. ඔයාට අවුරුදු හතක ළමයෙකුගෙන් අහන්න බැහැ එකපාරටම වයස අවුරුදු 14ක කෙනෙක් වෙන්න කියලා. ඉතින් මට මගේ අදහස අතහරින්න සිද්ධවුණා. නමුත් 2001 වර්ෂයේ මම පර්යේෂණාත්මක නවකථාවක් ලියමින් සිටියා. ඒ අතරේ දී තමයි මට මේ අදහස පහළවුණේ. හැම අවුරුද්දකම චිත්‍රපටයේ කුඩා කොටසක් බැගින් රූගත කළොත් මගේ අභිප්‍රාය සාර්ථක කරගන්න පුළුවන් නේද කියලා මට හිතුණා.”

ඒ අනුව අවුරුදු දොළහක දී දින හතළිස් පහක් පමණක් වැයකොට රිචඩ් ලින්ක්ලේටර් මේ අනගි සිනමාපටය නිමවා තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට කාලය ඔස්සේ මනුෂ්‍ය ජීවිතය විවිධ හැලහැප්පීම්, ජයග්‍රහණයන්, සහ පරාජයන් මැද්දේ ක්‍රමිකව ගලාගෙන යන ආකාරය අතිශය ස්වභාවික ලෙසින් සිනමාවට නැඟීමට හැකිවුණා. ඉහත සඳහන් කළ පරිදි Boyhood චිත්‍රපටය සම්මාන රැසකට පාත්‍රවීමට මේ අතිශය ස්වභාවික ගලායෑම ද ප්‍රබලව බලපා තිබෙනවා. එය කෙනෙකු වසර දොළහක් තිස්සේ ඔබ වෙත කැමරාවක් එල්ලකර ගෙන සිටියා හා සමාන යි.

අධ්‍යක්ෂකවරයා/IndieWire

 

අභියෝගාත්මක සිනමා ව්‍යාපෘතියක්

වසර දොළහක් පුරා එකම නළු නිළි කැලක්, අවුරුදු පතා දින කිහිපයකට එක්රැස්කරවා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. විශේෂයෙන්ම ඊතන් හෝක් සහ පැට්‍රිෂීයා ආර්කට් කියන්නේ හොලිවුඩයේ සිටින කාර්යබහුල රංගන ශිල්පීන්. නීතිමය අතින්, ඔවුන් චිත්‍රපටය සඳහා වසර දොළහක් වැනි දීර්ඝ කාලයකට ගිවිසුම්ගත කරන්නත් බැහැ. වසර හතකට වැඩි කාලයක් සේවය කිරීම සඳහා ගිවිසුම් ගැසීම නීති විරෝධී බැවින්, Boyhood සිනමා පටයට රංගන ශිල්පීන් දායකවුණේ කිසිදු නීතිමය බැඳීමකට යටත් නොවූ වාතාවරණයක් තුළ යි. ඒ අනුව මේ සිනමා ව්‍යාපෘතිය ඕනෑම මොහොතක අසාර්ථකවීමේ අවදානමක් තිබුණා. නමුත් රංගන ශිල්පීන් බොහොම නිහතමානීව මේ කර්තව්‍ය වෙනුවෙන් වසර දොළහක් පුරා තම දායකත්වය ලබාදුන්නා. ඇතැම්විට තම වෘත්තියට තිබෙන ආදරය සහ ගරුත්වය මෙන්ම, වෘත්තිකයන් ලෙස මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන දුරදක්නා නුවණක් ඔවුන්ට තිබීම ඊට හේතුවුණා විය හැකියි. එමෙන්ම ඒ ඒ අවුරුදුවලට අදාළ කොටස් රූගතකිරීම සඳහා අධ්‍යක්ෂකවරයාට අවුරුදු පතා සෑම දෙයක්ම මුල පටන් සංවිධානය කිරීමට සිදුවුණා.  

Boyhood චිත්‍රපටය තැනීමේ දී තවත් එක් අවිනිශ්චිත කරුණක් ගැන අධ්‍යක්ෂකවරයා වධවුණා. වසර දොළහක් පුරා කරගෙන යන මෙම ව්‍යාපෘතිය අතරමැද තමා මියගියොත් චිත්‍රපටයට මොකද වෙන්නේ?  එවැනි වාතාවරණයක් ඇතිවුවහොත්, චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟ දක්වන ඊතන් හෝක් චිත්‍රපටයේ ඉතිරි කොටස් අධ්‍යක්ෂණය කරන බව රිචඩ් ලින්ක්ලෙටර්ට පොරොන්දුවක් දුන්නා. නමුත් වාසනාවට ලින්ක්ලෙටර්ටම චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කිරීමට හැකිවුණා විතරක් නොවෙයි, එයින් පසුවත් ඔහු අතින් වටිනා නිර්මාණ කිහිපයක් ලෝක සිනමාවට දායාද වුණා.

චිත්‍රපටයේ වැඩකටයුතු අවසන්වීමට කලින් අධ්‍යක්ෂකවරයා මියගියහොත්, අධ්‍යක්ෂණයේ වගකීම බාරගැනීමට ඊතන් හෝක් සූදානමින් සිටියා/2019auditions.com/

අවසාන වශයෙන් මෙහිලා සඳහන් කළ යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ චිත්‍රපටයේ තිර පිටපත යි. රිචඩ් ලින්ක්ලේටර්, Boyhood සඳහා මුළු අවුරුදු දොළහම ආවරණය වන පරිදි තිර පිටපත එකවරම ගොඩ නැගුවේ නැහැ. ඒ වෙනුවට මෙහි චරිත කාලයත් සමග පරිණත වන විට ඉබේම විකාශනය වන අයුරින් නිදහස් ලෙස තමයි තිර පිටපත ගොඩ නැඟුවේ. සමහර අවස්ථාවල නළු නිළියන්ගේ ජීවිතයේ සත්‍ය වශයෙන්ම සිදුවෙමින් පැවති කාරණා තිර පිටපතට ඇතුළත් කෙරුනා. 

ඉතින් ලෝක සිනමාවේ සුවිශේෂී සහ සාර්ථක අත්හදාබැලීමක් වූ  Boyhood සිනමා ටය නැරඹීමට මේ ලිපියෙන් ඔබට යම් පෙළඹවීමක් ඇතිවුණා නම්, ප්‍රමාද එපා!

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න.

Cover photo: Hollywood Reporter

මූලාශ්‍රයන්: imdb.com/

oscars.org/

time.com/

screenrant.com/

npr.org/

fastcompany.com/

Related Articles