Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව හමුවන අසාමාන්‍ය නත්තල් චාරිත්‍ර 6ක්

කිතු උපත වෙනුවෙන් නම් කර ඇති නත්තල් උත්සවය ලොව පුරා රටවල් බොහොමයක සැමරෙනවා. සෑම වසරක ම නත්තල යෙදෙන්නේ දෙසැම්බර් 25 වන දාට වුවත්, දෙසැම්බර් මාසයේ උදාවත් සමග ම කිතුනු ජනයා ඒ සඳහා සූදානම් වීම අරඹනවා. නත්තල් ගස් සෑදීම, නත්තල් සීයාගේ පැමිණීම, තෑගි භෝග බෙදා දීම වැනි නත්තල සබැඳි චාරිත්‍ර නත්තල් සමය පුරාවට ම සිදුවනු දැක ගන්නට පිළිවන්. ලොව බොහෝ රටවල් මේවා සිදුකරන අතර, ඒ ඒ ප්‍රදේශවලට ම අනන්‍ය වූ නත්තල් චාරිත්‍ර වාරිත්‍ර ද සිදුකරනවා. මේවා සමහරක් ලොව අනෙකුත් රටවලට ආගන්තුක වෙනවා.

බල්ගේරියාවේ, ‘අයිස් ජලය’ චාරිත්‍රය

independent.co.uk

නත්තල හා සබැඳි චාරිත්‍ර අතුරින් බල්ගේරියාවේ පැවැත්වෙන මේ චාරිත්‍රය ඉතා විශේෂිත එකක් ලෙස නම් කරන්නට පිළිවන්. Epiphany Day ලෙස හඳුන්වන මෙම චාරිත්‍රය සිදුකරන්නේ නත්තල අවසන් වී එළැඹෙන මස හෙවත් ජනවාරි මස 7 වැනි දා යි. මෙහි දී සිදුවන්නේ ශුද්ධ වූ කුරුසයක් මිදීමට ආසන්න උෂ්ණත්වයේ ඇති ජලයට වීසි කිරීම යි. දේවගැතිවරයෙකු විසින් මෙලෙස වීසි කරන ශුද්ධ වූ කුරුසය නැවත ගොඩගැනීමට ප්‍රදේශයේ ජනතාව යුහුසුළු වන අතර, මුලින්ම එය ගොඩගන්නා තැනැත්තාට වසර පුරාවට ම සෞභාග්‍යය හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උරුම වන බවට විශ්වාසයක් පවතිනවා. උත්තර අර්ධගෝලයේ ස්ථානගත වී ඇති බල්ගේරියාවේ ජනවාරි මස පවතින්නේ ඉතා දැඩි ශීත දේශගුණයක් බැවින් මේ චාරිත්‍රයේ නිරත වීම නම් සිතන තරම් පහසු වන්නේ නැහැ. (1)

ක්‍රෑම්පස් චාරිත්‍රය- ඔස්ට්‍රියාව

Osterreich Werbung

කිතුනුවන්ගේ සාමාන්‍ය විශ්වාසය වන්නේ නත්තල් සමයේ ‘නත්තල් සීයා’ විසින් ගෙයින් ගෙට පැමිණ තෑගි බෙදීමේ නිරත වන බව යි. ඔහු ඉතා ප්‍රසන්න පුද්ගලයෙකු බව පිළිගැනීම යි. කෙසේ නමුත් ඔස්ට්‍රියාවේ මීට වඩා හාත්පසින් වෙනස් පුද්ගලයෙකු නත්තල් සමයේ ඔබ මොබ සංචාරය කරන බවට පිළිගැනීමක් තිබෙන අතර, ඔහු ව සංකේතවත් කරමින් ‘ක්‍රෑම්පස්’ නම් චාරිත්‍රය සෑම නත්තල් සමයක ම සිදුකිරීමට ඔස්ට්‍රියානුවන් යුහුසුළු වෙනවා.

නපුරු අමනුෂ්‍යයෙකු වන ‘ක්‍රෑම්පස්’ නත්තල් සමයේ ඔස්ට්‍රියානු වීදිවල ඔබ මොබ සංචාරය කරනු සංකේතවත් කිරීම සඳහා ඔහු ලෙස වෙස්වලා ගත් පුද්ගලයින් සීනු නාද කරමින් ගමන් කරනු නත්තල් සමය උදානය හෙවත් දෙසැම්බර් මස පළමු සතියේ දී දැකගත හැකි වෙනවා. ක්‍රෑම්පස් විසින් කුඩා දරුවන් බිය ගැන්වීම සිදුකරනු ලබන අතර, අකීකරු දරුවන්ට දඬුවම් පැමිණවීම සිදුකරන බවට එහි වැසියන් විශ්වාස කරනවා. ඉතා නරක දරුවන් ඔහු විසින් සිය මල්ලේ බහා රැගෙන යන බවට දෙමාපියන් විසින් දරුවන්ට පැවසීම නිසා, මේ සමයේ හැකිතාක් කීකරු ව සිටින්නට ඔවුන් උත්සාහ කරනවා. (2)

අයිස්ලන්තයේ, ‘යූල් බිළාලයා’

redditblog.com

අයිස්ලන්තයේ ද ඉතා අසාමාන්‍ය නත්තල් චාරිත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ආක්ටික් කවයට ආසන්න ව පිහිටි අයිස්ලන්තයේ දෙසැම්බර් මස අවසාන කාලය වන විට පවතින්නේ ඉතා දැඩි ශීතලක් හා හිම පතනයක්.

නත්තල් සමයේ හිම මතින් ඔබ මොබ ඇවිදින විශාල බිළාලයෙක් පිළිබඳ ව අයිස්ලන්ත වැසියන් විශ්වාස කරනවා. වසර පුරාවට අවංක ව සේවය කරන, හොඳ ජීවිතයක් ගත කළ අයවලුන්ට මේ බිළාලයාගේ ආනුභාවයෙන් නව ඇඳුම් පැළඳුම් ලැබෙන බවත්, එසේ නොවන අය ඔහුගේ ගොදුරක් බවට පත්වන බවත් අයිස්ලන්ත වැසියන් තරයේ විශ්වාස කරනවා. මේ බිළාලයාගෙන් ආරක්ෂා වීම සඳහා නත්තල් සමයේ දී අලුත් ඇඳුම් පැළඳුම්වලින් සැරසීමට ඔවුන් අමතක කරන්නේ නැහැ. (3)

ෆින්ලන්තයේ, උණුසුම් වීමේ චාරිත්‍රය

holidayextras.co.uk/Pinterest

බල්ගේරියාවේ මෙන්ම ෆින්ලන්තයේ ද නත්තල් සමය වන විට පවතින්නේ ඉතා දැඩි ශීතලක්. බොහෝ විට මේ සමයේ දී පාරිසරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට වඩා අඩු අගයක් ගන්නා අතර, හිම පතනය ද සිදුවෙනවා.

බල්ගේරියානු ජනතාව නත්තල් චාරිත්‍රයක් ඉටුකිරීම උදෙසා ශීතල ජලයට පනින විට, ෆින්ලන්ත ජනතාව බසින්නේ උණුසුම් ජලයට යි. එසේත් නැතිනම්, ‘ස්නානය’ කරන්නේ උණුසුම් ජල වාෂ්ප යි. මේ සඳහා හිම ගොඩවල් මධ්‍යයේ දැව යොදාගෙන ඉදිකරන ලද උණුසුම් ජලය සහිත කුඩා ජල තටාක හා උණුසුම් ජල වාෂ්ප සහිත කුටීර නත්තල් සමයේ දී එරට පුරාවට දැකගන්නට පිළිවන්. මේ සමයේ දී උණුසුම් ජලය හෝ වාෂ්ප ස්නානය සිදුකිරීමෙන් ගත මෙන්ම හිතත් පිරිසිදු වන බව ඔවුන් විශ්වාස කරන අතර, මධ්‍යසාර ගෙන, මත් වී ඒවා කරා යාම නම් කිසිසේත් ම අනුමත කරන්නේ නැහැ. (1)

නෝර්වේ හි ‘කොසු සැඟවීමේ චාරිත්‍රය’

anothermag.com

නත්තල් සමයේ උදාවත් සමග සිය නිවෙස්වල භාවිතා කරන කොසු ඉතා ආරක්ෂාකාරී ස්ථානයක සැඟවීමට නෝර්වේ හි වැසියන් ක්‍රියා කරනවා. නත්තල් උදාවත් සමග ම මායාකාරියන් ඇතුළු අනෙකුත් අයහපත් ආත්ම කොසු හා ඉදල් සොයමින් නිවසෙන් නිවසට සැරිසරන බව අතීත නෝර්වේ වැසියන් විශ්වාස කළා. ඔවුන් ඒවා සොරකම් කරන්නට යුහුසුළු වන්නේ ඒවා මත නැඟී යාමට බව විශ්වාස කළ නෝර්වේ ජනයා, තමන්ගේ කොසු හා ඉදල්වල ආරක්ෂාව මෙන්ම, අයහපත් ආත්ම ‘ගමනාගමන පහසුව’ ඇති කරගැනීම වැළැක්වීම යන කාරණා සලකා බලා ඒවා ඔවුනට සොයාගත නොහැකි වන සේ සඟවා තබන්නට උත්සුක වුණා. එය අදටත් චාරිත්‍රයක් සේ සිදු කෙරෙනවා. (2)

දකුණු අප්‍රිකාවේ, ‘බදින ලද දළඹුවන්’

teletextholidays.co.uk

නත්තල් සමයේ ආහාර පාන ගැන සිහිපත් කරන විට අපිට නිතැතෙන් ම මතකයට නැඟෙන්නේ නත්තල් කේක්, වයින් වැනි දේ යි. කෙසේ නමුත් නත්තල් සමයේ දී දකුණු අප්‍රිකාවේ නම් තවත් විශේෂ ‘ආහාරයක්’ පිළියෙල වෙනවා.

දකුණු අප්‍රිකාවේ සමහර පෙදෙස්වල නත්තල් සමයේ දී පයින් ගස්වල වෙසෙන දළඹු විශේෂයක් යොදාගෙන, ඔවුන් බැදීමෙන් පසු තවත් රසකාරක එක්කොට තැනෙන ආහාරයක් පිළියෙල වෙනවා. මේවා ආහාරයට ගැනීමට කුඩා දරුවන් ප්‍රිය කරන අතර මේවා අනුභව කිරීමෙන් එළඹෙන වසරේ අමතර වාසනාවක් තමන් කරා පැමිණෙන බව එහි වැසියන් විශ්වාස කරනවා.

Related Articles